2022 මැයි 29 වන ඉරිදා

අලුත් වෙනස

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 114

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දුන්නේ පසුගිය 12 වැනිදාය. ඒ වන විට මැයි 09 වැනිදා සිද්ධියෙන් රටම ගිනියම් වී තිබිණි. රට ශීඝ්‍රයෙන් අරාජක තත්ත්වයකටත් ආර්ථික වශයෙන් බංකොළොත් තත්ත්වයට ඇදවැටීමටත් ආසන්න වෙමින් තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටියේ ජනාධිපති මන්දිරයේ හිරවෙලාය. හිටපු අගමැති ඇතුළු කිසිදු ඇමැතිවරයකුට පාරට බහින්න හැකියාවක් තිබුණේ නැත. ඒ අතර රටේ ජනතාවගෙන් වැඩි දෙනකු සිටියේ පෝලිම්වලය.

ඒ වෙලාවේ සර්ව පාක්ෂික හෝ අන්තර්වාර හෝ ආණ්ඩුවක් හදාගැනීම ජනාධිපතිවරයාට තිබූ එකම ගැලවීමේ මාර්ගය බව පැහැදිලිව පෙනෙන්නට තිබුණේය. විමල්ලාගේ කණ්ඩායමත් ගෝඨාභය ජනාධිපති තනතුරේ තබාගෙන හදන ආණ්ඩුවක තනතුරු ගැනීමට සූදානමින් සිටියේය. ඒ වැඩේට හරස් වුණේ සජබ සහ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි.

ගෝඨාභය මහතා ජනාධිපති ධූරයෙන් යා යුතු බවට වන ඉල්ලීම ගෝඨාගෝගම හරහා රටපුරා ප්‍රධානම සටන් පාඨය බවට පත් වී තිබිණි. මේ නිසාම සජබ සහ ජවිපෙ සර්ව පාක්ෂික හෝ අන්තර්වාර හෝ ආණ්ඩුවකට එකඟ වීමට නම් ජනාධිපතිවරයා ධූරයෙන් යා යුතු බවට වන ඉල්ලීම කොන්දේසියක් බවට පත් කර ගත්තේය. හැබැයි ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන තත්ත්වය හෝ ඔහු අස්විය යුත්තේ කෙසේද යන්න හෝ ගැන සජබ සහ ජවිපෙ තුළ පැහැදිලි ප්‍රකාශයක් තිබුණේ නැත. මැයි 09 රාත්‍රියේ සිදුවූ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජවිපෙටද චෝදනා එල්ල වෙමින් තිබූ පසුබිමක ඔවුන්ගේ අවධානය ඉන්පසුව වඩාත් යොමුවුණේ ඒ වැඩේ බේරාගැනීමේ ක්‍රියාවලියකටය. සජබ ඇතුළෙන් සජිත්ට එල්ල වූ තද පීඩනයත් පක්ෂය දෙකඩ වීමේ අවදානමත් හේතුවෙන් සජිත් තමන්ගේ දැඩි ස්ථාවරය මඳක් ලිහිල් කර නිශ්චිත කාලරාමුවකදී ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වන්නේ නම් අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමට සූදානම් බවට ප්‍රකාශයක් ද කළේය. එහෙත් ඒ වන විට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නැයි කළ ඉල්ලීමට මේ කිසිදු කොන්දේසියකින් තොරවම එකඟ විය. එම එකඟත්වය සමඟ ඔහු අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා ධූරය භාරගනිද්දීම ඔහු එන්නේ රාජපක්ෂවරුන් බේරාගැනීමේ මෙහෙයුමකට බවට වූ චෝදනාව හතරවටින්ම එල්ල විය. මේ ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවටත් ජනාධිපති ගෝඨාභයගේ නායකත්වයෙන් පිහිටුවන කිසිදු සර්ව පාක්ෂික හෝ අන්තර්වාර හෝ රජයකට සම්බන්ධ නොවන බවටත් සජබ නායක සජිත් ප්‍රකාශ කළේය. එහෙම වුණත් සජබ ප්‍රබල කසකරුවන් දෙදෙනකු වූ හරීන් සහ මනූෂ ඒ වන විටද රනිල් සමඟ ආණ්ඩුවකට එකතුවීමේ සූදානමක සිටින බව පැහැදිලි විය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය භාරගත්තේ මෙවැනි පසුබිමකය. ඔහු ධූරයට පත්වූ වහාම රටේ බොහෝ දෙනකු තුළ කිසියම් බලාපොරොත්තුවක් ඇතිවූ බව පැහැදිලි විය. රටපුරා පෝලිම්වල අසහනය සහ පීඩනය දිගටම පැවතුණත් මේ වෙනස ගැන රටේ බලපෑම් කණ්ඩායම් තුළ පවා කිසියම් බලාපොරොත්තුවක් ඇතිකර තිබිණි. ලොවේ බලවත් රාජ්‍යවල සහාය ලබන නායකයකු වන රනිල් රට ආර්ථික අවදානමෙන් ගොඩගැනීමට කුමක් හෝ කරනු ඇතැයිද රට යළි ගොඩනැගිය හැක්කේ ඔහුට පමණක් යැයිද වන අදහසක් ද සමාජගත වෙමින් තිබුණි. රනිල් ධූරයට පත්වී ජාතිය අමතා කළ විනාඩි 10ක කතාවෙන් ඒ විශ්වාසය යළි තහවුරු කර ගත්තේය. සරල භාෂාවෙන් ඔහු කළ පැහැදිලි කිරීම රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් ප්‍රධානීන් තුළ ද කිසියම් බලාපොරොත්තුවක් ඇතිකිරීමට සමත් විය. හුණුවටයේ කතාවේ ග_ෂා තමන්ගේ නොවන දරුවකු ඇකයේ හොවාගෙන කැඩුණු වැල් පාලමෙන් එගොඩ කරන උපහැරණයද රටේ කතාබහට ලක් විය. රනිල් කතාවට දක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වශයෙන් හැමදාමත් නමක් දිනා සිටියේය.

හැබැයි ඒ කතාවේ කොතැනකවත් මේ ආර්ථික කඩාවැටීමෙන් ගොඩ එන ආකාරයක් හෝ ගන්නා ක්‍රියාමාර්ගයක් හෝ ගැන සඳහනක් නොතිබිණි. එහෙම නොතිබුණත් රනිල් අගමැති ධූරය භාරගැනීමෙන් පසුව රටට බාහිර සහ යුරෝපීය රටවලින් ආධාර ලැබෙනු ඇති බවට වන කතාවක් පැතිර ගියේය. ලංකාවට ආධාර ලබාගැනීමට බලවත් රටවල් ගණනාවක නියෝජිතයන් ඇතුළත් කරගෙන සුසංධානයක් ඇතිකර ගැනීමට ක්‍රියා කරන බවද ප්‍රකාශ විය. ඒ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැකි ඉක්මනින් පිහිටුවා ගැනීමට ප්‍රමුඛත්වය ලැබී තිබිණි. තමන් ජනාධිපති ධූරයෙන් ඉවත් නොවන බවට ගෝඨාභය ඒ අතරවාරයේ ප්‍රකාශයක් ද කර තිබුණේ රනිල් පිහිටුවූ ආණ්ඩුව කෙරේ විශ්වාසයකින් යුතුව බව පැහැදිලි විය.

පසුගිය 16 වැනිදා රනිල් කළ එම ප්‍රකාශයෙන් පසුව දැන් සති දෙකක කාලයක් ගෙවී ගොස් තිබේ. එහෙත් කිසිදු බලවත් රටක් ලංකාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වී නැත. ජපානයෙන් ඩොලර් බිලියන ගණනක ආධාර ලබාදෙන බවට පැතිර ගිය මාධ්‍ය වාර්තා බොරුවක් බවට ජපන් තානාපති කාර්යාලයෙන් සැර ප්‍රකාශයක් නිකුත් විය. ඉන්දියාව ද තමන් ලබාදීමට එකඟ වූ ආධාරවලට අමතරව වෙනත් ආධාර ගැන සාකච්ඡා කිරීමට හෝ තවමත් ඉදිරිපත්ව නැත. රනිල්ගේ ආණ්ඩුව රට ඇතුළේ අලුත් එකක් වුණාට ලෝකයේ වෙනත් රටවල් අලුත් ආණ්ඩුවක් වශයෙන් ලොකුවට පිළිගෙන ඇති බවට කිසිම සංඥාවක් තවම ලබා දී නැත.

ඒ වගේම අලුතෙන් හැදුණු ආණ්ඩුවද සර්ව පාක්ෂික හෝ අන්තර්වාර හෝ ආණ්ඩුවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් නැත යන්න ඇතැමුන්ගේ මතයයි. රනිල් වික්‍රමසිංහ මහතා හැර පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ නොවන කිසිදු පක්ෂයක නායකයකු අලුත් ආණ්ඩුවට සම්බන්ධ වූයේ නැත. මේ සියලු දෙනා කියන්නේ ආණ්ඩුවට පිටතින් සිට අවශ්‍ය දේට සහාය දක්වන බවය. දැනට කැබිනට් අමාත්‍ය ධූර භාරගෙන සිටින්නේ තමන්ගේ කැමැත්තෙන් ඉදිරිපත් වූ අය පමණි. ඔවුන් තමන්ගේ පක්ෂ තීරණයට පිටින් ගිය පිරිසකි. රනිල් මහත් බලාපොරොත්තු තබාගෙන සිටි චම්පික රණවක ද කියන්නේ තමන් මේ ආණ්ඩුවට එකතු නොවන බවය. මාසයක කාලයක් වැඩ කරන ආකාරය බලා තීන්දුවක් ගන්නා බවය. අන්තිමට කැබිනට් ධූර ලබාගැනීමේ සටනේ ඉදිරියෙන්ම සිටින්නේ රටේම දැඩි විරෝධයට ලක් වූ අසාර්ථක හිටපු අමාත්‍ය මණ්ඩලයේම ඉදිරියේ සිටින පිරිසකි. මේ පිරිසම ඇමැති ධූර දරණ ආණ්ඩුවකින් අලුත් වෙනසක් බලාපොරොත්තු වීමෙන් පළක් නැත. 

අග්‍රාමාත්‍ය ධූරය වෙනස් වුවද තවමත් පාර්ලිමේන්තුවේ බලය හසුරුවන්නේ බැසිල් ප්‍රමුඛ රාජපක්ෂවරුන් විසින් බව අවස්ථා ගණනාවකදීම පෙනී ගියේය. නියෝජ්‍ය කතානායක තෝරාගැනීමද එය හෙළිදරව් වූ අවස්ථාවකි. අග්‍රාමාත්‍ය රනිල් නියෝජනය කරන්නේ සර්ව පාක්ෂික හෝ අන්තර්වාර හෝ ආණ්ඩුවක් නොවන බවට එය හොඳම උදාහරණය විය. ඊළඟට මේ බව පෙනී ගියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට නියමිත 21 වැනි සංශෝධනය සම්බන්ධයෙනි. එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමට රනිල්ට නොහැකි බව බැසිල්ගේ පාර්ශ්වය දිගින් දිගටම පෙන්වා දෙමින් සිටී. පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ට අනුව 20 අහෝසි කිරීමට මේ ආණ්ඩුව සූදානම් නැත. තමන්ට 69 ලක්ෂයක ජනවරම ලැබුණේ 19 අහෝසි කර 20 ගෙන ඒමට බව ඔහු කියයි. මේ ලක්ෂ 69 තවම එසේම තිබේද ආණ්ඩුවට ජනවරමක් තිබේද යන්න දේශපාලනයේ අයන්න ආයන්න කියවාගත හැකි කෙනකුට වුවද අවබෝධ කරගත හැකි වුවත් නීතිඥ සාගර කාරියවසම් මෙහෙම කියන්නේ බැසිල්ගේ බලපෑම නිසා බව තේරුම් ගැනීම අපහසු නැත. මේ නිසා 21 සංශෝධනය සම්මත කර ගැනීමට රනිල්ට ඇත්තේ සීමිත ඉඩකි.

එය තවදුරටත් සනාථ කරමින් නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ 21 සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවය. පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙක තබා සරල බහුතරයක් හෝ නොමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අලුත් ආණ්ඩුවට 21 සම්මත කර ගැනීම මේ අනුව සිහිනයක් පමණි. එසේම මේ වන විට සජබද ප්‍රකාශ කරන්නේ තමන් විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 21 සංශෝධනයට විරුද්ධ වන බවය. එමගින් විධායක ජනාධිපති ධූරයේ බලතල 19 සංශෝධනයේදී සඳහන් ආකාරයට ඉවත් කර නැති බවට සජබ චෝදනා කරයි. මේ නිසා ඔවුන්ගේ සහාය ද 21 සම්මත කර ගැනීමට ලැබෙන්නේ නැත. එසේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ප්‍රකාශ කරන්නේ ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති සංශෝධනය විය යුතු බවය. එම සංශෝධන ඇතුළත් නොකරන්නේ නම් තම සංගමය 21ට සහාය නොදක්වන බවද ඔවුන් කියා තිබේ. මේ නිසා 21 සම්බන්ධයෙන් අධිකරණ කටයුතුවලදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහාය ද ආණ්ඩුවට නොලැබී යනු ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා හුණුවටයේ කතාවේ ශෘෘෂාගේ චරිතයට පණපෙවීමට සූදානම් වන්නේ මේ පසුබිමේ සිටිමිනි. ඔහු කරගහගෙන යන්නේ රාජපක්ෂ රජය සහ පැවති සෙසු ආණ්ඩු විසින් බිමටම සමතලා කර ඇති ආර්ථිකයයි. එය අනුන්ගේ &දරුවෙක්* බව සැබෑය. 16 වැනිදා මාධ්‍ය ඇමතූ අවස්ථාවේදී රනිල් පැහැදිලිව කියා සිටියේ හිටපු මුදල් ඇමැතිවරුන් විසින් ගන්නා ලද වැරදි තීන්දු හේතුවෙන් රටේ ආර්ථිකය මේ ඉරණමට මුහුණ දී සිටින බවය. රාජපක්ෂ රජය යටතේ හිටපු මුදල් ඇමැතිවරුන් වන්නේ මහින්ද සහ බැසිල් දෙදෙනාය.

අග්‍රාමාත්‍ය ධූරයට අමතරව රනිල් රටේ මුදල් අමාත්‍ය ධූරය ද භාරගන්නා විට මේ කතාව මතක් නොවුණා නම් පුදුමය. ගෝඨාභය ජනාධිපතිවරයා පසුව මුදල් අමාත්‍ය ධූරයට පත් කළ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා යළිත් එම ධූරය භාරගැනීම තදින්ම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රනිල්ටම මේ ධූරය භාරගැනීමට සිදුවූ බවත් සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද මේ ධූරය ප්‍රතික්ෂේප කළ බවත් සඳහන් වෙයි. මේ කෙසේ වුවද දැන් රටේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ද රනිල්මය.

රනිල් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදාගෙන ආර්ථිකය ගොඩනැගීමට හැකිවන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි යන බලාපොරොත්තුව තවමත් ජනතාව තුළ රුඳී තිබේ. එයින් සර්ව පාක්ෂික ආණ්ඩුව හදාගැනීම නම් හරි ගියේ නැත. ඒ වෙනුවට ඇත්තේ අසාර්ථක වූ පොහොට්ටුවේ ඇමැති පිරිසක් සහ ශ්‍රීලනිපය සහ සජබ කඩා එකතු කරගත් කිහිප දෙනකුගෙන් සමන්විත ආණ්ඩුවකි. මේ ආණ්ඩුවත් එක්ක රටේ ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙළක් හදාගැනීමත් 21 සංශෝධනය සම්මත කර ගැනීමත් රනිල් මුහුණදෙන ලොකුම අභියෝගයයි. මේ අභියෝගය ජය ගැනීමට වැඩි කාලයක් නැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට බ්‍රහස්පතින්දා (26) පැවැති විරෝධයෙන් පෙනී ගියේය. එය පැහැදිලිවම රතු එළියකි.

- ශශීන්ද්‍ර