2022 ජුලි 03 වන ඉරිදා

ඔබද ඊළඟ ජනාධිපති අපේක්ෂකයා? ඒක දැන්ම කියන්න බෑ

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 155

 - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා

♦ මම ආණ්ඩුවට ගිය විදිහේ ලොකු වෙනසක් තිබෙනවා
♦ මම හොරකම් නොකරන නිසා මට හොරා කිව්වට කමක් නෑ
♦ රැකියා උත්පාදන වැඩේ දැනටමත් කරලා ඉවරයි
♦ මම ආවේ දේශපාලනය කරන්න නොවේ
♦ රට ගොඩගන්න මට ප්ලෑන් එකක් තිබෙනවා
♦ අනිත් අය ගැන කතා කරන්න මම කැමැති නෑ
♦ ඩොලර් ප්‍රශ්නය ඉක්මණින් විසඳන්න බෑ

එකපාර අලුතෙන් ඇමතිකමක් ගත්ත කෙනෙක්ගෙන් ඕනනම් අහන්න පුළුවන් කීයක් දුන්නද? ඇමතිකම නිසාද ගියේ? වගේ ප්‍රශ්න. ඒත් ඔබෙන් අහන්න බෑ. ඔබ මේ රටේ අංක එකේ ව්‍යාපාරිකයා. මට ඔබෙන් අහන්න තියෙන්නේ මෙච්චර දෙයක් කරපු ඔබ, ආණ්ඩුව හැමෝගෙම විවෙචනයට ලක්වෙලා ඇති මොහොතක දේශපාලනයට ආවේ ඇයි කියලා?

මට ඒකට කියන්න තියෙන්නේ රටක් වැටුණට පස්සේ, ඒ රට ගොඩගන්න නම් ඒක කොච්චර මඩ වුණත් ඒ මඩේ බැහැලා තමයි ගොඩගන්න වෙන්නේ. එහෙම නැතුව බෑ. ඒක මඩ කිය කියා බහින්නෙ නැතුව ඉන්න බෑ. ඒ නිසයි මගේ තත්ත්වය බලන්නේ නැතුව ඒ මඩට බැස්සේ. මට ලැබුණ දේ පොඩි දෙයක් වුණත් මම සතුටෙන් බාරගත්තා වැඩ කරන්න.

ඔබ ඔය දුන්න උත්තරේ තමා හැම දේශපාලනඥයාම දෙන්නේ. ඒ කියන්නේ මම ආවේ තනතුරු ගත්තේ රට හදන්න කියන එක. මම අහන්නේ ධම්මික පෙරේරට ඊට එහා උත්තරයක් නැද්ද?

නෑ ඒක මෙහෙමයි. ගොඩක් අය ආණ්ඩුවට යන්නේ තනතුරු ගන්නේ රටේ හොඳම වෙලාවට. ඒත් මම යන්නේ ආණ්ඩුවට රටේ නරකම වෙලාවට. ඒක තමා වෙනස. රටේ හොඳ වෙලාවට, දේශපාලන අනාගතයක් පේන වෙලාවක ඕනතරම් මිනිස්සු ඉඳියි පාර්ලිමේන්තුවට යන්න. හිතන්නකෝ රටක් වැහෙනකොට, කන්න බොන්න නැති මොහොතක ඒ වෙලාවේ ආණ්ඩුවට එකතු වෙන කෙනෙක් නෑනේ. සරලයිනේ.

මම හිතන විදිහට ඔබ මුදල්මය සහ ව්‍යාපාර පැත්තේ තෘප්තිමත් වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙක් ඇයි මේ දේශපාලනය තෝරගන්නේ. ඒකෙන් තෘප්තියක් ලබන්න පුළුවන්ද?

ඇත්තටම කියන්න ඕන මම දේශපාලන තෝරගෙන නෑ. මේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න මම ආවා මිසක් දේශපාලනය කරන්න ආවේ නෑ.

ඒත් ඔබ දැන් පොහොට්ටුවේ සාමාජිකයෙක්නේ?

ඔව් මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. ඒ වෙනුවෙන් මම ස්තූති වන්ත වෙනවා. ඒ වෙනුවෙන් මට පෙනී ඉන්නත් සිද්ධ වෙනවා. මොකද මම ඒකේ සාමාජිකයෙක් නිසා. කොහොම වුණත් මම බැලුවේ රටේ ආර්ථික අර්බුදය. හැබැයි මට ඉඩදුන්න බැසිල් රාජපක්ෂ මහත්තයටත් ස්තුතිවන්ත වෙනවා.

ඔබට පුළුවන් ඕනනම් දේශපාලකයෝ පස්සෙන් ගෙන්න ගන්න. ඒත් අද ඔබ දේශපාලනයේ ඉන්නේ. මේ අවස්ථාව ඔබ ඉල්ලගත්ත දෙයක්ද? දුන්න දෙයක්ද?

නෑ මම හොයාගෙන ගිය දෙයක් නෙමේ. මට එන්න කිව්වට පස්සේ මම ගියා. මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නනේ ජනාධිපතිතුමා එන්න කිව්වේ. එහෙම පුළුවන් කෙනෙක් නොගියොත් ඒක මොනතරම් අපරාධයක්ද?

ධම්මික පෙරේරා කියන්නේ මේ රටේ එක බ්‍රෑන්ඩ් එකක්. එහෙම බ්‍රෑන්ඩ් හදාගත්ත මිනිස්සු කැමති නෑ නම අවුල් කරගන්න. මේකෙන් ඔය බ්‍රෑන්ඩ් එක කුඩුවෙන්න පුළුවන් නේද?

ඔව් මම නම හදලා තියෙන්නේ. ඒත් නම හැදුවට වැඩක් නෑ රටට නමක් නැත්නම්. රට අගාධයට යනවා නම් ඒ රටේ මගේ නමට ඇති වැදගත්කම මොකක්ද?

ඔබට තිබ්බනේ ව්‍යාපාරික දැනුම භාවිතා කරලා තව තව රුකියා උත්පාදනයක් කරන්න? ඒක රටට හොඳ දෙයක්නේ?

දැනුත් මම ඒක කරලා ඉවරයිනේ. මම මොරටුව විශ්වවිද්‍යාලය එක්ක අයි.ටී. කෝසස් හයක් නිර්මාණය කළා මගේ සල්ලිවලින්. ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් open.uom.lk ගිහිල්ලා. මාස හතරයි ඕපන් කරලා ළමයි ලක්ෂයක් ඉගෙන ගන්නවා. ඒ ලක්ෂයට රස්සා හම්බවෙනවනේ. මොකද අද අයි.ටී. ක්ෂේත්‍රයේ ඇති තරම් රස්සා තියෙනවා. ඒ නිසා තමයි ලොකු අයි.ටී. කොම්පැණි එක්ක එකතුවෙලා මේක කළේ.

ඔබ ආණ්ඩුවට එකතු වෙනකොට ඔබ ඒ සඳහා යම් යම් කොන්දේසි දැම්මද?

නෑ මගේ කිසිම කොන්දේසියක් නෑ. මට මීට කලින් කිව්වේ වෙන අමාත්‍යාංශයක් ගන්න කියලා.

මොකක්ද ඒ අමාත්‍යංශය?

මම ඒකේ නම කියන්න කැමති නෑ.

අමාත්‍යංශයක් ඕනමද වැඩ කරන්න?

නෑ. මම කිව්වා මට දෙන්න කියලා කාර්යභාරයක් නොමැති ඇමති කෙනෙක් හැටියට. මම මීට කලින් ආයෝජන මණ්ඩලය කරලා තියෙන නිසා මට ඒකයි, ඒ වගේම මට දුන්නා ඩිජිටල්කරණය. මට ඉදිරියේදී තියෙනවා රටේ සියලු ආයතන ඩිජිටල්කරණයට ලක්කරන්න.

මම මෙහෙම චෝදනාවක් ගෙනාවොත් ඔබ හැම ක්ෂේත්‍රයක්ම ඔබ සතු කරගන්න උත්සාහ කරන කෙනෙක්. ඔබ මේ ලෑස්ති වෙන්නේ තාක්ෂණ ක්ෂේත්‍රය ඔබ සතු කරගන්න කිව්වොත් මොකද හිතන්නේ?

නෑ. මට එහෙම අල්ලන්න වුවමනාවක් නෑ. ඒත් මේ රටේ රුකියා උත්පාදනය කරන්න පුළුවන් තාක්ෂණ ක්ෂේත්‍රය හරහා. අන්න ඒකට තමයි මම මේ වැඩේ කරන්නේ.

මොකක්ද ඔබේ අරමුණ?

මගේ අරමුණ මොකක්ද කියන එක dammikaperera.lk එකේ දාලා තියෙනවා. ඔය ඩිජිටල්කරණය ගැනත් ඒකේ දාලා තියෙනවා.

දැන් ඔබ වැඩ බාරගත්තම පේනවා ඇතිනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඒ ඒ ආයතනවල. ඒ අඩුපාඩු හඳුනා ගත්තද?

මම සාමාන්‍යයෙන් අනික් අය ගැන කතා කරන කෙනෙක් නෙමේ. දේශපාලනය ගැන කතාකරන්න ආසත් නෑ. හැබැයි මේ ආර්ථික අර්බුදය ගැන විසඳුමක් ඇහුවොත් ඒක ගැන කියන්න පුළුවන්.

ඔබ කිව්වා ඩොලර් ප්‍රශ්නය ඉක්මනින් විසඳගන්න පුළුවන් කියලා. ඒ කොහොමද?

නෑ. ඒක ඉක්මනින් විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට ක්‍රමවේදයක් හදන්න ඕන.

ඇත්තටම ඩොලර් අවුල විසඳගන්න තියෙන ළඟම සහ කෙටිම වැඩපිළිවෙළ මොකක්ද?

වෙන වෙනම ව්‍යාපෘති හදන්න ඕන. වැඩිම සල්ලි ආවේ ටුවරිසම්වලට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා වින්ටර් එකට වගේ සංචාරකයෝ මාස තුන හතරකට එයි කියලා. ඒ නිසා අපි බලන්න ඕන ඒ අය ගෙන්න ගන්නේ කොහොමද කියලා. ඒ වගේම විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන්න ගන්න හැටි .අපි ඒ සඳහා දැන් වෙනම වැඩක් දැම්මා පෝලිමේ ඉන්නේ නැතුව ඒ අයට වෙනම කවුන්ටරයකින් පාස්පෝට් එක දෙන්න. ඒ ඩොකියුමන්ට් ඉදිරිපත් කළාම කරගන්න පුළුවන්.

ඔව්... තමන්ගේ පාස්පෝට් එක ගන්න පෝලිම්වල දුක්විඳින්න වෙලානේ?

නෑ... ඒකට අපි වැඩක් කළා. විශේෂයෙන් එක් දිනයෙන් කරගන්න මහනුවර, මාතර සහ වවුනියාව යන ප්‍රාදේශීය කාර්යාලවලට පහසුකම් සැපයුවා.

ඔබ කියලා තිබ්බා මාසෙකට වතාවක් ඔබේ පෞද්ගලික ධනය දානවා කියලා ආණ්ඩුවට. මොකක්ද අරමුණ?

ඒක මෙහෙම‍යි. මට ඕන බඩුටික ගන්න ආණ්ඩුවෙන් පර්චස් කළොත් මාස හයක් වගේ යනවා. මට එහෙම වැඩකරලා පුරුදු නෑ. ඒ නිසා මට ඕන වැඩ ටික මම සල්ලි වියදම් කරලා කරගන්නවා.

දැන් මේ රටේ හැම මිනිහම දුක් විඳිනවා. මොකක්ද මේ වෙනුවෙන් ඉක්මනින් කරන්න ඕන?

මෙහෙමනේ. ඒවට අදාළ අමාත්‍යවරු වෙනම ඉන්නවා. ඒ ඒ අයට විෂයයන් දීලා තියෙනවා. මට දීලා තියෙන්නේ ආයෝජන ගේන්න. ඩොලර් උත්පාදනය කරන්න, පාස්පොට් වැඩ, පෝර්ට් සිටිය සහ ලංකාව ඩිජිටල්කරණය කරන්න. දැනටමත් ඩිජිටල්කරණය වෙනුවෙන් වැඩකරලා තියෙන්නේ. දවස් 90කින් පස්සේ ඒ වැඩෙත් අරන් එළියට එන්නම්.

දේශපාලනය කරලා අන්තිමේ හොරා කියලා අහගන්න වුණොත්?

තමන් හොරකම් කරන්නේ නැත්තන් කිව්වට මොකෝ.

ඒත් දැන් දේශපාලනයට ඒක විශේෂණයක් වෙලා?

මෙහෙමනේ. ඔයා දන්නවා සුදු කුරුල්ලෙක් ඉන්නවා සුදුවට දිග වලිගයක් තියෙන. එයාට කියන්නේ සුදුරෙදි හොරා කියලා. තැඹිලි පාට කෙනාට කියන්නේ සිවුරු හොරා කියලා. දැන් ඒ අය හොරකම් කරලද? නෑ. ඒ අහිංසක කුරුල්ලන්ටත් මේ සමාජය කතා හදලා තියෙන්නේ. ඒක අපෙ සංස්කෘතියෙන් හදපුවා. මමත් එහෙම කුරුල්ලෙක්. ඒ නිසා හොරා කිව්වට මම ගණන් ගන්නේ නෑ.

ඒ වගේම අපි අහලා තියෙනවා ගිරව් දෙන්නෙක්ගේ කතාවක්. දෙපැත්තට වැටුණම මොකද වුණේ කියලා?

ඒ ගිරව් වැටුණේ පැටව් කාලේ. මේ ගිරවා පැටියෙක් නෙමේ. ලොකු වෙලා වැටුණේ. ඒ නිසා එහෙම වෙන්නේ නෑ.

අපි දන්නවා දේශපාලනඥයෝ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයොත් දුර්වලයි. ඔබේ ආයතනවල මේ අකාර්යක්ෂමතාවයට මොකද කරන්නේ?

මීට පස්සේ ආයෝජන මණ්ඩලයට ආපුවම පුරවන්න තියෙන්නේ එක කොළයයි. පැය 24න් සහතිකය දෙනවා. ධම්මික පෙරේරා ඇමති ඉන්නකල් එහෙමයි. එහෙම හම්බවුණේ නැත්තන් කෙලින්ම මගේ ළඟට එන්න.

එහෙම වැඩක් නෑනේ. ඔබ නැත්තම් ඒ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා නම් ඒක වැඩක් නෑනේ?

කොච්චර ප්‍රතිපත්තිය හොඳ වුණත් එන මිනිස්සු හරි නැත්තම් ඒක කරන්න බෑනේ.

දැන් ගොඩක් අය කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා?

මෙහෙමයි. කොහොම එකතු වුණත් වැඩක් නෑ එන මිනිහට ප්ලෑන් එකක් නැත්නම්. ඔබ දැකලා තියෙනවද මේ ඩොලර් ප්‍රශ්නයට කාගේ ගාව හරි විසඳුමක් තියෙනවා කියලා.

දැන් රට බංකොලොත් වෙලා ඉවරයි නේද?

ඒක නෑ කියන්න බෑනේ. හැබැයි ඒක ගොඩගන්න ප්ලෑන් එකක් තියෙන නිසා තමා මම මේ ආවේ.

ඔහොම කියලා ආපු ගොඩක් අයට කරගන්න බැරිවුණා ප්‍රායෝගිකව කරන්න ගියාම. ලේසි වෙයිද වැඩේ?

එහෙම කරගත්තේ නැත්නම් මාත් ෆේල් වෙනවනේ.

එහෙම කරගන්න බැරිවුණොත් මොකක්ද ඒ ප්‍රශ්නය කියලා කියනවද?

එහෙම කරන්න නෙමෙයි මම ඇවිත් ඉන්නේ. මම ඇවිල්ලා ඉන්නේ පැය 960ක් වැඩ කරන්න. ඉස්සරහා මාස හයට වැඩ කරන්න පැය තියෙන්නේ 960යි. ඒක කරන්න ඒ වෙලාවේ බැරි වුණොත් මගේ ගෙදර ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ඒ අය කියලා තියෙන්නේ එහෙම වුණොත් ''තාත්තා කම් හෝම්'' කියලා බෝඩ් අල්ලනවා කියලා. රට ගොඩගියේ නැත්තන් මටත් ගෙදර යන්න වෙනවා.

විශේෂයෙන් කවදාවත් දේශපාලනය නොකරපු කෙනෙක් දේශපාලනයට එනකොට ගෙවල්වල අය කැමති නෑ. ඔබට කොහොමද ගෙදරින් ප්‍රතිචාර?

අපේ අම්මගෙන් පූර්ණ ආශිර්වාදය තියෙනවා. මිනිස්සු බඩගින්නේ ඉන්න මොහොතක අපි කාලා වැඩක් නෑ කියලයි අපේ අම්මා කියන්නේ. අනික් මිනිස්සුන්ට කන්න නැත්තන් ගිහින් වැඩ කරන්න කියලා අම්මා කියන්නේ. ඒත් මගේ ගෙදර අය කියන්නේ තාත්තට පුළුවන්. හැබැ‍යි කල් දෙන්නේ නෑ. ළමයි කල්දෙන්නේ මාස හයයි. ගෙදර අය කියන්නේ මාස හයෙන් හදන්න බැරිනම් ඒ රස්සාවේ වැඩක් නෑ කියලා. අපි වුණත් කල්දෙන්නේ මාස තුනයිනේ කොම්පැණියකට.

ඔබ දීර්ඝකාලීන දේශපාලන අරමුණක නෙමේද ඉන්නේ?

මෙහෙමනේ ගොඩගන්න බැරිනම් දීර්ඝකාලීනව ඉඳලා වැඩක් නෑනේ.

ඔබ කවදාවත් ජනතා ඡන්දයකට එන්නේ නැද්ද?

ඒක මට කියන්න බෑ. රට හොඳට හැදුවොත් ගෙදර ඉඳන් හ‍රි ඡන්ද කරන්න පුළුවන්නේ. වැඩකළේ නැත්නම් තමා ඔලුව අතගාලා ගන්න වෙන්නේ.

රට අවුල් වෙන්න හේතුව රටේ පාලනයේ අවුලක් කියන්නේ. ඒක ඇත්තද?

මට ඒක කියන්න බෑ,මම කතා කරන්නේ මට පුළුවන්දේ ගැන.

ජනාධිපතිතුමාගෙන් ඔබට කොහොමද ඉඩ?

මෙහෙමයි ජනාධිපතුමා කිව්වනේ ෆේල් වෙලා ගෙදර යන්නේ නෑ කියලා. ඉතිං එතුමා පාස්වෙලා යන්න තව වැඩකරන්න පුළුවන් කට්ටිය ගෙනෙයි. ගෙනල්ලා වැඩේ ගනී.

ඔබ පොහොට්ටුවේ සාමාජිකයෙක්. අගමැති එජාපයේ. සාමාන්‍යයෙන් පක්ෂ අතර ගැටීම වැඩියි. කොහොමද අගමැති එක්ක වැඩ කරන්න පුළුවන්ද?

මට පක්ෂයක් නෑ. මගේ පක්ෂය රට. ඒ නිසා මට ඕනම කෙනෙක් එක්ක රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්.

නෙළුම් කුලුන අයිති ඔබට. ඒක දැන් සුදු අලියෙක් වෙලා. මොකක්ද ඒකට කරන්නේ?

කරන්න පුළුවන් මෙච්චරයි. පහළ කොටසේ වර්ග අඩි 45000ක් තියෙනවා. උඩත් තියෙනවා. ඒක රෙන්ට් කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ.

මොනවද මේ වෙද්දී ලැබුණු වරප්‍රසාද ඇමැති වුණාම?

කිසිම වරප්‍රසාදයක් ලැබිලා නෑ. අරගෙනත් නෑ. මගේ සිකුරිටි එකට දෙන පඩියත් මාස අන්තිමේ නැවත යවනවා.

ඔබට මේ ඉඩ හදලා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතාද?

නෑ ජනාධිපතිතුමා. මම එන්න හදනකොට අයින් වෙන්න හිටියේ වෙන මන්ත්‍රී කෙනෙක්. ඒත් මම එන නිසා බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා තිබ්බා ධම්මික එනවා නම් එතුමා අයින් වෙන්නම් කියලා.

අවසාන වශයෙන් අහන්නේ ඔබ නේද ඊළඟ පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා?

ඒක මට දැන්ම කියන්න බෑ. මම ආවේ රට හදන්න. රට හැදුවයින් පස්සේ මොනව වෙයිද දන්නේ නෑ.

 ගයාන් ගාල්ලගේ