2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

කුසගිනි බිය තුරන් කරමු

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 84

සහල් සහ තිරිඟු පිටි මෙම 2022 වසර සඳහා අපේ රටට අවශ්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 22කි. එහෙත් රටට ගෙන්වා ගැනීමට හැකියාව තිබෙන්නේ මෙට්‍රික් ටොන් මිලියන නවලක්ෂ තිස්දාහක් පමණි. ඒ අනුව රටේ භාවිතය සඳහා අවශ්‍ය වන සහල් සහ තිරිඟු පිටි හරි අඩක හිඟයක් පවතී. මේ හිඟය මේ වසර අවසානය දක්වාම පවතිනු ඇති බවද ප්‍රකාශ වී තිබේ.

සහල් නිෂ්පාදනය අතින්ද මේ වසර තිබෙන්නේ පහළම අඩියේය. දැනට පුරෝකථනය වී තිබෙන්නේ මේ වසරේ නිපැයුම මෙට්‍රික් ටොන් මිලියන 03කට සීමාවනු ඇති බවය. මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 63ක් උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවද ලෝක ආහාර වැඩපිළිවෙළ මගින් ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන්ව තිබිණි. සහල් නිපැයුම පහළම මට්ටමකට ඇද වැටීම පෙන්වා දෙන්නේ එම වාර්තාවේ සඳහන් කරුණු සත්‍ය වෙමින් පවතින බවය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින්ද අනතුරු අඟවා තිබුණේ මෙරට ළමා පරපුර මන්දපෝෂණ තත්ත්වයකට මුහුණදීමේ දැඩි අවදානමක් පවතින බවය. මෙරට දරුවන් දැඩි ආහාර හිඟයක මුහුණ දෙනු ඇති බවටද ඔවුන්ගේ ප්‍රකාශයේ සඳහන් විය. මේ වාර්තාවේ ඇතැම් සංඛ්‍යාලේඛන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රතික්ෂේප කර තිබුණද පවතින ආහාර හිඟයේ බරපතළකම එයින් පහව යන්නේ නැත. දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබාදීම සඳහා මවුපියන්ට සිදුවනු ඇත්තේ තමන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරිමටය. මේ තත්ත්වය රටේ දිළිඳු ජන කොටස් අතර මේ වනවිටද දැකිය හැක. නාගරික සහ අර්ධ නාගරික නගරාශ්‍රිතව මේ තත්ත්වය වඩාත් බරපතල වී ඇත්තේ වගාවක් කර ගැනීමට හෝ කිසිදු පහසුකමක් ඉඩකඩක් නොමැති වීම හේතුවෙනි. නමුත් ග්‍රාමීය ප්‍රදේශවල මේ තත්ත්වය වෙනස් විය හැක.

මේ පවතින වාතාවරණය රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ භයානක චිත්‍රයක් මවාපාන බව පැහැදිලිය. මෙහිදී රජයේ වඩාත්ම ප්‍රමුඛත්වය ලබාදිය යුතු කාර්යයක් වන්නේ ආහාර සංචිත ශක්තිමත් කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව වර්ධන කර ගැනීම සඳහාය. තත්ත්වය තවදුරටත් නරක අතට හැරීම වළක්වා නොගතහොත් ආර්ථික වශයෙන් රටේ පහළම මට්ටමේ සිටින පිරිස දරුණු අවදානමකට වැටීම වළක්වා ගත නොහැකි වනු ඇත.

මේ අතර ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ වැඩසටහනක් ජනාධිපති කාර්යාලය මගින් පසුගියදා ආරම්භ කරනු ලැබුවේ මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් විය යුතුය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ ආහාර ගැටලුවට ලබන වසරේදීත් මුහුණදීමට සිදුවනු ඇති බවය. මේ තත්ත්වය වඩාත් උග්‍ර වි තිබෙන්නේ ලෝක ආහාර අර්බුදය නිසා බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි. රටට ආහාර සම්පාදනය කිරීමේ මෙම ඒකාබද්ධ ජාතික සැලැස්ම සාර්ථක කර ගැනීමට අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සියලුදෙනා එකට වැඩකළ යුතු බවද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සියලුදෙනාගේ වගකීම වෙයි. රටට මේ තරම් බරපතළ ආහාර ගැටලුවකට මුහුණ දීමට සිදුවූ ප්‍රධානම හේතුව ලෝක ආහාර අර්බුදය නොවන බවත් එය රටේ ආර්ථික කඩා වැටීමේ එක් ප්‍රධාන ප්‍රතිවිපාකයක් බවත් යන්න සැඟවිය නොහැක. රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමත් සමඟ මෙවැනි සාගත තත්ත්වයකට රට මුහුණ දෙනු ඇති බවට රටේ විද්වතුන් කළ අනතුරු ඇඟවීම කෙරෙහි එවකට සිටි බලධාරීන් කිසිවකුත් යන්තමින් වත් අවධානයක් යොමුකළේ නැත. බොහොමයක් දේශපාලනඥයන් එම කතා මහත් අවතක්සේරුවකට ලක් කරමින් කාබනික පොහොර මගින් මැජික් පෙන්විය හැකි බවට කළ කතාවල රඟ දැන් ඇස් පනාපිට පෙනෙමින් තිබේ. නමුත් දුක් විඳින්නේ දේශපාලකයන් නොවේ. රටේ පොදු මහජනතාවය.

වැරදුණු තැන් අපමණය. එහෙත් ඒ ගැන කතා කිරීමෙන් කුසගිනි නිවෙන්නේ නැත. ඒ සඳහා ප්‍රමාදවී හෝ දැන්වත් ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමුඛත්වය දීම වැදගත් වෙයි. ජනාධිපති කාර්යාලය මගින් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීම ඒ අනුව තැබූ ඉදිරි පියවරකි. එය දිගටම පවත්වාගෙන යමින් ආහාර සුරක්ෂිතතාව නැති වී යනු ඇති බවට පවතින බිය තුරන් වන සේ කටයුතු කළ හැකි නම් එය රටේ සැබෑ ජයග්‍රහණයක් වනු ඇත.

දරුවන්ගේ මන්ද පෝෂණය මැඩ පැවැත්වීමටත් මිලියන 06කට අධික ජනතාවක් කුසගින්නෙන් මුදා ගැනීමටත් වැඩපිළිවෙළක් හැදීම භාරදූර කාර්යයකි. ඊට විදෙස් ආධාර ලැබීම පමණක් මදිය. අපේම සැලසුම් සාර්ථක කර ගැනීම හැර වෙනත් මගක් ඊට නැත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00