2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

එළියට ආපුගමන් හිතුණේ ඇඳුම් ඇතුව හරි නැතුව හරි දුවන්න- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 231

හරි.. මම දැන් කතාව පටන් ගන්න ආමන්ත්‍රණය කරන්න ඕන හිටපු ඇමැතිතුමාද? මන්ත්‍රීතුමාද? රන්ජන් රාමනායක කියලද? රන්ජන් අයියා කියලද?

රන්ජන් අයියා, රන්ජන් සහෝදරයා වගේ ටයිප් එකෙන් කතා කරන්න. අනෙක් ඒවා එපා.

රන්ජන් කියන්නේ කාලා බීලා සැපේ හිටිය නළුවෙක්, සුපර් ස්ටාර්, දේශපාලකයෙක්. එහෙම හිටිය මිනිහා අවුරුදු එකහමාරකටත් වඩා හිරේ හිටියා. කොහොමද ඉවසන් අල්ලන් හිටියේ?

ඉස්සෙල්ලම කියන්නම් ඔයා ප්‍රශ්නයක් අහපුවම ඉස්සෙල්ලම මගේ හිතට එන්නේ ෆේක් නැති, බොරුව නැති පිළිතුරු. මොකද මගේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ එහෙම. ඒක තමා එළියට විසිවෙන්නේ. ඒ නිසා දැන් මගේ ඔළුවේ ඇත්ත උත්තරේ තියෙනවා. ඒත් කියන්න බෑ, ආයේ හිරේ දානවනේ මල්ලි මාව.

කාලා බීලා හිටිය මිනිහෙක් වෙච්ච ඔබ මෙහෙම හිරවුණාම මොකක්ද දැනුණේ?

අනේ මල්ලි.. ඒක මට දරන්න බැරි දෙයක්. දැන් මාව ඇතුළට දැම්මේ දඬුවමක් දීලා, මෙයා මේ එළියේ ඉන්න සුදුසු මිනිහෙක් නෙමෙයි කියලා තීරණය කරපු නිසා. ඒ දඬුවමයි, කූඩු කිරීමයි මට දරන්න බැරි දෙයක්. මම කියන්නේ නෑ මම බෝධිසත්වයෙක් කියලා. හැබැයි අනෙක් දේශපාලකයන්ට වඩා ටිකක් හරි මම හොඳයි. මොකද මම කතා කළේ ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියන අදහස ක්‍රියාත්මක කරමින්. ඒ නිසානේ මල්ලි අනෙක් ගෙවල් ගිනි තියද්දි මට ගෙවල් 9 ක් දුන්නේ මිනිස්සු. ඒ නිසානේ අනෙක් මිනිස්සුන්ට හූ කියද්දි මට අත්පුඩි ගැහුවේ මිනිස්සු. මම වංචා දූෂණ කරලා නෑ මල්ලි. මම හිටියේ දූෂණ වංචා අල්ලන්න. ඉතින් මට වුණේ දූෂණ වංචා අල්ලන්න ගිහින් වැරදුණු එක. මාත් එක්ක හිටිය හැමෝම හිරේ හිටියේ සමාජ විරෝධී වැඩ නිසා. ඒ අය මගෙන් අහද්දි... ඒක කියන්න බෑ මල්ලි, ඒක කිව්වොත් ආයේ හිරේ යන්න වෙනවා.

කලකිරුණා නේද?

අනේ මල්ලි එහෙම වුණේ නෑ කියන්න බෑ, ඒක වුණා. සමහර අය කිව්වා සිංහයෙක් වගේ ඇතුළේ ඉඳලා එන්න කියලා. කූඩු කළාම සිංහයෙක් වගේ ඉන්නේ කොහොමද මල්ලි.

හිරේ ගෙවුණු කාලය සුන්දරද කියලා අහන්න බෑ. කටුකයි කියලා දන්නවා. ඒත් දේශපාලකයෝ ඇතුළට ගියාම කටුක දේ පවා සුන්දර වෙනවා. රන්ජන්ට සුන්දර වුණේ නෑ?

මම දැක්කා මම කිව්ව දේවල්වලට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකතුමා පිළිතුරු සපයලා තිබුණා. දැන් එතුමා කියන විදිහට මම ඉඳලා තියෙන්නේ ෆයිව් ස්ටාර් හෝටලයක මල්ලි. මම කියන්නේ බන්ධනාගාරය තත්ත්වය ගැන මම කිව්වදේත්, චන්දන ඒකනායක මහත්තයා කිව්වදේත් පිළිගන්න එපා කියලා. අපේ මාධ්‍යවේදීන්ට අහඹු පරීක්ෂාවක් දෙන්න කියන්න. අන්න එතකොට තේරෙයි කවුද ඇත්ත කියන්නේ කියලා. ජනතාව කියන්නේ මට ඇත්ත කියන්න කියලා. මම උත්සාහ කරන්නේ මේ හරහා සිරකරුවන්ගේ සුබසාධනය වැඩි කරන්න.

පළවෙනි දවසේ බිම නිදාගත්තා කිව්වේ ඇත්තද?

අනේ මල්ලි තුෂාර උපුල්දෙණිය මහත්තයගෙන් අහන්න. මාව පළවෙනි දවසේ අරන් ගියේ පල්ලන්සේනටනේ නිරෝධායනයට.

රන්ජන්ට අනෙක් දේශපාලකයෝ හිරේ ගියාම වගේ සැප හම්බවුණේ නැද්ද?

නෑ.. මම විපක්ෂයෙනේ මල්ලි. මම ඇතුළට යද්දි ආණ්ඩුව පීක් එකේ තිබුණෙ. ඒක නිසා ඉහළ අය සතුටු කරන්න සමහර ජේලර් මහත්වරු මාව හිංසනයට ලක් කළා.

මම ප්‍රශ්නයක් අහනවා. මම ඔබට මේකට උත්තරයක් ඕන කියලා බල කරන්නේ නෑ. මොකද හේතුව ඔබේ නීතිමය බාධාව නිසා?   

අහන්නකෝ මල්ලි.

ඇත්තද බන්ධනාගාරයේ ඉන්නකොට එක්තරා දේශපාලනඥයෙක් රෑ තිස්සේ බන්ධනාගාරයට කතා කරලා ඔබට දුරකථනය දෙන්න කියලා අසභ්‍ය වචනයෙන් බැන්නා කියන්නේ?

ම්ම්ම්ම්... මොකක්ද මම මේකට කියන්නේ මල්ලි. මට බොරු කියන්න බෑ මල්ලි. 'නෝ කමෙන්ට්ස්' කියලා දාන්න උත්තරේ.

සිරගත වුණාම සාමාන්‍යයෙන් යාළුවෝ මිත්‍රයෝ අඩුවෙනවා. තනිවෙනවා. රන්ජනුත් තනිවුණාද?

මුල් ටිකේ හිටියේ නෑ මල්ලි. මාව ගත්ත ගමන් ටික දවසකට පස්සේ මාව යැව්වේ රාජපක්ෂලගේ බලකොටුවට. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට. එතැනට යවනකොටම හිතුණා ලොකු දෙයක් වෙන්න යන්නෙ කියලා.

බය හිතුණද?

ඔව්.. සමහර අය කිව්වා යන්න එපා කියලා. ඒ බන්ධනාගාරයේ ජේලර්ලා එයාලගෙන් පත්වීම් ගත්ත අය. මම ඉල්ලීමක් කළා යවන්න එපා කියලා. මම වැලිකඩ 12516 අංකය. ඒ නිසා මාව තියන්න කියලා. ඒක අනුමත දෙයක් නෙමෙයි. ඒ නිසා ඉල්ලීම් කළා. ඒත් දුන්නේ නෑ.

මොනවද ලැබුණු බරපතළ දඬුවම්?

මාව දේශපාලන සිරකරුවෙක් හැටියට දාන්න කියලා මම සහ මගේ නීතිඥයන් ඉල්ලීමක් කළා.

ඇයි එහෙම ඉල්ලුවේ?

එහෙම ඉල්ලුවම පහසුකම් හම්බවෙනවා මල්ලි. ඉඳගන්න පුටුවක්, මේසයක්, පෑනක්, පොතක්, පැදුරක් වගේ පහසුකම් දෙනවා. පත්තරේ, ටීවී බලන්නත් දෙනවා. මම ඉල්ලීමක් කළා ඒ පහසුකම් දෙන්න මම උපාධියක් කරන නිසා කියලා. මාව දැම්මේ තනි සෙල් එකකට මගේ ආරක්ෂාව නිසා. ඒත් පහසුකම් නෑ. සමහර දේවල් මම ඉන්න තැන්වලට ආපු කෝල් එක්ක වෙනස් වුණා. මම සරම ඇඳන් හිටියේ. ඒක ගලවලා මට ජම්පරේ ගස්සන්න කිව්වා. බෙලෙක් පිඟානයි, බාල්දියකුයි දුන්නා අතට.

කවුද මඟහැරිය යාළුවෝ?

අනේ නෑ, මම හිරවුණු දවසේ ඉඳලා මගේ දන්න යාළුවෝ ආවා. පල්ලන්සේනට අරන් ගියාම මාව බලන්න ආපු හරීන් ප්‍රනාන්දුව හරවලා යැව්වා. බොරු කියන්න ඕන නෑ පක්ෂයේ අයයි, පිට අයයි මාව බලන්න ආවා. අඟුණකොළපැලැස්සෙදි තමයි හිංසනය පටන් ගත්තේ. ඒ ඇරෙන්න වරදක් නෑ.

මම තවත් ප්‍රශ්නයක් අහන්නම්. ඒකටත් කැමැති නම් උත්තර දෙන්න. නැත්නම් අතහරින්න?

කියන්නකෝ බලන්න මල්ලි.

ඇවන්ගාර්ඩ් නිශ්ශංක සේනාධිපති ඔබට ලබා දුන්න සහාය මොකක්ද?

ඒකටත් නෝ කමෙන්ට්ස් කියලා දාමුද? නෑ නෑ.. එතුමා උදව් කළා මාව එළියට ගන්න.

ඔබ කිව්වා සමහර අය නම් කියන්න එපා කිව්වා කියලා උදව් කළා කියලා. කවුද ඒ අය?

සමහර අය කිව්වා ඔයාව බෙදාගන්න කට්ටිය ට්‍රයි කරනවා කියලා, ඒ හරහා ලකුණු දාගන්න. ඒ නිසා එයාලගේ නම් කියන්න එපා කිව්වා. මොකද මට උදව් කළේ ප්‍රචාරය ලබාගන්න නෙමෙයි කියලා ඒ අය කිව්වා. කියන්න එපා කියලා ඒ අය කිව්වා.

හරීන් සහ මනූෂ විශාල සටනක් කළා නේද ඔබව එළියට ගන්න. සමහර අය කියනවා ඒ අයත් උදව් කළා කියලා. ඇත්තටම කවුද උත්සාහ කළේ ඔබව එළියට ගන්න?

මටවත් තාම තේරුම් ගන්න බෑ ඒක. මොකද මම හිටියේ කිසිම සන්නිවේදනයක් නැතුව ඇතුළේ. මට හැමදේම ලැබුණේ තුන්වැනි පාර්ශ්ව හරහා. ඒ නිසා හරියට දන්නේ නෑ මොකක්ද වුණේ කියලා.

ජනාධිපති සමාව දුන්න නිසා එජාපයට යයි කියලා සමහර අය කියනවා. ඇත්තටම එජාපයට යනවද?

අනේ මට විවිධ යෝජනා තියෙනවා. සමහර අය කියන්නේ ඔක්කොම දාලා සිනමාවට යන්න කියලා. සමහර අය දේශපාලනය කරන්නලු. ස්වාධීනව ඉන්න කියනවා, සජිත් ගාවට යන්නලු, මාලිමාවට යන්නලු. එක එක යෝජනා තියෙනවා. ඒ හැමදේම අධ්‍යයනය කරමින් ඉන්නවා.

රන්ජන් ආවේ හැමෝම යාළුවෝ මල්ලි කියන ක්‍රමය යටතේද?

ඒක අහපු එක ස්තූතියි මල්ලි. මම ජනතාවගෙන් අහන්නේ එක දෙයයි. මම ඒ අයගේ යාළුවෙක් නම් අවුරුද්දයි මාස හතක් හිරේ ඉන්නේ නෑනෙ මල්ලි. නඩු වැටෙන්නෙත් නෑනෙ මල්ලි. ඒ නිසා මම හිරේ ගියා.

නිදහස් වෙලා එන දවසේ කවුද නිදහස් වෙලා එන්නේ කියලා හොයාගන්න බැරි තරම් දේශපාලන යාළුවෝ හිටියා නේද? රන්ජන්ව හොයාගන්න බැරිවුණා?

ඒක ඇත්තනේ.. මොකාද එළියට ආවේ කියලා හොයාගන්න බැරි වුණානේ.

ජනතා ආදරය අඩුවෙලාද වැඩිවෙලාද?

දැන්නම් හොඳටම වැඩියි. පාරේ යද්දි, ගෙදරට එන මිනිස්සු එක්ක ඒක හොඳටම තේරෙනවා. ඒ නිසයි මට දුකක් නැත්තේ.

ගෙවල් නවයක් ලැබුණා නේද?

ඔව් දෙන්නම් කිව්වා.

ඇයි මේ ගෙවල් නවයක් ලැබිලත් ඔය ඉන්න මන්ත්‍රී නිවාසයම තෝරගන්නේ. මොකක්ද රහස?

ඒක හොඳ ප්‍රශ්නයක් (සිනාසෙයි). ඇත්තටම මේ ගෙදර මගේ කාමරේට වඩා ලොකුයි මල්ලි. මේ ගෙදරට පුදුම කැමැත්තක් මට තියෙන්නේ. ජනතාවගේ දුක දැනගන්න ජනතාව වගේම ඉන්න ඕන මල්ලි. එහෙම නැතුව ප්‍රාසාදවලට ඉඳලා වැඩක් නෑ.

දැන් රන්ජන් තෝරගන්නේ සිනමාවද? දේශපාලනයද?

ජනතාවගේ කැමැත්ත මල්ලි. ඔය දෙකෙන් එකක් ප්‍රතික්ෂේප කළොත් මම අයින් වෙනවා.

මේ ප්‍රශ්නය අහන එක සම්බන්ධයෙන් ඔබ අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. ඒත් මේක අහනවා. ඇයි එළියට ආපු ගමන් පන්සල් ගියේ. හැමෝම ඒක ප්‍රශ්න කරනවා?

එක එක ප්‍රෝග්‍රෑම්ස් හදලා තිබුණා මල්ලි එළියට ආපු ගමන්. ඒ නිසා ඒ හැමදේටම සහභාගි වුණා. ඒක මට ආදරේ නිසා කරපු දේවල්නෙ ඒ අය.

ඒක බලපු ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා?

ඇත්තටම මල්ලි මගේ හිතේ තිබුණෙ එළියට පැන්න ගමන් ඇඳුම් ඇතුව හරි නැතුව හරි දුවන්න. මොකද මට ඕන වුණේ එළියට එන්න. ඒ නිදහස විඳින්න. එළියට ආපුවම එක එක තැන්වලට එක්කන් ගියා. ඉතින් කියන කියන තැන මාත් ගියා.

ඔබ හිරේ ඉන්නකොට ජනප්‍රියම නළුවා සම්මානය හම්බවුණා නේද?

ඒකට විරෝධයක් ආවා මාව ගෙන්නන්න එපා කියලා, මම ඒකට යන්න ඉල්ලීමක් කරපු නිසා. මොකද රාජපක්ෂලා ඒකට සහභාගි වෙන්න හිටියේ. ඒ නිසා මස්සිනා ගිහින් ගත්තා.

චිත්‍රපටය බලන්න එළියට පැන්නා නේද?

ඔව්.. ඒක අධ්‍යක්ෂ සුරංගයි, රංගන ශිල්පී ජනිතුයි කළේ. අවස්ථා කිහිපයකදී ඉල්ලීමක් කළා. අන්තිමට දින 50 දි තමයි බලන්න පුළුවන් වුණේ.

මොකක්ද නිදහස් වෙනවා කියලා ආරංචිය ආපු ගමන් හිතුණේ?

මම හැමදාම බලාගෙන හිටියා නිදහස් වෙයි කියලා. සමහර වෙලාවට දොර දිහාත් බලාගෙන හිටියා දැන් එයි කියලා. මොකද එක එක වෙලාවට පණිවිඩ එනවා දැන් නිදහස් වෙනවා කියලා. අන්තිමට එහෙම වුණේ නෑ.

රැවටුණාද සමහර වෙලාවට?

අපෝ ඔව්.. රැවටුණා.

හිරේ මිනිස්සු කොහොමද රන්ජන්ට දුන්න සහාය?

අනේ පුදුම විදිහට උදව් කළා. සමහර වෙලාවට වාට්ටුවේ මගේ ෆිල්ම් එකක් ටීවී එකෙ යද්දි සද්දෙ මට ඇහෙන්න හයියෙන් ඒ අය ටීවි එක දානවා. මොකද මගේ සෙල් එකට ටීවී නැති නිසා. මම ඉතින් අහගෙන හිටියා.

කොහොමද ඉගෙනීමේ වැඩ?

ඕලෙවල් පාස්. ඒලෙවල් පාස්. දැන් ඕපන් යුනිවර්සිටි එකේ ඩිප්ලෝමා එකක් කරනවා. ඉස්සරහට නීතිය කරන්න ගන්නවා. මැරෙනකල් ඉගෙන ගන්නවා. මම ලැජ්ජ නෑ මල්ලි ඉගෙන ගන්න.

දේශපාලනය කරන්නේ කොහොමද? දැන් පුළුවන්ද?

මාව බැඳලා තියන්න බෑ. මට අම්මෙක් තාත්තෙක් නෑ. ඉන්න තැනක් නෑ. මට ඉන්නේ ජනතාව. ජනතාව කියන දේත් එක්ක මම ඉන්නවා. මොකද ඒ අය තමයි මාව උස්සලා තිබ්බෙ මේ තැනින්.

රජයෙන් තනතුරක් දුන්නා විදේශ රැකියා තානාපති තනතුරක්. ඒක බාරගන්නවද?

මෙහෙමයි. මම එම්බසඩර් තමයි. රන්ජන් රාමනායක කියන්නෙම තානාපති කෙනෙක්. තනතුරක් අවශ්‍ය නෑ. හැමදාම මම ජනතාවගේ පැත්තේ ඉන්නෙ. රට ඉන්න මිනිස්සු වෙනුවෙන් තමයි හැමදාම වැඩ කළේ. හැබැයි ස්තූති කරනවා මට තනතුරක් දුන්න එක ගැන මනූෂට. ඒත් තව හිතනවා. හිතලා තීරණයක් ගන්නවා.

I ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00