2022 මැයි 29 වන ඉරිදා

ජනාධිපති ඉවත්විය යුතුයි රටේම මතය ඒකයි

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 51

- සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී  නලීන් බණ්ඩාර

♦ ආණ්ඩු හදලා රාජපක්ෂලා රකින්න අපි සූදානම් නෑ
♦ රට රවට්ටන සංශෝධන වැඩක් නැහැ
♦ කැබිනට්ටුවේ සියයට 90ක් පොහොට්ටුවේ
♦ අරගල භූමියේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා
♦ මේ තියෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවේ
♦ හරීන්ට මනූෂට අපි කියන දේ දැන් තේරෙන්නෙ නෑ
♦ රනිල් මහත්තයා අගමැති වුණේ කලින්ම හැදූ සැලැස්මකට අනුවයි

 

කවද්ද මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නේ?

මේක සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් නෙමේ. හරි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුන දවසට අපිත් එකතු වෙනවා. 

දැන් ආණ්ඩුවේ අයත් කියනවා මේක සර්ව පාක්ෂිකයි කියලා. ඔබලාගේ අයත් ඉන්නවා ඒ ආණ්ඩුවේ. තවම සර්වපාක්ෂික නෑ කියන්නේ ඇයි?

මේකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් යැයි කියන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා තනියම ගිහිල්ලා දිවුරුම් දීලා පොහොට්ටුවේ අයත් එක්ක හදපු ආණ්ඩුවක්. 

දැන් ඔබලාගේ අයත් ඉන්නවානේ ඔබේ පක්ෂයත් නියෝජනය කරමින් ආණ්ඩුවේ?

අපිව නියෝජනය කරමින් නම් කිසිම කෙනෙක් ආණ්ඩුවේ නැහැ. ඒ අය තමන්ගේ පෞද්ගලික මතයත් එක්ක ගත්ත තීන්දු. පක්ෂයේ මතය නෙවේ. අනික සර්ව පාක්ෂික ආණ්ඩුවක් වුණහම යම් දර්ශනයක් තියෙන්න ඕනේ. වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. විශේෂයෙන් සියලුම පක්ෂවල එකතුවක් වෙන්න ඕන. ඒ සියලු පක්ෂවල එකතුවෙන් ඇති කරගත් කථිකාවතෙන් අග්‍රාමාත්‍යවරයා බිහිවෙන්න ඕනේ. දැන් ඒ එකක්වත් වෙලා නැහැනේ. රාජපක්ෂලාට ඕනෑ විදිහට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන්නා. වැඩිය ඕනෑ නැහැ ඔය කැබිනට් එක බලන්නකෝ. 90%ක් ඉන්නේ පොහොට්ටුවේ අය.

දැන් ඔබලාගේ පක්ෂයේ දෙදෙනෙක් ආණ්ඩුවට එකතු වුණා. ඒ අය කිව්වේ බලයට වඩා මේ වෙලාවේ රට ගොඩනැගීම සඳහා එකතු විය යුතුයි කියලා. ඔබලාට ඒ අදහස නැහැනේ?

අපි කියන්නෙත් ඒක තමා. බලයට වඩා තිබිය යුත්තේ රට ගොඩනැගීම. හැබැයි මොන දේ කරන්නත් රට ගොඩනගන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. පොදු එකඟතාවක් තියෙන්න ඕනේ. එහෙම නැතිව රාජපක්ෂලා කියන විදිහට ඒ අයට ඕනේ විදිහට අපි එතැන ගිහින් වැඩකරන්න ලෑස්ති නැහැ. දැන් මට කියන්න මේ ආණ්ඩුව රට ගොඩනගන වැඩපිළිවෙළ, න්‍යාය පත්‍රය මිනිස්සු දැකලා තියෙනවාද? මිනිස්සු ඒක අනුමත කරලා තියෙනවාද?

දැන් ඔබ කියන්නේ මේ ආණ්ඩුවට කිසිම දැක්මක් නැතිව යනවා කියලද?

ඔව්. පැහැදිලිවම. මේ ආණ්ඩුවේ එකම න්‍යාය තමයි රාජපක්ෂලා බේරාගැනීම. ඒ න්‍යාය පත්‍රය හදන්නේ අර මෙච්චර කල් ජනතාව චෝදනා කරපු හොරු ටික. හොරු හදපු න්‍යාය පත්‍රයකට අපි ගිහිල්ලා මොකටද වැඩ කරන්නේ? අපි එකඟතාවයක් අනුව තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවාද නැද්ද කියලා තීන්දු වෙන්නේ. අපි ඒ නිසා ජනතාව පිළිනොගන්නා ආණ්ඩුවකට එකතු වෙන්නේ නැහැ. 

දැන් ඒ කියන්නේ ඔබේ පක්ෂයේ මිතුරෝ දෙන්නා ගත්ත තීන්දුව වැරදියි කියලද?

ඒක ඒ දෙන්නාට අනාගතයේ දවසක තේරුම් යයි. දැන් කිව්වාට තේරෙන්නේ නැහැ. අද පොහොට්ටුවේ බහුතරයක් ඉන්න රාජපක්ෂලා ආරක්ෂා කරන ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ කියලා රටටම පේනවා. අන්න ඒක අනාගතයේදී එයාලට පෙනෙයි. 

දැන් ඒ දෙන්නා පක්ෂයේ අය නෙමෙයිද? පක්ෂයට නැවත ඉඩක් නැද්ද?

දැනට ඔවුන්ගේ තාවකාලිකව පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. 

ඔවුන් දෙන්නා ගත්ත තීන්දුව වැරුදියි නම් ඔබලාට තිබුණානේ ඒ තීන්දුව වැරුදියි කියන්න? ඔබලා දැනගෙන නෙමෙයිද ගියේ?

අපි දැනුවත්ව තමයි ගියේ. අපි පැහැදිලිවම යන්න එපා කිව්වා. අපේ තීන්දුව පක්ෂ අභ්‍යන්තරයේ වගේම පෞද්ගලිකව පවා සාකච්ඡා කළා. ඔය තීන්දුව ගන්න එපා කියලත් කිව්වා. අපිට පැහැදිලිවම දැන් හිතෙනවා මේක කලින් එකඟතාවයකට ඇවිල්ලා සැලසුම් සහගතව ගත්ත තීන්දුවක් කියලා. 

ඔබ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍ය පුටුවේ වාඩිකරවන එකත් ඒ සැලසුමේම කොටසක් කියලද?

එහෙම අපට පේනවා. පහුගිය කාලයේ මේ හදිසියේ සිදුවුණු දේවල් එක්ක බලද්දී ඒ සැකය සාධාරණයි. 

එහෙම කියන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහට කලින් මේ ආණ්ඩුව භාරගන්න කියලා ජනාධිපතිවරයා යෝජනා කළේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. පැහැදිලිවම කුමන්ත්‍රණයක් නැහැනේ.

ඔව්. අපිට ඒ ආරාධනාව කළා. හැබැයි මේ සිදුවීම් වුණේ දවස් දෙකක් වැනි කෙටි කාලයක් තුළ. ජනාධිපතිතුමා ආරාධනා කළාම අපි ගිහිල්ලා එතුමා හමුවෙලා සාකච්ඡා කරලා යම් කථිකාවතක් හදාගෙන කාරණා කිහිපයකට එකඟ වෙමින් හිටියේ. හැබැයි ඒ කථිකාවත අවසන් වෙන්නට කලින් කඩිමුඩියේ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා දිවුරුම් දුන්නා. 

කලින් පොදු එකඟතාවයකට පැමිණ සිටියා යැයි කියන කතාව පිළිගන්න බැහැනේ. එහෙම එකඟතාවයක් තිබුණා නම් කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්න ඔන්න මෙන්න කියලා මම අගමැති ධුරය භාරගන්න කැමැතියි කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා හදිසියේ ලියුම් ලියන්නේ. එතකොට එතැන පොදු එකඟතාවයක් නැහැනේ?

මෙහෙමනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දිවුරුම් දුන්නේ ඔන්න මෙන්න කියලා නෙමෙයි. අපි එක්ක සාකච්ඡාව යනකොටත් රාජපක්ෂවරුත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වන තීන්දුවේ ඉඳලා තිබෙනවා. අපේ එකඟතාවය අනුව මාස ගණන් යන්න තිබුණ දෙයක් නෙමෙයි. දවස් දෙකෙන් තීන්දුවකට එන්න තිබුණා. හැබැයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයට බලය දෙන්න ඒ අයට කිසිදු සද්භාවයක් තිබුණේ නැහැ. 

ඔය ලියුම ඊට කලින් දවසේ යවන්න තිබුණානේ?

ඒ අයගේ සැලසුමේ හැටියට අපි කලින් දවසේ ඇරියත් මොනවා හරි දෙයක් කියලා ඕක ප්‍රතික්ෂේප කරනවා.

ඔබ කියන්නේ ඒක කුමන්ත්‍රණයක් කියලාද?

පැහැදිලිවම. රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන සැලසුම තිබුණේ ඔය නම වැනිදා සිද්ධියට ඉස්සරයි. රජයේ බුද්ධි අංශ විසින් ජනතා විරෝධයක් ඉදිරියේ එන බව දැන සිටි නිසා පෙර සිටම මේ අගමැති ධුරය සම්බන්ධයෙන් එකඟතාවයකට ඇවිල්ලා තිබුණේ.

ඔබලා ආණ්ඩුව බාරගන්න හිටියේ 113ක බහුතරයක් එක්කමද?

අපේ පක්ෂයේ එකඟතාවය, නීතිඥ සංගමයේ යම් එකඟතාවයත් එක්ක තමයි අපි ආණ්ඩුව ගන්න එකඟ වුණේ. අපි ඒ හරහා සුළුතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න තමයි එකඟතාවය ආවේ. හැබැයි ඒ සියල්ල සාකච්ඡා වෙමින් පවතින විට තමයි රාජපක්ෂ මෙහෙයුමට අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුණේ.

සජිත් ප්‍රේමදාස තවමත් කියනවානේ ආණ්ඩුව භාරගන්න ලෑස්තියි කියලා?

පැහැදිලිවම ඔව්. අපි ඒ එකඟ වෙන්නේ බොරු ප්‍රතිපත්තිවලට නෙවෙයි. රට හදන පොදු වැඩපිළිවෙළකට.

මේ ආණ්ඩුව තව කොච්චර කල් යයි කියලද හිතෙන්නේ?

පැහැදිලිවම කෙටි කාලයයි. 

ඔබලා යෝජනාවක් ඉදිරිපත් කළා 21 වැනි සංශෝධනය ගැන.  මේ වනවිට 21 ආණ්ඩුවෙන් ගෙනැල්ලා තියෙන්නේ. ඒත් ඔබලා ඒකට විරුද්ධයි. ඇයි ඒ?

නෑ. එතැන අපිට ලොකු විවාදයක් තියෙනවා. අපි මේ වනවිට ඒ සම්බන්ධව අධ්‍යයනය කරමින් යන්නේ. රට රවටන සංශෝධන ගෙනැල්ලා වැඩක් නැහැ. 21 වැනි සංශෝධනය හරහා ඒකාධිපතිත්වය අහෝසි වීම, පාර්ලිමේන්තුවට බලය ලැබීම, ස්වාධීන කොමිෂන් සභා, ද්විත්ව පුරවැසි ගැටලු මේ සියල්ලම සමානව ඉෂ්ඨ වෙන්න ඕනේ. එහෙම නොවුණොත් ඒ සංශෝධන වැඩක් නැහැ. පැහැදිලිවම ජනාධිපති ධුරය අහෝසි කරනවා හැරෙන්නට ඔය බලය අඩු කරනවා කියන දේවල් කරන්න නරකයි. 

එදා කැබිනට් එකට දාලා පැයක් යන්න හම්බ වුණේ නැහැ ඔබේ නායකතුමා දැම්මා ඒකට විරුද්ධයි කියලා. දාපු කොලේ දකින්නත් කලින් විරුද්ධයි කිව්වේ කොහොමද?

කැබිනට් මණ්ඩලයට දානවත් එක්කම අපිට ඕවා ලැබෙනවා. 

කැබිනට් එකට දාන්නට කලින් හම්බ වුණාද?

ඔව්. සමහර දේවල් ලැබෙනවා ඉතින්. අනිත් එක ඕක හැදුවේ විජයදාස රාජපක්ෂ මහත්තයානේ. එතුමා මීට කලින් පෞද්ගලික යෝජනාවක් හැටියටත් ඔය යෝජනාව ඉදිරිපත් කරලා තිබුණා. 

මෙම කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයන් යෝජනා ඉදිරිපත් කරන්න තිබුණා. ඔබලා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළාද?

නෑ තවම. ඒ සඳහා අපි කමිටුවක් පත් කරලා තියෙන්නේ. ඒ අය තීන්දු කරලා අවශ්‍ය කාරණා බාර දෙයි. 

ඔබලා තවම යෝජනා කරන්නේ ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියලාද?

ඔව්. පැහැදිලිවම. අපේ නෙවෙයි රටේම මතය ඒක. 

දැන් ඔහු අයින් වුණොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා නේද රටේ ජනාධිපතිවරයා වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයිද?

ඒක ඉතින් කතාකරලා විසඳගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් එක්ක ඒ තීන්දුව සාකච්ඡා කරලා හදාගන්න පුළුවන්. ඒවා විසඳුම් හොයාගන්න පුළුවන් කාරණා.

මෙච්චර ප්‍රශ්න තියෙද්දී ඇයි මේ පක්ෂවලට එකතුවෙලා රටේ ප්‍රශ්න විසඳගන්න ඉදිරිපත් වෙන්න බැරි?

ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි නම් ඕනෑම වෙලාවක සූදානම්. හැබැයි මේ රාජපක්ෂලා රකින වැඩවලට නම් අපි සූදානම් නැහැ. මේක මේ කාවත් සතුටු කරන්න ඇමැතිකම් දෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. රට ගොඩනගන වැඩපිළිවෙළක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. 

අරගල භූමියේ මතය වෙනුවෙන් ඔබලා තවමත් පෙනී ඉන්නවාද?

අරගල භූමියේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. 

අද අරගල භූමියේදී ඔබේ නායකත්වයට ආව විරෝධයක් එක්ක මොකද හිතෙන්නේ?

ඒක මේ සුළු කණ්ඩායමක් විසින් කරපු දෙයක්. මායි මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමයි පැය භාගයක් විතර එතැන හිටියා. ඒත් අපිට විරෝධයක් තිබුණේ නැහැ. නායකතුමා ආවාට පස්සෙයි ඔය සිද්ධිය ඇතිවුණේ. ඇත්තටම ඕක අරගල භූමියේ මතය නෙමෙයි. සුළු කිහිප දෙනකුගේ වැඩක්. 

අවසාන වශයෙන් අහන්නේ ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් ඔබලාගේ පිරිසකටත් චෝදනා එල්ල වෙනවා. ඔබලා පක්ෂයක් හැටියට ඔවුන්ට දඬුවම් ලබාදීමට ක්‍රියා කරනවාද?

පැහැදිලිවම එක දෙයක් කියන්න ඕන. අපේ අය ඔය ගෙවල් ගිනි තැබීම්වලට සම්බන්ධ නැහැ. හැබැයි ඔවුන් එහෙම ගිනි තැබීමකට සම්බන්ධවෙලා තියෙනවා නම් අපි ඔවුන්ව නීතියට යොමු කරන්නත් කිසිම බාධාවක් නැහැ. ඒ වගේම පක්ෂය පැත්තෙන් අවශ්‍ය පියවර ගන්නත් අපි අදිමදි කරන්නේ නැහැ. අපේ පක්ෂය විනය රකින පක්ෂයක්. 

 ගයාන් ගාල්ලගේ