2022 ජුනි 26 වන ඉරිදා

රනිල්ගෙ ආණ්ඩුවෙන් පෝලිම් අඩුවුණාද?

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 10:00 110

ජේ.සී අලවතුවල පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ජාතික සංවිධායක, සමගි ජන බලවේගය

♦ අසීමිත බලයක් තියාගෙන රාජපක්ෂල රට අගාධයට දැම්මා
♦ 21 සංශෝධනය කියන්නෙ නංගි පෙන්නල අක්ක දෙන වැඩක්
♦ රට අද තියෙන තත්ත්වයට පත්වුණේ 2007න් පස්සේ
♦ අපි එක්ක කතා කරන ගමන් රනිල් අගමැති කළා
♦ රාජපක්ෂලගෙ වැඩවලට රනිල් ලොකු පිටිවහලක්
♦ පොහොර වැඩෙන් තමා අනාගැනිල්ල පටන් ගත්තෙ
♦ ජනතාව අපට කියනව පාර්ලිමේන්තු යන්න එපා කියල
♦ ගෙවල් ගිනි තිබ්බට මේක දාලා යන්න බැහැ
♦ විජේදාස රටත් ජාත්‍යන්තරයත් රවටනවා
♦ දැන් ඡන්දයකට යන්නයි ඕනෑ

වර්තමාන සමාජය මුහුණදෙන අර්බුදයට සමස්ථයක් හැටියට අවුරුදු 74ක දේශපාලනයට දෝෂාරෝපණය එල්ල වෙනවා. ඔබ හිතන්නේ මේ අවුලට ඒකද හේතුව?

ඔය අවුරුදු 74 ඇතුළේ හොඳ සහ නරක තියෙනවා. ඇත්තටම මේ රටේ අද ඇතිවෙලා තියෙන තත්ත්වයට හේතු වෙන්නේ අවුරුදු 74 නෙමෙයි. යම් යම් අවස්ථාවල සිදුවීම් මත අපි ණයකාරයෝ කරන පළවෙනිම තැන තමයි 1956 පස්සේ ඇති වෙන්නේ. ඊටපස්සේ 1974 වෙනකල් අපි නොයෙකුත් දුක් වින්දා. හැබැයි මේ තීරණාත්මක තත්ත්වය පටන් ගන්නේ 1994 ඉඳලා. 1994 වෙනකල් යම් ආකාරයක බැලන්ස් එකක් කළා. ප්‍රේමදාස මහත්තයා ගත්තම යුද්ධ දෙකක් කළා උතුරේ දකුණේ දෙකේම. කොහොම වුණත් 1994 ඉඳල ඉතාම තීරණාත්මක ගමනක් ඇවිල්ලා මේ සියල්ල කනපිට පෙරලුනේ 2005 දී. මහින්ද මහත්තයා පත්වෙලා 2007 වෙද්දී ගත්ත ණය ප්‍රමාණය එක්ක තමයි මේ ප්‍රශ්නය ඉස්මතු වෙන්න පටන් ගත්තේ.

1994න් පස්සේ ඔබලත් ආණ්ඩු කළානේ?

ඔව්. 2001 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව ගන්නකොට මේ රටේ ආර්ථිකය සෘණ අගයේ තිබ්බේ. ඔය අද 74 කතා කියන ජවිපේ අයයි චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අයයි එකතුවෙලා තමා ඒ ආණ්ඩුව පෙරළුවේ. මම මේ මෙච්චර කියන්නෙ මේ 74 කියන චෝදනාව පදනමක් නැති නිසා. අද තියෙන තත්ත්වය ඇතිවෙන්න හේතුව වුණේ 2007න් පස්සේ.

මොකක්ද 2007 පස්සේ වුණේ?

බලන්නකෝ අධික ණය අරගෙන කරපු සංවර්ධන ව්‍යාපෘති. හොඳම උදාහරණය හම්බන්තොට කරපු දැවැන්ත ව්‍යාපෘති. ඒවා දැවැන්ත ආයෝජන වුණාට කෝ ආදායමක් නෑනේ. නෙළුම් කුලුන ගන්න ඇති ළඟම උදාහරණයට.

දැන් ඔබලා යහපාලනය ගන්නකොට බෙල්ලටම හිරවෙලාද තිබ්බේ?

පැහැදිලිවම හිරවෙලා තිබ්බේ. ඇයි මහින්ද මහත්තයා අවුරුදු දෙකකට කලින් ඡන්දයකට ගියේ. එයා දන්නවා මේක හිරවෙනවා කියලා. මොකද එයාගෙම ආර්ථික න්‍යායන් නිසා තමයි මේ ආර්ථිකය එදා හිරවෙන්න ගියේ. ඒ නිසයි ඡන්දයකට ගියේ. ඒත් අපි ඒ වෙලාවේ දින්නට රට ආර්ථිකට වශයෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් හිරවෙලා තිබුණේ. විශේෂයෙන් ජිනීවා ප්‍රශ්නය, ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවෙලා තිබ්බේ. ඒ සියල්ල විසඳගත්තේ අපි.

ඔබලා ඔහොම අමාරු තත්ත්වයක් යටතේ මේ රට පාලනය කරන්න ගත්තට, අන්තිමේ මහ බැංකු වංචාව සිද්ධ කළා. අද මේ තත්ත්වයට ඒකත් හේතුවක් නෙමෙයිද?

ඔව්. ඒ කියන දේවලුත් යම්තාක් දුරට හේතු වුණා. ඒත් කබ්රාල්ලා 2011 ඉඳල ඔය වගේ වැඩ කළා කියලා වාර්තාවලින් එළියට ආවෙ. මහ බැංකු බැඳුම්කර වංචා වාර්තාවෙම තියෙනවනේ. මේ අස්සේ මෛත්‍රීපාල මහත්තයා දින 52කට ආණ්ඩුව මහින්ද රාජපක්ෂට දුන්නනේ. ඒත් ඒකෙනුත් වුණේ රට අරාජික වීමනේ. හැබැයි මේ මොනවා වුණත් ඔය යහපාලන කාලයේ නෙමෙයිද ජී.එස්.පී. ප්ල්ස් සහනය නැවත ලැබුණේ. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළානේ. විශේෂයෙන් 19 ගෙනාපු එක. ඒ නිසා මේ හැමදේටම වගකියන්න ඔන රාජපක්ෂලා. දැන් බලන්න අසීමිත බලයක් තියන් මේ රට අගාධයට දැම්මේ කවුද?

ඔබලට තිබ්බා නේද දුන්න අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ රට හරි පාරට ගන්න. ඇයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තේ?

නෑ.. නෑ... අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තා නෙමෙයි. දැන් රටේ ජනතාවම එපා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඒ වගේම මේ තත්ත්වයට නොයන්න දැඩි තීරණ ගත්තේ නෑ කියලා එතුමම පිළිගන්නවා. ඉතිං එහෙම කෙනෙක් එක්ක එකපාර වාඩි වෙන්න බෑ. ඒ නිසා අපි කොන්දේසි කීපයක් ඉදිරිපත් කළා. ඒ කොන්දේසිවලට අකමැති වීම නිසා තමයි අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහත්තයට දුන්නේ. ඒ දුන්නේ අපි එක්ක සාකච්ඡා කරන අතරතුරේ.

ඇයි අන්තිම මොහොතේ බාරගන්නම් කිව්වේ?

ඒ හැම වෙලාවකම අපි කොන්දේසි සහිතව කිව්වේ. විපක්ෂනායක හැටියට ජනතා මතයට පිටුපාලා යන්න බෑ. අපි කිසිවෙලාවක බෑ කීවේ නෑ. අපි කොන්දේසි දැම්මා. කොහොමවුණත් රාජපක්ෂලගේ වැඩවලට රනිල් වික්‍රමසිංහ මහත්තයා ලොකු පිටුවහලක්. ඒ නිසයි ඔහුව අගමැති කරලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා.

විපක්ෂයේ කණ්ඩායම් විවිධ වැඩ කරනවා ආණ්ඩුවට විරුද්ධව. ඔබලාගෙ කාර්ය ගැන සෑහීමකට පත්වෙනවද?

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව පත්වුණේ 2019 දී. ඒ ආවේ ජාතිවාදය, පාස්කු ප්‍රහාරය වගේ දේවල් විකුණලා. මේ නිසයි 69 ලක්ෂයක ඡන්ද වගේම 2/3 ආණ්ඩුවකුත් ජනතාව දුන්නේ. ඒ අස්සේ තමයි අපි අලුත් පක්ෂයක් හැටියට ආරම්භ කරලා විපක්ෂය ගන්නේ. හැබැයි අපි ජනතාවට ඡන්දය දෙන්න කලින් ඉඳන් වගේම, මේ තත්ත්වය ඇති වෙද්දී ජනාධිපතිවරයා ගත්ත තීන්දු තීරණවලටත් එරෙහිව අපි අපේ සටන කළා. අපි අපේ වගකීම කළා. උදාහරණයක් හැටියට පොහොර ප්‍රශ්නය. අපි ඒක වෙනස් කරද්දීම කිව්වා. ඒක කරන්න එපා කියලා. ඒත් ඇහුවද? නෑ.

දැන් විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තු වර්ජනය කළ එක හරිද මේ වගේ අසීරු මොහොතක?

ඉස්සර වගේ නෙමෙයි දැන් පාර්ලිමේන්තුව විපක්ෂය කියන දේ පිළිගන්නේ නෑ. විහිළුවට ලක්කරනවා. ජනතාව දැන් අපිට කියනවා ඔය පාර්ලිමේන්තුවට යන්න එපා කියලා. ජනතාවගේ ඉල්ලීම සාධාරණයි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආණ්ඩුව ගත්තේ ප්‍රශ්නය විසඳන්නනේ. කෝ එක පෝලිමක් අඩුවුණාද? තව තව වැඩිවෙලා විතරයි. අපි කතා කරන දේවල් කිසිදෙයක් පිළිගන්නේ නෑ. ඒකයි මේ. ඒ නිසයි අපි පණිවිඩයක් දෙන්න ඕන සතියක් වර්ජනය කරලා. අන්න ඒක නිසා අපි යන්නේ නෑ.

ජවිපේ සහ ඔබලා එකතු වෙලාද මේ තීරණය ගත්තේ?

විපක්ෂය හැටියට අපි ඉල්ලීමක් කළා. අපි බලාපොරොත්තු වෙනවා සමගි ජනබලවේගයේ ඉල්ලීමට එකඟ වුණා කියලා. ආණ්ඩුවේ ඉඳලා ස්වාධීන වුණ අය ඉන්නවා. ඒත් එයාලා සැබෑ විපක්ෂය නෙමෙයි. සැබෑ විපක්ෂය නම් තමන්ගේ ප්‍රකාශයට තැනක් නැති නම් පාර්ලිමේන්තුව වර්ජනය කරන්න ඕන.

ඇයි ඔබලා 21වැනි සංශෝධනයට විරුද්ධ?

නෑ අපි එහෙම විරුද්ධත්වයක් 21 ට නෑ. 21 කියලා කරන්න යන්නේ නංගි පෙන්නලා අක්කා දෙන වැඩක්. අඩුම ගානේ 19 තියෙන සමහර කාරණා පවා නෑ. ස්වාධීන කොමිෂන් සභා තිබ්බට, ජනාධිපතිගේ බලතල කප්පාදු කරලා නෑනේ. ජනාධිපතිට ඇමැති මණ්ඩලය පත්කිරීමේ බලය, ඇමැතිධූර දැරීමේ බලය ඉවත් කරලා නෑනේ. ජනතාව කියනවා නම් ගෝඨාභයට ගෙදර යන්න. ඒක නොකර අපි මේ ඔහුට බලය දෙන එක 21 හරහා කරන්න ඕන නෑ. ජනතාවගේ මතයට පිටුපෑමක් ඒක. ඒකට එකඟ නෑ අපි. එහෙම නැතුව අපිත් ඉදිරිපත් කරලා තියෙනවා පුද්ගලික යෝජනාවක් අනුව. ඒත් මේ විජේදාස රාජපක්ෂ මහත්තයා කරන්නේ රටත් ජාත්‍යන්තරයත් රවටන වැඩක්.

21 ක්‍රියාත්මක කරන්න බැරිනම් ඔබලා ඉල්ලන්නේ ඡන්දයක්ද?

මේ ජනතාවට ඕන වුණේ රාජපක්ෂලා එලවන්න. ඒක කරන්න වුණේ නෑ. ඒ වගේම මේ දේශපාලන හොරු අල්ලන්න. ඒක වුණෙත් නෑ. එහෙම දේවල් වෙන්නේ නැත්තන් ජනතාවට ඉඩ දෙන්න ඕන ජනතාව කැමති පාලනයක් තෝරගන්න. ඒ නිසා ඡන්දයකට යන්න ඕන. සල්ලි ප්‍රශ්න කෙසේ වෙතත් ඒක වෙන්න ඕන. මොකද ගෝඨාභය රාජපක්ෂටත්, රනිල් වික්‍රමසිංහටත් ජනතා කැමැත්ත මේ වෙද්දී 10෴යි.

ඔබලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකතුවීම ගැන එකඟද?  

පැහැදිලිවම. ඒ වගේ ආයතන එක්ක අපි ගනුදෙනු කරන්න ඕන. අපි මුල ඉඳලා කිව්වේ ඒක. මොකද අපේ රට ගොඩනගන්න පුළුවන් එවැනි ආයතන එක්ක කරන ගනුදෙනු එක්ක. අපි කියන්නේ පෞද්ගලික සම්බන්ධතා එක්ක ණය අරගෙන හිර කරගන්නවට වඩා හොඳයි එවැනි ආයතන එක්ක ගනුදෙනුවලට යන එක.

දැන් දේශපාලනඥයෙක් හැටියට ආසනයේ බැහැලා යන්න පුළුවන්ද?

අයියෝ මම නම් යනවා. දේශපාලනඥයෝ ගොඩකට ප්‍රශ්න තියෙනවා. මම හැමදාම කුරුණෑගල වටේ යනවා වැඩවලට.

ඔබලා මේ ගෑස් තෙල් ගන්නේ කොහොමද කියලා ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. මොකද පෝලිමකවත් දකින්න නෑනේ?

ජනතාව වගේම තමා මමත් තෙල් ගන්නේ. ඔය අපිට දුන්නනේ පොලීසියේ තැනින් ගන්න. ඒ වෙලාවෙවත් මම ගත්තේ නෑ. මොකද මමත් ජනතාව වගේම ගන්න ඕන. කොහොම වුණත් අපේ ගමන් බිමන් දැන් සීමා කරලා තියෙන්නේ.
තවදුරටත් දේශපාලනය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? කලකිරිලා නැද්ද?

මේක අභියෝගාත්මක අවස්ථාවක්. ඒක දැකලා මග අරින්න බෑ. මේ දේවල්වලට පිළිතුරු දෙන්න ඕන කවුද? අපිමයි. එහෙම කියලා මේ සියල්ල මග ඇරලා යන්න බෑ. ගෙවල් ගිනි තිබ්බා හෝ දේපල හානි කළා කියලා මේක දාලා යන්න බෑ.
ඔබේ පරණ නායකතුමා අලුත් ආණ්ඩුවට කතා කළාද?

ඔව් මට එතුමා අගමැති වුණ ගමන් කතා කළා. ඒ වෙලාවේ රට වෙනුවෙන් සහය දෙන්න කිව්වා. මම කිව්වා ආණ්ඩුවට එක් වෙන්නේ නෑ එළියේ ඉඳලා සහය දෙන්නම් කියලා. මොකද මම කවදවත් පක්ෂය මාරු කරන්නේ නෑ. මොකද මම පක්ෂයේ ජනතාවගේ ඡන්දයේ ගෞරවය රකිනවා.

■ ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00