2022 ජුලි 31 වන ඉරිදා

මෙහෙමත් මන්ත්‍රීවරු

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 163

පසුගිය 20 වැනිදා බදාදා පාර්ලිමේන්තුවේ ඓතිහාසික රහස් ඡන්දයක් පැවැත්වුණේ නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම වෙනුවෙනි. එය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම එකවර සභා ගර්භයට පැමිණ සිටි දුර්ලභ අවස්ථාවක් ද විය. කථානායකවරයා ද ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමි වූ අතර අහිලා ඉලංකෙයි ටැමිල් කොංග්‍රස් (ඒ.අයි.ටී.සී.) මන්ත්‍රීවරුන් දෙදෙනා පමණක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

සෑම මන්ත්‍රීවරයකුටම නමින් ආමන්ත්‍රණය කිරීමෙන් ඡන්දය දීම සිදු කිරීම හේතුවෙන් ඡන්දය ලබාදීමේ කාර්යයට පැය 02කට ආසන්න කාලයක් ගත විය. ඒ අතරවාරයේ සුවිශේෂ අවස්ථා කිහිපයක් ද ඉස්මතු විය.

මෙම ඡන්දයේදී ප්‍රධාන මැතිවරණ නිලධාරී වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා පැහැදිලිව ලබා දුන් උපදෙසක් වූයේ ජංගම දුරකතන රුගෙන ඡන්දය ලබා දෙන ස්ථානයට පැමිණීමෙන් වැළකිය යුතු බවය. ඒ සඳහා අවසර නොදෙන බව ඔහු සඳහන් කළේය. නමුත් අඩුම තරමින් එක් මන්ත්‍රීවරයෙක් එම උපදෙස් නොතකා ජංගම දුරකථනය ද රුගෙන ඡන්දය ලබා දීමට පැමිණි අවස්ථාවේ එම දුරකථනය නිලධාරීන්ගේ භාරයට ගනු ලැබීය. තවත් මන්ත්‍රීවරයකු එම නිලධාරීන් හමුවේ උස් හඬින් ප්‍රකාශ කළේ ''මේ පාර්ලිමේන්තුවේ ඩොක්ටර්ස්ලා ගොඩක් ඉන්නවා'' යනුවෙනි. තවත් මන්ත්‍රීවරයකු විමසුවේ තමන් ඡන්ද පත්‍රිකාව සලකුණු කළ යුත්තේ ''පෑනකින්ද පැන්සලකින්ද'' යනුවෙනි. නිලධාරීන් ප්‍රකාශ කළේ එම දෙකින් ඕනෑම එකක් භාවිත කළ හැකි බවය. මේ අය තමයි මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට එන්නේ!

අනුර කුමාරට තුවක්කු ප්‍රශ්නයක්

මෙම ඡන්දය ඓතිහාසික වීමට තවත් හේතුවක් වූයේ තම පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මගින් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා රටේ ඉහළම ධුරයට තෝරාපත් කරගනු ලැබීම හේතුවෙනි. එදින පාර්ලිමේන්තු සභා ගැබට පිවිසෙමින් සිටි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා හදිසියේ මුණගැසුණේය. ජවිපෙ නායකයා මැයි මාසයේ සිටම දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතා විවේචනයට ලක් කළේ ඔහුට එම ධුරය දැරීමට මහජන වරමක් නොමැති බව සඳහන් කරමිනි.

දෙදෙනා මුණගැසුණු අවස්ථාවේ වික්‍රමසිංහ මහතා අනුර කුමාර මහතාගෙන් විමසුවේ අනපේක්ෂිත ප්‍රශ්නයකි. 

''කොහේද අර තුවක්කු දෙක තියෙන්නේ?''

මේ ප්‍රශ්නයෙන් විමතියට පත් වූ දිසානායක මහතාට රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේ තමන් ඇසුවේ පාර්ලිමේන්තුව අසලදී මෑතකදී පැවති විරෝධයේදී හමුදා නිලධාරීන්ගෙන් පැහැරගනු ලැබූ තුවක්කු සම්බන්ධයෙන් බවය.
ජවිපෙ නායකයා දැඩි පිළිතුරක් දෙමින් ''ඒක අහගන්න ඒවා ගත්තු අයගෙන්'' යැයි ප්‍රකාශ කළේය.

වික්‍රමසිංහ මහතා සභා ගර්භයට පිවිසුණේ ''කොහොම වුණත් ඉක්මනට ඒවා හමුදාවට බාර දෙන්න'' යැයි කියමිනි.

හරීන් - වජිර තිරය පිටුපස

වැඩි ඡන්ද 52 ක් ලබමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ මේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී තිරයෙන් පිටුපස සිටිමින් විශාල කාර්යභාරයක් ඉටු කළේ යූ.එන්.පී. සභාපති වජිර අබේවර්ධන සහ සජබෙන් ඉවත් වී අමාත්‍ය ධුරයක් ලබාගෙන සිටි හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ය. හරීන් සජබ හිටපු උප සභාපතිවරයාය.

හරීන් ඡන්ද විමසීම නිම වී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ සජබ තම හිතවත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය වික්‍රමසිංහ මහතාට ලබා දීමට තමන් දැඩි වෙහෙසක් දැරූ බවය. හරීන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතාට එක්වී අමාත්‍ය ධුර ලබාගත් මනුෂ නානායක්කාර මහතා ද දින ගණනාවක් තිස්සේ සජබ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පවත්වා තිබිණි. ''මම ඊයේ රූ එක ඩිංගක් ඇහැ පියාගත්තේ නැහැ'' යැයි හරීන් එක් මාධ්‍යවේදියකුට පවසා තිබිණි.

මේ අතර යූ.එන්.පී. සභාපති වජිර අබේවර්ධන මහතා ද එම සතිය පුරාම අවිවේකීව කටයුතු කරමින් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා දීමට පියවර ගත්තේය. ඔහු සමඟ වැඩ කළ කණ්ඩායමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ද අයත්ව සිටි අතර ඔවුන් සියලු දෙනා වජිර අබේවර්ධන මහතාගේ නිවෙසේ රුස්වී අවශ්‍ය සංවිධාන කටයුතු මෙහෙයවූ අතර රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 140 ක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කර තිබිණි.

වජිර අබේවර්ධන මහතා සජබ සියලුම මන්ත්‍රීවරුන්ට පාහේ දුරකථනයෙන් කතා කර රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී ජනාධිපති ධුරයට පත්කර ගැනීමේ වැදගත්කම පැහැදිලි කර දී තිබිණි. ඒ සමඟ එම මන්ත්‍රී සියලු දෙනාටම ඊමේල් සහ වට්ස්ඇප් පණිවුඩ යැව්වේය. ඒවායේ අඩංගුව තිබුණේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඩී.බී. විජේතුංග මහතා 1993 මැයි 07 වැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති ධුරයට නිතරගයෙන් තෝරාපත් කරගනු ලැබූ අවස්ථාවේ ඒ පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක සිටි තම මන්ත්‍රීවරුන් පිරිසකට කරුණු වටහා දීමය.

වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ලබා ජනාධිපති ධුරයට තෝරා පත්කර ගැනීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කිරීම ඔහුට සාධාරණය ඉටු කිරීමකි.

බැසිල් - නාමල් මෙහෙයුම

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරනු ලැබීමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මෙහෙයුම දියත් කළේ බැසිල් රාජපක්ෂ මහතාය. ඒ සඳහා නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටි අතර මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දී ඔවුන් තුළ විශ්වාසය ඇති කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ද සම්බන්ධ විය.

බැසිල් රාජපක්ෂ මහතා වැඩේට බැස්සේ පොහොට්ටු මන්ත්‍රීන්ගේ ලිපිගොනු සියල්ල ළඟ තබා ගනිමිනි. ඒ සියලු දෙනා පෞද්ගලිකව කැමැති - අකැමැති දේ පිළිබඳ මනා වැටහීමක් බැසිල්ට තිබිණි. ඒ ආරංචි මාර්ගයක් ප්‍රකාශ කළේ ''ඒක එක් එක් මන්ත්‍රීවරයාට සුදුසු විදියට සිදු කළ පෞද්ගලික ආමන්ත්‍රණයක්. ඒක නියමෙට වැඩ කළා'' යනුවෙනි.

නාමල් රාජපක්ෂ මහතා ද සියලු මන්ත්‍රීවරුන් පෞද්ගලිකව හමුවී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දෙන ලෙසට ඔවුන් උනන්දු කළේය. වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව එම බදාදා රාත්‍රියේ නාමල් එකී ජයග්‍රහණය සැමරීම සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

දිනේෂ් ගුණවර්ධන මහතා එම සතියේ සිකුරාදා (22) අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ ද නාමල් රාජපක්ෂ මහතා අමුත්තෙක් වශයෙන් සහභාගි වී සිටියේය. ඉන් පසුව දිව්රුම් දුන් අමාත්‍ය මණ්ඩලයේ හරීන් සහ මනුෂ හැරුණු විට සෙසු සියලු දෙනා පොහොට්ටුව නියෝජනය කළ හිටපු ඇමැතිවරුමය. වඩාත් පුළුල් අන්තර්වාර ආණ්ඩුවක් බිහිවන තුරු පවතින ආණ්ඩුව රාජපක්ෂවරුන්ගේ අණසක යටතේ ක්‍රියාත්මක වන බව එයින් පැහැදිලිය. බැසිල් රාජපක්ෂ මහතා පක්ෂය තුළ තම තත්ත්වය වඩාත් ශක්තිමත් කර ගැනීමට ද සමත් වී සිටියි.

- සන්ඩේ ටයිම්ස්