2022 අගෝස්තු 28 වන ඉරිදා

හොරුත් එක්ක කැබිනට්ටුවෙ ඉන්න පුළුවන්ද?

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 84

 - සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

  • සර්ව පාක්ෂික ආණ්ඩුවට එකඟ පොහොට්ටුව විතරයි
  • තෙල් ගෑස් විදුලිය නැතිඑකට පාරට බැසීම කුමන්ත්‍රණයක්ද?
  • අපෙන් ආණ්ඩුවට යන අයගෙ දේශපාලනය ඉවර වෙනවා
  • පාර්ලිමේන්තු සභාවල සභාපතිකම විපක්ෂයටයි ලැබෙන්න ඕනෑ
  • රනිල් මහත්තයා පොහොට්ටුවෙ සිරකාරයෙක් වෙලා
  • නැවත අරගලයක් එන බව ආණ්ඩුව දන්නවා
  • මේක තමයි ඡන්දයට හොඳම වෙලාව

සර්ව පාක්ෂික ආණ්ඩුවට සජබය එනවා යනවා වගේ හැසිරෙන්නේ. කට්ටියක් යන්නේ නෑ කියනවා. සමහර අය යන්න ඕන වගේ කතා කරනවා. මොකද ඒ?

සජබය පැහැදිලිවම කියලා තියෙනවා ආණ්ඩුවට සම්බන්ධවෙලා කිසිම ඇමැතිකමක් ගන්නේ නෑ කියලා. ඒක අපි කියලා ඉවරයි. අපි සූදානම් ඕනම වෙලාවක විපක්ෂයේ ඉඳලා සහාය දෙන්න. ආණ්ඩුවට ගිහින් බලය ගන්න ඕන නෑනේ වැඩ කරන්න. මම හිතන්නේ විපක්ෂයේ ඉඳලා දෙන සහාය වටිනවා. ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න, යෝජනා කරන්න ආණ්ඩුවේ කැබිනට් එකට රිංගන්න ඕන නෑ.

රට කඩා වැටිලා තියෙනකොට වගකීම් අරගෙන ආණ්ඩු කරන එක වරදක්ද? සර්ව පාක්ෂික ආණ්ඩුවක් මේ වෙලාවේ වැදගත් නැද්ද?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් මේ වෙලාවේ රටට ඕන කියමු. ඒත් රටේ නිවැරදි ක්‍රමවේදයක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවෙයිද? පොහොට්ටුව විතරනේ ඒකට එකඟ. අනෙක් පක්ෂ ආණ්ඩුවට යන්න කැමැති නෑ.

නොයා ඕන දෙයක් කියන්න පුළුවන්නේ. හරි සජබයට යන්න බැරි හේතුව අනෙක් පක්ෂ නොයන නිසාද?

අනේ නෑ. ඇත්තටම හේතුව එතන වැඩ කරන්න පුළුවන් තැනක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ හිරකාරයෙක් වෙලා. එහෙම වුණාම ආණ්ඩුවක් කරන්න සුදුසු තත්ත්වයක් තියෙනවද? මම දැක්කා සමහර මන්ත්‍රීවරු කියනවා අපි පත් කළ ජනාධිපති ඉන්න ඕන අපිට ඕන විදිහට කියලා. එහෙම කියද්දී අපිත් ඒ ආණ්ඩුවට එකතුවෙන එක හරිද? ඒ අය පෙන්නන්නේ ඒ අයගේ බලයනේ. කාලයක් හැංගිලා හිටිය පොහොට්ටුවේ හොරු දැන් දැන් එළියට ඇවිත් මෙහෙම කතා කියන්නේ ඔවුන් මේ ආණ්ඩුව හිර කරගෙන සිටින නිසානේ.

ඒත් විධායක බලතල සහිත ජනාධිපති කෙනෙක්නේ පත්වෙලා ඉන්නේ. එහෙම නටවන්න ලේසි නෑනේ?

ඕන පොඩි එකෙක්ට තේරෙනවා මොකක්ද මේ මහ දවාලේ වෙන්නේ කියලා. මිනිස්සු දැන් මෝඩ නෑ. පොහොට්ටුවේ ඡන්දයෙන් ආපු ජනාධිපතිට කැමැති දේවල් කරන්න ලැබෙන්නේ නෑ. ඒ අය කියන කතාව ඇත්ත. එහෙම කියද්දි අපිත් ගිහින් ඒ හොරු එක්කම එකට හිටියම හරිද? රාජපක්ෂවරු හොරු හොරු කිය කියා ඉඳලා ඒ හොරු ආරක්ෂා කරන්න එකම කැබිනට් එකේ වාඩිවුණාම හරිද?

සජබයේ කට්ටිය හොඳ යූඑන්පී කට්ටියනේ. හොඳ නැද්ද එකතුවෙලා හිටපු නායකයට බලය තහවුරු කරලා, පොහොට්ටුවෙන් හිටපු නායකයා බේරගත්තොත්?

එහෙම එතුමව රකින්න හරි, බලය අල්ලන්න හරි ඕන නම් හිටපු නායකතුමාට කියන්නේ ඡන්දයක් තියන්න කියලා. එතකොට අපි සලකලා බලන්නම්. එහෙම නැතුව පොහොට්ටුවේ කට්ටිය එක්ක එකතුවෙලා පොහොට්ටුව රකින වැඩවලට අපි නෑ.

ඡන්දයකට යන්න පුළුවන් වෙලාවක්ද මේක?   

ඇත්තටම මේ හොඳම වෙලාව. ජනතාව ඡන්දයක් ඉල්ලනවා. මොකද ජනමතය ආණ්ඩුවට විරුද්ධයි. ජනමතය අරගලය හරහා ආවේ ආණ්ඩුව එපා කියලා. එහෙම ආණ්ඩුවක් තවම බලහත්කාරයෙන් රුඳී සිටීම ජනමතයට පිටුපෑමක්. ඒ නිසා හොඳම දේ ඡන්දයකට යන එක.

මේ ආණ්ඩුව පත්වුණෙත් බහුතර කැමැත්ත මත. නිල කාලය තව තියෙනවා. ඊට කලින් යන්නම කියලා එකක් නෑනේ?

මේ අපි නෙමෙයි ආණ්ඩුවට යන්න කියන්නේ, ජනතාව. ජනතාව තමා අපිට බලය දුන්නේ. මිනිස්සු පාරට ඇවිත් කිව්වේ ආණ්ඩුවට යන්න කියලා. ඒ ගිය අයම වෙන විදිහකින් ආයේ ආණ්ඩුව ඇතුළේ. සමහර අය ආණ්ඩුවට එන්න ඉන්නවා. ඒවා හරිද?මිනිස්සු අරගල කළේ මේවටද?

ඊළඟ ඡන්දයට එජාපය සහ සජබය එකතු වෙන්න තීරණය කරලද තියෙන්නේ?

ඒක ගැන තවම තීරණයක් නෑ. අනාගතයේ බලමු. ඒත් මම දැක්කා මාධ්‍යවල නම් යනවා පොහොට්ටුව එජාපය එකතු වෙන්න යනවා කියලා. මට හිතාගන්න බෑ එහෙම වුණොත් ඔ‍ය ඉන්න ඡන්ද දායකයෝ ටික කොහොමද පොහොට්ටුවෙ අයට කලිසමක් ඇඳන් වැඩ කරන්නේ කියලා. එජාපයට වැඩිම මඩ ගැහුවේ පොහොට්ටුව. අර හොරා මේ හොරා කිව්වේ පොහොට්ටුව. ඒ අය එක්ක කොහොමද එකට ඡන්දය ඉල්ලන්නේ.

අපිට නම් ආරංචියි සජබයේ සමහර අය කකුල් උස්සගෙන ඉන්නේ කියලා ආණ්ඩුවට යන්න. එහෙම වුණොත් සජබයට මොකද වෙන්නේ?

එහෙම යන අය නම් අපේ නෑ. එහෙම යන්න හිතේ කොණක හරි තියෙනවා නම් මම කියන්නේ ඒ අයගේ දේශපාලන ජීවිතය සදාකාලිකව අවසන්. මොකද ජනතාව ප්‍රතික්ෂේප කරපු අය එක්ක එකතුවෙලා, තනතුරු අරගෙන ඉන්නකොට ජනතාව අනාගතයේ එයාලව තියන්න ඕන තැන තීරණය කරයි.

ඒ අය එකතු වෙන්නේ රටේ අනාගතය වෙනුවෙන් කිව්වොත්. මොකද මේ වෙලාව රටට අමාරු මොහොතක්?

එහෙම යන්න නම් ආණ්ඩුවට සුජාතභාවයකුත්, වැඩපිළිවෙළකුත් ඕන. ඒ කිසිම දෙයක් මේ ආණ්ඩුවට නෑ. එහෙම මෙලෝ දෙයක් නැති ආණ්ඩුවක් එක්ක රට හදන්න යන්න පිස්සු නෑ. අද වෙනකල් මේ ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම කිව්වද? නෑනේ. මේක තම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හදපු ආණ්ඩුවක්.

සජබයේ සමහර අය තනි තනිවම ජනාධිපතිව හම්බවෙනවා කියන්නේ ඇත්තද?

ඇත්තටම ඒ ගැන මම කියන්න දන්නේ නෑ.

ඔබ ගිහින් එහෙම හම්බවුණේ නැද්ද?

නෑ. පක්ෂයේ තීන්දුව අරන් ඉවරනේ. එහෙම හමුවෙන්න ඕන නෑ. එහෙම හමුවෙන්න යන්නේ පෞද්ගලික අරමුණු වෙනුවෙන්.

ගිය සතියේ සජිත් ප්‍රේමදාස මහත්තයත්, රංජිත් මද්දුමබණ්ඩාරත් ජනාධිපතිවරයා හමුවුණානේ?

ඔව් ඒක නිල හමුවීමක්. පක්ෂයේ අය දැනුවත්ව ගිහින් අපේ අවසන් ස්ථාවරය දැනුවත් කළා. එහෙම නැතුව හොරෙන් ගිහින් හම්බවුණා නෙමෙයි. අපි අපේ ස්ථාවරය පැහැදිලි කරලා ආවා.

ඔබලා මේ වෙද්දී සියලු පාර්ලිමේන්තු කාරක සභාවල සභාපති ධුර ඉල්ලලා නේද තියෙන්නේ?

පාර්ලිමේන්තු කාරක සභාවල ක්‍රමය තමයි එහි සභාපතිත්වය විපක්ෂයට ලැබෙන්න ඕන. ඒක විශේෂ දෙයක් නෙමෙයි. ඒක අලුත් දෙයක් නෙමෙයි.

ඒත් ආණ්ඩුවෙන් කියන්නේ මෙවර සභාපතිවරුන්ට කැබිනට් බලතල ලැබෙනවා කියලා. ඒ නිසා ඒකත් නරකම නෑ නේද?

මෙහෙමයි. අපි ගන්නේ බලතල නෙමෙයි, වගකීම්. ආණ්ඩුවේ සහ අමාත්‍යංශවල හොඳ සොයා බැලීමක් කරන්න අපි ඒ තනතුරු ගන්නේ. ඒක විපක්ෂයේ කාර්යභාරය.

රන්ජන් රාමනායක දැන් එළියට එන්න ඉන්නේ. ආවොත් කොහේ නවතීද?

එතුමගේ දේශපාලන ක්‍රියාකාරකම නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. එතුමා මේ වෙලාවේ නිදහස් වෙන එක. එතුමා නිදහස් වුණු වහාම හිටගන්නේ හොරුන්ට විරුද්ධ පිලේ. එතුමගේ සටන තියෙන්නේ දූෂණයට අල්ලසට එරෙහිව. ඒ මෙහෙයුම අපි මේ වෙද්දි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා එතුමගේ සක්‍රීය දායකත්වය අපිට වැදගත්.

මේ වෙද්දී අරගලේ බොහෝ අය අත්අඩංගුවට ගන්නවා. මේ සම්බන්ධයෙන් අදහස මොකක්ද?

මේ ආණ්ඩුවට තවත් ඉදිරියට යන්න බෑ. මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ක්‍රමයක් අද ආණ්ඩුවට නෑ. ඒ නිසා නැවත අරගලයක් නිර්මාණය වෙනවා කියන එක ඒ අයට දැනෙනවා. ඒ නිර්මාණය වෙන එක නවත්වන්න ඒ අයට අවශ්‍යයි. ඒ නිසයි මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී මර්දනය ක්‍රියාත්මක කරන්නේ.

අරගලකරුවෝ ත්‍රස්තවාදීන් ලෙස ආණ්ඩුවේ බොහෝ අය හඳුන්වන්නේ?

අපි හිටගන්නේ හරි අරගලකරුවන් එක්ක. ඒ අය ත්‍රස්තවාදීන් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා පවා බලයට ආවේ මේ අරගලය  නිසා. ඒත් ඒක එතුමට අමතකයි. ඒ නිසයි අපි හරි අරගලකරුවන් එක්ක හිටගන්නේ. ඒ අය වැරදි නම් අපි ඒ අය එක්ක නෑ.

ඒ වුණාට මේ වෙද්දි අරගලය සම්පූර්ණයෙන් වැරදි රාජ්‍ය විරෝධි වැඩක් බවට පත් කරන්න දැන් යන්නේ?

අරගලකරුවන් වැරදි නෑ. ඒ අය ගෙනාපු යෝජනා සාධනීයයි. ඒ වගේම ඒ අය ඉල්ලුවේ මේ රාජපක්ෂ පවුල් බලය එපා කියලා. ඒවා අපිත් කියන ඒවා. ඒ නිසා අරගලය ඉතාම හරි විදිහට සිද්ධ වුණේ. අරගලයේ නොයෙක් අය ඉන්න ඇති. හැබැයි අරගලයේ සමස්ත ක්‍රියාදාමය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නෙමෙයි. තෙල්, ගෑස්, විදුලිය නැති එකට පාරට බහින එක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නෙමෙයි.

ජනාධිපතිවරයා පවා චෝදනා කරනවනේ?

මෙහෙමයි. රනිල්  වික්‍රමසිංහ මහත්තයත් මේ අරගලයේ ආරම්භක ක්‍රියාකරුවෙක්. ඔහු අරගලයට සහාය දැක්වුවා. ඒත් ඇතැම් ක්‍රියා අරගලය හරහා සිදුවුණා. ඒවා අනුමත කරන්නේ නෑ. ජනාධිපතිගේ පෞද්ගලික නිවෙස ගිනි තිබ්බ එක අනුමත කරන්නේ නෑ. ඒත් ජනාධිපති නිල නිවෙසේ පුටුවක වාඩිවුණා කියලා අල්ලගෙන යන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙමෙයි. ඒවා මේ පොහොට්ටුවේ අයගේ පළිගැනීම්. මම කියන්නේ ඒ වගේ දේවල් අල්ලගෙන අරගලකරුවන් මර්දනය කරන්න යනවා නම් වැරදියි. මේ තරුණ පරපුර මම හිතන්නේ නෑ නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති කරන්න උදව් කරනවා කියලා. මොකද ඒ අය අහලා දැකලා ඇති අතීතය ගැන. සැබෑ අරගලය සාමකාමී නිදහස් අරගලයක්.

දැන් ඉදිරි සතියේ අතුරු අයවැයක් එනවා. ඒකට සහාය දෙනවද?

ඒක අපි තවම දැක්කේ නෑ. අපි පක්ෂයක් හැටියට සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. ජනතාව වෙනුවෙන් හොඳ දෙයක් වෙනවා නම් සහාය දෙන්න බැරිකමක් නෑ. එහෙම නැතුව පෞද්ගලික ප්‍රශ්න විසඳගන්න අයවැයක් එනවා නම් ඒකට එකඟ නෑ.

ඒ වගේම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එනවා. ඒ සඳහා සහාය මොන වගේද? 

ඒ ගැන අපි බලන්න ඕන. පෞද්ගලික තීරණ තියෙනවා නම් ඒ කිසිම දේකට සහාය දක්වන්නේ නෑ. ඇතැම් වගන්ති එක එක අයගේ වාසියට නම් අපි ඒවට එකඟ නෑ. කොහොම වුණත් ඒ ගැන බලලා, පක්ෂය එකතුවෙලා සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.

අපි දැක්කා ආණ්ඩුවේ සමහර අය කියනවා ගෝඨාභය මහත්තයා නැවත පාර්ලිමේන්තුවට ගන්නවා කියලා?

මෙහෙමයි. මම හිතන්නේ නෑ එතුමා නැවතත් ඒ පක්ෂයේ සමහර අයගේ ලණු කයි කියලා. ඒ වගේම එතුමගේ පවුලේ අයවත් කැමැති වෙන එකක් නෑ. අනික මම හිතන්නේ එතුමා තමන්ගේ අයියා කරපු දේ කරන එකක් නෑ. හොඳම දේ එතුමා මේ සියල්ලෙන් ඈත්වෙලා ඉන්න එක.

එතුමට දේශපාලනය කරන්න අයිතියක් නැද්ද?

තියෙනවා. ඒත් ඒක එතුමගේ පෞද්ගලික තීරණයක්. එතුමා තේරුම් ගන්න ඕන ජනමතයට මොකද වුණේ කියලා. ඒ නිසා කියන දේ කරන්න ගිහින් ආයේ අමාරුවේ වැටෙන්න නරකයි.

සජබයටත් වැරදුණානේ?

ඇයි?

නෑ ඉතින් ගෝඨාභය මහත්තයා කිව්ව වෙලාවේ බලය ගත්තා නම් අද ජනාධිපති සජිත් ප්‍රේමදාස නේ?

ජනමතයට පිටුපාලා බලය අවශ්‍ය නෑ. අපි යෝජනා ගෙනාවෙත් ජනමතයට අනුව. ඒකට එකඟ වුණේ නෑ. ඒ නිසා අපි අත්හැරියා. ඔබ කියන්නේ ජනමතයට පිටුපාලා බලය ගන්න කියලද? ඒවායේ ප්‍රතිඵල නරකයි.

අවසාන වශයෙන් අහන්නේ දැන් බලය අල්ලන්න ප්ලෑන් එකක් නැද්ද සජබයට?

ප්ලෑන් තියෙනවා. ඒත් මේ වෙලාවේ ජනමතයට පිටින් බලය එපා. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඡන්දයකට යන්න. ඒක ජනතාව තීන්දු කරයි. ඒ වගේම පත්වෙන ආණ්ඩුවට ජනතාව, ජාත්‍යන්තරය සහාය දෙයි. එහෙම නැතුව අටවගත්ත ආණ්ඩුවකින් මේ ප්‍රශ්න විසඳන්න බෑ. රබර් බෝලේ වතුර යට හංගන්න බෑ වගේ කොයි මොහොතක හරි ඒක උඩ එනවා. ඒ නිසා ප්‍රශ්නය අවසන් නෑ.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00