2022 ජුලි 24 වන ඉරිදා

ජනපති සිහිනය සැබෑ කරගත් රනිල්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 202

රනිල් වික්‍රමසිංහ මහතා 06 වැනි වරටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දෙද්දී තමන් මේ රටේ මීළඟ විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණාදැයි දන්නේ නැත. හැබැයි කවදා හෝ මේ රටේ විධායක ජනාධිපති ධුරයට පත් වනු ඇති බවට බොහොමයක් ජ්‍යෙෂ්ඨ නායකයන් තුළ මෙන්ම රනිල් තුළද එවැනි සිහිනයක් තිබෙන්නට ඇති බව නම් සහතිකය. එම සිහිනය සැබෑකර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළ වසර 45ක් දේශපාලනය කළේය. අවසානයේ පාර්ලිමේන්තුව තුළින්ම විධායක ජනාධිපති ධුරයෙන් පිදුම් ලැබීම නම් දෛවෝපගත සිද්ධියකි.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය සඳහා මීට පෙර අවස්ථා දෙකකදී තරග වැදුණේය. එම අවස්ථා දෙකේදිම ඔහුට ජයගත නොහැකි වූයේ යන්තමිනි. පළමු අවස්ථාවේදී ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ චන්ද්‍රිකාය. චන්ද්‍රිකාගේ එය දෙවැනි ජනාධිපතිවරණය විය. 1999 දෙසැම්බර් 21 වැනිදාට දින නියම වූ එම ජනාධිපතිවරණයේ දෙසැම්බර් 17 වැනිදා වනවිට හැම ජනමත සමීක්ෂණයකින්ම ඉදිරියෙන් සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒත් අවසන් ඡන්ද රුස්වීමට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ පහරට ගොදුරු වූ චන්ද්‍රිකා එක ඇසක්ද අහිමි කරගෙන ඡන්දෙට යද්දී රටේම ජනතාවගේ අනුකම්පාව ඇයට හිමිවුණේය. රනිල්ට ජයගත නොහැකි විය. හැබැයි ඊට පසුව 2001දී පැවති මහා මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා යූ.එන්.පී. ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු රජය ජයග්‍රහණය කරා මෙහෙයවා රටේ අගමැති විය.

ඊළඟට රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ 2005දී මහින්ද රාජපක්ෂ මහතා සමඟිනි. හරි නම් ඒ වනවිට ආණ්ඩුව රනිල්ගේ එක්සත් ජාතික පෙරමුණට තිබිය යුතු වුවත් චන්ද්‍රිකා අතරමගදී වෙට්ටු දමා ආණ්ඩු බලය අතට ගෙන හදිසියේ තැබූ මහමැතිවරණය ජයගෙන ආණ්ඩුවක් පිහිටුවා තිබිණි. එහි අගමැති වූයේ මහින්දය. මේ නිසා 2005 රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිවාදියා වුණේ මහින්දය.

ඒ ඡන්දය කරට කර ගලඋඩ සටනක් විය. අන්තිම මොහොත වනතුරු ජයග්‍රහණය කාගේ අතට ලැබේදැයි කිව නොහැකි තත්ත්වය තිබුණි. වරක් එක් දේශපාලන විචාරකයෙක් එම අවස්ථාව හැඳින්වූයේ අන්තිම ඕවර් පහෙන් ජය තීරණය වන ක්‍රිකට් තරගයක් හැටියටය.

ඒ වෙලාවේ අන්තිම ඕවර් පහේ සටන දින්නේ මහින්දය. එයට හේතුවූ කරුණු ගණනාවක් තිබිණි. කුමන හෝ හේතුවකින් සුළු ජාතික පක්ෂවල ඡන්දය දැමීම ඉතාම පහළ මට්ටමකට බැසීම ප්‍රධානම සාධකය බව පෙනී ගියේය. එවරත් රනිල්ට ජයගත නොහැකි වුණේ ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකිනි. මහින්ද ගොඩ ගියේ දශම ගණනකිනි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ සටන්වල ඉතිහාසයෙන් එය බිඳක් පමණි. කෙසේ වුවද ජනාධිපති ධුරය නොලැබුණද අමාත්‍ය ධුර ලැබුණු හැම අවස්ථාවකදීම වික්‍රමසිංහ මහතා රටට දැනෙන වැඩ රුසක් කළේය. රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් සහ දූරදර්ශී ලෙස තීරණ ගත් නායකයෙක් වශයෙන් ඔහු ප්‍රසිද්ධියට පත්විය. තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යංශය හරහා සිදුකරන ලද වැඩ කොටසද ඒ වගේම කැපී පෙනෙයි. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පසුගිය කාලවලදී සිදුවූ විශාල වෙනස්කම් පිළිබඳව ඒ පිළිබඳ අල්පමාත්‍ර ඉඟියක් හෝ නොතිබූ ඔහු අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරෑ යුගයේ කතා කරන විට මේ රටේ බොහෝ දෙනකුට ඒවා අදහා ගන්නවත් අමාරු විය. සමහරුන් ඒවාට විරුද්ධව විවිධ මත ප්‍රකාශ කිරීමටත් පැකිළුණේ නැත. හැබැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර දෙකම රනිල් වික්‍රමසිංහ මහතා එම අමාත්‍ය ධුරය දැරෑ අවධියේ විශාල පිබිදීමක් ලැබුවේය. ඒවායේ ප්‍රතිඵල බොහෝ දෙනකුට හඳුනාගත හැකිවූයේ පසුකලෙකදීය. නමුත් ඒ ප්‍රතිසංස්කරණ පිළිබඳ ක්‍රෙඩිට් එක* රනිල්ට දීමට බොහෝ දෙනා මැලි වූහ. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් එයින් කම්පා වූයේ නැත. සැළුණේ නැත.

කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරය දැරෑ අවධියක් එසේම විය. රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වාදීම සඳහා රනිල් පුරෝගාමී චරිතයක් විය. ලොවේ හොඳම තාක්ෂණය ලංකාවට හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට ඔහු ප්‍රමුඛත්වය දුන්නේය. ශ්‍රී ලංකාව අන්තර්ජාලය හා සම්බන්ධ වීමේ තාක්ෂණික කටයුතු සම්බන්ධීකරණයට ඔහුගෙන් විශාල මෙහෙයක් සිදුවිය.

අමාත්‍ය ධුර දැරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා වරින්වර 06 වරකදී රටේ අග්‍රාමාත්‍ය ධුරය දැරුවේය. අවස්ථා ගණනාවකදී ප්‍රතිවාදී පක්ෂයක ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමට රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාවක් ලැබීමද විශ්මයට කරුණකි. 2001දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වන විට රටේ ජනාධිපති චන්ද්‍රිකාය. යළි 2015දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරීය. යළි 2022 මැයි මාසේ 13 වැනිදා ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදීය. චන්ද්‍රිකා, මෛත්‍රීපාල සහ ගෝඨාභය තිදෙනාගේත් ඔවුන්ගේ අනුගාමිකයන්ගේත් වැඩිම විවේචනයට ලක්වූයේත් මැතිවරණ වේදිකාවලදී මඩ ප්‍රහාරවලට ලක්වූයේත් රනිල් වික්‍රමසිංහ මහතා වීමද දෛවයේ සරදමකි. ගෝඨාභය ඉල්ලා අස්වීමෙන් සිදුවූ පුරප්පාඩුවට රනිල් වික්‍රමසිංහ මහතා විශාල වැඩි ඡන්දයකින් පාර්ලිමේන්තුව තුළදී තෝරා පත්කර ගැනිමට ඔහුගේ ප්‍රධානම විරුද්ධවාදීන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වීමත් ඔහු ජනාධිපති ධුරයේ දිව්රුම් දුන් වහාම චන්ද්‍රිකා සුබ පැතීමත් එවැනිම දෛවෝපගත සිදුවීම් දෙකකි.

මන්ත්‍රීවරුන් 225කගෙන් සමන්විත ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ 223 දෙනෙක් පාර්ලිමේන්තු රහස් ඡන්දයේදී ඡන්දය භාවිත කර තිබිණි. සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ ජී.ජී. පොන්නම්බලම් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. අවලංගු කෙරුණ ඡන්ද පත්‍රිකා 4ක්ද විය. රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134ක් ලැබී තිබූ අතර ඩලස් අලහප්පෙරුම ඡන්ද 82ක් ලබා ගත්තේය. අනුර කුමාර දිසානායකට ඡන්ද 03ක් ලැබිණි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ යූ.එන්.පී.යට පාර්ලිමේන්තුවේ ඇත්තේ තමන්ගේ ආසනය පමණි. සජබ මන්ත්‍රීන් කිහිප දෙනකුගේ රහස්* ඡන්දයද රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණ බවද සඳහන්ය. ඒ කොහොම බැලුවත් යූ.එන්.පී.යේ රනිල් වික්‍රමසිංහ මහතා මේ ජයග්‍රහණය ලැබුවේ ඔහුගේ දේශපාලන සතුරන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අති බහුතරයකගේ ඡන්දයෙන් බව පැහැදිලිය. ඔවුන්ගේ ඡන්දය නොවන්න වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය හිමිවන්නේ නැත.

මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමේ යුක්ති සහගත බව ඇතැම් දේශපාලන මතධාරීන්ගේ නිරන්තර ප්‍රශ්න කිරීමට ලක්වෙමින් තිබේ. එය දේශපාලනමය කාරණාවකි. එහෙත් අවුරුදු 45ක පාර්ලිමේන්තුවේ අඛණ්ඩ ඉතිහාසයක් ඇති වාර්තාගත 06 වතාවක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ 73 හැවිරිදි අධිෂ්ඨානශීලී මේ ජ්‍යෙෂ්ඨ නායකයාගේ ජනාධිපති සිහිනය දැන් සැබෑවක් බවට පත්ව තිබේ. ඔහු 2024 අගභාගය වනතුරු මේ රටේ විධායක ජනාධිපතිවරයාය.

2015 වසරේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කර පිහිටුවා ගත් රජයේ අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා එම වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී ජයගත්තේ ලක්ෂ 05කට අධික වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. එය යූ.එන්.පී. අග්‍රාමාත්‍ය අපේක්ෂකයකු වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකදී ලබාගත් වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් වශයෙන් ඉතිහාසයට එක්වී තිබේ. එසේ වුවත් 2020 පැවැති මහ මැතිවරණයේදී යූ.එන්.පී.ය දැවැන්ත පරාජයක් ලැබීය. එකම ආසනයක්වත් ජයගත නොහැකි වූ පක්ෂයට එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකින් සැනසීමට පත්වීමට සිදුවිය. එම මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වී පාර්ලිමේන්තුවේ සිදුකළ කථාවේදී මෙහෙම කිව්වේය.

බෙදුණු අවස්ථාව ඉවරයි. සියලු දෙනා එක්ව රට ගොඩනගමු. ජනතාව ඉල්ලන අලුත් ක්‍රමවේදයක් බිහි කිරීම සඳහා අද සිටම එකතු වී සාකච්ඡා කරමු.

කතානායකතුමායි මමයි 1973 දී එකට දේශපාලන ගමන ආරම්භ කළ අය. මට අද විශේෂ සතුටක් තියෙනවා. ඔබතුමා මූලාසනයේ ඉද්දී මගේ පත්වීම ප්‍රකාශ කිරීම ගැන. මම අවුරුදු 45ක් පාර්ලිමේන්තුව තුළ සිටිමින් දේශපාලනය කරලා තියෙනවා. මගේ ජීවිතය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවෙයි. මේ පාර්ලිමේන්තුවෙන් මට මෙම ගෞරවය ලබාදීම ගැන මම විශේෂයෙන්ම ස්තූතිය පුද කරනවා.

රට අද තියෙන අමාරු තත්ත්වය ගැන අමුතුවෙන් කාටවත් කියන්න දෙයක් නෑ. ආර්ථික වශයෙන් අමාරු තැනක අපි ඉන්නේ. ඒ වගේම තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. ජාත්‍යන්තරයේ ප්‍රශ්න ගණනාවක් තිබෙන මොහොතක් මේක. අපි ඒවාට පැටලෙන්නේ නැතුව යන්න තියෙනවා. රට ඉදිරියට ගෙන යන්න අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න තියෙනවා.
ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලන ක්‍රමය නොවෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතුවෙලා කටයුතු කරන්න ඕන කියන තැන තමයි ජනතාව ඉන්නේ.

දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයේ දිව්රුම් දී රාජකාරි අරඹා තිබේ. අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර ඇත. හිටපු ඇමැතිවරුද නව අමාත්‍ය මණ්ඩලයේ තනතුරු සඳහා පත්කර තිබේ. මෙය සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවා ගැනීමට පෙර සිදුකෙරෙන තාවකාලික ක්‍රියාවලියක් බවද සඳහන්ය. මේ අමාත්‍ය මණ්ඩලය දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, විජේදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි, විදුර වික්‍රමනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, මනූෂ නානායක්කාර, ටිරාන් අලස්, නලීන් ප්‍රනාන්දුගෙන් සමන්විතය. සර්ව පාක්ෂික ආණ්ඩුවේදී මේ අමාත්‍ය ධුර වෙනස් වීමටද ඉඩ තිබේ. ඒ අනුව පෙනී යන්නේ එම ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව මීට වඩා විශාල වනු ඇති බවය.

මහත් බලාපොරොත්තු ඇතිව රට බාරගත් රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකයා වශයෙන් තමන්ගේ ගැටලු කෙසේ විසඳනු ඇතිදැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටින බව නොරහසකි. ජාත්‍යන්තරයද එසේමය. මේ විමසිලිමත් බව වැඩි කාලයක් අල්ලා නොසිටින බවද පැහැදිලිය.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00