2022 මැයි 15 වන ඉරිදා

රාජපක්ෂවරු නැති ආණ්ඩුවක ඕනෑම අභියෝගයක් බාරගන්නවා

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 121

 - සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

  • පිටින් කෙනෙක් ගේමු කියලා තමයි ගෝඨාභය ගෙනාවේ
  • ආණ්ඩුවට බැරිනම් ප්‍රතිපක්ෂය වගකීම බාරගත යුතුයි
  • කෝපයයි බඩගින්නයි එක්ක ඡන්දෙකට යන්න බෑ
  • රනිල් මහත්තයට බහුතරය පෙන්නන්න වෙන්නේ රාජපක්ෂ කණ්ඩායමෙන්
  • මේ දැන් තියෙන්නේ අලුත් පරම්පරාවේ අවිහිංසාවාදී අරගලයක්
  • ඕනෑම වෙලාවක ජනාධිපතිට අස්වෙන්න පුළුවන්
  • විපක්ෂනායකට එල්ල වුණේ දේශපාලන ප්‍රහාරයක්

ඔබ ආණ්ඩු හදපු කෙනෙක්. ආණ්ඩු වට්ටපු කෙනෙක්. ආණ්ඩු කඩාගෙන ගිය කෙනෙක්. මොකක්ද මේ රටට දැන් වෙන්නේ?

මේ රටේ මේ වෙද්දී ප්‍රශ්න දෙකක් ඇතිවෙලා තියෙනවා. එකක් තමයි රාජපක්ෂලා විසින් සිදුකරපු මේ අවුල් සහගත තත්ත්වයත් එක්ක දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් මේ අය හොරු ලෙස රටේ ප්‍රතිරෑපය ඉතාම දරුණු විදිහට පිරිහිලා තියෙන්නේ. දෙවැනියට රාජපක්ෂලගේ මේ කෙරුවාව නිසා රට අන්තයට බංකොලොත් වෙලා තියෙන්නේ. අපේ එක දෙයයි බංකොලොත් නොවී තියෙන්නේ. ඒ බැංකු ක්ෂේත්‍රය .ඒක අපි කොහොම හරි රුකගන්නවා. කොහොම වුණත් ඉදිරිය මේ විදිහට ගියොත් විදුලිය නැති, ගෑස් නැති, බෙහෙත් නැති රටක් බවට පත්වෙනවා. ඒක ඉතාම දරුණු තත්ත්වයක්. දැන් ඒ තත්ත්වයට යමින් ඉන්නේ. මතකනේ පහුගිය දින ටිකේ මිනිස්සු පිටකළ වෛරය කොච්චරද කියලා. නීතිය නොතකා කටයුතු කරන්නේ. මේ භයානක තත්ත්වය දේශපාලකයෝ තේරුම් ගන්න ඕන. කටමැත දෙඩෙව්වට වැඩක් නෑ. ඉදිරිය ඉතාම දරුණුයි.

පහුගිය 9 වැනිදා සිදුවුණු ප්‍රහාරයත් එක්ක ජනතා විරෝධය දේශපාලනඥයන් කෙරෙහි වැඩි වුණා. ඒකයි ඔවුන්ගේ දේපළ පවා විනාශ කළේ. ඔබත් දේශපාලනඥයෙක්. දේශපාලනඥයෝ ජනතාවට එපා වෙලා වගේ දැන්?

225ම එපා. පිටින් කෙනෙක් ගේමු කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ගෙනාවේ. අන්න ඒ ගෙනාපු අයම තමයි ඔය දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තියන්නේ. මේක මේ දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තියලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. හොරු මංකොල්ලකාරයෝ බලවත් වෙන එක වෙන්නේ මේකෙන්. මේ රටේ යම් ‍යම් දේවල් කරපු මිනිස්සුන්ට මේ විදිහට 225ම එපා කිව්වම ඒක වැරදියි. මතක තියාගන්න, ඔය කෑගහන අය දේශපාලනඥයො විතරක් නෙමෙයි පහුගිය කාලේ පුජක පූජ්‍ය පක්ෂයේ අය ඔය රාජපක්ෂලා බලයට ගේන්න කරපු වර්ණනා මතක ඇති. ආගම් අතර බේද පවා ඇති කළා. මේ රටේ ඇතැම් මාධ්‍ය හිමිකරුවෝ, ලොකු ලොකු ව්‍යාපාරිකයෝ ඇතුළු රටේ බහුතරයක් මේ ප්‍රශ්නයට වගකියන්න ඕන. ඒක අමතක කරන්න එපා.

ඔබත් කාලයක අරගලකරුවෙක්, භීෂණයට පවා කොටුවුණ කෙනෙක්. මේ අරගලය සම්බන්ධයෙන් නොයෙක් කතා නොයෙක් අය කියනවා. ඔබ මේ අරගලය දකින්නේ කොහොමද?

මම ජේ.ආර්. ජයවර්ධනගේ පාලනයට, රණසිංහ ප්‍රේමදාස මහත්තයගේ පාලනයට, චන්ද්‍රිකාගේ පාලනයට සහ යුද්ධයේදී අරගල කරපු කෙනෙක්. හැබැයි මම කවදාවත් දැකලා නෑ පාට පක්ෂ බේද නැති. සමාජයේ විවිධ මට්ටම්වලින් සමන්විත අය එකතුවෙන් සාමකාමී ලෙස මෙච්චර කල් පවත්වාගෙන ගිය අරගලයක්. මේක අලුත් පරම්පරාවේ අරගලයක්. මේක අවිහිංසාවාදී අරගලයක්.

මේක නිර්පාක්ෂිකමද?

මේ වෙද්දී ඔය තැනට ඇතුළු වෙලා තියෙනවා පැරණි විප්ලවකාරී පිරිස්. මේ රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධි අරගල කණ්ඩායම් හිටියා,ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයෙන් නෙමෙයි පාර්ලිමේන්තුවෙන් පිට ආණ්ඩුවක් හදන්න ඕන කියලා හිතපු අය හිටියා. ඒ විතරක් නෙමෙයි ආයුධ සන්නද්ධව වෙනම රාජ්‍යක් පිහිටුවන්න ඕන කියලා හිතුව අයත් හිටියා. අන්න ඒ නිසා මතක තියාගන්න 74 වසරක් මේ රට විනාශයට දේශපාලඥයෝ විතරක් නෙමෙයි විප්ලව කරලා මිනිස්සු මැරිලා, විනාශවෙලා යන තැනට වැඩකරපු අයත් අසාර්ථකයි. මෙතනදී මේ ශුද්ධවන්තයෝ වෙන එක නෙමෙයි වැඩේ. අලුත් තරුණ පරම්පරාව අපිට පාරක් පෙන්නලා තියෙනවා. අන්න ඒ පාර සුද්ද කරන එක තමයි වැදගත්ම දේ.

ඔබලා ආණ්ඩුව භාරගත්තා නම් මේ අවාසනාවන්ත සිදුවීම සිදුවෙන්නේ නැහැ. ජනාධිපතිවරයා කිහිපවතාවක්ම ඔබලාට ආරාධනා කළා. ඒත් ඔබලා ගියේ නැහැ. හිතෙන්නේ නැද්ද වැඩේ වරද්දා ගැනීමක් කියලා?

ජනතාව ඡන්දය දුන්නේ ආණ්ඩුවට වුණත් ආණ්ඩු කරන්න විපක්ෂයටත් පුළුවන් වෙන්න ඕනෑ. ආණ්ඩු පක්ෂය අසාර්ථක නම් ප්‍රතිපක්ෂය වගකීම භාරගත යුතුයි. එහෙම නැතිව වගකීමෙන් නම් පලා යන්න බැහැ. ඊළඟ මැතිවරණයේදී යම් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් එක්ක ඒ අභියෝගය භාරගන්න විපක්ෂයේ හැමදෙනාටම එම වගකීම තිබෙනවා.

දැන් ආණ්ඩුවක් කරන්න ජනතා ඡන්දයෙන් බලයට එන්නම ඕනෑද? ඊට කළින් අභියෝගයක් ආවොත් කරන්න බැරිද? හැමෝම කියන්නේ විපක්ෂයේ කාර්යභාරය කරනවා කියලා?

ජනතාව ඡන්දේ දෙන්නේ ඒ අයව බලයට පත් කරන්න. විපක්ෂයේ කාර්යභාරය කරන්න ජනතාව ඡන්දේ දෙන්නේ නැහැ. ඒ වගේම අද තිබෙන ජනමතය 2019 තිබුණ ජනමතය නෙමෙයි. ඒක වෙනස් වෙලා. දැන් ජනතාව ඉන්නේ කෝපයෙන් සහ බඩගින්නෙන්. මේ වෙලාවේ මැතිවරණ මොහොතක තීන්දු ගන්නේ අන්න ඒ සාධකත් එක්ක. මේ ජනාධිපති පත්වුණෙත් පාස්කු ප්‍රහාරයත් එක්ක ඇතිවුණු කෝපයයි වෛරයයි සහ අනාරක්ෂිත භාවයයි නිසා. ඒ නිසා අන්න ඒක නිවැරදි තීරණයක් වෙන්න නෑ. ඒ නිසා නිවැරදි ප්‍රතිපත්තියක් සමඟයි මැතිවරණයකට යන්න ඕනෑ. විශේෂයෙන් මැතිවරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. නැත්නම් ජනමාධ්‍යයයි ව්‍යාපාරිකයොයි මැතිවරණ ප්‍රතිඵලය ඔවුන්ගේ බලපෑම මත වෙනස් කරනවා. මැතිවරණ ප්‍රතිසංස්කරණයක් වහාම සිදුවිය යුතුමයි. 

අරගලකරුවන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයා ඉවත් කිරීම. හැබැයි ඉවත්වුණේ අගමැති. දෙන්න අපිට අපි ආණ්ඩු කරලා පෙන්වන්නම් කියපු අයත් දැන් ආණ්ඩුව දුන්නාම බැහැයි කියනවා. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඉවත්වන්නේ නැහැයි කියනවා. දැන් මොකක්ද මේ වෙන්නේ?

ජනාධිපතිවරයාට නම් ඕනෑම වෙලාවක ඉවත් වෙන්න පුළුවන්. ජනාධිපතිතුමාට ඉල්ලා අස්වීමේ ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාව තුළින් තිබෙනවා. එහෙම නැතිව එහෙම නෑ කියන වැරදියි. ඒ විතරක් නෙමෙයි ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන විදිහත් ව්‍යවස්ථාවේ තිබෙනවා. විශේෂයෙන් ඔහුගේ මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීමෙන්, දෝෂාභියෝගයකින් මේ සියල්ලෙන්ම එය සිදුකළ හැකියි. පාර්ලිමේන්තුව විරුද්ධ නම් කොතරම් බලවන්ත ජනාධිපතිවරයෙක් වුණත් අපේ රටේ වැඩකරන්න බැහැ. ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තභාවය මේ වෙනකොට නැතිවෙලා ඉවරයි. ඩේලිමිරර් පුවත්පත සිදුකළ ඡන්දයකදී 96෴ක්ම කියලා තියෙනවා රාජපක්ෂවරු ගෙදර යන්න කියලා. 

දැන් ජනාධිපති යවලා උත්තරයක් තිබෙනවාද?

තවත් රට අරාජික කරන්නෙ නැතිව ජනාධිපති අයින් වෙලා යන්න ඕනෑ. හැබැයි එහෙම යනවා නම් තවත් අරාජික වෙන විදිහට අයින් වෙලා යන්න බැහැ. එහෙම අයින් වෙනවා නම් යම් කාල පරිච්ඡේදයක් තුළ නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ අදාළ බලය හුවමාරු විය යුතුයි. 

අපි දැක්කා අරගලයට ප්‍රහාර එල්ල කරපු දවසේ විපක්ෂනායකවරයාට දැඩි ප්‍රහාරයක් අරගල භූමියෙන් එල්ල වුණා. හැබැයි අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයාට එහෙම විරෝධයක් එල්ල වුණේ නැහැ. මෙතැන කුමක් හෝ දේශපාලන වශයෙන් අවුලක් තිබෙනවා නේද?

ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඔය 225ම එපා කියන අය ඔය 225ට ඡන්දය දීලා රාජපක්ෂලා බලයට ගේන්න උදව් කරපු අය. සජිත් ප්‍රේමදාස මහත්තයා එදා එතෙන්ට ගිය ආකාරයේ ගැටලුවක් තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ කට්ටිය ගහන්න එනවා කියලා කියන මොහොතක එතුමාගේ ආරක්ෂක අංශයේ අය කැමා කිට් ඇඳගෙන එතැනට යාම යම් නොපැහැදිලි කමක් තිබෙනවා. එනිසා අනවබෝධය නිසා යම් ගැටලුවක් ඇතිවීමේ අවදානම තිබෙනවා. හැබැයි ගහන අය අතර අපි දැක්කා පැහැදිලිවම සමගි ජනබලවේගයට ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන වේදිකාවල විවෘතව පක්ෂය වෙනුවෙන් කතා කරන කණ්ඩායමකුත් හිටියා. ඒක පැහැදිලිවම දේශපාලන පහරදීමක්. 

ඔබ කියන්නේ මේ අරගලය නිර්පාක්ෂික නැහැ කියලද?

මෙහෙමනේ. මේකේ ඇතැම් මන්ත්‍රීවරු යනවිට විතරයි නිර්පාක්ෂික කියන්නේ. ඒ ඒ පක්ෂවල සාමාජිකයන් යනවිට නිර්පාක්ෂික නැහැ. මධ්‍යම කාරක සභාවල ඍජුවම ඉන්න සාමාජිකයෝ ඉන්නවා. ඒ ගොල්ලෝ නිර්පාක්ෂික නැහැනේ. ඒ ගොල්ලෝ පාර්ලිමේන්තුවේ විතරයි නැත්තේ.

මේ අරගලය මේ වනවිට මාසයක් තිස්සේ ඇදිලා තිබෙනවා. අරගලය අස්සේ දේශපාලන විවිධ වෙනස්කම් සිදුවෙනවා. අරගලයේ ජයග්‍රහණය කරා යන එක ලෙහෙසිද අමාරුද?

මෙහෙමයි. මේ අරගලයේ මේ වනවිට සාධනීය යෝජනා ඇවිල්ලා තිබෙනවා. අරගලයේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඔතැන ඉන්නවා මේ ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා ඒ වේදනාවෙන් අරගලයට ආපු කට්ටිය. තව කට්ටියක් ඉන්නවා දේශපාලන මතිමතාන්තර ඔලුවේ තියාගෙන වාමාංශික බලපෑම් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එපිටින් බලය ගොඩනගන්න උත්සාහ කරන. ඔය දෙවැනි කණ්ඩායමත් එක්ක දේශපාලන එකඟතාවලට එන එක ලෙහෙසි නැහැ. හැබැයි ඔය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එළියට ආපු මිනිස්සු එක්ක අපි එකඟතාවයක් ඇතිකර ගත යුතුයි. මගේ නම් අදහස ඔය අරගලයේ ඉන්න අය දේශපාලන ප්‍රවාහයට එන්න ඕන. එළියේ ඉඳලා මෙහෙම කරමු අරහෙම කරමු කියලා වැඩක් නැහැ. දැන් ඒ අයත් දේශපාලනයට එන්න ඕනෑ. 

43 වැනි සේනාංකය අරගලයට සම්බන්ධ නැද්ද?

43 වැනි සේනාංකය මුල ඉඳලාම සම්බන්ධයි. අපි මුල ඉඳලාම කිව්වේ මේ රටේ 225 ගැන නෙමෙයි. අපි මුල ඉඳලාම කිව්වේ පවුල්වාදය නැති කරන්න ඕනෑ කියලා. මේ පවුල්වාදය නිසා මේ රට ගිලගෙන ඉවරයි. ඒ නිසා එම ක්‍රමවේදය පවුලෙන් හැකියාවට මාරුවිය යුතුයි. අපි කිව්වේ කුඩු සල්ලි, එතනෝල් සල්ලි, කොමිස් සල්ලිවලින් දේශපාලනය කරන ක්‍රමවේදය නවත්වලා රටේ ඕනෑම කෙනකුට දේශපාලනය කිරීමේ ඉඩකඩ ලබාදිය යුතුයි කියලා. අන්න ඒක තමයි දැන් මේ වෙන්නේ. අද ජොන්ස්ටන්ගේ ගෙදරට ගැහුවේ ඒ අය ඒ අයගේ සල්ලි වලින් පෝෂණය කරපු ගෝලබාලයෝම තමයි. මොකද ඒ අය රාජපක්ෂ පවුල්වාදයට මේ වනවිට විරුද්ධ වෙලා ඉන්නේ. 

දැන් මෙය දේශපාලනඥයන්ට විතරක් නෙමෙයි පොලිස් නිලධාරීන්ටත් ගහන තත්ත්වයට ඇවිල්ලා?

පොලිසියෙත් ඉන්නවා දූෂිත නිලධාරීන්. ඔවුන් රාජපක්ෂ කල්ලියේම පිරිස්. හැබැයි ජනතාවට ආදරේ ජනතාව වෙනුවෙන් ඉන්න පොලිස් නිලධාරීන් කණ්ඩායමකුත් ඉන්නවා. ඒ අය බහුතරය. මේ පොලිස් ලොක්කන්ගෙ වැරුද්ද තමයි සිතුසේ අර දූෂිත කල්ලියට වැඩකරන්න ඉඩ දීලා තිබීම. මේ රටේ ආරක්ෂක හමුදාව ඉන්න ඕනේ ස්වාධීනව. දූෂිත කල්ලි රකින්න නෙමෙයි. මේ රටේ මේ තරම්වත් යුක්තිය ඉටුවුණේ අපේ නීතිඥ සංගමය සහ නිවැරුදි ලෙස හිටගත්ත විනිසුරුවරු නිසා. ඔවුන් නිර්භීතව ලබාදුන් තීන්දු ඊට හේතුවුණා. 

මේ වනවිට රටේ අගමැති වෙලා ඉන්නේ තනි පුද්ගලයෙක් විතරක් නායකත්වය දරන පක්ෂයක මන්ත්‍රී කෙනෙක්. බොහෝ පක්ෂ උදව් කරන පාටකුත් නැහැ. කොහොමද මෙහෙම ආණ්ඩු කරන්නේ?

මෙහෙමයි. අද රනිල් වික්‍රමසිංහ මහත්මයාට බහුතරය පෙන්වන්න වෙන්නේ රාජපක්ෂ කණ්ඩායමෙන්ම තමයි. ඒ නිසා එතුමාට ඒ අයගේ සහාය ගන්නා විට රාජපක්ෂවරුන් ආරක්ෂා කරන්න සිදුවෙනවා. ඒ නිසා ආරම්භයේ සිටම එතුමාගේ සුජාතභාවය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. මේ ඇතිවෙලා තිබෙන ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, විදුලිය කප්පාදුවට ඉක්මන් විසඳුමක් දෙන්න බැරිවුණොත් විශාල අභියෝගයකට රටට මුහුණදීමට සිදුවෙනවා.

ඔබ ඇත්තද ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් ගන්නවා කියන්නේ?

කිසිසේත්ම නැහැ. මම පැහැදිලිවම කියනවා ඔය රාජපක්ෂවරු නැති අනිත් අය හිටියාට කමක් නැහැ එවැනි ආණ්ඩුවක ඕනෑම අභියෝගයක් අරගෙන කටයුතු කරන්න මම මැදිහත් වෙනවා. අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරන්න අපි කටයුතු කරනවා.

 ගයාන් ගාල්ලගේ
සේයාරුව - සුමුදු හේවාපතිරණ