2022 ජුලි 10 වන ඉරිදා

තෙල් අරායේ: අපි පෝලිමේ

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 97

ලංකාව ඉතිහාසයේ කවමදාවත් මෙහෙම තෙල් අර්බුදයකට මුහුණ දී නැත. මීට දශක ගණනාවකට ඉහතදී ලංකාවට ඒ තරම් තෙල් අවශ්‍ය වුණේත් නැත. හැබැයි 70 දශකයේදී ඒ තත්ත්වය වෙනස් වුණි. ලංකාවට පමණක් නොව ලෝකයටම තෙල් අවශ්‍යතාව තදින්ම දැනුණේය. අමෙරිකාව ඇතුළු බටහිරත් යුරෝපයත් තමන් සතුව ඇති තෙල් සංචිත එහෙමම තබාගනිමින් හැරුණේ අරාබිකරයේ රටවල් දෙසටය.

ඒ තරම් කාලයක් වැලේ වැල් නැතිව කාන්තාරයේ රටවල් හැටියට දුක් විඳි අරාබි රටවල් තමන් හිටගෙන ඉන්නේ මහා ධන ආකරයක් මත බව තේරුම් ගත්තේය. ඒ වුණත් තෙල් ළිං හෑරීමේ නව තාක්ෂණය ඔවුන් සතුව නොතිබුණි. අමෙරිකාව අරාබි ලෝකයේ ලොකුම හිතවතා වෙමින් අරාබිකරයට ගොස් තෙල් ළිං නව තාක්ෂණය ඒ රටවලට හඳුන්වා දුන්නේය. යුරෝපයේ රටවල්ද එයට එකතු විය. 70 දශකයේ මුල් කාලයේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 10කට වඩා අඩුව තිබුණි. 1976 වනවිට බැරලය ඩොලර් 12 ඉක්මවා ගියේය. 80 දශකයේ අගභාගය වන විටද බැරලයක මිල ඩොලර් 20කට වඩා අඩුවිය. එහෙත් ඉන්පසුව විවිධ හේතූන් මත අද වනවිට බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යමින් තිබේ. ඇතැම් අවස්ථාවල එය ඩොලර් 140 දක්වාම වැඩි විය. 

මේ 70 දශකය සහ 90 දශකය අතර කාලය තුළ මැදපෙරදිග අරාබි රටවල් මහා ධන සම්භාරයක් උපයා ගනිමින් ලොවේ ධනවත්ම රටවල් බවට පත් විය. මේ හේතුවෙන් එම රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමට ලොවේ බොහොමයක් රටවල් උනන්දු විය. අරාබි රටවල් සමඟ මිත්‍රත්ව සංවිධාන ගොඩනංවාගත් රටවල් එයින් මහත් වාසිදායක ප්‍රතිඵල නෙලා ගත්තේය.

අරාබි රටවල් සමඟ ලංකාවේ හැම ආණ්ඩුවක්ම පාහේ යහපත් සබඳතා පවත්වා ගැනීමට කටයුතු කළේය. 1968 ඔක්තෝබර් 12 වැනිදා ඩඩ්ලිගේ එජාප ආණ්ඩුව කාලේ ලංකාවට සපුගස්කන්ද පිරිපහදුව ලැබෙන්නේද එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සඳහා ලංකාවට සහාය ලබා දුන්නේ ඉරානයයි.

ඉන්පසුව පැමිණි සිරිමාවෝගේ ආණ්ඩුවද අරාබිකරයේ රටවල් සමඟ යහපත් සබඳතා පවත්වා ගත්තේය. ඉරානය, සෞදි රජය සමඟ පමණක් නොව පලස්තීනය සමඟ ද මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එවකට පාර්ලිමේන්තුවේ තරුණ ලාබාලම මන්ත්‍රීවරයා වූ මහින්ද රාජපක්ෂ පලස්තීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයක් ආරම්භ කර එය මේ දක්වාම පවත්වාගෙන ඒමට සමත් විය.

සිරිමාවෝගේ ආණ්ඩුවට ඒ කාලයේ තෙල් ප්‍රශ්නයක් තිබුණේ නැත. ඒත් ආර්ථික ප්‍රතිපත්තිවල බරපතළ වැරදි තීන්දු හේතුවෙන් රට දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන්නේය. ඩොලර් පවුම් හිඟ විය. ඒවා ළඟ තබාගැනීම හිරේ යන වැරුද්දක් විය. විදේශ විනිමය හිමිකම් සහතිකය (විවිහිස) නම් ක්‍රමය යටතේ විදෙස් සමඟ ව්‍යාපාරික කටයුතු කළ සීමිත පිරිසකට පමණක් ඩොලර් ගනුදෙනු කළ හැකි විය. එහෙත් රටට ඩොලර් නැතිවීම මහා අර්බුදයක් වනවිට සිරිමාවෝ හැරුණේ තම මිතුරු රටවල් වූ අරාබිය දෙසටය. ඒ සඳහා ඇය තමාව නියෝජනය කිරීමට යොදාගත්තේ මෙරට මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රබල දේශපාලන චරිතයක් වූ තම අධ්‍යාපන ඇමැතිව සිටි බදිඋදීන් මහමුද්ය

අරාබි රටවල් සමඟ බදිඋදීන් ඇමැති කළ සාකච්ඡා සුබවාදී විය. පොරොන්දුවලට පමණක් සීමා නොවී රටට විදේශ විනිමය හරස් නොවී තෙල් ගෙන්වා ගැනීමට ඒ හරහා සිරිමාවෝගේ රජයට හැකියාව ලැබුණි. රටේ ඒ කාලයේ පාන් පෝලිම් - හාල් පෝලිම් තිබුණත් තෙල් පෝලිම් ඇතිවූයේ නැත. මොනවා නොතිබුණත් පෙට්රල්, ඩීසල් සහ භූමිතෙල් ජනතාවට ලැබිණි.

ලංකාව ඊළඟට තෙල් අර්බුදයකට මුහුණ දුන්නේ ජේ.ආර්. ගේ %77 පාලන කාලයේදීය. ඒ වනවිට විවෘත ආර්ථිකය යටතේ රටේ තරුණ තරුණියන්ට පමණක් නොව වෘත්තිකයන්ටද මැදපෙරදිග රුකියා උල්පත පෑදී තිබුණි. මේ නිසා රටට නිදහසේ ඩොලර් ගලා ආවේය. ඒත් එක් අවස්ථාවකදී තෙල් ගෙන්වා ගැනීම අර්බුදයකට ගියේය. ඒ වෙලාවේ ජේ.ආර්. යොදවා ගත්තේ තම ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වූ ඒ.සී.එස්. හමීඩ්වය.

හමීඩ් ඒ කාලයේ හැමවිටම පාහේ සිටියේ පිටරටවල සංචාරයේ යෙදෙමිනි. මේ නිසා ජේ.ආර්. ගේ විධානයෙන් අතරමගදී ලිබියාවට ගිය හමීඩ් සෙසු රටවල් කිහිපයක්ද සමඟ කතා කර ලංකාවට තෙල් ගෙන්වා ගැනීමට සමත් විය. එහිදී ලිබියාව කියා තිබුණේ තමන් කවදාවත් ලංකාව වැනි හිතවත් රටකට උදව් නොකර නොසිටින බවය. මේ නිසා ජේ.ආර්. ගේ ආණ්ඩුව යටතේත් තෙල් පෝලිම් ඇතිවුණේ නැත.

ඒ කාලයේ තෙල් ගෙන්වා ගැනීමට සමත් වුණා පමණක් නොව මැදපෙරදිග රුකියා උල්පත රටේ ප්‍රධානම ඩොලර් උපයන්නා බවටද පත්වුණි. ලංකාවේ භාණ්ඩාගාරය ඩොලර්වලින් පිරී ගියේය. ඒ ඩොලර් නිසි පරිදි කළමනාකරණය කර නොගැනීමේ අඩුපාඩුව හේතුවෙන් රටට මීට වඩා ඉදිරියට යා ගත නොහැකි වුවද මැදපෙරදිග රටවල් සමඟ ජේ.ආර්. ගේ ආණ්ඩුව පවත්වාගෙන ගිය ශක්තිමත් සබඳතා රටේ ඇතැම් සංවර්ධන යෝජනා ක්‍රම සඳහා ආධාර ලබාගැනීමේ මාවතක්ද හෙළිකර දී තිබුණි.
මේ ඔක්කොම කනපිට පෙරළුණේ 2005 මහින්දගේ ආණ්ඩුව බලයට පත්වීමත් සමඟිනි. ඊට පෙර සිටි ප්‍රේමදාස සහ චන්ද්‍රිකා ජනාධිපතිවරුද මැදපෙරදිග රටවල් සමඟ පවත්වාගත යුතු ශක්තිමත් සබඳතා පිළිබඳ මහත් අවබෝධයකින් කටයුතු කළහ. ප්‍රේමදාසට තෙල් ප්‍රශ්නවලදී ෆවුසි ඇමැතිගේ සහායද චන්ද්‍රිකාට අෂ්රොෆ් සහ ඉන්පසුව හකීම්ලාගේ සහායද ලැබීම නිසා තෙල් ප්‍රශ්නයක් කවදාවත් ඇතිවුණේ නැත. මැදපෙරදිග රටවල් සමඟ සබඳතා පළුදු විය හැකි අවස්ථාවලදී මුස්ලිම් ඇමැතිවරු ඒ සබඳතා යළි යහපත් තත්ත්වයට ගෙන ඒමට ක්‍රියා කළහ. ඒත් මහින්ද ජනාධිපති වීමත් ඉන්පසුව යුද ජයග්‍රහණයෙන් පසුව සියලු දේ තමන්ගේ ඡන්ද මල්ලට ඔබාගැනීමට අදූරදර්ශී සහ අත්තනෝමතික ලෙස ගනු ලැබූ තීන්දුත් හේතුවෙන් අරාබි ලෝකය පමණක් නොව රටට විවිධ අවස්ථාවල ආධාර, උපකාර සැපයූ සෙසු බොහොමයක් බලවත් රටවල්ද මහින්දගේ ආණ්ඩුව අමනාප කර ගත්තේය. ඒ අමනාපය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා ක්‍රියාවට නැංවෙන අවස්ථාවේදීද උපක්‍රමශීලීව කටයුතු කරනු වෙනුවට මහින්දගේ ආණ්ඩුව තෝරාගත්තේ ලෝකෙටම චැලේන්ජ් කරන ප්‍රතිපත්තියකි. අන්තිමට ලංකාව සම්බාධක වැටෙන තරමට හිරවෙන විට මහින්දලා බොහෝ ප්‍රමාද වී තිබිණි.

මේ කාලය තුළදී මහින්දගේ ආණ්ඩුවේ දැඩි ජාතිකවාදී සහ ආගම්වාදී ස්ථාවරයට පොහොර දැමූ විමල්, උදය ඇතුළු දැඩි මතධාරී දේශපාලනඥයන් සිදු කළ ලොකුම හානිය වුණේ රටේ මහජන ඡන්දයෙන් පත්වූ මුස්ලිම් දේශපාලනඥයන් අමනාප කර ගැනීමය. රට ඇතුළේ ඇවිලී ගිය මුස්ලිම් විරෝධී අරගලකාරී සිදුවීම් අරාබි ලෝකයේ දැඩි අවධානයට ලක්වෙන බව පලස්තීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නිර්මාතෘ වූ මහින්ද පවා තේරුම්ගෙන සිටියේ නැත. විමල්ලා උදයලා පමණක් නොවේ, රටේ දේශපාලනය කරට ගත් ඇතැම් දැඩි මතධාරී හාමුදුරුවරුන් පිරිසකුත් මේ තත්ත්වයට වගකිව යුතුය. මේ සියලු මුස්ලිම් විරෝධී දේශපාලන කටයුතු සිදුවන විට රටේ ආරක්ෂක ලේකම් ධූරය දැරුවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය.
ගෝඨාභය මහතා ජනාධිපති පදවියේ දිව්රුම් දී ප්‍රකාශ කළේ තමන් බලයට පත්වුණේ සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් බවය. එපමණක් නොව මුස්ලිම් ප්‍රජාවට මහ පාරට බැස අභියෝග කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි &එක රටක් - එක නීතියක්* කමිටුවට පත් කර එහි සභාපතිකම භාර දුන්නේය. තමන්ගේ කැබිනට් මණ්ඩලයට ඡන්දයෙන් බලයට පත් මුස්ලිම් අමාත්‍යවරුන්ටද ස්ථානයක් ලබා දිය යුතු බව අමතක කළේය. එහෙන් මෙහෙන් අහුලාගත් කිහිප දෙනකුට මැති ඇමැතිකම් දුන්නත් ඔවුන් මුස්ලිම් ප්‍රජාවගේ කැමැත්ත දිනූ අය වුණේ නැත.

ගෝඨාභය ජනාධිපති වී ආණ්ඩුව කරගෙන යාමේදීත් අපේ රටට මැදපෙරදිග තිබෙන වැදගතක්මට නිසි වටිනාකමක් දුන්නේ නැත. අරාබි රටවල්වල සිට ක්‍රියාත්මක කෙරෙන අන්තවාදී සංවිධානත් සැබෑ මිත්‍රත්වයකින් කටයුතු කරන සංවිධානත් අතර වෙනස හඳුනා ගන්නට ගෝඨාභයගේ ආණ්ඩුව සමත් වුණේ නැත. මේ රට තුළද ක්‍රියාත්මක වන අන්තවාදී මුස්ලිම් සංවිධානවල ක්‍රියාකාරීත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ දැයි සොයා බැලීමත් ඒ ගැන නිරන්තර අවධානයෙන් සිටීමත් අවශ්‍යය. එහෙත් මහජන ඡන්දයෙන් තේරී පත්වන සියලුම මුස්ලිම් දේශපාලනඥයන් අන්තවාදීන් වශයෙන් දැකීමේ තේරුමක් නැත. ඒ වෙනුවට ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම මුස්ලිම් දේශපාලනඥයන්ගේ විශ්වාසය දිනාගෙන ඔවුන්ද ආණ්ඩුවේ හිතවතුන් බවට පත් කර ගැනීමය. ඒ වෙනුවට සිදුවුණේ විමල් - උදයලාගේ දැඩි මතධාරී අදහස් ඔස්සේම ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට උත්සාහ දැරීමය. අද එහි ප්‍රතිඵල ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුම ආර්ථික කඩා වැටීමට මුහුණ දී සිටී. එම කඩා වැටීම කොතරම් බරපතළ දැයි යන්න පාරට බැස්ස විට තේරුම් ගත හැකිය. එහෙත් මෙවැනි අවස්ථාවක ආධාර ගැනීමට සිටි මැදපෙරදිග රටවල් අද ලංකාව දෙස හැරිලා බලන්නේවත් නැත. සිරිමාවෝත් ජේ.ආර් සහ ප්‍රේමදාසත් එක් මුස්ලිම් අමාත්‍යවරයකු යොදාගෙන මුළු මැදපෙරදිගින්ම ආධාර ගන්නා තෙල් ලබාගන්නා තත්ත්වයක සිටියත් අද ගෝඨාභයගේ රජයට එවැනි දෙයක් කිරීමට ශක්තියක් නැත. කටාරයට තෙල් ඇමැති එක්ක ගිය නසීර් අහමඩ් මුස්ලිම් ඇමැතිවරයාට මැදපෙරදිග රටවලින් කිසිදු දේශපාලන පිළිගැනීමක් නැති බව පැහැදිලිව පෙනී ගියේය. කටාරය ලංකාවට තෙල් ලබා දීම හැරුණුවිට වෙනත් කරුණු ගැන සාකච්ඡා කර ඇමැති දෙපළ ආපසු එව්වේය.

ඒ වගේ මේ ආණ්ඩුවට සෞදි අරාබිය දෙසට හැරෙන්නවත් හැකියාවක් නැත. කොවිඩ් කාලයේ මුස්ලිම් මෘත දේහ ආදාහනයද භූමිදානයද යන්නට ලබා දුන් විසඳුම මේ හැම මුස්ලිම් රටකටම අමතක නැත. ඔවුන් මේ ආණ්ඩුව තිබෙන තුරු එය අමතක කරන්නේද නැත.

මෙහෙම ආණ්ඩුවකින් මැදපෙරදිග රටවලින් තෙල් අර්බුදයට විසඳුම් ලැබෙනවා යැයි බලාපොරොත්තු වෙනවාට වඩා ගලකින් පට්ටයක් ගැනීම පහසුය.

 ශශීන්ද්‍ර