2022 අගෝස්තු 07 වන ඉරිදා

ජේ.ආර්- ගෝඨාභය සහ රනිල්

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 394

ජේ.ආර්. ජයවර්ධන 1977 බලයට පත්වුණේ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් හයෙන් පහක ආසන සංඛ්‍යාවක් දිනා ගනිමිනි. එවකට බලයේ සිටි සිරිමාවෝගේ ආණ්ඩුව ආසන 08කට බැස්සේය. විපක්ෂ නායකකමත් ගියේ උතුරු නැගෙනහිර පළාත්වලින් ආසන 16ක් දිනාගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමීර්තලිංගම්ටය.

මේ ඡන්දය දිනා වසරක් ගතවෙන විට ජේ.ආර්. තමන්ට තිබූ පාර්ලිමේන්තු බලය උපයෝගී කර ගනිමින් රටට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේය. මේ බලතලවලට කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියකු කිරීමටත් පිරිමියෙක් ගැහැනියක කිරීමටත් පමණක් බව ජේ.ආර්. කිව්වේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බල පරාක්‍රමය ගැන ජනතාව තුළට ප්‍රබල මතයක් කාන්දු කරවමිනි.

විධායක බලතල සහ ජේ.ආර්. ගේ ක්‍රමය යූ.එන්.පියේ මැති ඇමැතින්ලාටත් පොදුවේ ආණ්ඩුව බලයට ගෙන ආ පාක්ෂිකයන් ඇතුළු සෙසු සියලු දෙනාටත් හොඳට අල්ලා ගියේය. ඒ එක්කම එතෙක් රටේ පැවතුණු අසාර්ථක සංවෘත ආර්ථික ක්‍රමයෙන් මිදී විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේය. ඒ සඳහා තිබෙන නීති වෙනස් කිරීමට වඩා ජේ.ආර්. කළේ අලුතින් නීති හඳුන්වා දීමය. නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීම සඳහා හඳුන්වා දුන් මහ කොළඹ ආර්ථික කොමිසම එයට එක් උදාහරණයකි. පැරණි යල් පැනගිය ක්‍රමය යටතේ තිබුණු වෘත්තීය සමිති මගින් රටේ ආර්ථිකය පාලනය කිරීමේ ක්‍රමයට එයින් තිත තැබිණි. ඒ වෙනුවට රටේ ආර්ථිකයේ පාලනය පැවරුණේ හාම්පුතුන්ටය. හැබැයි ඒ සමඟ වෙළෙඳ කලාප සේවකයන්ගේ වැටුප්, වරප්‍රසාද ඇතුළු අයිතිවාසිකම් රුකදීම සඳහා ක්‍රමානුකූලව නීති රීති හඳුන්වා දීමටද පියවර ගැනිණි. වැඩවර්ජන, කඩාකප්පල් ක්‍රියා සඳහා කිසිදු අවස්ථාවක් දුන්නේ නැත. රටේ ආර්ථිකයට ඒ සමඟ ලැබුණු තල්ලුව නිසාත් විවෘත ආර්ථික ක්‍රමය යටතේ දේශපාලන පන්දම් නැතුව ව්‍යාපාර ඇරඹීමටත් පෞද්ගලික අංශයට බැඳී රැකියාවක් කිරීමටත් අවස්ථාව උදා විය. ඒ සමඟ පිටරට රුකියා සඳහා ද දොරටු විවෘත වීමෙන් එකවර දහස් ගණනකට රට යාමේ වරමද උදා විය. මේ නිසා ජේ.ආර්. ගේ පාලනයේ මුල් අවුරුදු කිහිපය රට සංවර්ධනය අතින් විශාල වෙනසකට ලක් විය. ඒ සමඟ කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ පංච මහා ජලාශ ගොඩනැගුණු අතර ඒ සඳහා විදෙස් ආධාර ලැබුණි. වෙළෙඳ කලාපය හරහා විදෙස් ආයෝජන ද රටට ගලා ආවේය. 

හැබැයි ජේ.ආර්. එක දෙයක් අමතක කළේය. ඒ තමන්ගේ ධනවාදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිවලට එකඟ නොවන පිරිස් දිනාගැනීම සඳහා වැඩපිළිවෙළක් ඇති කිරීමය. එහි ප්‍රතිඵල ඔහුගේ පාලනයේ දෙවැනි අදියරේදී පැහැදිලි විය. ඒ සමඟ උතුරේ ඇවිලෙමින් තිබූ ත්‍රස්තවාදය යුද්ධයක් කරා වර්ධනය වනවිට ඉන්දියාවේ බලපෑම් අමතක කර අමෙරිකාව ඇතුළු බටහිරට නැඹුරු වීමද ජේ.ආර්. වරද්දාගත් තැනකි.

ජේ.ආර්. මුලින් විධායක ජනාධිපති වුණේ පාර්ලිමේන්තුවේ බලයෙනි. ඒ සඳහා ඔහුට සහාය වුණේ යූ.එන්.පී. ඡන්දයෙන් බලයට පත්වූ මන්ත්‍රීවරුන්ය. ඔහු දෙවැනි වර බලයට පත්වුණේ 1982 දී පැවති ලංකාවේ පළමු ජනාධිපතිවරණයෙනි. එම ජනාධිපතිවරණයේදී ලක්ෂ 09කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ජේ.ආර්. විධායක ජනාධිපති ධුරයේ දෙවැනි වාරය ඇරඹුවේය. එම ජයෙන් උදම් වී සිටි ජේ.ආර්. ගේ මැති ඇමැතිලාත් ඔවුන්ගේ වටේ සිටි හෙංචයියලාත් කිව්වේ මහ මැතිවරණයකට නොයා ජනමත විචාරණයක් තබා පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය රුකගත යුතු බවය. රට ඇතුළේ පවතින සැබෑ තත්ත්වය ගැන නිසි අවබෝධයකින් තොරව ජේ.ආර්. ප්‍රජාතන්ත්‍රවාදී නොවන එම ඉල්ලීමට ඉඩ දුන්නේය. ඒකෙන් වුණේ තමන්ගේ දේශපාලනයට විරුද්ධ වූ පිරිසට පාර්ලිමේන්තුවට ඇවිත් එම විරෝධය දැක්වීමට තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව අවහිර කර දැමීමය. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් නොලැබුණු විට කැලේ පැන්න රුඩිකල් තරුණ පිරිස ජවිපෙ වටා රොක් වී ආයුධ සන්නද්ධ අරගලයක් ඇරඹුවේය. ඔවුන් හංවඩු ගසනු ලැබුවේ ත්‍රස්තවාදීන් වශයෙනි. ඉන්පසු සිදු වූ දේ අතීතයට එක්වී හමාරය.

ඒ එක්කම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි උතුරු නැගෙනහිර ද්‍රවිඩ මන්ත්‍රීලා ද උතුරේ පණ ගසමින් තිබූ ජාතිවාදී අරගලයේ තරුණයන්ගේ කටහඬ බවට පත්වෙමින් සිටියෝය. ජේ.ආර්. මේ තත්ත්වය ද වැරදියට වටහා ගත්තේය. ද්‍රවිඩ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවකට යනවාට වඩා ඔවුන් තමන්ගේ පාලනයට නතුකර ගැනීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේය. එයට විරෝධය පා ද්‍රවිඩ මන්ත්‍රී පිරිස පාර්ලිමේන්තු දේශපාලනය අවසන් කළෝය. ඉන්දියාව එහිදී පෙන්වා දුන් කරුණු පිළිගැනීමටද ජේ.ආර්. මැලි විය. වසර 30කට ආසන්න කාලයක් ඇදී ගිය රට විනාශ කළ යුද්ධය ඒ සමඟ ආරම්භ විය.

හයෙන් පහක බලයකින් පාර්ලිමේන්තුවට පැමිණ වැඩි ඡන්ද ලක්ෂ 09කින් දෙවැනි වර ජනාධිපතිවරණයට පත්වූ ජේ.ආර්. ගේ පාලනය අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වුණේ මේ විදියට උතුරේත් දකුණේත් ත්‍රස්තවාදී, ෆැසිස්ට්වාදී ම්ලේච්ඡ යුද ගිනි දැල් මැදිනි. අන්තිමට විධායක බලතල සීමා වුණේ ජේ.ආර්. ගේ ගෙදර බිත්ති හතරට පමණි. ජනතාවගේ ඡන්දයෙන් බලයට ආවත් ජනතා හඬට කන් නොදීමේ ප්‍රතිඵල ලැබෙන්නේ එහෙමය.

ගෝඨාභය රාජපක්ෂ 2019 දී ජනාධිපති වෙන්නේ ලක්ෂ 13කට අධික වැඩි ඡන්දයක් ඇතිව ලක්ෂ 69කගේ ඡන්ද ලබාගනිමිනි. ඔහු බලයට පැමිණ ඒ වනවිට බලතල කපා තිබූ විධායක ජනාධිපති ධුරයේ බලතල වැඩිකර ගත්තේ තමන් බලයට පත් කළ පිරිසගේ පවා බලවත් විරෝධය මැදය. එය තනිකරම තම පවුලේ බලපෑමෙන් ගත් තකතීරු තීන්දුවක් විය. අඩුම තරමින් විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් ජේ.ආර්. ගේ යූ.එන්.පියේ අනුගාමිකයන් පවා පසු කාලයකදී 19 සංශෝධන ගෙනැවිත් එම බලතල කපා දැම්මේ ඇයිදැයි සෙවීමට පවා ගෝඨාභය උනන්දු වුණේ නැත.

ගෝඨාභය විශාල බලතල ඇතුව මහ මැතිවරණයට ගොස් ආසන 145ක් ගත්තේය. ඊට පසු තුනෙන් දෙක දක්වා පාර්ලිමේන්තු බලය ප්‍රසාරණය විය. ජේ.ආර්. ආසන හයෙන් පහක් මුලින් දිනාගෙන පසුව මහජන ඡන්දයෙන් ජනාධිපති විය. එය එකම සිද්ධිය පැති මාරුවක් පමණක් විය.

ලක්ෂ 69ක් ජනතාවගේ ඡන්දයෙන් බලයට ආවත් ගෝඨාභයට තම පාලනය ගෙන යා හැකි වූයේ යන්තම් අවුරුදු දෙකහමාරක් පමණි. ඔහුට ජනාධිපති ධුරය පමණක් නොව ඉන්න හිටින්න රටක් ද නැති විය. ලක්ෂ 69ක ඡන්දත් තුනෙන් දෙකක බලයක් ඇති පාර්ලිමේන්තුවකුත් අතේ තිබුණත් රටේ ජනතාවට අවශ්‍ය පාලනය කුමක්ද යන්න ගෝඨාභය තේරුම් ගත්තේ නැත. ඔහුට ඒ බවක් තේරුම් කර දීමට ඔහුගේ පවුලේ උදවියට හෝ ඔහුගේ වටේ සිටි උපදේශකයන්ට හෝ හැකි වුණේත් නැත.විධායක බලතල අතේ තබාගෙන රට පාලනය කළ ජේ.ආර්. ට වෙච්ච දේ ගැන යන්තම් හෝ අවබෝධයක් තිබුණා නම් ගෝඨාභයට මේ දේ වෙන්නේ නැත. ජනතාවගේ අවශ්‍යතා ඉටු නොවන්නේ නම් ඡන්ද පිළිබඳ සංඛ්‍යාලේඛන හිස් කොළයක් පමණක් වන බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත. හැබැයි ජේ.ආර්. ට ධුර කාල දෙක අවසන් කිරීමට සිදු වුණේ ත්‍රස්තවාදයත් ෆැසිස්ට්වාදී ම්ලේච්ඡ යුද්ධයකුත් සමඟිනි. නමුත් ගෝඨාභයට යන්න වුණේ ගොවීන්ගෙන් ඇරඹුණු උද්ඝෝෂණ සහ විරෝධතා පසුව නිර්පාක්ෂික සටන්කාමී ජන අරගලයක් දක්වා වර්ධන වීම නිසාය. මේ අරගලයට පසුව විවිධ කලහකාරීන් සහ අන්තවාදී අදහස් තිබෙන පිරිස් ද කුඩුකාරයන් සහ ගංජාකාරයන් ද එකතු වූ බවත් ඇත්තය. එහෙත් ගෝඨාභයට යන්න වුණේ රටේ අති මහත් බහුතරයකට ඔහු එපාවීම නිසා බවට වන යථාර්ථය අමතක කළ නොහැක.

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති ධුරයට පත්වෙන්නේ මේ පසුබිමේය. ඔහු මීට කලින් වාර්තා තබා තිබුණේ 06 වාරයක් ලංකාවේ අගමැති වීමෙනි. ඊළඟට ජනාධිපති ධුරයට පත්වෙන්නේ ද වාර්තාවක් තබමිනි. ඒ එකද පාර්ලිමේන්තු අසුනක් හෝ දිනාගත නොහැකිව යූ.එන්.පියට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණ රටේ විධායක ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙනි. මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරුන්ගේ සහාය මතින් තම පාලනය ගෙන යා යුතු වෙයි. නමුත් රටේ ජනතාවගේ විරෝධය එල්ල වූයේ ගෝඨාභය රාජපක්ෂගේ පාලනයට එරෙහිව පමණක් නොව පොහොට්ටු ආණ්ඩුවේම පාලනයටය. මේ නිසා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ මන දොළ සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමට ගියොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තම පාලනය ඉදිරියට ගෙන යාමේදී විරෝධය එල්ල වීමට තිබෙන ඉඩකඩ වැඩිය.

ඒ කෙසේ වුවද ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශයේදී බොහෝ සුබවාදී දේ සඳහන් කිරීම තුළින් පෙනෙන්නේ ඔහු රටේ පවතින යථාර්ථය පිළිබඳව මනා අවබෝධයකින් සිටින බවය. රටේ ප්‍රධානම අර්බුදය වන ආර්ථිකය යළි පණ ගැන්වීම සඳහා වන රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනා ඉතා ධනාත්මකය. ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති කාලානුරූපව වෙනස් නොකිරීම හේතුවෙන් රටට සිදු වුණේ අයහපතක් බව ඔහු පෙන්වා දුන්නේය. එසේම රටට හිතකර ආයෝජන රට විකිණීමක් වශයෙන් හඳුන්වා දීමේ අවාසියත් ආර්ථිකයට විශාල බරක් වී තිබෙන පාඩු ලබන රාජ්‍ය ආයතන පිළිබඳ තීරණ ගැනීමට කාලය පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේ වසර 45ක් තිස්සේ පාර්ලිමේන්තුව තුළ රැඳෙමින් තමන්ට ලැබුණු අත්දැකීම් සහ පළපුරුදුකම් මත පිහිටා විය යුතුය. රට ඉදිරියට ගෙන යාමට පොහොට්ටුව පමණක් නොව සර්ව පාක්ෂික එකමුතුවක් අවශ්‍ය බවට ඔහු දරණ අදහසත් එය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමත් ඔහු රටේ ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගනිමින් ක්‍රියා කරන බව පෙන්නුම් කිරීමකි.

එසේ වුණත් අරගලයට සම්බන්ධ වූ කලහකාරීන් නොවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වා දීමත් ඒ සඳහා දැඩි පියවර ගැනීමට මග පාදන හදිසි නීතිය සම්මත කර ගැනීමත් ජනතා අභිලාෂයන්ට පටහැණිය. ප්‍රචණ්ඩකාරී සිදුවීම්, කලහකාරීන් සහ රජයේ කාර්යාලවලට කඩා පැන ඒවාට හිතාමතා හානි කිරීම්වල යෙදුණු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කවුරුත් විරුද්ධ වන්නේ නැත. නමුත් අරගලය ආරම්භ වූයේ ගෝඨාභයගේ පාලන කාලය තුළදී ගන්නා ලද අමනෝඥ තීන්දුත් ඔහු ගෙන ගිය ඉතා දුර්වල පාලනයත් හේතුවෙන් බව අමතක නොකළ යුතුය. මහ පාරේ උද්ඝෝෂණ, විරෝධතා, පොලීසියේ බැරියර් කඩාගෙන යාම එවැනි අරගලයකදී සිදුවන දේය. ඒවාට සහභාගි වූ සියලු දෙනා ත්‍රස්තවාදීන් වශයෙන් හංවඩු ගැසීමත් අරගලයේ නායකයන් අත්අඩංගුවට ගැනීමත් ජනතාවගේ පිළිගැනීමට හේතු වන්නේ නැත. ඒවා ලිබරල් මත දරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැඩිව පෙනී සිටින රනිල් වික්‍රමසිංහ වැනි නායකයකුට ගැලපෙන්නේ ද නැත.
අද රනිල් වික්‍රමසිංහ මහතා රටේ ව්‍යවස්ථානුකූලව විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වී සිටින්නේ මහජනතාව විසින් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් නොව මහජනතාව විසින් කරන ලද අරගලයේ ප්‍රතිඵලය හැටියටය. අරගලය අසාර්ථක වී නම් අදත් ජනාධිපති ධුරය දරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. මේ යථාර්ථය අමතක කර කටයුතු කිරීමට වික්‍රමසිංහ මහතාට හැකියාවක් නැත.

ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න පිළිබඳ ගැඹුරු අවබෝධයකින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන්ගේ අණසකට තවමත් යටත්ව තිබෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නැලවීම පසෙකට දමා තම පාලනය ගෙන ගියොත් ඔහුට 2024 නොවැම්බර් දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන බව පැහැදිලිය. එසේ නොවී ජේ.ආර්. සහ ගෝඨාභය මෙන් පවතින යථාර්ථය අමතක කර වැරදි පාරේ ගියොත් ඔහුත් අමාරුවේය. රටත් අමාරුවේය.

ශශීන්ද්‍