2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

කරළියේ රඟන දේශපාලන චණ්ඩින්ට නීතියක් නැත්ද?

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 84

මැති ඇමැතින් සහ ඒ අයගේ දූ පුතුන් තමන්ගේ දේශපාලන බලය යොදාගෙන පිස්සු කෙළින ඉතිහාසයක් අපේ රටට තිබිණි. මැති ඇමැතින් තමන්ගේ බලය රටේ නීතියටත් ඉහළින් තිබෙන බවක් සිතාගෙන සෙසු ජනතාවට එරෙහිව චණ්ඩිකම් කරන විට ඔවුන්ගේ ගෝල බාලයෝ ඊටත් එහා යමින් මිනීමැරුම් පමණක් නොව කොල්ලකෑම් කළ අවස්ථා ද තිබිණි. ඒ සඳහා රජයේ වාහන සහ දේපළ භාවිතය ද ඉහළින්ම තිබිණි.

ඊළඟට මේ චණ්ඩි ඇමැතින්ගේ දූ පුතුන් ද තම තමන්ගේ පවුල්වල තිබෙන දේශපාලන හයිය තමන්ගේ පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට යොදා ගත්හ. පෙම්වතියක් වෙනුවෙන් මිනීමරාගන්නා දේශපාලන පුත්තු ද සිටියහ. සමහර පුතුන්ට රාත්‍රී කාලයේ මහාමාර්ග තම පියවරුන්ගේ වාහන යොදාගෙන රේස් යාමට යොදාගත් බවට ද චෝදනා එල්ල විය. දේශපාලන පියාගේ පිස්තෝලය ඉණේ ගසාගෙන මහා මාර්ගයේ රාජකාරි කළ රථවාහන පොලිස් නිලධාරීන්ට ගෙම්බර් දැමූ දූවරු ද වෙති. හිතමිතුරන්ගේ පාටිවලට ගොස් හොඳ හැටි බීමත්ව තම පිස්තෝලයෙන් අහසට වෙඩි තබන මැති ඇමැතිවරු ද සිටියහ. මේ ලැයිස්තුව දිගටම ලියාගෙන ගියොත් ඉතුරු ටික ලියන්න ඉඩක් මදිවනු ඇත.

මේ අපේ රටේ දේශපාලන සංස්කෘතියේ හැටිය. වෙනත් ඇතැම් රටවල බලවත් ජනාධිපතිවරුන්ගේ දූ පුතුන් පවා නීතියට එරෙහි සිද්ධියකට පටලැවුණොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි. නමුත් අපේ රටේ නම් බොහොමයක් අවස්ථාවල නීතිය එවැනි අවස්ථාවලදී නැවෙයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ න්‍යායෙන් වැඩේ අවසන් වෙයි.

අප මේ පූර්විකාව සටහන් කළේ පසුගිය දින කිහිපය තුළදී එම අතීතය යළිත් මතක් කර දෙන සිදුවීම් කිහිපයක් හේතුවෙනි. එයින් එකකට සම්බන්ධ වූයේ රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීරගේ පුත්‍රයාය. ඔහු ප්‍රේම සම්බන්ධයක් මුල්කර ගනිමින් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සිසුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියකට පටලැවුණේය. වඩාත්ම බරපතළ සිද්ධිය වන්නේ මේ ඇමැති පුතා තම චණ්ඩි වැඩට තම පියාගේ අමාත්‍යාංශයේ වාහනයක් රුගෙන පැමිණීමය. මෙය බරපතළ වැරැද්දකි. පෙම්වතියක් හේතුවෙන් තරුණ කොල්ලන් අතරේ ගුටිබැට හුවමාරු සිදුවීම සාමාන්‍ය සිද්ධියකි. එහෙත් ඒ සඳහා රජයේ අමාත්‍යාංශයක වාහනයක් යොදවා ගැනීම බරපතළ වැරැද්දකි. මේ චෝදනාව ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතාට එරෙහිව එල්ල වී තිබේ. සිද්ධිය ගැන කෙරුණු දැනුම් දීමත් සමඟ පැමිණි පොලීසිය ඇමැති පුතා ඇතුළු පස්දෙනකු ද අමාත්‍යාංශ වාහනය ද පොලිස් භාරයට ගෙන තිබිණි.

මේ සිද්ධියේදී ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ඔහුට ප්‍රශංසාව හිමිවිය යුතුය. පහරදීමේ සිද්ධියට තම පුතා සම්බන්ධ නම් ඔහුට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසට අමාත්‍යවරයා පොලීසියට කියා තිබිණි. තමාට අවශ්‍ය වන්නේ හොඳ පුතකු හදාගැනීම මිස මැරයකු හදාගැනීම නොවන බවද ඔහු කියයි. මෙය යහපත් ආදර්ශයක් බව පෙන්වා දිය යුතුය. එසේම සිද්ධිය ගැන අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.

මේ සමඟ මහරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට කඩා වැදී අපි ඇමැතිගේ මිනිස්සු යැයි කියාගත් මැර පිරිසක් එහි සේවකයන්ටත් කළමනාකරුටත් පහර දී ඔවුන්ට මරණීය තර්ජන එල්ල කර තිබිණි. මේ මැර පිරිස මොන ඇමැතිගේ ගෝල බාලයන් දැයි අපි නොදනිමු. එහෙත් මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුය. නැතහොත් එය අපි ඇමැතිගේ මිනිස්සු යැයි කියමින් ඕනෑම ජඩ මැර ක්‍රියාවක් සිදු කිරීමට මේ ගෝල බාලයන්ට ලයිසන් දීමක් වනු ඇත. මෙවැනි ක්‍රියා හැකි තරමින් අධෛර්යමත් කිරීමට සියලු දේශපාලනඥයන් පියවර ගත යුතුය.

එසේම අනුරාධපුර තඹුත්තේගමදී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට පොහොට්ටු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පත්ව සිටී. කොල්ලකරුවන්ට යතුරුපැදිය ලබා දී ඇත්තේ මේ මන්ත්‍රීවරයා බව කියති. තමන් යතුරුපැදිය දුන්නේ මේ බවක් නොදැන යැයි කීමට ඔහුට අවස්ථාව තිබේ. එහෙත් අපරාධකරුවකුට යතුරුපැදිය අහේතුකව ලබා දීමට තරම් ඔහු බබෙක් විය නොහැක. මෙවැනි ''දේශපාලන බබාලා'' ඕනෑම නීතිවිරෝධී වැඩක් කර දේශපාලන හයිය යොදාගෙන ඒවා ෂේප් කර ගැනීමට දක්ෂයෝය. ඒවාට කිසිසේත් ඉඩ දිය යුතු නැත.

මෙවැනි සිදුවීම් ගණනාවක් එකපිට වාර්තා වීම යහපත් පූර්වාදර්ශයක් නොවේ. අපරාධයකට දේශපාලනඥයකු ගෑවෙන විට යුක්තිය ඉටු නොවන බව රටේ ජනතාවගේ අදහසය. සාමාන්‍ය පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන පොලීසිය මෙවැනි අවස්ථාවලදී බොහෝ ලිහිල්ව රාජකාරිය ඉටු කරන බවද ප්‍රසිද්ධ රහසකි. මෙවැනි දේශපාලන මැරයන්ට පාඩම් ඉගැන්විය හැක්කේ කතිරයේ බලයෙන් පමණි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00