2022 ජුලි 31 වන ඉරිදා

මම ඡන්දය දුන්නෙ රනිල්ට නොවේ ඩලස්ට

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 142

- සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

  • අපේ ප්‍රතිපත්ති හැදෙන්නෙ අරගලයත් එක්ක
  • සජිත් ප්‍රේමදාසට තනතුරු තණ්හාවක් නැහැ
  • අපි ඡන්දය පරදින බව දැනගෙනයි සටන් කළේ
  • මටත් ඇමැතිකම් යෝජනා කළා
  • හරින් තමයි යූඇන්පිය කඩන්න පළමුවෙනි වෙඩිමුරය තිබ්බෙ
  • ජනාධිපති ගෝඨාභය ජනතාව ඉදිරියෙ පරාජය වුණා
  • රාජපක්ෂලගෙ කැමැත්තටයි තවමත් වැඩ සිද්ධ වෙන්නෙ
  • සජබය ඉවර කරන්න කාටවත් බැහැ

ඇයි ඔබ රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්දය දුන්නේ?

නෑ. මම එතුමට නෙමෙයි ඩලස් අලහප්පෙරුම මහත්තයට දුන්නේ.

ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයට නොදුන්නේ?

මම පක්ෂයේ තීන්දුව එක්ක හිටියේ. පක්ෂය තීන්දු කළා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා ජනාධිපති අපේක්ෂකයා ලෙසත්, ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා හැටියටත් පත් කරන්න. මම පක්ෂයේ තීන්දුව අනුව කටයුතු කළා. පක්ෂයේ තීන්දුවට උඩින් මම ගියේ නෑ.

ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ පාර්ශ්වයෙන් කිසිම ආරාධනාවක් ලැබුණේ නෑ ඡන්දය දෙන්න කියලා?

2015 ඉඳලා අපි එක්ක වැඩ කරපු සහෝදර මන්ත්‍රීව‍රු ඉන්නවා. ඒ අය විවිධ අදහස් යෝජනා ගෙනාවා. එත් අපි පක්ෂයක වැඩ කරන නිසා පක්ෂයේ මතයත් එක්ක තමයි නිතර ඉන්නේ. පක්ෂයේ මතයට පිටින් යන්නේ නෑ.

අපිට ආරංචි හැටියට නම් ඔබ දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට කියලයි කතාව යන්නේ. එහෙම කතාවක් නිකම් යන්න විදිහක් නෑනේ?

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවක් තියෙනවනේ. මම හිතන්නේ එහෙම හිතන එක තමයි වැදගත්ම.

ඔබ පරම්පරාවෙන් එජාපයේ අය. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබේ හිටපු නායකතුමා. අනික මේක රහස් ඡන්දයක්. නොදුන්නා වෙන්නත් බැරි නෑ නේද?

අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා අත්ඇරලා සජබය සමඟ එකතු වුණේ යම්කිසි ප්‍රතිපත්තිමය කාරණා මත. අපි කිසි දවසක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ. පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලය තිබුණා. එහිදී නායකතුමා කිව්වා සජබයේ කිසිම මන්ත්‍රීවරයෙක් පක්ෂයේ තීරණයට පිටින් ගිහින් නෑ කියලා.

ඔබ ඔහොම කිව්වට ඒ ඡන්දයෙන් පස්සේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කිව්වා සජබයේ 13ක් විතර රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්දය දුන්නා කියලා. එහෙම කිව්වම ඔබවත් ඕන නම් ඒ 13 ඇතුළට අරගෙන හිතන්න පුළුවන්. මම අහන්නේ ඒ දුන්න අය හොයා ගත්තේ නැද්ද?

හරීන් ප්‍රනාන්දු කවුද? එයා තමයි එක්සත් ජාතික පක්ෂය කඩන්න පළවෙනි වෙඩිමුරය තිබ්බෙ. සජිත් ප්‍රේමදාස මහත්තයා කරේ තියාගෙන ගිහිල්ලා ජනාධිපතිවරණය සඳහා ලෑස්ති කළේ එයා. ඒ වගේම එයා කියනවනේ මේ පක්ෂය වෙනුවෙන් සල්ලි වියදම් කළෙත් එයා කියලා. මම නම් ඒවා විශ්වාස කරන්නේ නෑ. එහෙම කියපු කරපු කෙනා ආයේ සජබය කඩාගෙන ගියා එක්සත් ජාතික පක්ෂයට. එහෙම කියපු කරපු කෙනෙක්ගේ වචන අහනවා කියන්නේ ඒ පුද්ගලයා මන්ද මානසික පුද්ගලයෙක් විය යුතුයි.

ඔබ එහෙම කිව්වට මන්ද මානසික අයයි කියලා එතුමා ඔබලගේ පක්ෂයේ කෙනෙක්. එතුමලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළේ. ඉතින් ජනතාව ඒ කියන දේවල් පිළිගන්න වෙනවනේ?

මම අහන්නේ එහෙම චෝදනා කරන්නේ කවුද? එජාපයත් සජබයත් දාලා ගිය කෙනෙක් තමයි ඒ චෝදනා කරන්නේ. එතුමා අපේ පක්ෂය අත ඇරලා ගියාම කී දෙනෙක් විවේචනය කළාද එතුමව. විශේෂයෙන් ජනතාව. ඉතින් එතුමා වගේ කෙනෙක් කියන දේවල් නම් විශ්වාස කරන්න ඕන නෑ කියලයි මගේ හැඟීම.

ඩලස් අලහප්පෙරුමට ඡන්දය නොදෙන්න හේතුව හැටියට ගොඩක් අය කියන්නේ එතුමට මේ ප්‍රශ්නය විසඳන්න බෑ කියලා. ඔබ රනිල් වික්‍රමසිංහ මහත්තයව හොඳට දන්න කෙනෙක්. ඇයි නොදන්න කෙනෙක් විශ්වාස කළේ. මොකක්ද හේතුව?

මම හිතන දේ තමයි මේ රට තනි පුද්ගලයෙක්ට හදන්න බෑ. මේක කණ්ඩායමක් එකතුවෙලා හදන්න ඕන. මේ රට කිහිප දෙනෙක් විසින් විනාශ කළේ. දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයට පුටින් කිව්වා. ලී ක්වාන් යූ කිව්වා. අන්තිමට මොකද වුණේ. එතුමා ජනතාව ඉදිරියේ පරාජය වුණා. අපි සජබය හැටියට ප්‍රතිපත්ති මාලාවක් හැදුවා මේ රටේ. අන්න ඒ ප්‍රතිපත්ති මාලාව එක්ක තමයි අපි එකතු වුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා එක්ක අන්න එතනදී අපේ මූලික අරමුණ තිබුණේ පුද්ගලානුබද්ධ වෙලා නෙමෙයි. ප්‍රතිපත්තිමය කාරණා එක්ක. ඒ හරහායි අපි එකතු වුණේ. ඒකයි ඩලස් ඇමැතිතුමාට අපි කැමැති වුණේ.

අපි දන්නවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා තමයි මේ ජනාධිපති තරගය සඳහා ඉදිරිපත් වුණේ. ඒත් ඔහු එකපාර ඉල්ලා අස්වුණා. එහෙම ඉල්ලා අස්වුණේ ඇයි? පරදින බව දන්න නිසාද?

ඇත්තටම එතුමටවත් අපිටවත් තනතුරු සම්බන්ධයෙන් වුවමනාවක් තිබුණේ නෑ. අපිට ඕන වුණේ අස්ථාවර මේ දේශපාලන තත්ත්වය හැකි ඉක්මනින් ස්ථාවර කරන්න. ඒ වෙනුවෙන් පක්ෂයක් හැටියට අපි සාමූහික තීන්දුවක් ගත්තා. එහෙම කළේ මේ වෙලාවේ ජනතාවගේ අරමුණු වෙනුවෙන් මිසක් අපේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් නෙමෙයි.

ඒ කියන්නේ පරදිනවා කියලා දන්නවා?

ඔව්. අපිට 113 ක් නෑ. ඒ වගේම සල්ලි දෙන්න විදිහකුත් නෑ. ඇමැතිකම් දෙන්නත් බෑ. මොකද අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ ඇමැතිකම් 15 යි. ඒ ප්‍රතිපත්තිය අනුව තමයි අපි ඇමැතිකම් හදාගත්තේ. මේ ප්‍රතිපත්තිය මත තමයි ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමාට පක්ෂය එකඟ වුණේ. ඒක මේ තනතුරු බලාගෙන කරපු දෙයක් නෙමෙයි. රටට ආදරේ ප්‍රතිපත්තිමය කාරණා මත කරපු දෙයක්.

ඔබ කිව්වා ඔබලට මුදල් නෑ කියලා. ඒ කියන්නේ මුදල් ගනුදෙනුවක් මේ ඡන්ද අස්සේ සිද්ධ වුණාද? ඔබටත් සල්ලි දෙන්නම් කියලා කතා කළාද?

නෑ. මට මුදල් ගනුදෙනු ආවේ නෑ. හැබැයි විවිධ යෝජනා ආරාධනා ආවා. ඉතින් මෙවැනි මැතිවරණයකදි එවැනි දේවල් වෙන්න පුළුවන්.

ඒ කියන්නේ ඇමැතිකමට වගේ කතා කළාද?

ඔව්. අපිට එහෙම යෝජනා ආරාධනා ආවා. අපි තනතුරු තානාන්තරවලට වැඩ කරන අය නෙමෙයි.

හරි දැන් මට තේරුණා ඩලස් අලහප්පෙරුම පරාද වුණේ සල්ලිවත් ඇමැතිකමක්වත් දෙන්න හැකියාවක් තිබුණේ නැති නිසා නේද?

නෑ මම එහෙම කියන්නේ නෑ. අපිට අවශ්‍ය කරන මන්ත්‍රීවරු ප්‍රමාණය හිටියේ නෑ.

එහෙම නොතියගෙනද අපි ඉහළින්ම දිනුම් කිව්වේ?

නෑ. අපිට විශ්වාසයක් තිබුණා. අපි උත්සාහත් ගත්තා. ඒත් අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේක රාජපක්ෂලගේ බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක්. ඔවුන්ගේ කැමැත්ත අනුව තමයි ඡන්දය දෙන්නේ කියලා මන්ත්‍රීවරු.

දැන් ඉතින් එහෙම තමයි කියන්න වෙන්නේ?

නෑ නෑ අපි කියන්නේ සැබෑ ජන මතය බලන්න ඉක්මනින් මහ මැතිවරණයකට යන්න කියලා. එහෙම නැතුව වෙන විකල්ප‍යක් නෑ.

මහ ඡන්දයකට යන්න තරම් අවස්ථාවක් තියෙනවද මේ වෙලාවේ රටේ?

අනිවාර්යයෙන්. මේ නියෝජනය කරන්නේ ජනතා මතය නෙමෙයි. ජනතා මතය අනුවයි ස්ථාවර ආණ්ඩුවක් හදන්න පුළුවන්. ජනතා මතය අනුවයි අස්ථාවර දේශපාලනය ස්ථාවර කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මහ ඡන්දයක් අවශ්‍යමයි.

මේ වෙද්දී ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරලා තියෙනවා. ඇයි සජබය නොයන්නේ?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන එක අපේ ප්‍රතිපත්තිවලට ගැලපෙන්න ඕන. මේ වෙලාවේ රටට අවශ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 11ත් 15ත් අතර. ඒත් මේ වෙද්දී ඒ අය 14ක්ම පත් කරගෙන. ඉතින් අපි කොහොමද එකඟ වෙන්නේ. ඒ වගේම අපිට නිල වශයෙන් ආරාධනාවක් ලැබිලත් නෑ ඒ සඳහා. මම දන්න හැටියට එහෙමයි.

සර්ව පාක්ෂික කෙසේ වෙතත් ගොඩක් අය ඉදිරියේදි ඇමැතිකම්වලට යයි. ඔබට ආරාධනාවක් ලැබුණේ නැද්ද ඒ වෙනුවෙන්?

මට ආරාධනා කරලා තියෙන්නේ. එහෙම ආරාධනා කළා කියලා අපි ඒ ආරාධනා පිළිගන්නෙත් නෑ. අපි පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක ඉන්නේ. ඒ ප්‍රතිපත්ති ජනතාවගේ ප්‍රතිපත්ති. ඒ නිසා අපේ දේශපාලන තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ ප්‍රතිපත්ති එක්ක.

යම් විදිහකින් පක්ෂය තීන්දුවක් ගත්තොත් ආණ්ඩුවට සහාය දෙනවා කියලා ඔබ සහාය දෙන්නේ නැද්ද?

පක්ෂය තීන්දුවක් ගත්තොත් ඒ ගන්නේ ජන මතය එක්කනේ. ඊට එකඟ වෙනවා. හැමදේකදිම පක්ෂයේ මතය එක්ක ඉන්නේ අපි.

මෙතනින් පස්සේ සජබය ඉවරයි කියලා කියනවා. සජබයෙන් ගිය අයත් කියනවා. ඉවරද දුරකථන පාටියේ ගමන?

සජබයෙන් කට්ටිය ගියේ ඉවර කරන්නනේ. දැන් ඉවර වුණාද? නෑ. සජබය ඉවරවෙන පක්ෂයක් නෙමෙයි. සජබය කියන්නේ ජනතාවගේ හදවතේ කැකෑරෙන ප්‍රශ්න එක්ක ඉන්න පක්ෂයක්. සජබය තමයි මේ දුර්දාන්ත රාජපක්ෂ පාලනය වෙනුවෙන් අවුරුදු දෙකක් සටන් කළ පක්ෂය. ඉතින් ඒක ඉවර වෙයිද? නෑ. ගොඩක් අයට ඇති සජබය විනාශ කරන්න. කඩලා දාන්න. ඒත් සජබය කියන්නේ එහෙම විනාශ කරන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි.

ඔබලා සහ ඩලස් ඇමැතිතුමාලා අතර මින් ඉදිරියට එක ගමනක්ද තියෙන්නේ?

අනිවාර්යයෙන්ම. අපි ඒ ස්ථාවරයේ ඉන්නේ. අපි එකට යන්නේ.

මීළඟ බලය ඇල්ලීමේ කණ්ඩායම ඔබලද?

ඔව්. මේ රටේ නායකයා වෙන්නේ සජබයේ නායකයා. ඊළඟට හදන ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙන්න ප්‍රගතිශීලී ඕනෑම කණ්ඩායමකට පුළුවන්.

අරගලය හරහා ජනාධිපතිවරු හදන්න හීන දැක්කට එක හරි ගියේ නැති නිසා දැන් අරගලය වැඩක් නෑ නේද?

අපි අරගලය අත් ඇරලා නෑ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැදෙන්නෙත් අරගලය එක්ක. ඒ නිසා සාමකාමී අරගලය වෙනුවෙන් අපි හැමදාම පෙනී ඉන්නවා.

අරගලකරුවෝ අත්අඩංගුවට ගන්නවනේ. කවුරුත් සද්දයක් නෑනේ?

නෑ. අපි ඒ අය වෙනුවෙන් මේ වෙද්දී නීති සහාය දෙන්න කටයුතු කරමින් ඉන්නේ. මොකද ඒ අය අරගල කළේ නිවැරදි රටක් හදන්න. අරගලයෙන් බලය ගත්තම ඒ අයව මෙහෙම හිර කරන එක වැරදියි කියන අදහසේ මම ඉන්නවා.

අවසාන වශයෙන් අහන්නේ. ඔබත් තරුණයෙක්. දේශපාලනඥයෙක්. මේ දේශපාලනය වෙනස් වෙන්න ඕන කියලා ජනතාව ඉල්ලන්නේ. ඇයි ඒක තවම නොවෙන්නේ?

මෙහෙමයි. ජන මතය බලන්න අනිවාර්යයෙන් ඡන්දයකට යන්න ඕන. ඊළඟ පිරිස ජනතාව තෝරයි. ඊට පස්සෙයි ජනතාවගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක් බිහිවෙන්නේ. එතකොටයි සිස්ටම් චේන්ජ් වෙන්නේ. මේ තමයි හොඳම වෙලාව. මේ වෙලාවේ ජන මතය බලන්න ඡන්දය තිබ්බා නම් ජනතාව අනිවාර්යයෙන් තෝරනවා අවශ්‍ය අය. ඒ නිසා අවශ්‍යම මේ වෙලාවේ ඡන්දයක්.

 ගයාන් ගාල්ලගේ