2022 ජුනි 05 වන ඉරිදා

මහ බැංකු අධිපති කියන ඒවා මම අහන්නේ නෑ

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 157

විමලවීර දිසානායක - පාර්ලිමේන්තු මන්ත්‍රී (ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ)

♦ ජොන්ස්ටන්ගේ සිලින්ඩර්වලින් සමස්තය මනින්න එපා
♦ රාජපක්ෂවරු තුන්වැනි වතාවෙත් රට මුදාගත්තා
♦ ගෝල්ෆේස් එකට ගහපු එකට අපේ ගෙවල් පළිද?
♦ තවම තෙල් එන්නේ බැසිල් මහත්තයා හදපු ක්‍රෙඩිට් ලයින් එකෙන්
♦ කොයි ආණ්ඩුවද ආනයන මිල පාලනය කළේ?
♦ කොළඹ ඉන්න එවුන් කෑගැහැව්වට ගමේ මිනිහට පාරවල් ඕනි
♦ හැත්තෑවේ අගභාගෙ ඉඳලා අපි පරිභෝජනවාදීන්

ඔබ මේ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක්. ඔබගේ අදහස අනුව ඔබේ ආණ්ඩුව ගතකරපු කාලය ගැන මොකද හිතෙන්නේ?

ප්‍රශ්නය තියෙන්නේ අපි ආණ්ඩු පාලනය පටන් ගන්නෙම මූල්‍ය අර්බුදය එක්ක. ඊටපස්සේ කෝවිඩ් අර්බුදයත් එනවා. ඒත් මාධ්‍යයේ අයත්, මහපාරේ මරව් කොටව් කියන අය අමතක කරලා තියෙනවා මිනී ගණන් කර කර හිටිය තත්ත්වයකින් රට මුදවා ගත්තා කියලා. රාජපක්ෂවරු තුන්වැනි වතාවෙත් මේ රට මුදවා ගත්තා. කොවිඩ් වෙනුවෙන් අති දැවැන්ත මුදලක් යටකළා. කාලයක් ශ්‍රමයක් කැපකළා. ඒ කළේ ජනතාවගේ ජීවිතේ රුකලා දෙන්න. ඒක සාර්ථකව නිම කළා. අද ඔය පාරේ කෑ ගහන අයත් නෑ. ඒ අයත් අද එහෙනම් වළේ.

මේ ආණ්ඩුව තමයි අර්බුදය ඇති කළේ කියලා හැමෝම චෝදනා කරන්නේ?

නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයෙන් යනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 6%ක තිබ්බේ. ඔය තෙල් නෑ. ආර්ථිකය කඩා වැටෙනවා. අරක මේක එදා ඉඳලා කියනවා ^70 අගභාගයේ ඉඳලා. ඒත් ආර්ථිකය ඉස්සරහට ආවා. අපි පරිභෝජනවාදීන්. අපි පරිභෝජනයට හුරුවුණ ජාතියක්නේ. හොඳම උදාහරණය ^70 ගණන්වල ලංකාවට කාර් ගෙන්නුවේ එකසිය ගානයි. දැන් දවසට 2000ක් 3000 ක් ගේනවා. අන්න ඒවත් ඩොලර්.

දැන් ඔබතුමා කියන්නේ මේ ආර්ථික අර්බුදයට වගකියන්න ඕන යහපාලන ආණ්ඩුවද?

නෑ. ඊට කලින් ඉඳලම වුණා. මට කියන්න මේ රටේ ඔයාට ගන්න පුළුවන් රුපියල්වලින් නිෂ්පාදන භාණ්ඩයක්. නෑ.... සියල්ලම ඩොලර්. අපි වාහන ගන්නේ, ගෙවල් හදන්නේ සියල්ලම ඩොලර් ණයවලින්. පාරවල් හැදුවේ ඩොලර්වලින්. ඔය කොළඹ ඉන්න උන් කෑගැහුවට ගමේ මිනිහට පාරවල් ඕන. උන් රස්සාවලට යන්නේ ඉගෙන ගන්න යන්නේ ඒ පාරවල්වල. ඇයි අපේ දරුවෝ යන්න ඕන කැඩුණු පාරවල් වලද? ඒ නිසා අපි හැමෝම පොදුවේ ඩොලර් බුක්ති විඳලා තියෙනවා.

ඔබතුමා ඔහොම කිව්වට මහ බැංකු අධිපති කියනවා.....

නෑ... මම මහ බැංකු අධිපති කියන ඒවා අහන්නේ නෑ. මේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න මහ බැංකු අධිපතිට බෑ. ඔයා බය නැතුව ලියන්න. 

ඇයි ඔබ එහෙම කියන්නේ?

කයිවාරු ටිකක් තියෙන්නේ එතුමාගේ. අපිට ඕන ඩොලර් හම්බකරන විදිහක්. මතක තියාගන්න තවම තෙල් එන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා හදපු ක්‍රෙඩිට් ලයින් එකෙන්. මොනවද ඊට වඩා කරලා තියෙන්නේ?

මහ බංකු අධිපතිතුමා කියන්නේ ගත්ත ණය නිසිලෙස කළමනාකරණය කළේ නෑ කියලා?

ඒක හරි. ඉතිං ඒකෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි මම අහන්නම් මෙහෙම. පරිප්පු මෙහේ හදනවද? අපේ රටේ වාහන කීයක් හදනවද? ඒවා එතකොට ගෙන්නන්න ඕන නේද?

ඒ කියන්නේ ඔබ පිළිගන්නවා ගත්ත ණය හරියට කළමනාකරණය වුණේ නෑ කියලා?

අපි 78න් පස්සේ පරිභෝජනවාදී සමාජයක් වෙලා තියෙන්නේ. මේ සියල්ලට හේතුව පරිභෝජනවාදී සමාජයක් වීම.

අපි ජනතාව හැටියට බලාපොරොත්තු වෙන්නේ රටේ ආර්ථිකය කලමනාකරණය කරලා කොහොම හරි රට ගොඩදායි කියලා. ඒත් ඒක වෙලා නෑ. හැබැයි හේතු තියෙනවා ගොඩක්?

අඩුපාඩු හදන්න ඉඩදුන්නද? ජාතික ආර්ථිකයක් හදන්න ගිය සියලුම පක්ෂ පරාජය කළා. ඉතිං කිසිකෙනෙක් ජාතික ආර්ථිකයක් හදන්න ගියේ නෑ. පේනවනේ මොනවා හරි කරන්න ගිය ගමන් එදා ඉඳලා ඔන්න ශ්‍රී ලංකා එක පෝලිමේ තියනවෝ කියලා කෑ ගහනවා. හැබැයි සියලුම ඩොලර්වලින් පරිභෝජනය කරලා හැමඑකටම පාලකයෝ... පාලකයෝ... කියලා කෑ ගහනවා.

ඔබ කියන්නේ පාලකයෝ හරි කියලද?

මම පාලකයෝ සුද්දවන්තයෝ කරන්න යන්නේ නෑ. හැබැයි මේ පරිභෝජනවාදී සමාජය හරහා වෙනම පැලැන්තියක් හැදුණා.

දැන් එදා කෝප් කමිටුවේදී කියවුණා ඩොලර් එක රඳාපවත්වා ගන්න ඩොලර් බිලියන පහක් විතර යට කළා කියලා. ඒක බරපතල අවුලක්නේ?

මේක ඉතිහාසයේ හැම ආණ්ඩුවක්ම කළ දෙයක්. උදාහරණයක් අහන්නම් එදා රාජපක්ෂලා බදු අඩුකළාම මිනිස්සු ඒ වෙලාවේ කෑ ගැහුව බදු අඩුකරනවෝ කියලා. පත්තරකාරයොත් කෑ ගැහුවා. දැන් බදු වැඩියි. දැන් ඔයලා මොකද කියන්නේ?

ඒක වුණේ ඩොලර් එකේ අගය ඉහළ ගිය නිසානේ?

නෑ... නෑ... ආණ්ඩුව ඩොලර්වලින් ගනුදෙනු කරන්නේ නෑ. කරන්නේ රුපියල්වලින්.

නෑ දැන් මේ ප්‍රශ්නය තියෙන්නේ ඩොලර් හිඟයත් එක්ක ඇතිවුණු භාණ්ඩ හිඟයත් එක්කනේ?

නෑ ඩොලර් හිඟයට නෙමේනේ. බදු අඩුකළේ භාණ්ඩ හා සේවා ගාස්තු අඩු කරන්න.

නෑ එහෙම වුණාට අඩුවුණේ නෑනේ?

අඩුවුණේ නෑ. දැන් වැඩිවෙලානේ. හැබැයි ඒ වෙලාවේ ඒ සහනය දුන්නේ නැත්තන් තව බඩුමිල වැඩිවෙනවා... දැන් කවුරුත් ඒක කතා කරන්නේ නෑ. ඒ වගේම මේ බදු වැඩි කිරීම ගැන කතා කරන්නෙත් නෑ.

බැසිල් රාජපක්ෂ මහත්තයනේ ගෙනාවේ බදු මිල වැඩිකරන යෝජනාවලිය?

ඒක හරි. ඒත් එදා අඩුකරපු නිසයි අද වැඩිකරන්න පුළුවන් වුණේ. ඒක ගැන ඔයාලා ලියන්නේ නෑනේ. අද තෙල් ගෑස් ප්‍රධාන හේතුව අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩිවුණ නිසා. ඒක ආර්ථික විද්‍යාව කියලා ඔයා දන්නවනේ. කොයි ආණ්ඩුවද ආනයන මිල පාලනය කළේ. දැන් ඔයා පරිප්පු ඉල්ලනවනේ.

පරිප්පු නෙමෙයිනේ. දැන් බලන්නකෝ පසුගිය වසරේ වැඩිපුරම ගෙන්නලා තියෙන්නේ චීස් බටර් ඇපල් මිදිනේ?

වැඩිපුර මුදල් යන්නේ කියලා බොරු කියන්න එපා. ලංකාවේ වැඩිපුර ගෙවන්නේ තෙල් වලටනේ.

නෑ.. නෑ... මම කියන්නේ මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර නෙමෙයිනේ. ඒක වැඩිය කියලා කිව්වේ?

මුළු ආනයන වියදමින් 1%යි ගෙන්නලා තියෙන්නේ. අනික ඔය සංඛ්‍යාලේඛන මත්තෙම ඉන්න එපා. ඔයා කනවද චීස්? මම කන්නේ නෑ. අපේ අල්ලපු ගෙවල්වල ඉන්න අය කන්නෙත් නෑ.මොකාද කන්නේ?

අපි අහන්නෙත් ඒක තමා කවුද මෙච්චර චීස් ඇපල් ගෙනැල්ලා කන්න තරම් ප්‍රශ්න තියෙන්නේ?

අපි දන්නේ නෑ. මොකෝ මුහුදට දැම්මා නෙමෙයිනේ.

මේවා හදන්නනේ පාලකයෝ පත්කරන්නේ?

ඉතිං මහත්තයෝ... ඇයි පාලකයොම අල්ලගන්නේ? මේ පාලකයොත් හැදිලා තියෙන්නේ ජනතාව එක්කමනේ. දැන් ඉස්කෝලවලට ඇඟිලි ගහන්න එපා කියනවා ගුරුවරු. එයාලා කපව් කොටව්... රාජපක්ෂලා පලයව් කියනවා. ඒවා හරිද? ඔයාලගේ මාධ්‍යවේදියෝ කී දෙනෙක් ඇත්ත කියනවද? ඔයාලා රුපියල් 78ට පාර්ලිමේන්තුවෙන් බත් එක කාලා පාර්ලිමේන්තුවේ 250ට කන අපිට බනිනවා.

අපි පාර්ලිමේන්තුවෙන් කන මාධ්‍යවේදීන් නෙමෙයි. ඒ නිසයි අපි බය නැතුව ඔබතුමාගෙන් එහෙම ප්‍රශ්න කරන්නේ? බය වෙන්න එපා අපි කන්න එන්නෙත් නෑ.

ඒක හරි මම කන්නෙත් නෑනේ මහත්තයෝ. ඒත් පත්තරකරයෝ ලියන්නේ අපි එන්නේ පාර්ලිමේන්තුවෙන් කන්න කියලනේ. මම කන්නේ නෑ.

අපිට දොස් කියලා වැඩක් නෑ. හිටපු කතානායකතුමෙක් තමයි කිව්වේ පාර්ලිමේන්තුවේ කෑම අහක යනවා දවසට ලක්ෂ ගාණක් වියදම් කරනවා කියලා.

අපිද සීයට බත් කන්නේ. උඩ බිම බලලා කතා කරන්න. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නේ කීයද?

නෑ ඒක වැරදිනේ. සේවකයෝ සහ ඔබලගේ වරප්‍රසාද අහසට පොළව වගේනේ?

දැන් ඔයා කියන්නේ 225 නැතුව පර්ලිමේන්තුව ගෙනියන්න කියලද?

අපිට එහෙම ප්‍රශ්නයක් නෑ...

නෑ ඒකනේ කියන්නේ ඔයාලා.

නෑ ජනතාව කතා වෙනවනේ?

අපි කන එක ගැනද?

නෑනේ මෙච්චර වරප්‍රසාද බුක්ති විඳලත් මේ ප්‍රශ්න විසඳගන්න බැරි වුණානේ?

අපි වරප්‍රසාද භුක්ති වින්ද නිසාද මහත්තයෝ ප්‍රශ්න විසඳන්න බැරිවුණේ. එහෙනම් පාර්ලිමේන්තුවේ කැන්ටිම වහන්නකෝ. කන්න කියනවා අපිට පෙට්ටි කඩවල් වලින්. ඉවරනේ.

මම කියන්නේ මේ වෙලාවේ පාර්ලිමේන්තුවට කැපවීම් කරන්න බැරිද?

මම කරනවා. මම කන්නේ නෑනේ.

නෑ මම අහන්නේ සමස්තය ගැන?

සමහර අය කන්නේ නැති අය ඉන්නවා.

දැන් ඔබතුමා ඔහොම කිව්වට ජොන්ස්ටන් ඇමතිතුමාගේ ගේ ගිනි තිබ්බ වෙලාවේ ගෑස් සිලින්ඩර් 80 කුත්, චමල් ඇමතිතුමාගේ නිවසේ යූරියා මිටි තොගයකුත් තිබුණා කියලා මාධ්‍ය වාර්තාවල දැක්කා. මේවා දැක්කම මිනිස්සුන්ට තරහා යන්නේ නැද්ද?
මම අහන්නේ ජොන්ස්ටන්ගේ ගෙදර තිබ්බ ගෑස් ටිකෙන් මේ අපේ ගෙවල් මනින්නේ කොහොමද. මට තියෙන්නේ ගෑස් එකයි. ඕක සමාන කරන්න එපා. ජොන්ස්ටන්ගේ ගෙවල් පහයි, ගෙයක් නැති මායි සමාන කරන්න එපා.

ඔබතුමා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිසා සමස්ත ප්‍රශ්නයක් අහන්නේ?

මාව සමාන කරන්න එපා කරුණාකරලා.

ඔබට නැති වෙන්නත් අනෙක් අයට තියෙන්නෙත් කොහොමද කියලා හිතෙන්නේ නැද්ද?

මම හොරකම් කරලා නෑ. දැන් මම කියන්නේ රමේෂ් පතිරණ හොරෙක්ද?

මම කියන්නේ ගිනි තිබ්බ එක හරි නෑ. ඒත් මේවා කොහොමද වුණේ?

මහත්තයෝ ජොන්ස්ටන්ගෙ සිලින්ඩර්වලින් සමස්තය පෙන්නන්න එපා කරුණාකරලා

මම මේ අහන්නේ සමස්ථයක් හැටියට?

නෑ මට කියන්නකෝ ඔයා නරක තැනින් සාම්පලේ ගන්නේ ඇයි. මොකක්ද ඔයා කියන්නේ? මම හොරෙක් නෙමෙයිනේ. තක්කඩි මාධ්‍යවේදීන් නැද්ද?

ඒකනේ අපි කියන්නේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න කියලා. අද මෙහෙම සංවාද ඕන නෑනේ වැඩේ හරියට වෙනවා නම්?

ඒක තමයි ප්‍රශ්නය. අද අපරාධකාරයන්ට උසාවියේ මල් මාලා දානවා. මාධ්‍යකාරයෝ නිදි. මගේ ගෙට ගහපුවම සුළු සිද්ධියක්ලු.

දැන් ගෙට ගහපු අය අල්ලලා නැද්ද?

අල්ලලා. ඒත් ඇපදෙනවා. එවා සුළු සිද්ධි. මගේ මිනිපිරිගේ සෙල්ලම් බඩු කුඩු කරද්දී ඒ දරුවා ගෝල්ෆේස් ගියාද? අර අහිංසක ගෑනුන්ට කොළඹ පිරිමි ටික ගැහුවා බේරේ දාලා. ඔයාලා කොහෙද හිටියේ. කතා කළාද?

ඒකනේ අපි කියන්නේ  නීතිය ක්‍රියාත්මක කරන්න?

නීතිය අනේ යන්න.... කෝ අපිට නීතිය

හරි ගෝල්ෆේස් එකට ගහපු එක වැරදි නැද්ද. ඒක හරිද?

වැරදියි... ඒකට අපේ ගෙවල් පලිද?

ඔබලා ගෙනාපු ජනාධිපති ඉන්නේ මේවට ඉක්මන් විසඳුමක් ගන්න පුළුවන්නේ?

කවුරු හිටියත් වැඩක් නෑ.

ඇයි එක රටක් එක නීතියක් කියලා ජනාධිපති කිව්ව එක ක්‍රියාත්මක කරන්න බැරි?

ඒවා කතාවට කියන්න පුළුවන්. පොලීසිය බලන් ඉද්දී මගේ ගෙදරට ගැහුවේ. කෝ සාධාරණය. වැඩක් නෑ...

 ගයාන් ගාල්ලගේ