2022 ජුලි 31 වන ඉරිදා

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉක්මනින් යා යුතුයි

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 49

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැකි ඉක්මනින් බිහි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වීමෙන් පසුව ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට හේතු වූ මහජන අරගලයේදී බහුතරයක් ප්‍රකාශ කර තිබුණේද ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපතිවරයකු යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් කෙටි කාලයකට හෝ පිහිටුවා ගත යුතු බවය. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ බහුතරයකගේ මතය ද එයම විය. ඒ සඳහා ප්‍රථම පියවර වූයේ අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීමය. එය සිදුවීමෙන් අනතුරුව රටේ පාලනය පවත්වාගෙන යාම සඳහා හිටපු අමාත්‍යවරු ද යළි එම ධුරවලටම පත් කරනු ලැබූහ. මීළඟට සිදුවිය යුත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවා ගැනීමය.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා ආරම්භ වී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (28) ශ්‍රීලනිපය සමඟ පැවැති සාකච්ඡාව ඵලදායී ආකාරයට අවසන් වූ බවක්ද දැනගන්නට ලැබිණි. මුලින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් තද ස්ථාවරයක සිටි ශ්‍රීලනිපය එහිදී එම ස්ථාවරයෙන් බැහැරව ලිහිල් ප්‍රතිපත්තියකට මාරු වී සිටින බවද සඳහන් විය. රටේ යහපත සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී තද ප්‍රතිපත්තිවල පිහිටා කටයුතු කිරීමට පරිණත දේශපාලන නායකයන්ට හැකියාවක් නැත. ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව ශ්‍රීලනිප නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ තම කණ්ඩායම තවදුරටත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකිරීමේ යෝජනාවලිය වෙනුවෙන් පෙනී සිටින බවය. එය යහපත් ප්‍රවණතාවක් බව සඳහන් කළ යුතුය.

පාර්ලිමේන්තුව තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීම පහසු ක්‍රියාවක් නොවේ. එහිදී වෙනස් මත දරණ පක්ෂ සහ කණ්ඩායම් සමඟ දේශපාලනික වශයෙන් එකඟතාවන්ට එළඹීමට ජනාධිපතිවරයාටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුවටත් සිදුවනු ඇත. මෙහිදී මතභේදකාරී තත්ත්වයන් ඇතිවීමට පුළුල් ඉඩකඩක් තිබේ. එහෙත් මතවාද කෙසේ වෙතත් රටට මුහුණ දී සිටින භයානක අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනාටම කැපවීම් කිරීමට සිදුවන බව අවබෝධ කරගත යුතුය. දේශපාලනික වශයෙන් සිදුකෙරෙන කැපකිරීම්වලින් තොරව සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීමට හැකියාවක් නැත.

සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතුරින් බහුතර සංඛ්‍යාවක පක්ෂ නායකයන්ගේ අනුමැතිය ඒ සඳහා ලැබිය යුතුය. ඒ සඳහා එම පක්ෂ නායකයන් හෝ එම පක්ෂ නායකයන් විසින් නම් කරනු ලබන නියෝජිතයන්ගේ හෝ සහභාගීත්වය අවශ්‍ය වෙයි. එසේ නොවී තනතුරු සහ වරදාන ලබා දී ආණ්ඩුවට එකතු කර ගන්නා මන්ත්‍රීවරුන්ගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවෙන්නේ නැත. එවැනි ආණ්ඩු මීට පෙරද තිබිණි. පසුගිය දිනවල පැවතියේද ඒ ආකාරයේ තුනෙන් දෙකකට අධික මන්ත්‍රීන් සංඛ්‍යාවක් නියෝජනය කළ බලවත් ආණ්ඩුවකි. එහෙත් එම ආණ්ඩුව බරපතළ ලෙස අසමත් වීම හේතුවෙන් රටපුරා උද්ඝෝෂණ ඇතිවිය. දරුණු ආර්ථික සහ දේශපාලන අර්බුදයක් රටම වෙළා ගත්තේය. රට යළිත් එවැනි තත්ත්වයකට පා තැබිය යුතු නැත. එසේ නොවන බවට සහතිකයක් ලැබෙන්නේ සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම තුළින් පමණි.

රට බරපතළ අර්බුදයකට ඇද දැමූ හේතූන් තවම රටපුරා එලෙසින්ම පවතින බව අමතක කර දැමිය නොහැක. රටේ අධි උද්ධමන තත්ත්වය තවමත් එසේමය. තෙල් පෝලිම් වඩාත් සංකීර්ණ තත්ත්වයකට හැරෙමින් ජනතාව දැඩි දුෂ්කරතාවලට ඇද දමා තිබේ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් දරාගත නොහැකි වීම නිසා මෙරට ජනතාවගෙන් විශාල පිරිසකට තුන්වේල පිළිබඳ අදහස අත්හැර ගැනීමට සිදුව ඇත. කර්මාන්ත අංශය ද දිනෙන් දින අඩපණ වෙමින් තිබේ. ඔවුන් මුහුණදෙන බරපතළ ගැටලුවලට විසඳුමක් පෙනෙන තෙක් මානයක නැත. මේ නිසාම ආදායම් සෙවීමත් රුකියාවල සුරක්ෂිතභාවයත් දැඩි අවදානමකට මුහුණ දී තිබේ. නව ජනාධිපතිවරයා බලයට පත්වෙන්නේ එම පසුබිමේය. එම ගැටලු විසදා ගැනීමට නම් හැකි තරම් ඉක්මනින් රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගත යුතුය. ඒ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් අප්‍රමාදව බිහි කරගත යුතුය. එම වගකීමෙන් මිදීමට කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් නැත.

තමන් මුහුණදෙන ගැටලු විසදා ගැනීමට හැකි පාලනයක් බිහිවන බවට පෙරනිමිති පහළ වන්නේ නම් දැනට පවතින උග්‍ර පීඩනය කිසියම් දුරකට හෝ දරාගෙන සිටීමට රටේ බහුතරය පෙළඹෙනු ඇත. එවැනි නිශ්චිත දැක්මකින් තොරව කටයුතු කර ජනතාව හැමදාම සන්සුන්ව සියලු බර දරාගෙන සිටිනු ඇතැයි කිසිදු දේශපාලන පක්ෂයකට සිතන්නවත් හැකියාවක් නැති බව ඒ සියලු දෙනා සිහිපත් කරගත යුතුය. පැහැදිලි දැක්මක් ඇතිව විනිවිදභාවයකින් යුතුව රටේ පාලනය සිදුවන්නේ නම් එවිට මහජනතාව කුලප්පු කරවීමට කිසිදු අන්තගාමී දැඩි මතධාරී කණ්ඩායමකට හැකියාවක් ලැබෙන්නේ නැත. ඉදිරි කාලය තුළ ආර්ථික අර්බුදය යම් තරමකින් හෝ විසදා ගත හැකිවන පරිදි මුල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කෙරෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකර ගැනීම කොතරම් වැදගත් දැයි මේ අනුව තේරුම් ගැනීම අපහසු නැත. එය ප්‍රමාදයකින් තොරව බිහිකර ගැනීමට සියලු දේශපාලන පක්ෂවලට එකඟත්වයක් ඇතිකර ගත හැකි නම් එය රටේ භාග්‍යයකි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00