2022 ජුලි 24 වන ඉරිදා

රනිල් මහත්තයා තෝරාගැනීම අපේ දේශපාලන උපායක්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 209

- පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත

  • ඩලස්ලා, විමල්ලා උදයලාත් රට වැටිච්ච තැනට වගකියන්න ඕනෑ
  • යූඑන්පී - සජබ දෙකම කැඩුණාම අපේ කඳවුරයි ශක්තිමත් වෙන්නේ
  • ගෙවල් හදාගන්න ඕනෙ නම් ඩලස්ට ඡන්දෙ දුන්නත් ඇතිනේ
  • ගෝඨාභය මහත්තයා රටට ගේන්න ඕනෑ: හිටපු ජනපති හැටියට සියලු වරප්‍රසාද දෙන්න ඕනෑ
  • මගේ ගෙට ගිනි තිබ්බ අයත් එක්ක මම ගනුදෙනුව බේරගන්නම්
  • බැසිල් මහත්තයා ආයෙ එනවා නම් ඉතාම හොඳයි
  • ඔහොම ගියොත් නීතිඥ සංගමයටත් ගුටි කන්න වෙයි
  • රනිල් මහත්තයා ප්‍රතිපත්තිගරුක මහත්මයෙක්

ඔබ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා අලුත් ජනාධිපති හැටියට පත්කර ගත්තෙ. එහෙම පත් කරලා පැය විසිහතරක් යන්නත් කලින් සිකුරාදා අලුයම අරගල භූමියට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේක ජාත්‍යන්තර වශයෙනුත් කතාබහට ලක්වෙලා තියෙන්නෙ. ඇයි එතුමා එවැනි ප්‍රශ්නයක් දාගත්තෙ?

ජනාධිපතිතුමා දිවුරුම් දීලා එතුමාගෙ රාජකාරි පටන් ගන්න වෙනම තැනක් තියෙනවා.  ඒක ගංජා කාරයො ටිකකුයි කුඩු කාරයො ටිකකුයි නාන්න නැති එවුන් ටිකකුයි එකතුවෙලා අල්ලන් ඉන්නවා නම් ඒක ඉවත් කරන එක එතුමගෙ පළවෙනි රාජකාරිය වෙනවා. එතුමා ඒ රාජකාරිය හරියට ඉෂ්ඨ කළා. 

හැබැයි මෙතනදි නීතිඥවරු මාධ්‍යවේදියො පවා ප්‍රහාරයට ලක්වෙලා තියෙනවා. ඒක ජාත්‍යන්තර වශයෙන් ඉතාම ගැටලු සහගත තත්ත්වයක්.

මෙහෙමයි. නීතිඥවරුන්ට ගැහුවා කියලා දැක්ක කෙනෙක් නෑනෙ. මාධ්‍යවේදින්ට ගැහුවා කියලා දැක්ක කෙනකුත් නෑ. ඔය වගේ සිද්ධිවලදි ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම හමුදාවෙ රාජකාරිය අස්සෙ වෙන අය වෙන වෙන දේවල් කරන්නත් පුළුවන්. ඒත් මතක තියාගන්න මේක සිද්ධ වුණේ රාජ්‍ය දේපළක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන හිටිය නිසා. මම නම් ඕව දකින්නෙ මැච් ගහද්දි කැච් යනවා වගේ දේවල්. 

ඒ කියන්නෙ මේ වගේ දෙයක් සිදුවීමෙ සාධාරණයක් තියෙනවා. ඒකද කියන්නෙ?

නීතිඥ සංගමයෙන් කරපු දේ නිසා ජීවිත සෑහෙන ප්‍රමාණයක් නැතිවුණා. ගෙවල් රුසක් නැතිවුණා. රටක් අරාජික වුණා. නීතිඥ සංගමය තවදුරටත් ඉස්සරහට ඇවිල්ලා ඔය වගේ දේවල්වලට මැදිහත් වුණොත් ඒ අයටත් ගුටි කන්න වෙයි. කැරුල්ලක් මැද්දට නීතිඥ මහත්වරු යන්නෙ නෑ. යන්න ඕන උසාවියට. කැරුලිකාරයො අරගලකාරයො එක්ක නීතිඥ මහත්වරුත් හැසිරෙන්න ගියාම ඒ අයටත් ඉතින් ගුටි කන්න වෙනවා. 

දැන් ඔබලට රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයෙන් සතුටක් විශ්වාසයක් ඇතිවෙලා තියෙනවද?

අනිවාර්යෙන්ම. 

මොන වගේ විශ්වාසයක්ද ගොඩනැගිලා තියෙන්නෙ?

එකක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙ අවුරුදු හතළිහක් පනහක් දේශපාලනය කරපු කෙනක්. ඒ වගේමයි 1988/89 ඉතාම සාර්ථක ලෙස කැරුල්ලක් මර්දනය කරපු කෙනෙක්. ඒ නිසා මේ අය මම නම් ඉස්සෙල්ලම කියන්නෙ අරගලකාරයො නෙමෙයි ත්‍රස්තවාදියො. ඉතින් ත්‍රස්තවාදින්ට මුහුණ දෙන්න ඒ වගේ නායකයො ඉන්න ඕනෙ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හොඳ මූණක් දාගෙන යන්න ගිය නිසා තමයි එතුමට දාලා යන්න සිද්ධ වුණේ. 

ඒ කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අරගලය හමුවෙ අසමත් වුණා.

ඔව් අසමත් වුණා. ඉල්ලා අස්වුණා කියන්නෙ අසමත් වුණා කියලා තමයි. වෙන වචනයක් නෑ. 

ගෝඨාභය මහත්තයා ගේන්න වැඩ කරපු කෙනෙක් හැටියට ඔබ දැන් ඉන්නෙ එතුමා ගැන කලකිරීමෙන්ද?

මම රටේ නායකයා බිහි කරන්න වැඩ කරපු කෙනෙක්. හැබැයි එතුමා එච්චර සාර්ථක වුණේ නෑ කියලා මම පිළිගන්නවා. 

ඔබ චෝදනා කරනවා අරගලකරුවන්ට කුඩු කාරයො, ත්‍රස්තවාදීන් හැටියට. හැබැයි මේ සියලු දෙනා පාරට බහින තැනට වැඩ සිද්ධ කළේ පැවති ආණ්ඩුව නේද?

කොවිඩ් 19 වසංගතය අපි ටෙලිග්‍රෑම් ගහලා ගෙන්න ගත්තෙ නෑ. ඒ වසංගතයට මුහුණ දෙන්න කියලා රටේ ආර්ථිකය කඩා වැටුණා. ආර්ථික ශක්තිමත් රටවල පවා හැමෝටම වැක්සින් ගැහුවෙ නෑ. කර්මාන්තශාලා වැහුණෙ නෑ. හැබැයි අපේ රට බේරුණේ රට වහලා ජීවිත ආරක්ෂා කළා නිසා. ඒක කළා කියලා මිනිස්සු කවුරුත් කැපවීම් කරන්න සූදානම් වුණේ නෑ. 

ඔබ හිතනවද මේ පාරට ආපු මිනිස්සු සේරම ත්‍රස්තවාදියො කියලා?

සාමාන්‍ය මිනිස්සු අතර ත්‍රස්තවාදියොත් හිටියා. දැන් වෙලා තියෙන්නෙ ත්‍රස්තවාදියොයි කැරලිකාරයොයි සාමාන්‍ය මිනිස්සුයි හොයාගන්න බෑ. ඒ නිසා ත්‍රස්තවාදීන් හොයාගන්න සාමාන්‍ය මිනිස්සු අයින්වෙලා හිටියොත් හොඳයි. 

හිතෙන්නෙ නැද්ද පොහොට්ටුවට ඡන්දෙ දුන්න මිනිස්සුත් ඔය ඔබ කියන පිරිස අතර හිටියා කියලා?

අපිත් එක්ක හිටිය මිනිස්සු පාර්ලිමේන්තුව අසලට ගිහිල්ලා තුවක්කු පැහැරගෙන තියෙනවා නම් හමුදා නිලධාරීන්ට පහරදීලා තියෙනවා නම් අපේ මිනිස්සුන්ටත් ගහන්න ඕනෙ. 

දැන් ගහන්න ඕනෙද? නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙද?

මෙහෙමයි. පොලිසිය ඕකට කියන්නෙ අවම බලය පාවිච්චි කරනවා කියලා. අවම බලය පාවිච්චි කළාම ඇති. 

රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක තරග කළ එක අපේක්ෂකයෙක් තමයි ඔබලගෙම පොහොට්ටුවෙ සාමාජිකයෙක් වෙච්ච ඩලස් අලහප්පෙරුම මහත්මයා. හැබැයි ඔබලා තෝරගත්තෙ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඇයි ඩලස් අලහප්පෙරුම අත්හැරියෙ?

යුද්ධය ඉවර කරපු මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ගේ වටකරලා එතුමාව යැව්වා නම් යුද්ධය මෙහෙයවපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ ගේ වටකරලා එතුමා යැව්වා නම් ඩලස් අලහප්පෙරුම කියන්නෙ කවුද? මේ රටේ ජනතාවගේ සහ මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂාව මොකක්ද? ඩලස් අලහප්පෙරුම මහත්තයා ජනාධිපති වුණා නම් දරුවකුට පංචායුධයක් දාගෙන පාරෙ යන්න බැරි වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්වුණු නිසා අද ජනතාවගේ ආරක්ෂාව පවා සැලසිලා තියෙනවා.දෙවැනි කාරණය ගත්තාම අද මේ රටේ වෙලා තියෙන දේට යම්කිසි ප්‍රමාණයකින් වගකියන්න ඕනෙ ඩලස් අලහප්පෙරුමලා විමල් වීරවංශලා ගම්මන්පිලලා, වාසුදේවලා වගේ අය. යම්කිසි ප්‍රශ්නයක් ඇතිවුණාම එළියට බැහැලා කඳවුරට ගල් ගහන්නෙ නැතුව කඳවුර ආරක්ෂා කරන්න ඕනෙ. නායකයා ආරක්ෂා කරන්න ඕනෙ. ඒ වගේ කෙනෙක් තමයි ඩලස් අලහප්පෙරුම කියන්නෙ. එයාට කඳවුරෙන් පුටුව දෙන්න ලෑස්ති නෑ. ඒ අය කඳවුරෙන් එළියට දාන්නම ඕනෙ.

එතුමා පොහොට්ටුවෙන් ඉවත් කරන්නම ඕනෙද?

ඔව්. ඉවත් කළ යුතුයි කියන ස්ථාවරයෙ ඉන්නවා. 

ඩලස් මන්ත්‍රීතුමා කියන්නෙ පක්ෂයෙම කෙනෙක්නෙ. නිකම්වත් කතා කරලා කිව්වෙ නැද්ද සනත් මට ඡන්දෙ දෙන්න කියලා.

මට පාර්ලිමේන්තුවෙදි කතා කළා. එතුමා කිව්වා නිශාන්ත මල්ලි මම උඹට එක දිගට කෝල් ගත්තා. උඹ කතා කළේ නෑ. උඹට මැසේජ් දැම්මා. උඹ ආයෙ කෝල් දුන්නෙත් නෑ. මම ඒ වෙලාවෙ කිව්වා සර් ඔයා මේ වෙලාවෙ අපේක්ෂකයා. මම ඒ වෙලාවෙ කතා කළේ නැත්තෙ මම කතා කරන එකත් ඔයාගෙ කැම්පේන් එකට බාධාවක් වෙන්න පුළුවන් නිසා කියලා. ඊට පස්සෙ එතුමා කිව්වා මල්ලි උඹ ඡන්දෙ දුන්නත් නැතත් අපේ පෞද්ගලික මිත්‍රකම් නැතිවෙන්නෙ නෑ කියලා. මම එවෙලෙම කිව්වා එතුමාට මම එතුමාට ඡන්දෙ දෙන්නෙ නෑ කියලා. ඒක මම මූණට කියනවා කියලා කිව්වා. 

ඡන්දෙ නොදෙන්න හේතුව මොකක්ද එතුමට?

අංක එකට මම එතුමාට කිව්වා කඳවුර පාවා දුන්නා කියලා. දෙවැනි කාරණය මහින්ද රාජපක්ෂ මහත්තයට ඉවත් වෙන්න කියලා ලියුමක් ඇරියා. තුන්වැනි එක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඉවත් වෙන්න කියලා ලියුමක් ඇරියා. එහෙම කරලා අපේ කණ්ඩායම කඩලා එයාට දිනන්න පුළුවන් නම් එයත් මාර පොරක් තමයි ඉතින්. 

ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තය ඡන්දෙ දෙන්න ඔබ තීරණය කළේ ඇයි?

අපි එතුමාට ඡන්දෙ දීමෙදි දේශපාලන උපක්‍රම පාවිච්චි කරනවා. එක තමයි සජබෙ දෙකට කඩන එක. ඒ නිසා යූඑන්පියත් කඩලා ගියාම අපේ කඳවුර ශක්තිමත් වෙනවා. අපේ කණ්ඩායම ඉල්ලන්න ගියා නම් එක අපේක්ෂකයෙක් නෙමෙයි දාන්න වෙන්නෙ අපේක්ෂක මණ්ඩලයක් දාන්න වෙන්නෙ. එහෙම වුණා නම් අපේ ඉන්න ඉතුරු ටිකත් කැඩෙනවා. අපේ කෙනෙක් දැම්මා කියලා ඩලස්ට ඡන්දෙ දෙන්නෙ නෑ. අපි දැම්මා කියලා එයාලා ඡන්දෙ දෙන්නෙත් නෑ. ඒ නිසා අපි පොඩි දේශපාලන උපක්‍රමයක් සැලසුම් කළා. පාර්ලිමේන්තුව ඇතුළෙ දේශපාලන බලයක් අඩුම තියෙන කෙනා තෝරාගන්න එක. එතුමා තමයි රනිල් වික්‍රමසිංහ. එතකොට වෙන්නෙ සජබය දෙකට කැඩිලා පිරිසක් එජාපයට එකතු වෙනවා. එතකොට ඒකෙ වාසියත් පොහොට්ටුවට එන්නෙ. 

මම මෙහෙම කිව්වොත්. ඔබලගෙ ගිනි ගත්ත ගෙවල් ටික හදලා දෙනවා, ආරක්ෂාව හදලා දෙනවා වගේ පොරොන්දු නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්දෙ දුන්නා කිව්වොත්?

එහෙම ගෙවල් හදාගන්න ඕන නම් ඩලස් අලහප්පෙරුමට ඡන්දෙ දුන්නත් ඇති. ඒත් අපිට එහෙම ඕනෙ නෑ. අපේ සමහර අහිංසක මන්ත්‍රීවරු ඉන්නවා. හැබැයි මට අවශ්‍ය නෑ. මම දේශපාලන අතිනුත් ව්‍යාපාරික පැත්තෙනුත් වැලක් නෙමෙයි ගහක්. මගේ ජීවිත කාලෙ ගෙවල් දහස් ගාණක් හදලා තියෙනවා. මට ගෙයක් හදනවා කියන එක පොඩි වැඩක්. මගේ ගේ පාඩුව මිලියන 150ක් විතර ඇති. ඒත් මට ඒක ගාණක් නෑ. මම වැටෙන මිනිහෙක් නෙමෙයි. මගේ ගෙවල් 72 දිත් ගිනි තිබ්බා. 2001 දිත් ගිනි තිබ්බා. මේ පාරත් ගිනි තිබ්බා. මම බලන්නෙ තිබුණු පරණ ගේ වෙනුවට අලුතෙන් වෙනස් ගෙයක් හදන්න. 

ඒ කියන්නෙ ගෙට ගිනි තැබීම සම්බන්ධව පෞද්ගලික වෛරයක් නෑ. 

පෞද්ගලික වෛරයක් තියෙනවා. පෞද්ගලික ගනුදෙනුවක් තියෙනවා. ඒක ඒ අයත් එක්ක මම බේරගන්නවා. 

දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔබලගෙ ජනාධිපති අපේක්ෂකයා. පක්ෂයක් හැටියට එතුමන් සම්බන්ධයෙන් මොකක්ද ඉදිරියෙදි ගන්න පියවර?

එතුමා ගේන්න ඕනෙ. ඔහුට මේ රටේ හිටිය ජනාධිපති කෙනෙක් හැටියට ලැබිය යුතු සියලු වරප්‍රසාද ලැබෙන්න ඕනෙ. ඔහුට ජීවත් වෙන්න හොඳම රට ශ්‍රී ලංකාවයි. වෙන රටවල්වල ආරක්ෂාවක් නෑ. එතුමා මස් මාළුවත් කන්නෙ නැති මනුස්සයෙක්. එතුමා නිහතමානී වැඩිකම නිසා තමයි පාරට බැහැලා ගියේ. ගේ වට කරද්දිත් වෙඩි තියන්න එපා මම පිටිපස්සෙන් බැහැලා යන්නම් කිව්ව කෙනෙක් ඔහු. එවැනි නායකයෙක් ආරක්ෂා කරන එක අපේ වගකීමක්. 

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක්ගෙ වැරදීම සම්බන්ධයෙන් ඔහු වටා ඉන්න අයට චෝදනා එල්ල වෙනවා. මෙතුමාගෙත් එහෙම අය ඉන්නවද?

එතුමට වැරදිච්ච එක දෙයක් තමයි වොලිබෝල් ගහන්න එනකොට පාසර් අය ඉන්නවා. ඩෑෂර් ඉන්නවා. බෝලෙ උස්සන්න ඉන්න අය ඉන්නවා. තව ගාඩ් කරන අය ඉන්නවා. හැබැයි ඔය හැම එකෙන්ම ඒ ජාතියෙ අය විතරක් ඉඳලා හරියන්නෙ නෑ. එතුමාට වුණේ උගත්තු වියත්තු පමණක් ළංකර ගත්ත එක. කාබනික පොහොර වෙලාවෙදි ඔය හාමුදුරුවරු දොස්තරලා කිව්වා රසායනික පොහොර භාවිත කරන්න එපා කියලා. හැබැයි වැඩේ වැරදෙද්දි ඒ අය තමයි මෙහා පැත්තෙන් හිටගත්තෙ. 

මම චෝදනාවක් කළොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට යන තැනට වැඩ සිද්ධ වුණේ මැයි නමවැනිදා සනත් නිශාන්තලා ගෝල්ෆේස් අරගල භූමිය ආක්‍රමණය කරපු නිසා කියලා.

මම කවුරුත් ආරාධනා පත්‍ර යවලා ගෙන්න ගත්තෙ නෑ. කාටවත් ගහන්න එන්න කිව්වෙත් නෑ. මැයි නමය ඔය සිද්ධිය සිදු වුණේ නැත්නම් මැයි එකොළහ මේ රටේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විස්සක් විතර ගෙවල් එක්ක ගිනි තියන්න ලෑස්ති වුණේ. ඒක වුණේ නමවැනිදා සිද්ධිය වුණු නිසා. ඒ වගේම සනත් නිශාන්ත පොල්ලක් අතේ තියාගෙන ඉන්නවා, කාට හරි ගහලා, පිස්තෝලයක් අතේ තියාගෙන ඉන්නවා දැක්කෙ නෑනෙ. සනත් නිශාන්ත කරපු එකම වැරුද්ද තමයි අරලියගහ මන්දිරයේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට වෙනකම් පයින් ගිය එක. පයින් යන්න තහනම්ද අපිට. අනික පාරෙ යන්න මිනිස්සුන්ට ගැහුවෙ එයාලා. 

මම අධිකරණ කටයුත්තක් නිසා ඔය ගැන කතා කරන්නෙ නෑ. අවසාන ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න. එකක් ධම්මික පෙරේරා මහත්තයා ඉවත් වුණේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඇතුළුට එන්නද?

බැසිල් රාජපක්ෂ මහත්තයට එන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද එතුමා දක්ෂ නායකයෙක්. 

ඉතින් දක්ෂ නම් එතුමා ගියෙ ඇයි?

ඒ වෙලාවෙ ජනතාව ඉල්ලීමක් කළානෙ. ඒ නිසා ගියා. හැබැයි මතක තියාගන්න එයා ගියාට පස්සෙ අද වෙනකම් අද ඩොලර් එකක් ලංකාවට ලැබිලා නෑ. ඉන්දියාවෙ ක්‍රෙඩිට් ලයින් එක පවා ලැබුණෙ එතුමා නිසා. 

අවසාන වශයෙන් අහන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් ඡන්දෙ දෙන්න කීයක් මුදල් හම්බ වුණාද?

සත පහක් ගත්තෙ නෑ. අපේ ගෙවල් ගිනිගත්ත ඇතැම් මන්ත්‍රීවරු ඉල්ලීමක් කළා අඩුම ගාණෙ ඡන්දෙට කලින් සිමෙන්ති කොට්ට සීයක් හරි ගෙදරට දෙන්න කියලා. ඒ වෙලාවෙ එතුමා කිව්වෙ ඒක කරන්න බෑ. ප්‍රතිපත්තියක් හැටියට සල්ලි අරවා මේවා දීලා එතුමා ඡන්දෙ ගන්නෙ නෑ කියලා. එතුමා ඒ වගේ ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක්.

 ගයාන් ගාල්ලගේ