2022 ජුනි 05 වන ඉරිදා

දෙගොඩ තලා යන බදු බර!

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 63

පොදු මහජනතාවට උසුලාගත නොහැකි තරමේ බදු සංශෝධනයක් සිදුව තිබේ. බදු වැඩිවන බව නියතයක් වූ බව සැබෑවකි. එහෙත් මේ තරමින් හැමතැනටම වදින ආකාරයට බදු වැඩිවනු ඇතැයි ජනතාව සිතුවේ නැත. මිල ගණන් ඉහළ නොයන භාණ්ඩ වර්ගය කුමක්දැයි තෝරා බේරාගැනීම පවා අපහසු වන තරමට මෙවර බදු වැඩි කෙරී තිබේ. ඒ අතර රටේ උද්ධමනය 40% ට ආසන්න වී ඇත.

මේ ඇතැම් සංශෝධන එකවරම ක්‍රියාත්මක නොවන බවත් අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන බවත් සඳහන්ය. ඒ අදියර තුනෙන් එකක් වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙයි. එය දැනටත් පොදු මහජනතාව විසින් උසුලාගෙන යන මහමෙරක් තරම් බර ජීවන වියදම ටොන් හොණ්ඩර ගණනින් වැඩිවීමකි.

වැට් බදු සංශෝධනය වහාම ක්‍රියාත්මක වෙයි. මෙතෙක් 8%ක්ව පැවැති වැට් බද්ද 12% දක්වා වැඩිකර තිබේ. 11.5% සිට 15% දක්වා ඉහළ යන විදුලි සංදේශ බද්ද ද වහාම ක්‍රියාත්මකය. මේ සියල්ල ජනතාවට තදින්ම දැනෙයි. එහෙත් කළ හැකි දෙයක් නැත. හතර අතේ බැණ වදිමින් වැඩිවූ මිලට අත්‍යාවශ්‍යම බඩු ටික මිලදී ගන්නවා හැර වෙනත් විකල්පයක් ජනතාවට නැත. අද රට පවතින්නේ එවැනි මකර කටක් අභියසය. 

බදු වැඩි කිරීමෙන් රජය තම ආදායම වැඩිකර ගැනීමට අපේක්ෂා කරයි. එය අනාගතයේදී අයි.එම්.එෆ්. ණය ලබාගැනීම සඳහා මූලික කොන්දේසි සපිරීමක්ද වනු ඇත. එහෙත් මේ තරමට මිල වැඩි කෙරෙන විට ජනතාව භාණ්ඩ හා සේවා ලබාගැනීම අතහැරීමටද ඉඩ තිබේ. එසේ වුවහොත් රජය අපේක්ෂා කරන ආදායම නොලැබී යනු ඇත. දැනටත් රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබීම එයට හේතුව වෙයි. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ආදායම වැඩිකර ගැනීමේ රජයේ ඉලක්ක සපුරාගත නොහැකි වීමය.

කොතරම් කටුක වුවද මේ යථාර්ථයට මුහුණ දෙනු මිස ජනතාවටත් රජයටත් වෙන විකල්පයක් ඉතිරි වී නැත. දේශීය ආදායම වැඩිකර ගැනීමකින් තොරව රටේ ඉදිරි ගමන ගැන සිතන්නටත් අපහසුය. එහෙත් ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වන්නේ ඍජු බදු ආදායම වැඩිකර ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වා වක්‍රබදු ආදායම වැඩිකර ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවය. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න ප්‍රකාශ කරන්නේ මේ රටේ බදු ගෙවිය යුතු පුද්ගලයන් පිරිසක් බදු නොගෙවන බවත් ආණ්ඩුව එම දුර්වලතාව මග හරවාගෙන පුද්ගල බදු ඉහළ නැංවීමට දක්වන උනන්දුව අඩු බවත්ය. 

එයට හේතුව වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ බදු නොගෙවා පැහැර හරින බොහෝදෙනා ප්‍රබල දේශපාලනඥයන් සහ ඔවුන්ට සම්බන්ධ දේශපාලන හිතවත්කම් ඇති මහා පරිමාණ ව්‍යාපාරිකයන් වීම බවය. මේ ව්‍යාපාරිකයන් විවිධ දේශපාලන ව්‍යාපාරවලට අනුග්‍රහය දැක්වීමත් අරමුදල්වලට දායක වීමත් හේතුවෙන් ඒ අය බදු දැලට කොටුකර ගැනීමට පියවර නොගෙන ඒ පිරිසට නිදැල්ලේ සිටීමට ඉඩදෙන බවය. මේ හේතුවෙන් කුඩා මිනිහාට ඍජු බදු ගෙවීම බල කෙරෙන තත්ත්වයක් උදා වී තිබේ. මෙයින් සිදුවන්නේ දුප්පතාගේ වියදමට සීමා පැනවී ධනපති ප්‍රබලයන්ට රිසි සේ වියදම් කිරීමට අවස්ථාව ලැබීමය. ජාතික බදු ප්‍රතිපත්තියකින් තොරව කෑලි කෑලි පූට්ටු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල අවම සහ තාවකාලික බවද මහාචාර්යවරයා පෙන්වා දී තිබිණි.

වත්මන් ආණ්ඩුව මුලින්ම වරද්දා ගත්තේ 2019 වසර අගභාගයේදී වත්මන් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව බදු පදනම සංශෝධනය කරමින් වැට් බද්ද පහත දැමීමට තීරණය කිරීමෙනි. එයින් අහිමි වූ රාජ්‍ය ආදායම බිලියන 560 ඉක්මවන බවටද ගණන් බලා තිබිණි. ඒ හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වයේදී රටේ ආර්ථිකය කබලෙන් ලිපට වැටිණි. එම බලපෑමෙන් මිදීමට තරම් ශක්තියක් අපේ ආර්ථිකයට නොතිබිණි. වැට් බදු සංශෝධනය සිදු නොවී රජයේ ආදායම ද අඩු නොවී තිබුණා නම් යන්තමින් හෝ එයට ඔරොත්තු දීමට හැකියාව තිබිණි. ඉන්පසුව රටේ ආර්ථිකය දිගින් දිගටම කඩා වැටුණි. මේ තරම් ඇඟට දැනෙන ආර්ථික අමාරුවක ආරම්භය එසේ විය.

දැන් කරන්න තිබෙන්නේ වැටුණු තැනින් ගොඩ ඒමට මඟක් සොයාගැනීමය. දුප්පතාගේද බඩටම වදින ආකාරයට බදු බර වැඩිවන්නේ එවැනි එක් පියවරක් වශයෙනි. එහෙත් බදු වැඩිකිරීම පමණක් ප්‍රමාණවත් නැත. පොඩි මිනිහාගේ පිට පොත්තටම ඇලී තිබෙන බඩට තවදුරටත් පටි බැඳ ගැනීමට ඉඩ නොතබා මෙතෙක් කාලයක් බදු දැලට හසුකර ගැනීමට නොහැකි වූ තෝරු මෝරුන්ද බදු දැලට හසුකර ගැනීමෙන් දුක් විඳින ජනතාවට යම් පමණකට හෝ සහනයක් ඇතිවනු ඇත.