2022 ජුලි 10 වන ඉරිදා

ජනතාව ගැන හිතලා ජනපති දැන් යා යුතුයි

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 86

- සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී - මුජිබර් රහුමාන්

  • රටේ ප්‍රශ්න එක රැයකින් විසඳන්න බෑ
  • සර්ව පාක්ෂික ආණ්ඩුවක අගමැති සජිත් විය යුතුයි
  • ජනාධිපති ඉවත් වුණොත් ජාත්‍යන්තර සහාය ලැබෙනවා
  • ජවිපෙ කතා කරන්නේ ඒ අයගේ ආණ්ඩුවක් ගැනයි
  • අරගලය නිසා නැතිවුණේ රාජපක්ෂලා විතරයි
  • ගෝඨාභය මහත්තයට දැන් ජනවරමක් නෑ
  • අරගලයට පිටින් ආණ්ඩුවක් ගන්න අපට ඕනෑ නෑ
     

මේ වෙද්දී ස්වාධීන ගමනක් යමින් හිටිය අරගලය පක්ෂ සමඟ ගනුදෙනු කරන මට්ටමට ඇවිල්ලා. ඔබලා සහ අරගලය එකමුතු වන තැනකට ඇවිල්ලා තිබෙන්නේ. එසේ එකතු වීමෙන් ඔබලා මොකක්ද අරමුණු කරගෙන ඉන්නේ?

මේ පවතින දේශපාලන ක්‍රමය ගැනත් දේශපාලන ප්‍රතිපත්ති ගැනත් තරුණයෝ ඉන්නේ ඉතාම කලකිරීමෙන්. ඒ තිබෙන කලකිරීම සහ පීඩනය නිසා තමයි තරුණයෝ මේ අරගලය පටන් ගත්තේ. මේ අරගලය ඉස්සරහට යන්න නම් සියලුම පක්ෂවල සහයෝගය ඕන කියලා දැන් හැමෝම වටහාගෙන තිබෙනවා. ඒ ජයග්‍රහණයකින් කෙළවර කරන්න. ඒ නිසයි අපි සියලුම පක්ෂත් බහුජන සංවිධානත් වෘත්තීය සමිතිත් ඒ ජයග්‍රහණය වෙනුවෙන් එකතුවෙලා ඉන්නේ. ඇත්තටම අපි අරගලයට සහයක් අත්වැලක් ලබාදෙන්න තමයි එකතුවෙන්නේ.

අරගලයෙන් ආපු ලොකුම ප්‍රශ්නය තමයි දේශපාලනඥයෝ පිරිහිලා කියලා. දැන් ඔවුන් යම් ආකාරයක ඉඩකඩක් ඔබලා වෙනුවෙන් ලබාදීලා තිබෙනවා. පෙරට වඩා දැන් අරගලයට වගකියන්න ඕනෑ නේද?

අරගල භූමියේ ඉන්නවා විවිධ මත දරන අය. සමහර අය ඉන්නවා දේශපාලනයට කැමැති නැති අය. සමහර අය ඉන්නවා දේශපාලන පක්ෂවල අනු සංවිධාන. මේ හැමෝමට විවිධ මත තිබෙනවා. හැබැයි පොදු ජයග්‍රහණයක් උදෙසා පක්ෂ පිරිස් අතරහැරලා දාලා යන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් උදෙසා දේශපාලනඥයන්ගේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් දේශපාලනඥයන් සම්බන්ධයෙන් දූෂණ වංචා ඔවුන්ගේ යම් යම් වැරැදි මේ හැමදේම සම්බන්ධයෙන් වෙනසක් ඇති කරන්නට දේශපාලන මැදිහත් වීමක් අත්‍යාවශ්‍යමයි. ඒ නිසයි අපි ඒකට මැදිහත් වන්නේ.

ඒක තමයි මමත් අහන්නේ. දැන් දේශපාලනඥයන්ටනෙ තියෙන්නේ ලොකුම වගකීම. ඒ වගකීම ඔබලා ගන්නවාද?

මමත් කියන්නේ ඒක තමයි. අපි ජනතාවගේ වගකීම හරි විදිහට ගන්නවා. ඒක ලොකු වගකීමක් හැටියට අපි පිළිගන්නවා.

මේ අරගල හරහා විශේෂයෙන් ජනතාවට ලැබිය යුතු සහන ආධාර පවා මඟහැරෙනවා කියලා ආණ්ඩු පක්ෂයෙන් චෝදනාවක් තිබෙනවා. ඒක බරපතළ ප්‍රකාශකයක්?

මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙකක් ගියාට පස්සේ තමයි අද මේ රට මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ. ඔවුන් හරියට තීන්දු තීරණ ගත්තා නම් කිසිම අරගලයක් මේ භූමියේ වෙන්නේ නැහැ. ඒක ගැන පැහැදිලිවම මේ අරගලය නිසා නැති වෙච්ච දේවල් කිසිවක් නැහැ. අරගලය නිසා නැතිවුණේ රාජපක්ෂවරු විතරයි. එහෙම නැතිව අරගලය නිසා යම් යම් දේවල් නැතිවෙනවා කියන කතාව පට්ටපල් බොරුවක්.

ජනතාවට විශේෂයෙන් ප්‍රශ්නයක් තිබෙනවා, ඇතැම් කණ්ඩායම්වලට විශේෂ ප්‍රශ්නයක් තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉවත් කළ පමණින් රට සාර්ථක වෙයිද කියලා. එහෙම වෙනවද ඇත්තටම?

ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අපොහොසත්කම නිසා නෙමෙයිද අද රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. එතකොට ඒ වගකීම ගන්න ඕනෑ කවුද? එතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායම. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඇඟට දාලා කට්ටිය බේරගන්න හැදුවට වැඩක් නැහැ. මොකද ඒ අය තමයි ඔක්කොටම වග කියන්න ඕන. ඒ නිසා සැබෑ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ඒ කණ්ඩායම ඉවත් වීම මත. 

කොහොම හරි ඉවත්වීමෙන් පස්සේ මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙනවාද?

පැහැදිලිවම. ජාත්‍යන්තර වශයෙන් රට කෙරෙහි අවධානයක් සහායක් ලැබෙන්නේ ඔවුන් විශ්වාස කරන ජනාධිපතිවරයකු හෝ ආණ්ඩුවක් තිබුණොත් විතරයි. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉවත් වෙනවා කියන්නේ ඒ සියල්ල අප කෙරෙහි යොමුවෙනවා. 

දැන් මේ ප්‍රශ්නයට හොඳම විසඳුම හැටියට ගොඩක් අය යෝජනා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක්. එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඔබලාට සැලසුමක් ක්‍රමවේදයක් තිබෙනවාද?

ඇත්තටම විපක්ෂයේ සියලුම පක්ෂ සහ කණ්ඩායම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීම සඳහා තමන් කැමැත්ත පළකරලා ඉවරයි. විශේෂයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම, ජනතා ප්‍රශ්න විසඳීම, ඒ වගේම ඒ ආණ්ඩුවේ කාලය කොපමණදැයිද කියලත් දැනට සාකච්ඡා මට්ටමින් යනවා. 

ඔබලා එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවාද ඊළඟ සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා සජිත් ප්‍රේමදාස මහත්තයාද කියලා?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා නම් ප්‍රධාන විපක්ෂය හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති වෙන්න ඕන. 

ඔබතුමාලා විතරක් නෙමෙයිනේ අනුර කුමාර දිසානායක මහත්තයාත් අගමැති ධුරය ඉල්ලනවා ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ?

ඒ අය සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයිනේ කියන්නේ. ඒ අය හදන්නේ ඒ අය අගමැති ධුරය අරගෙන ඒ අයට කැමැති කැබිනට් මණ්ඩලයක් පත්කර ගන්න එක.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඔබලාට පාර්ලිමේන්තුව ඇතුළේ බලය කැමැත්ත තිබෙනවාද?

මෙහෙමයි, ආණ්ඩුවක් හදන්න තමයි බහුතරය ඕන. හැබැයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න බහුතරය ඕනෑ නැහැ. මොකද මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්වෙනවා. ඒ නිසා 113 වැදගත් නැහැ.

දැන් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ මේ සර්ව පාක්ෂික ආණ්ඩුව මගින් රටේ පවතින ආර්ථික අවුලටත්  ඒ වගේම ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගත් ගනීවි කියලා. ඇත්තටම ඒ සඳහා වැඩපිළිවෙළක් ඔබලාට තිබෙනවාද?

දැන් අපේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ඩොලර් හිඟය. අපි ඉස්සෙල්ලාම ඒ ඩොලර් හිඟය පියව ගන්න විදෙස් සංචිත පිරෙන්න ඕන. ඒ අහිමිවීම තමයි අද අපේ රටේ කඩාවැටීමට හේතුවෙලා තියෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම ඇතිවෙන්න ආධාර ලබාගන්න අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඇත්තටම වෙනසක් අපේ තියෙන්න ඕන. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ වෙද්දී ජනවරම අහිමිවෙලා තියෙන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජනවරමක් ඇත්තේම නැහැ. එතැන තමයි ප්‍රශ්නය ඇතිවෙලා තිබෙන්නේ. ඒ නිසා අපිට අන්න ඒ අහිමි වූ දේවල් ගොඩනගා ගන්න ඕන ජාත්‍යන්තර වශයෙන්. මොකද වෙන රටවල් අපිත් එක්ක ගනුදෙනු කරන්නේ රාජ්‍ය තාන්ත්‍රිකව. මොකද ඒ අය තමන්ගේ සාක්කුවෙන් දෙනවා නෙමෙයි ඒ සල්ලි. ඒ නිසා වගකීම් සහගත ආණ්ඩුවක් තියෙන්න ඕන. අපිට පළමුවෙන්ම අවශ්‍ය ඒ වගකීම් සහගත ආණ්ඩුව පිහිටුවීම. ඉන් පස්සේ තමයි මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වෙන්නේ?

නිකම් හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඉවත් නොවුණොත් මොකද කරන්නේ?

ප්‍රධාන වශයෙන් එහෙම වුණු ගමන් වෙන්නේ රටේ මේ තත්ත්වය ඉතාම දරුණු වෙනවා. ජනතාවගේ ප්‍රතිචාර කොයි කොයි විදිහෙන් සමාජයට එල්ල වේවිද කියලා අපිට විශ්වාස කරන්න බැහැ. මොකද ජනතාවගේ ප්‍රතිචාරය ඉතාම දරුණු වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි ජනතාව ජනතාවම අතර ගහගන්නා තත්ත්වයට දැන් පත්වෙලා. මොකද ජනතාවගේ පීඩාව හමුවේ ඔවුන් ආවේගශීලී වෙලා ඉන්නේ. එය ඉතාම භයානක තත්ත්වයක්. ජනතාවගේ කැමැත්තෙන් ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ ජනතාවගේ පීඩාව ගැන හිතලා ගන්න ඕන හොඳම තීන්දුව මේ වෙලාවේ ගත යුතුයි. ඒ තමයි ඉවත්ව යාම. මට තිබෙන ප්‍රශ්නය ඒ අය තවම සංවේදී නැහැනෙ.

සමගි ජන බලවේගයට එක්තරා අවස්ථාවක් ආවා මේ ආණ්ඩුව අතට ගන්න. හැබැයි ඒ අවස්ථාව ගත්තේ නැහැ. ඒ අවස්ථාව මඟහරවා ගැනීම ලොකු වරදක් නේද?

ඇත්තටම අපිට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරාධනා කළාම අපි එතුමාට දැනුම් දුන්නා ඉවත් වෙන්න කාලයක් දැනුම් දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරමින් සිටින අතරතුර තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හදිසියේම අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහත්තයාට දුන්නේ. අපි ජනතා කැමැත්තට අනුව කටයුතු කරන විට ඒ අවස්ථාවේත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔහුගේ වාසියට කටයුතු කළේ. අපි ජනතාවගේ මතයට පිටුපාලා නැහැ. අපි එතුමාට කිව්වා මාස හයකට එකඟවෙලා ඉවත් වෙන්න කියලා. නමුත් එතුමා අවුරුදු දෙකක් ඉන්න කල්පනා කළේ. 

දැන් ඔබලා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් ආකාරයක කාලසීමාවක් ලබාදුන්නහොත් ඉවත් වෙන්න, ඒ අවස්ථාව දීලා ආණ්ඩුව බාරගන්නවාද?

දැන්නම් ඒ තැනට එකඟ වෙන්න බැරි තත්ත්වයකට පත්වෙලා ඉවරයි. නමුත් එතුමා ප්‍රසිද්ධියේ කිව්වොත් මෙන්න මේ දිනයේ ඉවත් වෙනවා කියලා කෙටිම කාලයක් ඇතුළත ඒක සාර්ථක විය හැකි මොහොතක්. එහෙම නැතිව එතුමා එක්ක ආණ්ඩු කරන්න අපි ලැහැස්ති නැහැ. හොඳම දේ එතුමා ඉවත් වීම. එතුමා ඔතැන ඉන්න ඉන්න වෙන්නේ ජනතාවගේ ප්‍රකෝපය වැඩිවීම විතරයි. 

ඔබලාට පුළුවන්ද ආණ්ඩුවක් ගත්තොත් මෙන්න මේ විදිහට රට කරන්නේ කියලා කියන්න, ඉක්මන් විසඳුම් ප්‍රශ්නවලට ලබාදෙන්න පුළුවන් කියලා කියන්න?

අපට එක රුයකින් මේ ප්‍රශ්න විසඳන්න බැහැ. හැබැයි විසඳුම් යම් ප්‍රමාණයකට අපිට ලබාදෙන්න පුළුවන්. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතුළේ. ජනතාව කරන කැපවීම්වලට අපිට කෙටි කාලයක් තුළ ලබාදෙන්න විසඳුම් අපි ජාත්‍යන්තර වශයෙන් සබඳතා ඇති කර ගනිමින් ඉක්මණින් ඒ දේ කරනවා. එහෙම නැතිව කටින් විතරක් වැඩකරන පිරිසක් නෙමෙයි අපි. කොහොම වුණත් මේ වෙලාවේ සියලු පක්ෂ එකතු වන නිසා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා දැනට පවතින පෝලිම් ක්‍රමය හැකි ඉක්මණින් නවත්ව ගන්න පුළුවන් වෙයි කියලා.

කොහොම හරි සජබය අරගලය පිටින් ආණ්ඩුව ගන්න නේද උත්සාහ කරන්නේ?

කිසිම විදිහකින් එවැනි අරමුණක් නැහැ. අපිට අරගලය පිටින් ගන්න වුවමනා නැහැ. අපිට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අඬගහපු වෙලාවේම ගන්න තිබුණා. අපි ජනතා ඡන්දයෙන් බලය ගන්න ඉන්න විපක්ෂයක්. එහෙම නැතිව දින 52 ආණ්ඩුව වගේ හදිසි ආණ්ඩු හදන්න ලෑස්ති නැහැ. ඒ නිසා අපි හැම වෙලාවේම කියන්නේ හදනවා නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා. 

මේ යන විදිහට අවසානයේ අරගල සහ දේශපාලන සටන් මැද රට ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රශ්න නොවිසඳුණොත් රටකුත් අපට අවසානයේ නෑ නේද?

පැහැදිලිව එක දෙයක් කියන්නම්. මේ අරගල කරන්නේ රට අරාජික කරන්න නෙමෙයි. අරාජිකත්වයට අරන් ගිය දේශපාලන පවුල් මේ භූමියෙන් ඉවත් කරන්න. ඒකට පාට පක්ෂ භේද කිසි දෙයක් නැහැ. හැමෝම අද වෙද්දී ආර්ථික පීඩාවෙන් පීඩා විඳිද්දී කාටවත් අර පක්ෂය වෙනුවෙන් කියලා වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැමෝටම අවශ්‍ය පොදු අරමුණ වෙනුවෙන් අරගලය ජයගන්න. අන්න ඒ නිසයි සජබය පවා අද දේශපාලනය පොඩ්ඩක් පැත්තකින් තියලා අරගලය වෙනුවෙන් සහාය දෙන්න එකතු වුණේ.

  • ගයාන් ගාල්ලගේ


 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00