2022 අගෝස්තු 14 වන ඉරිදා

මේ මාසෙ අන්තිමේ සර්ව පාක්ෂික ආණ්ඩුව හදනවා

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 80

- කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර

  • රට හදන මල් වට්ටියට අතගහන්න කියලයි හැමෝටම අපි කියන්නේ
  • අගමැතිකම ගන්න කියලා සජිත් මහත්තයාගෙන් අපි වැඳලා ඉල්ලුවා
  • ක්‍රමයේ වෙනසකට අරගලයෙන් සොඳුරු ආරම්භයක් ලැබුණා
  • සර් ''ෆේල්'' සර්ට බෑ කියලා සටන පටන් ගත්තේ අපි දෙන්නා
  • සජබෙන් ලොකු පිරිසක් එන්න සූදානම්
  • ප්‍රතික්ෂේප වුණු මිනිස්සු එක්ක අපිට ගමනක් නෑ
  • ''සිස්ටම් චේන්ජ්'' එකක් වෙනුවෙන් අපි වැඩ කරනවා
     

ඔබලා ආණ්ඩුවට සහාය දැක්වීමේ ප්‍රධාන අරමුණුවලින් එකක් තමයි මේ සර්ව පාක්ෂික ආණ්ඩුව. ඒත් මේක වෙන පාටක් නෑ. ඇදි ඇදී යනවා. ඇත්තටම ඒක වෙන්නේ නැද්ද?

අපි අපිට පුළුවන් ආරාධනා, බැගෑපත්වීම්, ආයාචනා සියල්ල පක්ෂ වෙනුවෙන් කරලා තියෙන්නේ. මේ වෙද්දී කතා කරපු බොහොමයක් පක්ෂ ඊට එකඟවෙලා තියෙනවා. කොන්දේසි ඉදිරිපත් කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන් සාකච්ඡා පවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කොහොම වුණත් එන සතිය වෙද්දී මේ හැමෝගෙම යෝජනාවලින් පොදු එකඟතාවයක් හදලා සර්ව පාක්ෂික ආණ්ඩුවට කැමතිද නැද්ද කියලා එන අයගෙන් විමසනවා. ඒ අයගෙන් එන්න කැමති පක්ෂ, පුද්ගලයෝ සමඟ ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවනවා.

ඒ කියන්නේ මේ මාසය අන්තිමේ ආණ්ඩුව බිහිවෙනවා?

අනිවාර්යයෙන්ම.

මේ රටේ විරුද්ධ පක්ෂය සමගි ජන බලවේගය. ඔවුන්ගේ මතය සම්බන්ධයෙන් තවම නිශ්චිත අදහසක් නෑ. ඇත්තටම ඔබේ පක්ෂයේ කැමැත්ත කොහොමද සර්ව පාක්ෂික ආණ්ඩුවට?

පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු පිරිසක් ඉන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදිය යුතුයි කියන මතයේ. මොකද ඒ අය හිතනවා මේ ප්‍රශ්නය විසඳන්න පක්ෂ පාට පැත්තකින් තියලා ආණ්ඩුව සමඟ එකට වැඩ කරන්න ඕන කියලා. ඒ නිසා මම හිතනවා ඒ අයගේ මතවාදය පක්ෂ අභ්‍යන්තරයෙදී ජයග්‍රහණය කරයි කියලා. ඒ වගේම ඒ අතර ඉන්නවා පෞද්ගලික මතවාද දරලා පක්ෂයේ තනතුරු තානාන්තර වෙනුවෙන් පක්ෂයත් රටත් උගසට තබන කණ්ඩායමක්. කොහොම වුණත් බලමු ඒ කණ්ඩායමද අනෙක් කණ්ඩායමද දිනන්නේ කියලා. එහෙම නොවුණොත් පුද්ගලයෝ වශයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නත් පිරිස ඉඳීවි.

ඔබ හිතන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවට සජබයෙන් කී දෙනෙක් විතර වාඩිවෙයිද?

අපි නම් කැමති සර්ව පාක්ෂික ආණ්ඩුවට සමගි ජන බලවේගය පක්ෂයම එකතුවෙන එකට. එහෙම එකතු නොවෙනවා නම් තමයි පුද්ගලයෝ වශයෙන් තීන්දු ගන්න වෙන්නේ.

පුද්ගලයෝ වශයෙන් කී දෙනෙක් කැමැත්ත දීලා තියෙනවද ඔබලට සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා එකතු වෙන්න?

ජනාධිපතිවරයා තෝරන ඡන්දය වෙලාවේ නම් අපි කිව්වේ පොඩි ගාණයි. හැබැයි සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න නම් ඊට වඩා වැඩි බහුතර සංඛ්‍යාවක් ඉන්නවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා මේ ගැටලුව විසඳන්න ඔක්කොම එකතුවෙලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්න ඕන කියලා. හැබැයි දැන් ඒ වැඩේ නොවුණොත් කියන්න පුළුවන් නේද රට ගොඩදාන්න බැරිවුණේ පාර්ලිමේන්තුව එකතු නොවීම නිසා කියලත්?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවොත් මෙරට වගේම ජාත්‍යන්තරවත් පිළිගැනීම වැඩියි. ඒ මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වුණා කියලා. කොහොම වුණත් මේ ප්‍රශ්නයට හැමෝම දැන් මුහුණ දෙනවා. ඒක කළේ කවුද කින්ද මන්ද කියලා ආයේ ආයේ හෝද හෝදා මඩේ දාලා කියන්න අවශ්‍ය නෑ. මේ වැඩේ කළේ කවුද කියලා දන්නවා. ඒ ප්‍රශ්නය ඉවර කරමින් රට ඉස්සරහට යන්න නම් හැමෝම එකතු වෙන්න  ඕන. ඒ නිසා අපි කියන්නෙ හැමෝටම මේ මල් වට්ටියට අත ගහන්න කියලා. අපි කියන්නේ කට්ටිය එකතුවෙලා කෙටිකාලීනව දැනට තියෙන ප්‍රශ්න ටික විසඳගමු කියලා. එහෙම නොවෙනවා නම් අපි මේක අතහරින්නේ නෑ. අපිට පුළුවන් උපරිමයෙන් කැපවෙලා මේ රට හදනවා. ඒත් මම නම් කියන්නේ හැමෝම මේකට එකතු වෙන්න කියලා.

අද වර්තමාන ජනාධිපතිවරයා රජ වෙන්න මේ හැමදේටම වඩා අරගලය බලපෑවා කියන එක පිළිගන්නවද?

මේ රටේ මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න තමයි අරගලයෙන් සටහන් කළේ. තරුණයන්ගේ හීනවලට වෙච්ච දේ, මේ රටේ මධ්‍යම පාන්තිකයට වෙච්ච දේ, මේ රටේ ව්‍යාපාරිකයන්ට වෙච්ච දේ, ජීවන අර්බුදය, පීඩනය තමයි අරගලයෙන් ආවේ. ඒ අරගලයෙන් මතුවුණේ ක්‍රමයේ වෙනසක් සහ ප්‍රතිපත්තිමය වෙනසක්. ඒක සොඳුරු විදිහට ආරම්භ වුණා. අන්න ඒ වෙනස්වීමේ ප්‍රතිඵලය තමයි අද වෙද්දී මේ රටේ ඇතිවෙලා තියෙන්නේ.

අරගලකරුවන් කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න නෙමෙයි අපි අරගල කළේ කියලා?

අරගලකරුවන්ට නායකයා කරන්න එහෙම පුද්ගල නාම තිබුණෙ නෑ. තිබුණත් ඒ සීමිත කණ්ඩායම්වලට පමණයි. ඒත් ඒ අය කිව්වෙත් නෑ මෙන්න මේ අය ජනාධිපති කරන්න කියලා. කවුරුත් නමක් කිව්වේ නෑ. පැහැදිලි අරමුණ තමයි මේ ආර්ථික අවුල විසඳීම. ඒත් සමඟ ආපු පීඩනය හමුවේ රාජපක්ෂවරුන්ට ගෙදර යන්න වුණා. ඊට පස්සේ කවුද ගන්නේ කියන අදහසක් තිබුණෙ නෑ. නමුත් රටේ ප්‍රධාන විපක්ෂ නායකවරයට බාරගන්න කිව්වම බාරගත්තේ නෑ. පාර්ලිමේන්තුවේ තුන්දෙනෙක් ඉන්න කණ්ඩායමට ආරාධනා කළා. ඒ වගේම සරත් ෆොන්සේකා වගේ අයටත් අඬගැහුවා. කවුරුත් ඒක බාරගත්තේ නෑ. අවසානයේ තනි මන්ත්‍රී පුද්ගලයට කළ ආරාධනයට අනුව ඒක බාරගත්තා. ඒ වෙලාවේ තිබුණු ආර්ථික තත්තවය එක්ක ඒ අභියෝගය බාරගත්ත එක ලොකු අභියෝගයක්. දැන් එතුමා පත්වෙලා ඉන්න නිසා එතුමා එක්ක එකතුවෙලා මේ රට හදන වැඩපිළිවෙළට සහය දක්වන්න ඕන හැමෝම.

ඔබලා උදව් කළේ රනිල් වික්‍රමසිංහට. සජබය උදව් කළේ ඩලස් අලහප්පෙරුමට. ඇයි ඒ වෙලාවෙත් නායකයට පිටුපෑවේ?

මැයි 9 වැනිදා අගමැති ඉවත් වුණාම අගමැතිකම ගන්න කියලා අපි වැඳලා සජිත් ප්‍රේමදාස මහත්තයගෙන් ඉල්ලුවා. ඒ ක්ෂේරුකාව නෑ කියලා දැනෙනකොට ජනතාව ගැන කැක්කුමක් නැතිවෙනකොට අපිට සිද්ධවුණා ජනතාව ගැන හිතලා තීරණයක් ගන්න. එහෙම තීරණ ගත්ත අපිට මේ වෙලාවේ ආයේ හිතන්න දෙයක් නෑ. ඒ නිසා අපි අපේ තීරණය ගත්තා. හැබැයි අපි ගත්ත තීරණය නිසා රට කොතැනද තියෙන්නේ, මොකද වෙන්නේ කියලා ජනතාව දැන් කතා කරනවා.

මනුෂ - හරීන්ගේ නායකයා කවුද දැන්?

අපේ පක්ෂයේ නායකයා නම් සජිත් ප්‍රේමදාස මහත්තයා. හැබැයි ඉතින් අපේ රටේ නායකයා හා රටම ගරු කරන නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.

හැබැයි ආයේ හරීන්ටයි මනූෂටයි සජබයට යන්න බෑ. යන්න වෙන්නේ එජාපයට නේද?

දැනට අපි නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය. ඒත් අපි අනාගතයේ සූදානම් වෙන්නේ පුළුල් විදිහට දේශපාලනය කරන්න.

හැබැයි ඔබයි හරීනුයි දෙන්නම කියනවා ආයේ ඡන්දයක් නම් ඉල්ලන්න පුළුවන් වෙයිද දන්නේ නෑ කියලා. ඒ කියන්නේ යන්න බෑනේ සමාජයට?

නෑ. අපි තීන්දුව ගන්න වෙලාවේ තමයි කිව්වේ තවත් ඉදිරියේදී ඡන්දයක් ඉල්ලන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ කියලා. එහෙම අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගෙන නෙමෙයි අපි ආවේ. අපි ගත්ත තීන්දුව එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයට ආණ්ඩුව කරගෙන යන්න බැරි වුණා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉවත් වුණේ නැත්නම් අපි මොනවා කරන්නද? අපි ඒ වගේ බයක හිටියේ. මොකද තත්ත්වය විශ්වාස නෑනේ.

දැන් ඉල්ලන්න පුළුවන්ද?

මම මෙහෙම කියන්නම්. අපි කරන දේවල් එක්ක මේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරනවාමයි. ඒක අනාගතයේ හැමෝටම බලාගන්න පුළුවන්.

අපිට ආරංචියක් තියෙනවා ඔබලා දෙන්නා නාමල් රාජපක්ෂ විසින් ආරම්භ කරන තරුණ පක්ෂයකට එකතු වෙන්න යනවා කියලා. ඒක ඇත්තද?

අනේ මම නම් මොනම හේතුවක් නිසාවත් ඔය කියන අය එක්ක එකඟතාවයක් නෑ. එහෙම සාකච්ඡාවක් තියෙනවද දන්නෙත් නෑ. මට තියෙන්නේ අපි දරන ධනවාදී වෙළෙඳ ආර්ථිකය වෙනුවෙන් කටයුතු කරන එක. ඒකත් එක්ක, රටේ මිනිස්සු එක්ක අනාගතයේ දේශපාලනය කරනවා මිසක් රටේ ප්‍රතික්ෂේප වුණු මිනිස්සු එක්ක මට නම් දේශපාලන ගමනක් නැ.

ඔබලා ආණ්ඩුව හදලා තියෙන්නේ රාජපක්ෂවරුන්ට ලැබුණු ජනතා ඡන්දයේ බහුතරයත් එක්ක. ඒ නිසා බහුතර අයිතිය ඔවුන්ට. මේ ආණ්ඩුව හසුරුවන්නෙත් තවම රාජපක්ෂලා නේද?

පොදුජන පක්ෂයේ සියලු දෙනාම ප්‍රතික්ෂේප වුණු මිනිස්සු නෙමෙයි. උගත් බුද්ධිමත් අය ඉන්නවා. දැනට ඒ අය එක්ක ආණ්ඩුවක් කරනවා. ඒත් අනාගතයේ අපේ ගමනට ගැලපෙන නිවැරදි දේශපාලන මතවාදය එක්ක අපි එකතු වෙනවා. අපි නැවත නොගැලපෙන තැන් තෝරගන්නේ නෑ.

ඔබ ඔය ඇත්තමද කියන්නේ? රාජපක්ෂලා මේ ආණ්ඩුව පාලනය කරන්නේ නැද්ද?

නෑ. එහෙම කිසිම ආකාරයක  හැකියාවක් නෑ. මේ වෙලාවේ හැමෝම එකතුවෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ක්‍රමවේදයට අනුකූලව කටයුතු කරනවා ඇරෙන්න කාගෙවත් කීම්වලට, නූල්වලට නැටවෙන අය නෑ. එහෙම නූල් අදින්න එනවා නම්, එවැනි න්‍යාය පත්‍ර එනවා නම් ඊට එරෙහිව අපි කතා කරනවා.

මේ වෙද්දී අරගලකරුවන් දඩයම් කිරීම අරඹලා කියලා චෝදනාවක් තියෙනවා. ඒ මැයි 9 රටපුරා වෙච්ච සිදුවීමට අදාළව ගන්න පළිගැනීමක් කියලයි අරගලකරුවෝ කියන්නේ. ඇයි එහෙම කරන්නේ?

ජනවාරි 9 සිද්ධියත්, පසුගියදා ඇතිවුණු සිදුවීමටත් හරි පිළිතුර පසුගියදා ජනාධිපතිවරයා සිදු කළ රාජාසන කතාවත් එක්ක අරන් බැලුවොත් උත්තර හොයාගන්න ලේසියි. මැයි 9 දෙපාර්ශ්වයටම දඬුවම් කරනවා. ඒ වගේම පසුගියදා රාජ්‍ය දේපළ අල්ලලා විනාශ කළ අයටත් දඬුවම් දෙන්න ඕන. එහෙම නැතුව සාමාකාමී අරගල කරලා, හිතාමතා කටයුතු නොකළ ස්වාධීන අරගලකරුවන්ට එහෙම කරදරයක් වෙන්නේ නෑ. වැරදි වැඩ කරපු අයට දඬුවමක් දෙන්න ඕනෑ. මොකද රටේ නීතිය රුකගන්න. ඒත් සුළු සුළු වැරදි කරපු අයට සමාවක් දෙන්න අපි කටයුතු කරනවා.

පොලීසිය යම් වැරැද්දක් කරනවා නම්, වැරදි විදිහට වද හිංසා දෙනවා නම් ඒ අයට විරුද්ධව ඔබලා දෙන දඬුවම මොකක්ද?

පොලීසිය පලිගැනීම් කරන්නේ නෑ. ඒ අය කරන්නේ තමන්ගේ රාජකාරිය. ඒ අය කරන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්. හැබැයි ඒ අය වුණත් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නෑ. හිරකිරීම් පහරදීම් වගේ සිදුවීම් වාර්තා වෙලා නෑ. ඒ නිසා අපි හැමවෙලේම උත්සාහ ගන්නේ සාමකාමී අරගලකරුවන් රුකගනිමින් කුමන්ත්‍රණකාරී පිරිස් පරද්දන්න. කොහොම වුණත් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමක් නෑ. කරන දේ කරන්නේ මේ වැරුද්ද නැවත නැවත සිද්ධ නොවෙන්න. ඒත් ගෙවල් ගිනි තිබුණු අයට, දේපළ විනාශ කරපු අයට, මිනී මරපු අයට දඬුවම් දෙනවා දෙපැත්තෙම අයට.

ඒත් ජනාධිපති පුටුවේ වාඩි වුණා කියලත් අරගෙන යනවනේ?

ඒවාට නම් දඬුවම් දෙන්නේ නෑ. සමතයකට පත්වෙලා සමාව දෙයි. ඒවා පොඩි පොඩි දේවල්.

අද ඔබලා දෙන්නා ආණ්ඩුවේ හිටියට ඔබලා තමයි ඉස්සෙල්ලම ජනාධිපති ලේකම් කාර්යාලය වට කළේ?

ඔව් ඒක ඇත්ත. මේවා නිල වශයෙන් පටන්ගත්ත අරගලයක් නෙමෙයි. ඒත් සර් ''ෆේල්'', සර්ට බෑ කියලා සටන පටන් ගත්තේ අපි දෙන්නා. පක්ෂයේ නායකයා පවා ලේකම් කාර්යාලය ගාවට යන්න බෑ කියද්දී මිනිස්සුන්ට ඒ බය නැතිවෙන්න කර්යාලය වට කළේ අපි දෙන්නා. පඹයෝ පුච්චලා, මිනීපෙට්ටි දාලා ගෝඨා ගෝ හෝම් කිව්වේ අපි. ඒත් අපි සාමාකාමී අරගලයක් කළේ. ඒ ආදරයේ අරගලයට අපි දුන්න නායකත්වය ගැන සතුටු වෙනවා.

ඔබලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?

අපි සමාකාමී උද්ඝෝෂණයක් කළේ. අපි ඒක රුක්කා. කිසිම දේපළක් හානි කළේ නෑ. මේ අරගලයේ වුණත් එහෙම අය හිටියා. ඒක නෑ කියන්නේ නෑ. මම කිව්වේ ඒකයි හැමෝම ප්‍රචණ්ඩත්වයෙන් හැසිරුණේ නෑ.

කවද්ද මේ අරගලකරුවන්ගේ අදහස්වලට මතවාදයට ඉඩ දෙන්නේ?

අපි අරගල භූමිය එක්ක ඉතාම ළඟින් ක්‍රියාත්මක වුණා. ඒ අය එක්ක අපි දැනටමත් සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ අයව අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට ඉදිරියේදී එකතු කර ගන්නවා. සර්ව පාක්ෂික ආණ්ඩුවේ කොටසක් වෙන්නේ අරගලකරුවන්. ඔවුන් ගෙන ආ සාධනීය යෝජනා තමයි අපි ක්‍රියාත්මක කරන්න ඕන. මොකද ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්. අන්න ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ වෙනුවෙන් අපි අඩිය තියනවා ඉදිරියට.

 ගයාන් ගාල්ලගේ 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00