2022 ජුනි 12 වන ඉරිදා

දෙතුන් දෙනකුගේ ’සෙල්ලම්’ නිසා අහිංසක මැති ඇමැතින්ටත් බැට කන්න වුණා

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 112

- පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

♦ මෛත්‍රීපාල මහත්තයා අසාර්ථක වුණා: ගෝඨාභය මහත්තයා ඊට වඩා අසාර්ථක වුණා
♦ මෙතැනින් පස්සේ පක්ෂවල භූමිකාව ඉවරයි
♦ අරගලය කුමන්ත්‍රණයක් නොවේ
♦ දැන්වත් යූ ටර්න් එකක් ගහන්නම ඕනෑ
♦ ආණ්ඩුවේ උපදේශකයන් නූගතුන් පිරිසක්
♦ ආණ්ඩුව තාමත් පාඩමක් ඉගෙනගෙන නෑ
♦ බැසිල් තමයි අධිපතිවාදයේ නිර්මාතෘ

ඔබ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක්. ඔබ විවිධ ආණ්ඩුවල වැඩකර තිබෙන කෙනෙක්. ඔබට හොඳ අත්දැකීම් තිබෙනවා. අද එක්ක සංසන්දනය කළාම ඔබට මේ දේශපාලන පරිසරය මොන වගේද පෙනෙන්නේ?

මේ දේශපාලන පරිසරය හරිම ව්‍යාකූලයි. මට පේන හැටියට මේ වෙනකොට කිසිම පක්ෂයක් ගැන මහජන විශ්වාසයක් නැහැ. ඒ වගේම දේශපාලන පක්ෂ එම ව්‍යාකූලත්වය මගහැරෙන්න වැඩකටයුතු කරනවා කියලා මට දැනෙන්නෙත් නැහැ. මේ ජනජීවිතය මීට වඩා හොඳින් පවත්වාගෙන යා හැකි යැයි විශ්වාස කරන නිසා මේ හැම ප්‍රශ්නෙකටම දේශපාලනඥයන් වගකිවයුතු යැයි කියන තැන තමයි ජනතාව හිතන්නේ. දේශපාලනයේ වෙනසක් බලාපොරොත්තු වුණාට අපි තෝරගෙන තියෙන්නේ ආචීර්ණකල්පිත දේශපාලන ක්‍රමයක් විතරයි. ඒ නිසා ඒ දේශපාලන ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැත්නම් මහජනයා විකල්ප ක්‍රියාවලට යන එක නවත්වන්න බෑ. දැන් මේ දේශපාලන අවුල ආර්ථික අවුලක් දක්වා දුරදිග ගිහිල්ලා තියෙන්නේ. මේ ආර්ථික ඛේදවාචකය ගොඩනගන්න නම් මීට වඩා සැලකියයුතු වෙනසක් තිබිය යුතුයි.

ඇයි දැන් මේක වෙනස් කරගන්න බැරි?

අද වෙනකොට දේශපාලනය ගැන කතා කිරීම පවා මිනිසුන්ට එපාවෙලා තියෙන්නේ. 

දැන් මේ දේශපාලන සහ ආර්ථික වියවුලත් එක්ක තමයි රට තුළ අරගලයක් නිර්මාණය වෙන්නේ. මේ අරගලය විවිධ දේශපාලන පුද්ගලයන් විසින් මේක දේශපාලන කුමන්ත්‍රණයක්, මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට අර්ථ ගන්වනවා. ඔබ කොහොමද අරගලය අර්ථ ගන්වන්නේ?

මම නම් මේ අරගලයේ එහෙම කුමන්ත්‍රණයක් දකින්නේ නැහැ. මම දකින්නේ අරගලය නිර්මාණය වුණේ අපේ දේශපාලන වෙනස නිසි වෙලාවට සිදු නොවුන නිසා. මේ අරගලය ඇත්තටම ඇතිවුණේ නාගරික මධ්‍යම පාන්තික අයගේ මූලිකත්වයෙන්. ඒකට හේතුව වුණේ ආණ්ඩුව ගොවි විරෝධතා වැඩිය ගණන් ගත්තේ නැහැ. ගොවියෝ පෝර ඕන කියලා පාරට බැස්සාම ආණ්ඩුව ඒක නොසලකා හැරියා. ඒකට හේතුව ඒ සටන්කාමී බව ඒ තුළ නැතිවීම. ඒ වෙලාවේ ආණ්ඩුවට තමන් කරන අමනෝඥ ක්‍රියාව සම්බන්ධයෙන් වැටහීමක් තිබුණේ නැහැ. අන්න එතැනින් පස්සේ තමයි ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පාන්තිකයෝ එළියට බැස්සේ. අන්න ඒ අරගලයට තරුණ තරුණියෝ සහභාගි වූ නිසා ජනතාවට පොඩි අනුකම්පාවක් තිබුණා. ඒ වෙනකොට රටේ ආර්ථිකය විශාල ලෙසින් අර්බුදයකට යමින් තිබුණේ. ඒ නිසයි ඒ සටන් පාඨ ජනතාව අතර වැඩිය ප්‍රචාරය වුණේ.

දැන් ගොඩක් අය කියනවා මේ අරගලය දේශපාලනීකරණය වෙලා තියෙනවා කියලා. ඒක ඇත්තද? ඔබට පේන්නේ කොහොමද?

දේශපාලනය විසින් අරගලය ඩැහැගත්තේ මේ මෑතකදී. එහෙම නැතිව ආරම්භයේදී එවැනි දෙයක් තිබුණේ නැහැ. මේ සියල්ලම වුණේ ආණ්ඩුව විසින් මුග්ධ ලෙස කටයුතු කිරීම නිසා. එයට හොඳම උදාහරණය පසුගිය මැයි 9 වැනිදා.

ඔබ ඔය නොකියා කියන්නේ අරගලය දේශපාලනය විසින් ඩැහැගත්තේ 9 වැනිදායින් පස්සේ කියලාද?

මම හිතන්නේ එහෙමයි. ඒ පහරදීම කිසිසේත් නොකළ යුතු කාරණයක්. ඒක මහා බරපතළ නොකළ යුතු තීන්දුවක්. ඔය එදා සිද්ධිය ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු කළ සිද්ධියක්. එදා වුණේ විප්ලවය සහ ප්‍රති විප්ලවයත් පහරදීම සහ පෙරළා පහරදීමත්. තවමත් මේ විප්ලවය ආණ්ඩුවට තේරිලා නැහැ. එදා ඇතිවුණේ විප්ලවයක්. ඒක කවුරු හරි ලඝු කරනවා නම් එදා ගෙවල් ගිනිතැබිමේ සිද්ධියත් එක්ක. ඒක වැරදියි. සම්පූර්ණයෙන්ම එදා දේශපාලන වෙනසක් සිදු වුණා. වැරදි දේශපාලන උපදෙස් මත සිද්ධ වුණු ඛේදවාචකයක්. එදා සිද්ධියෙන් තවම ආණ්ඩුව පාඩමක් ඉගෙන ගෙන නැහැ. 

ඔබ පිළිගන්නවා ජනතාවගේ ඉවසීම එදා ආණ්ඩුව විසින් අවුස්සලා පුපුරුවා හැරියා කියලා?

ඔව්. අනිවාර්යයෙන්. මම විවෘත අදහසක් ප්‍රකාශ කරන්නම්. මේ පසුගිය ආණ්ඩුව අල්ලාගෙන හිටියේ නූගතුන් පිරිසක් විසින්. ඒ අය තමයි ආණ්ඩුවේ උපදේශකයන් සහ ක්‍රියාධරයන් බවට පත්වුණේ. ඒ අය හිටියේ මනෝරාජික ලෝකයක. ඒ අයට මුදල් තිබුණා. ඒ වගේම හොරකම් කළා. ඒ අයගේ ජීවන රටාව වෙනස්. ඒ අයට සමාජ ස්ථර සම්බන්ධයෙන් අවබෝධයක් තිබුණේ නැහැ. 

ඔබ කියන්නේ ඔවුන්ට ආණ්ඩුවේ වගකීමුත් පැවරුවා කියලාද?

පැහැදිලිවම. ඒ අඥාන ක්‍රියාව ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් සිදුකරලා තිබුණා. ඒ නිසා තමයි 9 වැනිදා අර වගේ සිද්ධියක් ඇතිවුණේ. මැයි 9 වැනිදාට පෙර ඇතිවුණ තත්ත්වයත් එක්ක ඒකට මුහුණ දෙන විදිහ කොහොමද කියලා උපදෙස් දෙන්න ආණ්ඩුවේ ප්‍රඥාවන්තයන් හිටියේ නැහැ. ඒකට උපදෙස් දෙන්න හිටියේ නූගත්තු. ඒ අය අහංකාර හිස් මිනිස්සු. ඒ අය තමයි එදා මේ සිද්ධිය ඇති කළේ. 

දැන්නම් ඒ අයගේ අහංකාරකම් සියල්ල ඉවරයි නේද?

නැහැ. තාමත් ඒ අය පාඩම් ඉගෙන ගෙන නැහැ. 

ඔබ කියන්නේ ඒ අය තවමත් අභ්‍යන්තරික වශයෙන් ආණ්ඩුව යට ඉඳන් ක්‍රියාත්මක වෙනවා කියලාද?

ඔව්. දැන්නම් අහංකාරකම ටිකක් අඩුයි. පරිවර්තනයක් අවශ්‍යයි කියන දේ ඒ අය පිළිගන්නවා.

9 වැනිදා සිද්ධියත් එක්ක එක පැත්තකින් ජනතාවට අනාවරණය වෙනවා මේ ඇමැතිවරු ජනතාව දුක් විඳිද්දී මොන වගේ සැපක් විඳලා තියෙනවාද කියලා?

කරුණාකරලා කියන්නම්. ඒ කාරණය සියලුම ඇමැතිවරුන්ට ලඝු කරන්න එපා. 

ඔව්. ඒක හරි. ඒත් ඇමැතිවරුන්ගේ ගෙවල්වලින් ගෑස් සිලින්ඩර හමුවන විට යූරියා මිටි ගණන් හමුවෙද්දී ජනතාවට දේශපාලනඥයා කියන මනුස්සයා සමස්ථයක් හැටියට එපා වෙනවා නේද?

මම කිව්වේ මුලින්ම. පාලනය අමනෝඥ අවස්ථාවාදී කිසිම අවබෝධයක් නැති පුද්ගලයන්ට බාර දුන්නාම මෙවැනි තත්ත්වයන් උදාවෙනවා. ඒකට හේතුව කිසිම දේශපාලන පරිවර්තනයක් වෙන්නේ නෑ. වෙන්නේ පෞද්ගලික න්‍යායයන් ක්‍රියාත්මක වෙමින් පක්ෂ දේශපාලනය ක්‍රියාත්මක වීම. ඒ තුන් හතර දෙනා නිසා ලංකාවේ ඉන්න අහිංසක මැති ඇමැතිවරුන්ටත් බැට කන්න සිදුවුණා. ඒ උද්ධච්ඡ කට්ටිය තාම පාඩම් ඉගෙන ගෙන නැහැ. තාමත් ජනතාව ඉදිරියේ විවිධ කතා කියමින් යනවා.

අපි ජනතාව නම් ඒ උද්ධච්ඡ පිරිස සහ ජනහිතවාදී පිරිස හඳුනාගන්න බෙදුම් රේඛාව හඳුනා ගන්නේ කොතැනින්ද?

ඒක සාමාන්‍ය ජනතාවගේ විඤ්ඤාණය අනුව සිදුවන දෙයක්. ඒකට වග කියන්න ඕනේ එක පැත්තකින් දේශපාලනඥයන් වගේම අපේ රටේ මාධ්‍යයත්. මේ රටේ කවුද හරි කවුද වැරදි කියලා බලනකොට ජනතාවට හරි වැටහීමක් ගන්න අවස්ථාවක් නැහැ. 

සම්පූර්ණ දේශපාලනය කඩා වට්ටලා බිඳ දමන්නට සංවිධානාත්මක පිරිසක් ක්‍රියාත්මක වෙනවා කියලාද?

මේක මම තර්ජනයක් විදිහට දකින්නේ නැහැ. අපේ දේශපාලන ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් හැටියට ඇතිවන විකෘතියක් හැටියටයි මම දකින්නේ. මේක ඇතුලේ කැම්පේනුත් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය බිඳලීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි දේශපාලනය උත්තුංග කාරණයක් හැටියට මම දකින්නේ.

ඔබ හිතන්නේ නැද්ද මේ පිරිහීම පටන් ගත්තේ ගෝඨාභය මහත්තයාගෙන් ජනතාව බලාපොරොත්තු වුණු යම් යම් වෙනස්කිරීම් නිසි කාලවේලාවලදී සිදුකිරීමට නොහැකි වුණ නිසා කියලා?

මහජනයා හිතන් ඉන්නවා මේ දේශපාලන කාරණය වෙනස් කිරීම සඳහා දේශපාලනයෙන් තොර කෙනෙකුට පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගන්නේ. ඔය ප්‍රතිසංස්කරණවාදය පටන් ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඔහු අසාර්ථක වුණා. ඔහුට වඩා ගෝඨාභය මහත්තයා අසාර්ථක වුණා කෙටි කාලයකින්. ඒ හරහා ජනතාවට විශාල කලකිරීමක් දුකක් ඇතිවුණා. ඒක ඇතිවුණේ රටේ මධ්‍යම පාන්තිකයන් අතරින්.

දැන් මෙතැන තිබෙන බරපතළ තත්ත්වය ජනතාව ඍජුවම රට පාලනය කරන තැනකට මුල්වෙලා නේද? ඒක පාලනය කරගන්නත් බැරිවෙලා තියෙනවා නේද?

ඒක පාලනයේ දුර්වලකමක්නේ. පාලකයා ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනෑ. ඊට හොඳම උදාහරණය තමයි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ඉවත්වීම.

ඔබ කොහොමද බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ඉවත්වීම දකින්නේ?

පැහැදිලිවම අධිපතිවාදයේ බිඳ වැටීමක්. ඔහු තමයි අධිපතිවාදයේ නිර්මාතෘ. ඔහු නික්මයාම කියන්නේ අර බමුණු කුලයේ බිඳ වැටීම වගේ වැඩක්. මේ වෙද්දිත් ඔහු නික්ම ගිහිල්ලා නිසා වෙනසක් සිදුවිය යුතුයි.

ඔබතුමා කියන්නේ දැන් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නික්ම යාමත් එක්ක මේ ගිය මාර්ගයෙන් යූ ටර්න් එකක් ගහන්න ඕන කියලාද?

පැහැදිලිවම. දැන් යූ ටර්න් එකක් ගහන්නම ඕන. දැන් ප්‍රජාතන්ත්‍රවාදී මහජනයා බලාපොරොත්තු වන මහජනයාට ඉඩ තිබෙන දේශපාලන ප්‍රවාහනයකට රට තුළ ඉඩ හැදිලා තියෙනවා. ඒකට ඕනෑතරම් ඉඩ තියෙනවා. මේ සඳහා බුද්ධිමත්ව හිතන මිනිසුන් ටිකක් එන්න ඕනේ.

දැන් ජනතාවගේ වෙනස්වීම ඇතිවුණාට පාර්ලිමේන්තුවෙත් ඒ වෙනස ඇතිවිය යුතුයි නේද?

අනිවාර්යයෙන්ම එන්න ඕන. ඒ ගැන තේරුම් ගත්තු පිරිස මේ වනවිට ඒ තැනට එකතුවෙමින් ඉන්නවා. 

අපිට ආරංචි වන හැටියට දැනටම කට්ටිය සංවිධානය වෙලා තියෙනවා නේද අලුත් මාර්ගයකට.

ඔව්. මේ වනවිට සංවිධානය වෙලා තිබෙනවා.

මෙතැනින් පස්සේ පක්ෂවලට ඉඩක් රට තුළ තිබෙනවාද?

මෙතැනින් පස්සේ පක්ෂවල භූමිකාව අවසන්. පක්ෂ දේශපාලනය ඉතා සාම්ප්‍රදායිකයි. නායකයා කියන විදිහට ඉන්න ඕන. නායකයාට පිටින් යන්න බැහැ. ඒ නිසා නායකයා රකින පිරිස වැඩියි. වෙන්න ඕන මහජනයා සහ නියෝජිතයා අතර අන්‍යෝන්‍ය බැඳීමක්. මහජන නියෝජිතයා ඔවුනට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් ලෙසත් නියෝජිතයාට ජනතාව අවශ්‍ය අය ලෙසත් දැන් හැදීගෙන එන්නේ. 

අනුර ප්‍රියදර්ශන ඒ වැඩේ මොළෙන් ගහපු නිසාද ගේ ගිනිගන්නේ නැතිව බේරුණේ?

මම ඒක දන්නේ නැහැ. හැබැයි මම අන්‍යෝන්‍ය ගනුදෙනුව එයාකාරයෙන්ම ජනතාව එක්ක තියා ගත්තා. 

ඇත්තටම ඇමැතිවරුන්ගේ ගෙවල්වලට ගැහුවේ විරුද්ධවාදීන් විතරමද?

නැහැ. මම එහෙම කොහෙත්ම හිතන්නේ නැහැ. ඒ ප්‍රහාරයන් පිටුපස්සේ සියලුදෙනාම ඉන්නවා. ජනතාව එල්ල කළේ ආණ්ඩුව විසින් විප්ලවයට එල්ල කළ ප්‍රහාරයේ ප්‍රතිප්‍රහාරය. ලෝකයේ අනන්තවත් එවැනි සිද්ධීන් වෙලා තියෙනවා. පාලකයා හිතුමතේ බලය අරන් වැඩකටයුතු කරන විට ජනතාව බලය අතට අරන් තිබෙනවා. හැබැයි මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ නිවෙස්වලට ගහන එක හොඳයි කියලා. 

දැන් ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා ඇයි මේ පාලකයන්ට තවමත් මේ ප්‍රශ්නය වැටහිලා නැත්තේ කියලා? පාර්ලිමේන්තුවේදී ගෙවල් ගිනි තැබීම් ගැන ශෝකය පළ කරමින් කතාකරන වෙලාවෙත් ඒ වගේම නිවෙස් හදන්න මුදල් වෙන් කරගන්න උත්සාහ කරන බවට තොරතුරු ලැබෙන වෙලාවෙත් ජනතාවගේ ප්‍රතිචාර ඉතාම දරුණුයි?

මෙහෙමයි. ජනතාව නිවෙස් ගිනි තැබීම මම කිසිලෙසකින් අනුමත කරන්නේ නැහැ. ඒ වගේම ඒ සිදුවෙච්ච අලාභ හානි සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට අයිතියක් තිබෙනවා ඔවුන්ගේ පීඩාව පිට කරන්න ඔවුන්ට වෙච්ච් හානිය ගැන කියන්න. ඒ නිසා මුල් දවස් කිහිපයේ ඒ ගැන කතා කිරීම ගැන මම වරදක් දකින්නේ නැහැ. ඒ අදාළ පුද්ගලයන් නොවුණත් වුණත් ඒ අයට කතා කිරීමේ අයිතිය තිබෙනවා. 

ඔබ හිතනවාද වර්තමාන ආණ්ඩුව යම් ආකාරයක සැලකිය යුතු ගමනක් යමින් සිටිනවා කියලා?

ඔව් මම හිතනවා. නව අග්‍රාමාත්‍යවරයා යටතේ යම් සැලකිය යුතු ගමනක් යමින් සිටිනවා. ඒත් ඒක බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. ජනතාව බලාපොරොත්තු වුණේ දේශපාලන පෙරළියක්. 

ඉතින් ඇයි ඔබ තනතුරක් බාර නොගත්තේ ආණ්ඩුවේ?

මට අගමැතිතුමා තනතුරකට ආරාධනා කළා. මම ඒක බාර නොගත්තේ ඊට වඩා පුළුල් වැඩක් මට එළියේ කරන්න ඕන නිසා. අපි ඇත්තටම තනතුරු ගලවලා තිබ්බා. අපි ඒ පුළුල් වැඩේ කරමින් ඉන්නවා. ජනතාව ඉස්සෙල්ලාම ඔවුන්ගේ ප්‍රශ්නවලින් නිවන්න ඕන.

ඔබලත් මේවාට වග කියන්න ඕනෑ නේද? පහුගිය කාලේ ඔබලා පාර්ලිමේන්තු වචනයක්වත් කතා කළේ නැහැ. රට වැරදි මාර්ගයේ යනවිට ඔබලාට කතා කරන්න තිබුණානේ?

ඒකට අපි නොවෙයි වග කියන්න ඕනෑ නායකයෝ. ඒ උද්දච්ඡ නායකයන් විසින් තෝරා ගත්තේ ලූම්පන් පන්තියේ කණ්ඩායමක්. ඒකනේ මේක වුණේ. ඒකයි පාර්ලිමේන්තුව පිරිහුණේ. පරණ කතාවක් තිබෙනවා රජතුමා කඩුව දුන්නලු වඳුරට තමන් ආරක්ෂා කරන්න කියලා. 

අවසාන වශයෙන් අහන්නේ ඔබ තවමත් පිළිගන්නවාද ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියලා?

ඔව්. ජනතා මතය ඒක නම්, එය කළ යුතුයි.

 ගයාන් ගාල්ලගේ