2022 අගෝස්තු 14 වන ඉරිදා

පාඩු ලබන රාජ්‍ය ආයතන කුමටද?

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 142

පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ආණ්ඩුව ඉදිරියේදී පියවර ගනු ඇති බවට මත පළවෙමින් තිබේ. ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ එවැනි ආයතන 40ක් පමණ පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බවය. එය නිසි ආකාරයට සිදුවන්නේ නම් එම යෝජනාවට සහාය ලබා දීමට තම පක්ෂය ද සූදානම් බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

පාඩු ලබන රාජ්‍ය ආයතන රටේ ආර්ථිකයට මහා හෙණපතයක් වී තිබුණත් ඒවාට අත තැබීමට මෙතෙක් බලයට පත් කිසිම රජයක් කිසිදු සාධනීය පියවරක් ගත්තේ නැත. එවැනි පියවරක් ගැනීම දේශපාලන වශයෙන් ''හරා කිරි'' කර ගැනීමක් බවට මතයක් තිබූ බැවිනි. ඇතැම් ආණ්ඩු මේ වැනි ආයතන තමන්ගේ දේශපාලන ගජමිතුරන්ට ලක්ෂ ගණනින් වැටුප් ලැබිය හැකි තනතුරු ලබා දීමටත් තමන්ට සහාය දැක්වූ පාක්ෂිකයන්ට රුකියා ලබාදීමටත් යොදාගත්තේ කිසිම හිරිකිතයක් නැතිවය. ඒ සමඟ එකී ආයතන භාර අමාත්‍යවරයා සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම ආයතන හරහා කෝටි ගණනින් මුදල් ගරාගත හැකි ජාවාරම් ද සිදු කර තිබූ බවද වරින් වර හෙළිදරව් විය. අමාත්‍යවරුන්ගේ, නිලධාරීන්ගේ සහ ඔවුන් විසින් පත් කරන ලද එම ආයතන පාලකයන්ගේ කඳ බඩ මහත් වී සාක්කු සහ බැංකු ගිණුම් හොරාකෑ මුදලින් පිරී යද්දී එම ආයතන දිගටම පවත්වාගෙන යාමේ බර කඩා වැටුණේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ කර මතටය. පාඩු ලබන රාජ්‍ය ආයතන නිලධාරීන් සහ සේවකයන් බෝනස් පවා ලබාගත්තේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. මේ සත්‍යය දැන දැනත් දිගින් දිගටම එවැනි ආයතන පවත්වාගෙන යාම සඳහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව අයවැය හරහා බිලියන ගණනින් මුදල් පොම්ප කිරීමේ ආදීනව දැන් මුළු රටම විඳිමින් සිටී. අඩුම තරමින් දැන්වත් මේ වැරැද්ද හරිගස්සා ගැනීමට නිසි පියවර ගත යුතුය.

මෙවැනි ආයතන සම්බන්ධයෙන් පවතින දේශපාලන සම්ප්‍රදායට එරෙහි වන තීන්දු ගැනීම අවශ්‍ය දේශපාලන ධෛර්යය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබෙන බවට සැකයක් නැත. පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා ලාබ ලබන තත්ත්වයට පත් කළ යුතු බවට වන අදහස ඒ මහතා අතීතයේ පටන් දැරූ අදහසක් විය. 2015 දී වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් බිහිවූ යහපාලනය යටතේ අධික වශයෙන් පාඩු ලබමින් තිබූ ශ්‍රීලංකන් සමාගම පෞද්ගලීකරණය කළ යුතු බවට ගෙන ආ යෝජනාව එයට හොඳම උදාහරණයකි. ඒ වනවිට වාර්ෂිකව රුපියල් කෝටි 600කට අධික මුදලක් එම ආයතනය පවත්වාගෙන යාම සඳහා රජය මගින් වැය කර තිබිණි. රටේ බදු ගෙවන ජනතාව මෙවැනි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා තම මුදල් වැය කළ යුත්තේ මන්දැයි එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය. එහෙත් එම කාල වකවානුව තුළදීද ශ්‍රීලංකන් ආයතනය වෙනස් කරගත නොහැකි විය. එහි අධික ණය බර දැරීමට කිසිදු ආයෝජකයකු එකඟ නොවීමත් දේශපාලන වශයෙන් ඒකමතිකව තීන්දු ගැනීමට තිබූ අපහසුතාවත් නිසා එම යෝජනාව යට ගියේය. එහි අනෙක් අර්ථය 2015 සිට මේ දක්වා ගතවූ වසර 07 තුළ පමණක් ආසන්නව රුපියල් කෝටි 4200කට අධික මුදලක් මකර කටට ගොස් තිබෙන බවය. මෙය මොන තරම් අපරාධයක්ද? රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා යොදාවාගත හැකිව තිබූ මුදල් මේ ආකාරයට කාබාසිනියා කර දැමීම මහා පාපයකි. දැන්වත් මේ තත්ත්වය වෙනස් කිරීමට පියවර ගත යුතු බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත.

ජනාධිපතිවරයා තම මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු ගත යුතු බව ඍජුවට ප්‍රකාශ කර තිබිණි. එම ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කරගත නොහැකි නම් ඒවා පෞද්ගලික අංශයට විකුණා දැමීම හෝ පෞද්ගලික අංශය සමඟ හවුලේ පවත්වාගෙන යන ව්‍යාපාර බවට හෝ පත් කිරීමෙන් තොරව රටට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මගක් නැත. ආර්ථිකය පණගන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන ආණ්ඩුව පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔවුන් දරණ ආකල්පය කොන්දේසියක් වශයෙන් ඉදිරිපත් වන බව හොඳින්ම දැන සිටී. කල් තබාම ඒ සඳහා පියවර ගැනීම වඩාත් සුදුසු බව ආණ්ඩුව තීරණය කර තිබෙන බවක් ද පෙනී යයි.

කෙසේ වුවද මෙය පහසු කාර්යයක් නොවන බවද පැවසිය යුතුය. මේ ආයතනවල සේවය කරන සියලු නිලධාරීන්ගේත් සේවකයන්ගේත් රුකියා සුරක්ෂිත විය යුතුය. එසේම පාඩු ලබන රාජ්‍ය ආයතන අත යට ගනුදෙනු හරහා ආණ්ඩුවේ ගජමිතුරන්ට ලබා දීමෙන් අපේක්ෂිත අරමුණ ඉටු නොවන බවද එසේ සිදු කිරීම මහා දූෂිත ගනුදෙනු බවට පත්විය හැකි බවද පෙන්වා දිය යුතුය.

මෙම තීන්දුව රටේ යහපත සඳහා ගනු ලබන බැවින් පාඩු ලබන රාජ්‍ය ආයතන සේවකයන්ද මේ අවස්ථාවේදී කිසියම් කැපකිරීමක් කළ යුතු වෙයි. විදුලිබල මණ්ඩලයේ සේවකයන් ආයතනය ස්ථාවර වනතුරු බෝනස් ලබාගැනීමෙන් වැළකිය යුතු බවට වන තීරණය එවැනි කැපකිරීමකි. එසේම රටේ දේශපාලන පක්ෂ අතර ද මේ සම්බන්ධයෙන් අවබෝධයක් සහ එකඟතාවක් තිබීමද අවශ්‍යය. රට ගොඩගැනීමට නම් මෙවැනි ඉතා කටුක අමිහිරි තීන්දු ගත යුතුය.