2022 ජුලි 31 වන ඉරිදා

හිනාවෙන සමාජයක් !

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 07:59 43

ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියේ නිතරම සිනහවෙන් මුව සරසාගෙන සිටින ජාතියක් හැටියටය. ලංකාව සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්වීමේත් ලොවේ හොඳම සංචාරකයන්ගේ ගමනාන්තය බවට පත්වීමේත් එක රහසක් වූයේ ශ්‍රී ලාංකිකයන්ගේ සිනහවය.

අද එම සිනහව ශ්‍රී ලාංකිකයන්ගේ මුහුණුවල නැත. සිනහව හොරු අරගෙන ගියාක් වැනිය. යන්තමින් හෝ සිනා ැල්ලක් දකින්න හැකි වුණේ ලංකාවට ක්‍රිකට් ජයක් හිමි වූ අවස්ථාවලදී පමණි. සිනහව වෙනුවට ශ්‍රී ලාංකිකයන්ගේ මුහුණුවල ඇත්තේ අවිනිශ්චිත බියකින් පෙළෙන තත්ත්වයකි. අනාරක්ෂිත හැඟීමකි. ඒ අතර තෙල් පෝලිම්වල සිටින ජනතාව අතර පවතින්නේ ආවේගකාරී හැඟීම්ය. පොඩ්ඩ එහෙ මෙහෙ වුණොත් ගහමරා ගැනීම් දක්වාම ඒවා ව්‍යාප්ත වන අවස්ථා ද තිබේ.

මීට වසර කිහිපයකට පෙර අතට ලැබෙන ආදායමෙන් ඇඟට දැනෙන සේ කා බී දරුවන්ට ද කන්න බොන්න දී ඔවුන්ගේ අධ්‍යාපනයට ද උදව් උපකාර කළ මවුපියෝ අද සුසුම්ලති. කෑමවේල් තුනක් කන්නට හැකියාව ඇති පිරිස ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතී. අතිරේක ආහාරයක් ගැන හිතන්නවත් ඉඩක් නැත. ආහාර මිල ඒ තරම් ඉහළය. බෙහෙත් වර්ගවල මිල ගණන් ද එහෙමය.

රටට මේ තත්ත්වය උදා වූයේ ක්‍රමානුකූලව බව පැවසීම අර්ධ සත්‍යයකි. මීට පෙරද ආර්ථික අර්බුදවල ලකුණු පහළ වූ අවස්ථා තිබිණි. එවැනි අවස්ථාවලදී බලයේ සිටි ආණ්ඩු පැලැස්තර විසඳුම් ලබා දී හෝ එම තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කළේය. බැරිම අවස්ථාවලදී ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උදව් උපකාර ලබාගැනීමට ද ආණ්ඩු ක්‍රියා කළේය. හැබැයි මේ කිසිම ආණ්ඩුවක් රටේ මහජනතාවගේ ජීවිත මේ තරම් අසීරු තත්ත්වයකට පත් කළේ නැත. නාගරික ජනතාවට දැඩි ජීවන බරක් දැනුණත් ගමේ ජනතාවට ජීවන බර ඒ තරම් දැනුණේ නැත. නමුත් පසුගිය වසර දෙකහමාර තුළදී මේ සියල්ල කනපිට හැරුණි. ලොකු ලොකු කොම්පැනිවලින් වැට් බදු කපා හැරීම, කොවිඩ් අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බින්දුවට වැටීම සහ රසායනික පොහොර තහනම මීට බලපෑ ප්‍රධාන සාධක වශයෙන් හඳුනාගත හැක. එහෙත් ඊට වෙනස් විවිධ හේතු ද මේ තත්ත්වය ඇතිවීමට බලපෑවේය. 

එකම පවුලක් වටා වසර 15ක් තිස්සේ රටේ දේශපාලන බලය කේන්ද්‍රගත වීම තුළ රටේ දියුණුවට අලුතින් සිතන පිරිස් අතට ප්‍රමාණවත් බලයක් ලැබීම වැළකී ගියේය. රටේ ඉහළම තනතුරුවලට පත්වීම් ලබා දීමේදී සුදුසුකමට වඩා තමන්ගේ කමට ප්‍රධාන තැන ලැබුණේය. මේ නිසා විවිධ රාජ්‍ය ආයතනවල සැබෑ තත්ත්වය ගැන ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනගන්නට නොලැබුණි. යමක් දැනගත්තත් ඒ බව නොදන්නා සේ සිටීමටත් වැරදි කර හසුවන මැති ඇමැතින් පමණක් නොව ගජ මිතුරන් සහ ඥාතීන්ට එරෙහිව කිසිම පියවරක් නොගැනීමත් හේතුවෙන් රටේ ආර්ථිකය දිනෙන් දිනම පිරිහී ගියේය. සැබෑ දක්ෂයන් රටේ පාලනයෙන් ඈත් වූ අතර ආණ්ඩුවට තකතීරු උපදෙස් දෙන කේවට්ටයන්ට ලොකු තැනක් ලැබුණි. රසායනික පොහොර තහනම රටේ ගොවිතැන සම්පූර්ණයෙන් ''අල'' කරනු ඇති බවටත් අස්වැන්න අඩු වී සාගතයක් කරා රට යොමු කරවනු ඇති බවටත් විද්වතුන් කළ ප්‍රකාශවලට වඩා කෘෂිකර්මය ගැන අබ මල් රේණුවක් නොදන්නා බකපණ්ඩිතයන් කළ ප්‍රකාශ දේව වාක්‍ය සේ පිළිගනු ලැබීය. අන්තිමට සිදුවුණේ කෘෂිකර්මය සම්බන්ධයෙන් රටේ සිටි බොහොමයක් විද්වතුන් තනතුරු හැර දමා යාමය. අස්වැන්න අඩුවීමේ ප්‍රතිඵල දැන් හැමෝම දනිති.

රට ඉදිරියේදී බරපතළ ආර්ථික අර්බුදයක් කරා යොමුවෙමින් සිටින බවට ආර්ථික විද්‍යාඥයන් අනතුරු ඇඟවූයේ වසර දෙකකට පමණ පෙර සිටය. වහාම අයි.එම්.එෆ්. යන ලෙසට ඔවුහු අනතුරු ඇඟවූහ. එය ආණ්ඩුව මෙහෙයවූ කාගේත් කනකට වැටුණේ නැත. ලංකාව බරපතළ ඩොලර් හිඟයකට මුහුණ දෙනු ඇති බවට කෙරුණු මතවලට ඉඩක් ලැබුණේ නැත. රටට ඔරොත්තු නොදෙන මහා පරිමාණ ඉදිකිරීම් තාවකාලිකව නවත්වන ලෙසට කෙරුණු ඉල්ලීම් දේශපාලන කඩතුරාවෙන් වඩා එම අදහස් ප්‍රකාශ කළ අයට පරිභව කරනු ලැබීය. මේ මොන දේ වුණත් තමන්ට හුරේ දමන අය අඩුවක් නොවනු ඇති බවට ආණ්ඩුවේ බලවතුන් තුළ අදහසක් තිබිණි. සුබසාධන ආර්ථිකය දිගටම පවත්වාගෙන යාමේ ප්‍රතිඵල ඇස් පනාපිට පෙනෙද්දීත් එයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කරන අය හෙළා දැකීමද ඉහළින්ම සිදුවිය. අන්තිමට ආණ්ඩුවට උපදෙස් දීමෙන් ආර්ථික විශේෂඥයෝ වැළකී සිටියහ. කරන්නම දෙයක් නැති තැන ආණ්ඩුව මුල්‍ය අරමුදලේ පිහිට පැතීම අවශ්‍ය බව කියන විට රටේ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්ට කියන්න ඉතිරි වී තිබුණේ දැන් හොඳටම ප්‍රමාද වැඩියි යන්න පමණයි. තනි ඉලක්කමක උද්ධමනයක් තිබූ රට ලොවේ අධි උද්ධමන රටවල් කිහිපයක් අතරට වැටී 54.6% ක උද්ධමනයක් ඇතිවීමට ගතවුණේ මාස දෙක තුනක කාලයක් පමණි. මේ සමඟ තෙල් පෝලිම් ඇතිවිය. විදුලිය කප්පාදු විය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟ විය. ජනතාවගේ සිනහව ටිකෙන් ටික වියැකෙන්නට පටන් ගත්තේ ඒ සමඟය.

යුද්ධය නිමවීමෙන් පසුව තිබූ ආණ්ඩුව හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද නිසි සැලැස්මකින් තොර බොරු සෝබන සංවර්ධනය රටේ ආර්ථිකයට විශාල බරක් එකතු කර තිබිණි. ඒ සඳහා ලබාගන්නා ලද අති විශාල විදෙස් ණය ප්‍රමාණය ආපසු ගෙවීම ගැන හැඟීමක්වත් ඒ කාලේ ආණ්ඩුවට තිබුණේ නැත. චීනය ද ලංකාවට දිගට හරහට ණය දුන්නේය. ඒ අතරේ ශ්‍රී ලංකාව සමඟ සැමදාමත් සහයෝගයෙන් කටයුතු කළ ජපානය වැනි රටවල් ලංකාවෙන් ඈත් විය. ලංකාවේ අපනයන ආදායමේ පුරෝගාමී භූමිකාවක් ඉටු කරන යුරෝපය ද ඇඟලුම් කර්මාන්තයේ විශාලම ගැනුම්කරුවකු වන අමෙරිකාව ද අමනාප කර ගත්තේය. ඒ කාලේ ආණ්ඩුවේ සිටි කෙරුම්කරුවකු වන විමල් වීරවංශ අමෙරිකාවට යුරෝපයට අභියෝග කළේය. ලෝක බැංකුවේ ප්ලග් ගලවන බවට දිව්රා ප්‍රකාශ කළේය. එහෙම කරපු විමල් වීරවංශ අද රුසියාවෙන් තෙල් ගෙන්වා ගැනීම වැනි විහිළු කතා කීම මේ රටේ දේශපාලනයේ සැබෑ විකෘතිය එළියට පැනීමකි.

ලංකාවේ ජනතාවගේ සිනහව වෙනුවට වේදනාව, කඳුළ, ආදේශ වන්නේ මේ වටපිටාවේය. මේ වේදනාව, කෝපය බවට පත් වී ජනතාව ආවේගශීලී වන්නේ ඊළඟටය. මුලින් පොහොර ඉල්ලා හඬා වැටුණු ගොවියෝ ඊළඟට පාරට බැස්සේ ඉවසාගත නොහැකි කෝපයෙනි. මේ කෝපය, ආවේගය මුළු රට පුරාම පැතිර ගියේ දිනෙන් දින දිග්ගැසෙන තෙල් පෝලිම් ද සමඟය. අවසානයේ ජන අරගලයක් බවට පත් වී එය ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා ඇදී යන්නේ ජනතාව පෙළන ගැටලුවලට තවමත් විසඳුම් නොලැබෙන තත්ත්වයක් තුළය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වන්නේ ජනතාවගේ සිනහව කෝපය බවට හැරවී හිටපු ජනාධිපති ගෝඨාභයට ඉල්ලා අස්වීමට සිදුවීමේ ප්‍රතිඵලයක් හැටියටය. කෝපය ආවේගය බවට පත්වන විට මහින්දට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. අග්‍රාමාත්‍ය ධුරයට දිනේෂ් පත් විය. ඊළඟට හිටපු අමාත්‍ය මණ්ඩලය ද පත් විය. ඒ අනුව දැන් රටේ තිබෙන්නේ පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ආණ්ඩුවකි. එම මන්ත්‍රීන් බහුතරයකගේත් විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසකගේත් සහයෝගය ඇතිව රනිල් වික්‍රමසිංහ මහතා දැන් රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් වී සිටී. රටේ ජනතාවගේ මුහුණින් අතුරුදන්ව ඇති සිනහව යළි කැඳවාගෙන ඒමේ වගකීම ඇත්තේ පොහොට්ටුවේ මැති ඇමැතින් අත නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ මතය.

සිනහව තිබූ කාලයේ ජනතාවගේ ජීවන රටාවේ ප්‍රමුඛත්වය ලැබුණේ තමන්ටම කියා හෝ දරුවන්ට කියා හෝ නිවෙසක් තනා ගැනීමටය. පුංචියට හෝ කාර් එකක් ගැනීමටය. ඉඩක් කඩක් ලැබුණු විට විනෝද සවාරියක යාමටය. අතමිට යහමින් තිබූ අය කොවිඩ් කාලයට පෙර විදෙස් රටවලට පවා විනෝද ගමන් යාම පුරුද්දක් කරගෙන තිබිණි.

දැන් මේ සියලු දෙනා සතුටු වන්නේ බයික් එකට, ත්‍රීවිලරයට හෝ කාර් එකට දින ගණනක් මහන්සි වී තෙල් ටිකක් ගහගන්න ලැබුණු අවස්ථාවකය. සිමෙන්ති කොට්ට කිහිපයක් හෝ සොයාගෙන පුංචි වැඩක් ඉවර කර ගන්නට හැකි වූ විටෙකදීය. කාර්යාලයට යාමට බස් එකක් ලැබුණු විටය. එසේම කොහොම හරි පාසල් ටික යළි ආරම්භ වෙන විටය.

ජනාධිපතිවරයා මුල සිටම මේ ගැටලුවලට විසඳුම් සෙවීමට ප්‍රමුඛත්වය දිය යුතුව තිබේ. ඒ සඳහා ආර්ථිකය හසුරුවා ගැනීමට කෙටිකාලීන වැඩපිළිවෙළකට යා යුතු වෙයි. ළඟින්ම ඇත්තේ මුල්‍ය අරමුදල සමඟ සබඳතා අරඹා එයින් ආධාර ලබාගැනීමය.
ලංකාවේ ජනතාවගේ මුවගට යළි සිනහව කැඳවීමේ අභියෝගයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙසේ මුහුණ දෙනු ඇතිද යන්න ඉදිරි සති කිහිපය තුළදී බලාගත හැකිවනු ඇත.

- ශශීන්ද්‍ර