2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

ඡන්දයකින් බැරිනම් අරගලයකින් ආණ්ඩුව එළවනවා!

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 77

 සුනිල් හඳුන්නෙත්ති - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී - ජාතික ජන බලවේගය 

  • රටේ දිස්ත්‍රික්ක 25 රටවල් 25ක් හැටියටයි අපි සලකන්නෙ
  • අපේ කාර්යාලයට ප්‍රබල රටවල තානාපතිවරුන් එනවා
  • ගෝල්ෆේස් අරගලය ඉවර වුණාට රට වටේම දැන් අරගල තියෙනවා
  • ඔය රට කන අය තව කෑවත් අපි රට හදනවා
  • ඩයනා කියන නයිට් ලයිෆ් අපට ඕනෙ නැහැ
  • අරගලය දිනුවෙ බාගෙට
  • ඊළඟට එන ඕනෑම ‘ඡන්දයක් අපි දිනනවා
     

අපි දන්න ජාතික ජන බලවේගය මේ වෙද්දි අලුත් මුහුණුවරකින් අලුත් කණ්ඩායමක් එක්ක වෙනස් ගමනක් යමින් ඉන්නෙ. බොහෝ දෙනාට විවිධ අදහස් තියෙනවා. ඇයි එකපාරටම මේ මුහුණුවර වෙනස් කර ගත්තෙ?

අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට එක තැන ඉන්නකොට ඒගොල්ලා හරි නෑ, ඒගොල්ලන්ට බලය ගන්න බෑ, ඒගොල්ලා වෙනස් වෙන්නෙ නෑ කියලා සමහර අය කියනවා. ඒ දේවල් එක්ක අපි වෙනස් මුහුණුවරක් ගත්තාම තව සමහරක් කියනවා ඒ අර පරණ ජේ.වී.පී එක නෙමේ, ඒගොල්ලා වෙනස් වෙලා, ඒගොල්ලා පිරිහිලා කියලා. ඒ වගේ පිරිසක් ඉන්නවා. ඒ අය බොරුවට නිදාගන්න අය. ඒගොල්ලා කොච්චර කළත් නැගිට්ටවන්න බෑ. ඒ නිසා එවැනි විවේචකයො අපිට අදාළ නෑ. 

ඒ කියන්නෙ විවේචන වැඩක් නෑ.

නෑ. එහෙම දෙයක් නෙමෙයි කියන්නෙ. මොන දේ කළත් නරකයි කියන විවේචන සම්බන්ධයෙන් මම කියන්නෙ. අනෙක අපි විවේචනයට කලින් වැරදි හදාගන්න ව්‍යාපාරයක්. අපේ අඩුපාඩුකම් අපි දැකලා හදාගන්නවා. 

දැන් ඔබලා බලය ගන්නනෙ මේ වෙනස්කම් කරන්නෙ. 

මතක තියාගන්න අපි බලය ගන්න ව්‍යාපාරයක් නෙමෙයි. දැන් මිනිස්සු විසින් බලය අපිට දෙන්න සූදානම් වෙලයි ඉන්නෙ. මොකද මිනිස්සුන්ට වෙන විකල්පයක් නෑ. මෙතෙක් කල් සෑම ආණ්ඩුවක්ම මිනිස්සු රවට්ටපු නිසා මිනිස්සු දැනගන්න ඕනෙ දැන් අපිට බලය දෙන්න. එතකොට අපේ වගකීම තමයි බලය ගන්නවට වඩා මිනිස්සු බලය දෙන තැනට අපේ ක්‍රමය හදාගන්න එක. දැන් මිනිස්සුන්ට අපේ ප්‍රතිපත්ති සම්බන්ධ ප්‍රශ්නයක් නෑ. ඒක ඉස්සර තිබුණා. ඒ නිසා දැන් අපි බලය දෙන්න පුළුවන් විදිහෙ පක්ෂයක් හදාගෙන තියෙන්නෙ.

අපි දන්නවා දැන් ජවිපෙ බාහිර මොඩ්ල් එක වෙනස්වෙලා ඉවරයි. දැන් සමහර අයට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඒ මොඩ්ල් එක ඇතුළෙ අර ප්‍රතිපත්ති වෙනසකට ලක්වෙලා තියෙනවද කියලා. 

අන්න එතනයි වරද. මතක තියාගන්න අපේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ. එහෙම කියන්නෙ අපේ ප්‍රතිපත්ති ගැන නොදන්නාකමට. අපිත් එක්ක හැමෝම එකතු වුණාට අපේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ. උදාහරණයක් හැටියට කවදාවත් හොරකම් නොකරපු අය. අපි මෙතනින් පස්සෙ හොරකම් කරන තැනට පත්වෙන්නෙ නෑ. මතක තියාගන්න අපි දේශපාලන සංස්කෘතිමය වශයෙන් වෙනස්වෙලා නෑ. ඒ නිසා මිනිස්සුන්ට වැදගත්ම කාරණය එතන තියෙන්නෙ. 

දැන් සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා ඔබලා ආපුවම ඔබලගෙ ප්‍රතිපත්ති මත ධනපති පන්තිය නැතිවෙයි කියලා. 

අන්න ඒක තමයි අපේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නොදැනුවත්කම. අපි කිසිම වෙලාවක කියලා නෑ පෞද්ගලික අංශය රජයට පවරාගන්න කියලා. රජය විසින් පාලනය කරලා පෞද්ගලික අංශයට කිසිවක් නොදෙනවා කියන තැනක අපි නෑ. අපි ඒ වගේ තත්ත්වයක නෑ. 

මිනිස්සුන්ට බයක් තියෙනවනෙ.

ඔව්. මිනිස්සුන්ට බය තියෙන්නෙ ඒ වගේ දේවල්වලට. ඇත්තටම අපි කිසිම දවසක වෙනස්වෙලා නෑ. මිනිස්සුයි වෙනස්වෙලා විවිධ මතවාද හදාගෙන තියෙන්නෙ. ඒක නොදැනුවත්කම. අනෙක ලෝකෙ කොහෙවත් ධනපති පන්තිය නැතිවෙන්නෙ නෑ. අපි කියන්නෙ ධනපති පන්තිය විසින් සූරා කෑම නවත්වනවා කියලා. අපි මිනිස්සු පෝසත් වෙනවට අකැමැති නෑ. එහෙම ජනතාවත් එක්ක අපිට ඊර්ෂ්‍යාවක් නෑ. මිනිස්සු කාලා බීලා සතුටින් ඉන්නවට අපි කැමැතියි. 

සමහර අය අහනවා කෝ ජන බලවේගයේ වේදිකාවල පෝසත් මිනිස්සු කියලා.

මට කියන්නකො පෝසත් කියන්නෙ මොකක්ද කියලා. පෝසත් කියන්නෙ මිනිස්සුන්ගෙ දේ සූරාගෙන කන, කුඩු විකුණන, පාතාලෙත් එක්ක ඉන්න, වංචා දූෂණ කරන අය. ඒ අය ඇත්තටම අපේ වේදිකාවෙ නෑ. මහජන ධනය මංකොල්ල කන, නිත්‍යනුකූල නොවන ව්‍යාපාර කරන කිසිම කෙනෙක් අපි ළඟ නෑ. එහෙම අය අපිට ඕනෙත් නෑ. ඒ ගැන මම සහතික කරනවා. 

ඇත්තටම ඔබලට මොකක්ද ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන අදහස?

අපි කියන්නෙ ඇත්තටම ආණ්ඩුව ව්‍යාපාර කරන්න නරකයි. අපි කරන්න ඕනෙ ව්‍යාපාර කරන්න පුළුවන් පරිසරය හදලා දෙන එක. ප්‍රතිපත්ති, නීතිමය ආරක්ෂාව ලබා දෙන එක.  

ඒ කියන්නෙ සියලු ව්‍යාපාරවලින් රජය අයින්වෙලා ප්‍රතිපත්තිමය කාරණා විතරක් හදනවා.

නෑ. හැමදේම අත්හරින්න බෑ. දැන් උදාහරණයක් හැටියට අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව වගේ මේ දේවල් අපිට අත්හරින්න බෑනෙ. ඒ වගේම පොදු ප්‍රවාහනය. ඒ වගේම මුල්‍ය පාලනය. දැන් පාඩු ලබනවා කියලා භාණ්ඩාගාරය පෞද්ගලීකරණය කරන්න බෑනෙ. මහ බැංකුව පෞද්ගලීකරණය කරන්නත් බෑනෙ. ඒ වගේම ආරක්ෂක අංශයත් පෞද්ගලීකරණය කරන්න බෑ. හැබැයි ඒ වගේම දැනට පෞද්ගලික වෙලා තියෙන දේවල් අපි රජයට පවරාගන්නෙත් නෑ. අපි කරන්නෙ දැනට රජයේ සේවා ශක්තිමත් කරලා පෞද්ගලික අංශයේ සේවා සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කරන එක. අපිට ඕනෙ පෞද්ගලික සේවා සමඟ තරගයක් ඇතිකර ගන්න. 

අපි දන්නවා මේ වෙනකොට රජය විසින් පවත්වාගෙන යන සේවා සියල්ල පාඩු ලබන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා ඒ ආයතන පෞද්ගලීකරණය හරි අර්ධ රාජ්‍ය ක්‍රමයට හදන එක හරි දැන් රජයේ ප්‍රතිපත්තියක් වෙලා. එච්චර අමාරුකම් තියෙද්දි ඔබලට අරගෙන හදන්න පුළුවන්ද?

අනිවාර්ෙයන් පුළුවන්. ඔබ කියන එක හරියට හරි. ආණ්ඩුව තමන් විසින් කරපු පාඩුව, විනාශය පිළිගන්නෙ නැතුව විකුණන්න හදනවා. රජයේ ආයතන වැටුණ එකට ඔය කියන අය වගකියන්න ඕනෑ. ඒත් ඒක පිළිගන්නෙ නැතුව ඒ අය පෞද්ගලීකරණය කරන්න සාකච්ඡා කරනවා. 

දැන් ඔබලට ඇත්තටම මේක හදාගන්න බැරිවුණොත් මොකද කරන්නෙ?

කර ගන්න බැරිකමක් නෑ. අපිට දීලා බලන්න කියන්නකො. මේ හොරකමයි දූෂණයයි නාස්තියයි නතර කළොත් ඒක කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ දේ මේ ආණ්ඩුවට කරන්න බෑ. මට දැන් කියන්න ඔහොම පාඩු ලබනවා කියලා විකුණලා පස්සෙ ලාභ ලබපු ආයතනයක්. 

ඔබලා පුළුවන් පුළුවන් කිව්වට මේ වෙනකොට රට විශාල වශයෙන් ණය වෙලයි තියෙන්නෙ. ණයත් ගෙවලා රටත් බලාගන්න පුළුවන්ද?

පුළුවන්. අනිවාර්ෙයන් පුළුවන්. ලංකාවෙ දිස්ත්‍රික්ක විසි පහක් තියෙනවා. ඒ දිස්ත්‍රික්ක විසිපහ රටවල් විසි පහක් හැටියට සලකලා වැඩ කළත් ගොඩ දාගන්න පුළුවන්. අර ඩයනා කියනවා වගේ අපිට නයිට් ලයිෆ් ඕන නෑ. අපිට ඕනෙ රයිට් ලයිෆ් එකක්. මොකද හරි ජීවිතයක් තමයි අපේ රටට අවශ්‍ය. තව රටවල් තියෙනවා ඒ රටවල්වල ස්වභාවික සම්පත් නැතිව විවිධ දේවල් කරන. ඒත් අපිට මේ තියෙන සම්පත්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මම මේ කියන්නෙ ඔය කන කට්ටියට තවත් කාලා අපිට දෙන්න කියන්නකො. ඒත් අපි රට හදනවා. 

දැන් සමහර අයට හිතෙන්න පුළුවන් මෙහෙම දෙයක්. එදා ජවිපෙ හිටියට දැවැන්ත පුද්ගලයො එක්ක බලද්දි අද ජාතික ජන බලවේගයේ ඉන්නෙ එහෙම දේශපාලන චරිත නෙමෙයි කියලා. එක පැත්තකින් ඒක විවේචනයක් වෙන්නත් පුළුවන්. 

දැන් මීට කලින් කිව්වෙ මොකක්ද? පරණ අය දාගෙන ආණ්ඩු කරන්න පුළුවන්ද කියලා. අනිත් පක්ෂවල ඊට වඩා කට්ටිය ඉන්නවා, ඕගොල්ලන්ට ඉන්නෙ මෙච්චරද කියන ප්‍රශ්න ඇහුවා. දැන් අනිත් පැත්තට එනවා දැන් ඉන්න කට්ටිය විශ්වාස කරන්න පුළුවන්ද කියලා. දැන් මොකක්ද අපි කරන්න ඕන කියන්නෙ. අපි මේක විසුරුවලා දාන්නද? කාලයක් කිව්වා ඔයාලත් එක්ක රටවල් නෑ කියලා. දැන් චීන තානාපති එනවා, ඇමෙරිකා තානාපති එනවා. අපිත් එක්ක කතා කරනවා. දැන් අහනවා ඔයාලා ඉස්සර වගේ නෙමෙයි දිය වෙලාද කියලා. ඒකට තනි වචනෙන් කිව්වොත් කියන්නෙ කුහකකම කියලා. 

ඇත්තටම කිව්වත් එක්කම අහන්න හිතුණා, මොකද මේ හදිස්සියෙම තානාපතිවරු එන්නෙ පක්ෂ කාර්යාලය පැත්තට.

නෑ නෑ. අනිත් අයත් හම්බවෙලා ඇති තානාපතිවරු විවිධ තැන්වල. අපි ඒවා දන්නෙ නෑනෙ. මෙතන විශේෂත්වය තමයි අනිත් තානාපතිවරු පක්ෂ කාර්යාලයට යන්නෙ නෑ. නමුත් මේ තානාපතිවරු අපේ පක්ෂ කාර්යාලයට එනවා. මතක තියාගන්න අපි පිළිගන්නෙ පක්ෂයක් හැටියට. අරගොල්ලො පිළිගන්නෙ පෞද්ගලිකව. මෙතන තියෙන්නෙ පෞද්ගලික ප්‍රතිපත්තිමය කාරණාවකට වඩා පක්ෂයක් හැටියට ප්‍රතිපත්තිමය කාරණා තමයි කතා කරන්නෙ. 

අපි දන්නවා අරගලය දේශපාලනයකින් තොරව පටන් ගත්තා. මේ අරගලය තීව්‍ර වුණාම අපි දැක්ක දෙයක් තමයි යම් බලය හුවමාරුවක් සිදුවුණේ නෑ. ඒ නිසාම යම්කිසි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පාන්න වුණා කියන එක අපිට හිතෙනවා. එතනදි ජවිපෙට යම් කාර්යභාරයක් තිබුණද?

මේ අරගලයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ අරගලය මහජන නැගිටීමක්. මාර්තු 15 ඉඳන් වුණේ මහජන නැගිටීමක්. යම් යම් තැන්වලදි වෘත්තිය සමිති හැටියට අපි උදව් කළත් ඒවා මහජන නැගිටීම්. ඒ මහජන නැගිටීම්වල ප්‍රධානම අරමුණ වුණේ පවතින ආණ්ඩුව එළවීම. එතකොට අරගලකරුවන්ට ඒ වෙලාවෙ තිබුණා කරන්න දෙයක්, ඒ තමයි ආණ්ඩුව එළවීමත් සමඟ අරගලයේ දිශානතිය වෙනස් කර ගන්න. මේකෙ යම් අර්ධ ජයග්‍රහණයක් තියෙනවා. ඒ වෙලාවෙ හිතන්න තිබුණෙ ඊළඟ දිශානතිය මොකක්ද කියලා. මම හිතන්නෙ ඒක මඟහැරුණා. 

ඒ අඩුවත් එක්ක දැන් නැවත අරගලයට පණ දෙන්න අමාරුයි කියලයි හිතන්නෙ?

අපෝ නෑ පුළුවන්. ගෝල්ෆේස් එකේ අරගලය නැතිවුණාට දැන් රට වටේම තියෙන්නෙ අරගලය. ඔයා හිතුවද අරගලය ඉවරයි කියලා. 

මේ යන ක්‍රමයත් එක්ක ඇත්තටම රටට මොන වගේ අවදානමක් තියෙයිද?

තව සතියක් දෙකක් යනකොට මේ රට පවත්වාගෙන යන්න අමාරු වෙනවා ආර්ථික අවුලත් එක්ක. විශේෂයෙන් බැංකු පද්ධතියට විශාල හානියක් වෙන්න පුළුවන්. මොකද ඉස්සරහට එන මුල්‍යමය අර්බුදයත් එක්ක විදුලි අර්බුදය, තෙල් අර්බුදය එන්න පුළුවන්. එතකොටත් මේ පාලකයො තියාගන්න ජනතාව හිතනවද?

ඉතින් ජනතාව මොකක්ද කරන්න ඕනෙ?

අපි මේ වෙද්දි ගම් මට්ටමින් ජනතාව ජාතික ජන බලවේගය වටා එකතු කරමින් ඉන්නවා. ඊට පස්සෙ අනිවාර්ෙයන්ම මහ මැතිවරණයකින් හරි අරගලයකින් හරි මේ ආණ්ඩුව පළවා හරින්න ඕනෙ. මේ රටට දැන් නම් පණ නෑ. මේ වගේ ආණ්ඩුවලට ඉඩ දෙන්න තරම් මේ රටේ පණ නැතිවෙලා තියෙන්නෙ. ඒ නිසා අපි එන්නෙ පණ දෙන්න. 

ජනතාව නිකම් හරි නැවතත් වැරදි තීන්දුවක් ගත්තොත්?

ජනතාවට තවත් අපි වැරදි තීන්දු ගන්න දෙන්නෙ නෑ. අපි එක දෙයක් කියනවා. ඊළඟට එන ඕනෑම මැතිවරණයකදි අපි දිනනවා. 

I ගයාන් ගාල්ලගේ