2022 මැයි 29 වන ඉරිදා

ජන දුක විකුණාගෙන කෑම

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 94

මිනිසුන්ගේ දුක, වේදනාව ජාවාරමක් කරගෙන එයින් හම්බ කරගෙන කන්න හදන නරුම මිනිස්සුද මේ රටේ වෙසෙති. ඉන්ධන පිරවුම්හල් අසල දින ගණන් අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින්, කුසගින්නේ සිටිමින්, රෑ නිදි මරාගෙන සිටින හැමදෙනාම සැබෑ වශයෙන්ම තම අවශ්‍යතා සඳහා පමණක් ඉන්ධන ලබාගැනීමට සිටින අය නොවන බවත් ඒ අතුරින් සමහර දෙනා ඉන්ධන ලබාගෙන ඒවා පසුව වැඩි මිලට විකුණා අයුතු සහ අධික ලාභයක් ලබාගන්නා බවත් වාර්තා වෙමින් තිබේ. මෙවැනි ජාවාරමක් සිදුවන බව තෙල් පෝලිම් අසල හොඳින් විපරමින් සිටියොත් හඳුනා ගැනීමටද හැකියාව ඇත.

රටේ ඉන්ධන හිඟයක් පවතින මේ අවස්ථාවේ එවැනි කුණු ජාවාරම්කාර පුද්ගලයන් 137 දෙනකු පසුගියදා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ බව මාධ්‍ය හරහා අනාවරණය විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබුණේ දිවයින පුරා සිදු කළ වැටලීම් 429කදී මේ පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවය. ඔවුන් සන්තකයේ තිබී ඒ ආකාරයට නීතිවිරෝධී ලෙස රුස් කළ පෙට්‍රල් ලීටර් 27,000ක් ඩීසල් ලීටර් 22,000ක් සහ භූමිතෙල් ලීටර් 10,000ක්ද අල්ලාගෙන තිබිණි. එලෙස අල්ලා ගැනීමට හැකි වූ ප්‍රමාණය මෙය වුවද සැබෑ ලෙසට සිදුවන ජාවාරමේ ප්‍රමාණය මීට වඩා බෙහෙවින් විශාල බව රහසක් නොවේ. මේ ජාවාරම්කාරයන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා පොලීසිය මගින් දුරකථන අංක 03ක්ද හඳුන්වා දී තිබේ. එය ද වැදගත් පියවරකි.

නීති විරෝධී ලෙස ඉන්ධන තොග රුස්කරගෙන ජාවාරම් කිරීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් පමණක් නොව මහත් විනාශයක් සිදුවීමේ අවදානමක් ගැනීමකි. යන්තම් ගැස්සුණොත් මහා ගිනි ජාලාවකින් පළාතම වැසී ගොස් ජීවිත සහ දේපළ ද විනාශයක් සිදුවිය හැක. එසේම මෙවැනි හොර පෙට්රල් හෝ ඩීසල් මිලදී ගන්නා පුද්ගලයෝ ද කලවම් කරන ලද බාල තෙල් ලබාගෙන තමන්ගේ වාහනවලට හානියක් සිදුකර ගැනීමේ අවදානමට මුහුණ දෙති. එවැනි අවස්ථාවක මුදලත් වාහනයත් දෙකම අහිමි වී යාමද සිදුවිය හැකිය.

තෙල් පෝලිම් ඇතිවූ මුල් දවස්වලද මෙවැනි ජාවාරම් පිළිබඳව කතා පැතිරුණද එය වඩාත් සංවිධානාත්මක ලෙස පසුව රටපුරා පැතිර ගිය බව පෙනෙන්නට තිබිණි. විශේෂයෙන් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් මේ ජාවාරමේ මුල් තැනක් ගෙන ක්‍රියා කරන බවක් ද දැනගන්නට ලැබිණි. කොළඹ ඇතුළු ප්‍රධාන නගර ගණනාවක ඉන්ධන පිරවුම්හල් අසල ඉතා දිගු ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් පෝලිම් ඇතිවී තිබූ අතර ඒ ඇතැම් පෝලිම් අසාමාන්‍ය ලෙස දිගු විය. මේ සියලු දෙනා තෙල් ලබාගෙන ඒවා වැඩි මිලට විකුණන බවක් අපි නොකියමු. එහෙත් ඇතැම් ත්‍රිරෝද රථ පෙට්රල් ලබාගැනීමෙන් පසුව ඒ අසලම තිබෙන පටු මාර්ගවලට ගොස් බෝතල් සහ කුඩා කෑන්වලට පෙට්රල් ඇදීම සුපුරුදු දසුනක් බවට පත් විය. එසේ ටැංකියේ පෙට්රල් ඉවර වනතුරු ඇදගැනීමෙන් පසුව යළිත් ඒ ත්‍රිරෝද රථ පෝලිමේ අගට එකතු වෙයි. නැතහොත් ළඟම ඇති වෙනත් පිරවුම්හලක පෝලිමේ කෙළවරට යයි.

දින දෙක තුනකට වරක් මේ ආකාරයට පෙට්රල් ලබාගෙන ඒවා වැඩි මිලට විකිණීමෙන් ඔවුහු අධික ලාභයක් ලබති. මුළු ජීවිතයම එකම අරගලයක් බවට පත්ව තිබියදී මුදල් සෙවීම සඳහා විවිධ ක්‍රම සොයා යාම ගැන වැරුද්දක් කිව නොහැක. එහෙත් ජාවාරමක් හරහා මුදල් ගසාකෑමට කිසිවකුටත් අයිතියක් නැත. ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන තෙල් පෝලිම කළුකඩ ජාවාරමක් බවට පත්කර ගැනීම සමාව දිය නොහැකි වරදක් බව පෙන්වා දිය යුතුය. අනුන්ගේ විපත තමන්ගේ සැපතක් බවට හරවා ගැනීම නොකළ යුතු ක්‍රියාවකි.

ත්‍රිරෝද රථ, වෑන් රථ ආදී වාහන හිමිකරුවන්ගේ ආදායම තෙල් හිඟය හේතුවෙන් බින්දුවට බැස ඇති බව සැබෑය. ඔවුන්ට මේ වනවිට සිය දෛනික ආදායමක් ගැන විශ්වාසය තබාගෙන කටයුතු කළ නොහැක. ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් සහ වෑන් රථ රියැදුරන් පෝලිමේ සිට ලබාගන්නා පෙට්රල් සහ ඩීසල් වැඩි මිලට විකුණා ගැනීමට පෙළඹී ඇත්තේ මේ හේතුවෙනි. එහෙත් ඒ නිසා අනවශ්‍ය ආකාරයට තෙල් පෝලිම දිගුවීම තෙල් අර්බුදය වඩාත් සංකීර්ණ තත්ත්වයට හරවා තිබේ. ඉන්ධන පිරවුම්හල්වලට ලැබෙන තෙල් තොග ඉක්මනින් අවසන් වීම හේතුවෙන් සැබෑ ලෙසම අවශ්‍යතාව තිබෙන පුද්ගලයන්ට ඉන්ධන නොලැබී යාමටද මෙය හේතු වෙයි. එය ද අසාධාරණයකි.

තෙල් නීතිවිරෝධී ලෙස විකුණා ගැනීම පමණක් නොව තෙල් සහ ගෑස් නොමැතිවීම හේතුවෙන් මහා මාර්ග වසා දමා සෙසු සියලු ජනතාව හිරිහැරයට පත් කිරීමද බලවත් වරදක් බවද පෙන්වා දිය යුතුය. පාරවල් වසා දැමීමෙන් තෙල් ලැබෙන්නේ නැත. එයින් සිදුවන්නේ තදබදය හේතුවෙන් වාහනවල තිබෙන තෙල් ටිකද නිකරුණේ පිළිස්සී යාමත් රටේ සෙසු සියලු ක්‍රියාකාරකම් ඇනහිටීමත් පමණි. තමන් විඳින පීඩාව රජයට හෝ වෙනත් බලධාරීන්ට හෝ දැනෙන්න සැලැස්වීම එයින් අදහස් කළත් එය රටේ සෙසු ජනතාවගේ බලවත් අප්‍රසාදයට ලක්වන බව කිව යුතුය. අපොස සා.පෙ. සිසුන්ට පවා ඇතැම් විරෝධතාකරුවන් හරස් කපනු දැකිය හැකි විය. පාසලකට අඩියක් හෝ තබා ඇති කෙනකුට නම් මෙවැනි ආකාරයේ විරෝධයකට සහාය දැක්වීමට හැකියාවක් නැත. ඉන්ධන හොරෙන් වැඩි මිලට විකුණන ජාවාරමත් පාරවල් වසාගෙන විරෝධතා පැවැත්වීමත් හැකි ඉක්මනින් නවතා දැමිය යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමු.