2022 මැයි 15 වන ඉරිදා

අප්‍රමාදව කටයුතු කරමු

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 94

පසුගිය සතියේ අපගේ දේශය වෙළෙඳපොළට පැමිණෙද්දී තිබූ අපේ රටත් දැන් පවතින රටත් අතර අහසට පෙළොව මෙන් වෙනසක් තිබේ. එතෙක් කොළඹ පැවැති සාමකාමී විරෝධතා අරගල සහ රටපුරා පෝලිම්වල තදබද වී සිටි ජනතාවගේ ආවේගශීලී හැසිරීම් වෙනුවට දැන් රට පවතින්නේ ගිනිජාලාවකට මැදිවූ තත්ත්වයකිනි. මැති ඇමැතින් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාස 53කට වඩා ගිනිබත් කෙරුණු බස් රථ  ඇතුළු වාහන 100කට වඩා විනාශකර දැමුණු සුපිරි හෝටල් ඇතුළු දේපොළ ගණනාවක් වනසා දැමූ ගිනි ජාලාවක දුම් රොටු මැද අපි යාන්තමින් හුස්ම ගනිමින් සිටිමු. මේ ගැටුම් මේ වනවිට ජීවිත 09ක් බිලිගෙන තිබෙන අතර 220කට අධික පිරිසක් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

සිදුවූ මහා විනාශය එක මිටට ගත් කළ කියැවෙන්නේ මේ කතාව වුවද රටේ පවතින වර්තමාන තත්ත්වය ඉතාම බැරූරුම් බව තේරුම් ගැනීමට අප කාටත් දුෂ්කර නැත. අද ආණ්ඩුවක් නැත. ඒ වෙනුවට සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ව්‍යවස්ථානුකූලව එය වැරදි නැත. එහෙත් මේ තත්ත්වය ඉදිරියටද පවත්වාගෙන යාමට හැකියාවක් නැති බව සියලුදෙනා තේරුම් ගත යුතුය. සිදුවූ විනාශය ගැන පසුතැවෙමින් සිටීමට අපේ රටට හැකියාවක් නැත. දැන් තිබෙන්නේ වහ වහා තීරණ ගෙන රට මෙතැනින් ඉදිරියට ගැනීමය.

රට ඉදිරියට ගැනීමට මුලින්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමට දැඩි තිරණ ගත යුතු වෙයි. ආණ්ඩුවේ දේශපාලනඥයන් පිරිසකගේ උසි ගැන්වීම් සහ මගපෙන්වීම් යටතේ 09 වැනිදා ගාලු මුවදොර සාමකාමී අරගලයට එල්ල වූ නින්දිත, ම්ලේච්ඡ  මැර ප්‍රහාරය මේ විනාශයට මග පෑදුවේය. එහි පළිගැනීමේ ක්‍රියාවලිය රට පුරාම ක්‍රියාත්මක වී පසුව එය පාලනයෙන් බැහැරව දේශපාලන පළිගැනීම් සහ දේපළ කොල්ලකෑම්, සුපිරි හෝටල් ගිනි තැබීම් දක්වා වර්ධනය වෙමින් තිබිණි. මේ විනාශ කෙරෙන්නේ පෞද්ගලික දේපළ විය හැකි වුවද ඒ සියල්ල රටේ සම්පත්ය. මියයන සහ තුවාල වෙන ජීවිත කුමන දේශපාලන පක්ෂයකට අයිති වුවද එම සියලුදෙනා මේ රටේ පුරවැසියෝ වෙති.

කලහකාරී සිදුවීම් පාලනය කරගත හැකි තත්ත්වයෙන් පිට පැනීම හේතුවෙන් දේපළ කොල්ලකමින් ගිනි තබමින් හැසිරෙන කලහකාරීන්ට දුටු තැන වෙඩි තැබීමට ආණ්ඩුව ආරක්ෂක හමුදාවලට අණ දී තිබේ. ඒ ගැන කිසිවකුටත් දොස් පැවරිය නොහැක. රටේ නීතිය සහ සාමය පවත්වා ගැනීමටත් සියලු ජන ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමටත් පවතින හදිසි නීති යටතේ ඇති නීතිමය ප්‍රතිපාදන භාවිත කළ යුතුය. ඒ හරහා මුලින්ම රට යථා තත්ත්වයට පත්කර ගැනීම ප්‍රමුඛ කරුණයි.

එහෙත් එමගින් ප්‍රකාශ වන්නේ රට දිගින් දිගටම මේ තත්ත්වයෙන් පවත්වා ගතයුතු නොවන බවද සඳහන් කරමු. වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු අවස්ථාවක් උද්ගත වී තිබුණද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන තුරු එය සිදුකළ නොහැකි බවද පිළිගත යුතුය. එහෙත් එසේ වූ පමණින් රටේ සියලු තීරණ ගැනීම් කල්දැමිය නොහැක. වහාම අග්‍රාමාත්‍යවරයකු සහ කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමට ප්‍රමුඛත්වය හිමිවිය යුතුය. ඒ සඳහා වූ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පවතින ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සූම් තාක්ෂණය ඔස්සේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (11) පැවැත්විණි. එසේම දිගටම ජනාධිපතිවරයා සියලු පක්ෂ නායකයන් සමඟ සබඳතා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවද මේ මොහොතේදී පෙන්වාදීමට කැමැත්තෙමු. ඇතැම් පක්ෂ නායකයන්ගේ නිවාස ගිනිබත් කර තිබෙන බව සැබෑවකි. එහෙත් ඒ සියලු දෙනා සම්බන්ධ කරගැනීමට ජනාධිපති කාර්යාලයට සියලු පහසුකම් ඇතැයි අපි සිතමු. දැන් පවතින්නේ තීන්දු ගැනීම දවසකින්වත් පමා කළ නොහැකි තත්ත්වයක් බව අවබෝධ කර ගනිමින් කටයුතු කිරීම අවශ්‍යය.

පවතින තත්ත්වය සමනය කර ගැනීමේදී මේ සියලු විනාශයට මගපෑදූ ම්ලේච්ඡ ප්‍රහාරය මෙහෙයවූ සියලු දේශපාලනඥයන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීම අත්‍යාවශ්‍ය කාරණයකි. එහිදී සාමය රුකීමට සිටි පොලිස් නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇත්නම් ඔවුන්ට එරෙහිවද රාජකාරි මට්ටමින් පියවර ගත යුතුය. රටේ ජීවිත සහ දේපළ විනාශ කර ගිනි තබා කොල්ලකෑම් වල නිරත වුණු සියලුදෙනාට එරෙහිවද නීතිය තදින්ම ක්‍රියාත්මක කර ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පැමිණවීම අවශ්‍යය. එහෙත් විනාශයට මුලපිරෑ පිරිස් අත්අඩංගුවට ගැනීමෙන් තොරව එයට ප්‍රතිචාර දැක්වූ පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගතහොත් එය තත්ත්වය සමනය කිරීමට වඩා දරුණු ප්‍රතිවිපාක ඇතිවිය හැකි තත්ත්වයක් උදාකරනු ඇත.
ආණ්ඩුවත් විපක්ෂයත් මේ මොහොතේ සියලු දේශපාලන වාදබේද පසෙකට දමා රට ස්ථාවර කර ගැනීමට සියලු ශක්තිය යෙදවිය යුතු බවත් ඒ සඳහා තවදුරටත් ප්‍රමාදවීමට කාලය නැති බවත් අවධාරණයෙන් සඳහන් කරමු.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00