2022 ජුනි 05 වන ඉරිදා

ගෝඨා ’’කම්-හෝම්’’

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 105

මේ දවස්වල ආණ්ඩුවේ කැපී පෙනෙන චරිතයක් වී ඇත්තේ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂය. 21 වැනි සංශෝධනය හරහා ඔහු මේ චරිතයට පණ පෙව්වේය. ආණ්ඩුවක ඇතුළේ සිටියදී වරින්වර තම දේශපාලන ස්ථාවරය වෙනස් කරමින් පක්ෂ මාරුකළ සහ ස්වාධීනව කටයුතු කළ මන්ත්‍රීවරයකු වන විජේදාස රාජපක්ෂ මහතා ''ගෝඨාගෝගම'' අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් බිහිවූ අලුත් ආණ්ඩුවේ අධිකරණ ඇමැති විය. ඔහුට පැවරුණු රාජකාරිය වී තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමය. ඒ සඳහා 21 සංශෝධනය ගෙන ඒමට කල්තබාම ඔහු සූදානම් වී සිටියේය.

21 සංශෝධනයේ මූලික අරමුණ වශයෙන් සැලකුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර ජනාධිපති ධුරය නාමික ධුරයක් බවට පත්කර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක්‍රමයකි. ඒ වෙනුවෙන් පෙනී සිටි සජබද 21 සංශෝධනයක් කතානායකවරයාට කල්තබාම භාරදී තිබිණි.

මේ සංශෝධන දෙකේ ප්‍රධාන වෙනසක් තිබෙන බව පැහැදිලිය. සජබ කෙළින්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටියි. එහෙත් විජේදාස රාජපක්ෂ මහතාගේ සංශෝධනයේ එහෙම කතාවක් නැත. එම ධුරයට අදාළ බලතල කිහිපයක් සංශෝධන සිදුකර ක්‍රමය පවත්වාගෙන යාම එයින් අරමුණු කර තිබේ. පාර්ලිමේන්තුවට වැඩි බලතල පැවරීමද එහි සඳහන්ය.

දැන් සජබ කියන්නේ තමන්ගේ 21 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්දය විමසිය යුතු බවය. විජේදාස රාජපක්ෂගේ 21 සංශෝධනය ඇස්බැන්දුමක් බවට ඔවුහු චෝදනා කරති. විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයට පත්වී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ 21 සංශෝධනයෙන් ජනාධිපති ධුරයේ බලතල ගණනාවක් පාර්ලිමේන්තුවට පැවරෙන බවය. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කිව්වේ සංශෝධනය සම්මත වීමෙන් පසුව ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වනු ඇති බවය. ඒ සමඟ 21 සංශෝධනයට තමන්ගේ සහාය නොලැබෙන බවට පොහොට්ටුවෙන් ප්‍රකාශ නිකුත් විය. මේ අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ පෝලිම් නැතිකර ජනතාවට මුහුණ දී සිටින ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීම බවත් අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තේ ඒ සඳහා බවත් ඔවුහු දිගටම කියා සිටියහ. විජේදාස රාජපක්ෂ ඒවාට උත්තර දෙන්න ගියේ නැත. හැබැයි ඔහු පසුගිය 01 වැනිදා බ්ලූම්බර්ග් රෑපවාහිනී නාළිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවතින තත්ත්වය ගැන කරුණු සඳහන් කර තිබිණි. ඔහු සාකච්ඡාවේදී කියා තිබුණේ මෙසේය.

''ජනාධිපතිවරයා තමන් ධුරයෙන් ඉවත් නොවන බව අප අමාත්‍ය ධුර ලබාගැනීමට පෙර ඔහු හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළා. ඔහු අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවකදී ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ බලතල අඩු කිරීමට එකඟ වන බවයි. ඒ සාකච්ඡාවට අපත් සහභාගි වී සිටියා. මේ ධුර කාලය අවසන් වනතුරු ඔහු ජනාධිපති පදවිය උසුලනු ඇති. එහෙත් පළමු ධුර කාලයෙන් පසුව ඔහු තවදුරටත් එම ධුරයේ කටයුතු කරන එකක් නෑ. ඒ වුණත් මේ ධුර කාලය අවසන් වනතුරු අපි සිටින ආණ්ඩුව දිගටම පවතීද කියන එක අවිනිශ්චිතයි. ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු පසුව ජනතාව කැමැති නම් මහ මැතිවරණයකට යා හැකියි. ඒ වනතෙක් මේ පාලනය ගෙන යා යුතු වෙනවා. ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වුණොත් කළ යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නයට අරගලකරුවන්ගේත් පිළිතුරක් නැහැ. අප ගෙන එන 21 සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ඇතැම් බලතල පාර්ලිමේන්තුවට පැවරෙනවා. ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවනු ලබනවා.''

විජේදාස රාජපක්ෂ මහතාගේ මේ සාකච්ඡාවෙන් පෙනෙන්නේ අරගලකරුවන්ගේ ප්‍රධානම ඉල්ලීම වන ''ගෝඨා ගෝ හෝම්'' යන්න ඉටු නොවන බලාපාරොත්තුවක් පමණක් බවය. රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් යුත් ආණ්ඩුව දිගටම කටයුතු කිරීමට සූදානම් වන්නේ ගෝඨාභය මහතා ජනාධිපති ධුරයේ තබාගෙන බව පැහැදිලිය. ''ගෝඨා ගෝ හෝම්'' අරගලය සටන් පාඨයකට පමණක් සීමා වී ''ගෝඨා ගෝ ගම'' දිගටම අරගලයේ සංකේතයක් පමණක් වශයෙන් පවතිනු ඇති බවට පෙරනිමිති පහළ වෙමින් පවතින බව දැනට පෙනෙන්නට තිබේ. ඒ අතර ''ගෝඨාගෝගම'' අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය පියවර ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගල භූමියේ සක්‍රීය අරගලකරුවකු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රතික්ෂේප කර තිබීමද සැලකිය යුතු පසුබෑමකි.

නිදහසෙන් පසුව රට මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදය මේ වෙලාවේ රටේ සියලු අරගලවලට වඩා ඉහළට පැමිණීම මේ තත්ත්වයට හේතුවය. මේ වනවිට රටේ උද්ධමනය 40%කට ආසන්න අවස්ථාවක පවතින බවත් එය රටේ ඉන්ධන සහ ඖෂධ සැපයුමට පවා බාධා පමුණුවා ඇති බවත් ලොව ප්‍රධානතම ව්‍යාපාරික සහ වෙළෙඳ පොළ පුවත් නාළිකාව වන බ්ලූම්බර්ග් විජේදාස රාජපක්ෂ මහතාට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ පසුවදනේ සඳහන්ව තිබිණි.

දැන් පවතින තත්ත්වය අනුව ''ගෝඨාගෝගම'' නමට පමණක් සීමා වන අරගලයක් කරා තල්ලු වෙමින් සිටී. එම අරගලකරුවන් අතර සිටින අවංකවම පරමාර්ථය වෙනුවෙන් කැපවෙන උගත්, බුද්ධිමත් තරුණ සහ වෘත්තීය කණ්ඩායම් අභිබවා දේශපාලන මතවාද බලෙන් ජනතාව මත පැටවීමට දඟලන කණ්ඩායම් හේතුවෙන් මේ තත්ත්වය තවත් ව්‍යාකූල වෙමින් තිබේ. මැයි 09 වැනිදා ''කළු රාත්‍රිය'' ද එයට දැඩිව බලපා තිබෙන සාධකයකි. ජනාධිපති ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළින් නැගී ආ ප්‍රබල සහ ආවේගාත්මක විරෝධය එදින රාත්‍රියේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සමඟ පිටවී තුනී වී ගිය බවක්ද පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රතිඵලයක් වූයේ සී සී කඩව යන්නට ඉඩ තිබූ ආණ්ඩුවේ කොටස්වලට යළි එකතු වීමට නිමිත්තක් පහළ වීමය. දැන් මේ සියලුදෙනා ගෝඨාභය ජනාධිපතිවරයා ධුරයේ තබාගෙන හිටපු අගමැති මහින්දත් වත්මන් අගමැති රනිලුත් දෙපැත්තේ වාඩි කරවාගෙන යන පාලනයකට හැඩ ගැහෙමින් සිටින බව පෙනෙන්නට තිබේ.

එහෙම වුණත් ''ගෝඨාගෝගම'' අරගලයෙන් දිනාගත් කරුණු ගණනාවක්ද තිබේ. ගෝඨා වෙනුවට මහින්දට අස්වීමට සිදුවිය. ඒ සමඟ ආණ්ඩුවද වැටුණි. ජනතාව ප්‍රසිද්ධියේ ආණ්ඩුවේ මැති ඇමැතින් ප්‍රමුඛ දේශපාලනඥයන්ට එරෙහිව චෝදනා කිරීම ඇරඹූහ. ජනාධිපතිවරයාටද තමන්ගේ සැලසුම් බොහොමයක් වෙනස් කරන්නට සිදුවූ අතර ආණ්ඩුව බාරගන්නැයි විපක්ෂයෙන් ඉල්ලීම් කරන තැනට තල්ලු විය. රටේ වෘත්තීයවේදීන් සහ නිලධාරී පැළැන්තියද ආණ්ඩුවෙන් සිදුවූ වැරදි ප්‍රසිද්ධියේ පෙන්වා දීමට ඉදිරිපත් වීමද සිදුවිය. ඒ සමඟ රටේ අධිකරණයේ ස්වාධීනත්වයද ආරක්ෂා වන බව වඩාත් පැහැදිලිව පෙනී ගියේය. වැරදි කරන ලද හිටපු මැති ඇමැතිවරුන් බය ගැන්වෙන තරමට අධිකරණය කටයුතු කරමින් සිටී. වැරදි කළ දේශපාලනඥයන්ට අධිකරණය හරහා දඬුවම් පැමිණවිය යුතුය යන්න ගෝඨාගෝගම අරගලයේ එක් ප්‍රධානම ඉල්ලීමක් විය.

මේ අතරවාරයේ රටේ ආර්ථිකය තිබුණු තැනින් පහළට වැටීමද අරගලයට බලපෑම් කරයි. අද රටේ ජනතාව ඉදිරියේ ජීවත්වීමේ සටන මූලික වී තිබේ. ඉන්ධන අර්බුදය රටේ ප්‍රවාහන පද්ධතිය අඩාල කර ඇත. භාණ්ඩ හිඟවීම සහ දැරිය නොහැකි තරමට මිල ඉහළ යාම, බදු වැඩි කිරීමෙන් තවත් ජීවන බර වැඩිවීම ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරමින් තිබේ. ''ගෝඨා ගෝ ගම'' අරගලය ඇරඹීමට තුඩු දුන් සියලු හේතු එලෙසම තිබියදී එම අරගලයේ ජීව ගුණය අඩුවීම ඉදිරියේදී මොන පැත්තට හැරේදැයි දැන්ම කීම අපහසුය.

කොහොම වුණත් රටේ ප්‍රධානම ඉල්ලීම වූ ගෝඨාභය ගෙදර යාම සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ ඔහු ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ බලය යළිත් ස්ථාපිත කර ගනිමින් සිටීමය. පසුගිය දිනෙක ඔහු ප්‍රකාශ කළේ තමන් 69 ලක්ෂයකගේ ඡන්දෙයන් තේරී පත් වූ ජනාධිපතිවරයකු බවත් තමන් යා යුතුදැයි තීරණය කළ යුත්තේද එම ජනතාවම බවත්ය.

මෙය තර්කයක් වශයෙන් සාධාරණ විය හැක. එහෙත් තමන්ට ලැබුණු එම විශාල බලය හරිහැටි ප්‍රයෝජනයට ගැනීමට තමන් අසමත් වූ බව ඔහුට පිළිගැනීමට සිදුවෙයි. කොවිඩ් හේතුවෙන් සිදුවූ ආර්ථිකයේ හැකිලීම ආර්ථික අර්බුදයට එක් හේතුවක් වුවද සමස්ත ආර්ථිකයේ කඩා වැටීමට ඔහු ජනාධිපතිවරයා වශයෙන් ගනු ලැබූ අදූර්දර්ශී තීරණ ප්‍රධාන හේතු විය. ලන්ඩනයේ ප්‍රකාශයට පත්වන දිනපතා මිලියනයකට අධික පාඨක සංඛ්‍යාවක් කියවන ''ඩේලි මේල්'' පුවත්පත පසුගිය මැයි 24 වැනිදා දැවැන්ත සිරස්තලයකින් මේ කතාව කෙටියෙන් කියා තිබිණි. ''ලෝකයේ පළමු පූර්ණ කාබනික වගාවට යන්න ගිය ශ්‍රී ලංකාව කුසගින්න, කැරළි සහ ආර්ථික විනාශයකින් යුත් ජාතියක් බවට පත්වීම'' යන්න එයින් කියැවී තිබිණි. එම සිරස්තලය යටතේ මෙසේද සඳහන්ව තිබිණි. දස වසරකදී ලෝකයේ පළමු 100%ක කාබනික වගාවක් සහිත රට බවට පත්වීමට රාජපක්ෂ පාලනය විසින් ගන්නා ලද තීන්දුවත් ඒ සඳහා සියලු රසායනික පොහොර, කෘමිනාශක සහ වල් නාශක භාවිතය තහනම් කිරීමත් බරපතළ ඛේදවාචකයකට ශ්‍රී ලංකාව යොමුකර තිබේ. එහි ප්‍රතිඵලය භයානක විපත්තියක් රටට අත්කර දී ඇත. කාබනික වගා තීරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කළේය. මිලියන 22ක ජනගහණයෙන් වැඩි පිරිසක් ඉතා දුෂ්කර තත්ත්වයකට ඇද දමා තිබේ. දුප්පත්කම වැඩිකර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා පෝලිම් ඇතිකළ, ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වී මහා විනාශයක් සිදු කිරීමට එම එකම තීන්දුව හේතු විය. 

2019 වසර වනවිට දකුණු ආසියාවේ ශක්තිමත් ලෙස වර්ධනය වෙමින් තිබූ ආර්ථිකයකට හිමිකම් කියූ ශ්‍රී ලංකාව ලෝක බැංකුව විසින් ඉහළ මැදි ආදායම් රටක් බවට උසස් කරනු ලැබූ බවත් එහි සඳහන්ය.

ලන්ඩන් ''ඩේලිමේල්'' මේ බව කියන්න පෙර ලංකාවේ කෘෂිකර්ම සහ ආර්ථික විශ්ලේෂකයන් මේ බව රජයට පෙන්වා දී තිබුණේ කාලයක සිටය. 69 ලක්ෂයකගේ ඡන්දයෙන් තමන් බලයට පත්වූ බව කියන විට ජනාධිපතිවරයාට තමන් ගත් එක් වැරදි තීන්දුවකින් රටේ සියලු ජනතාව අමාරුවේ වැටුණු බව හැඟෙනවා නම් ජනාධිපති ධුරයේ දිගටම රුඳී සිටීම ගැන දෙවරක් සිතනවාට සැකයක් නැත.

 ශශීන්ද්‍ර