2022 මැයි 08 වන ඉරිදා

සජබ වැඩ කළේ පාර්ලිමේන්තු සමගිය බිඳින්න

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 118

- වරාය හා නාවික අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

♦ අපි යම් තීන්දු ගන්න පරක්කු වුණා තමයි
♦ ඔක්කොම එන්නෙ නැති අන්තර්පාලනයකින් වැඩක් නෑ
♦ මේ වෙලාවේ රට ඉල්ලන්නේ අපේ කතා නොවේ
♦ හූ කිව්වාම උද්ඝෝෂණය කළාම ඩොලර් එනව නම් හැමෝම එහෙම කරමු
♦ විපක්ෂනායකතුමා හැසිරෙන්නේ සුපර්මෑන් වගේ
♦ ජනතාවගේ පීඩනය අපටත් දැනෙනවා
♦රට වෙනස් කරන්න තරුණ ජවය අවශ්‍යයි

ඔබ පළාත් සභාවෙ හිටිය අමාත්‍යවරයෙක්. ඊට පස්සෙ පාර්ලිමේන්තුවට ආවා. දැන් ඔබ එකවරම කැබිනට් අමාත්‍යවරයෙක් බවට පත් වුණා. කොහොමද මේ අලුත් වගකීම ගැන තේරෙන්නෙ?

දේශපාලනය කියන්නෙ ජීවිතය වගේම අභියෝගවලින් පිරුණු තැනක්. ඒ නිසා මට අභියෝගවලට මුහුණදීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් දේශපාලනඥයකුට නායකත්වය දිය යුතු තැන්වල නායකත්වය ලබා දීමේ හැකියාව, ශක්තිය තියෙන්න ඕනෙ. දේශපාලනය කියන්නෙ රැල්ලෙ යන එක නෙමෙයි. ගෝඨාභය ජනාධිපතිතුමා විශාල අභියෝගයක් ගත්තෙ. ඒ අනුව තමයි මේ තරුණ කණ්ඩායමට වගකීම එතුමා භාර දුන්නෙ. අපි ඒ අභියෝගය භාරගත්තා. 

දැන් අභියෝගය භාරගෙන වැඩක් කර ගන්න පුළුවන් වුණාද?

ඔව්. ඔබත් දන්නවා ඇති අපි වරාය ඉතිහාසයේ විශාල වෙනසක් සිද්ධ කළා. මොකද වරාය ඉතිහාසයේ මුදල් අය කරගෙන තිබුණෙ රුපියල්වලින්. ඩොලර්වලින් රේට් එක කිව්වට සල්ලි ගෙව්වෙ රුපියල්වලින්. අපි ඒක ජූනි පළවෙනිදා ඉඳන් නැවැත්වුවා. ඒ වෙනුවට වරාය ගාස්තුයි නාවික ගාස්තුයි අපි ඩොලර්වලින් ගෙවන්න තීන්දුවක් ගත්තා. ඒ සඳහා සියලු පාර්ශ්ව එකඟ වුණා. ඒ හරහා වසරකට ඩොලර් මිලියන 100ත් 200ත් අතර ප්‍රමාණයක් රටට ලැබෙනවා. මේ වගේ පොඩි පොඩි දේවල්වලින් ලංකාවට ඩොලර් ලබාගන්න අපිට ක්‍රම තියෙනවා. ඒවා ඉක්මනට කරන්න බෑ. හෙමිහිට කරනවා. 

අපි දන්නවා අලුත් ඇමැති කෙනෙක් වැඩ භාරගන්නකොට පරණ ඇමැති කරපු දේවල්වල අඩුපාඩු දකිනවා. පේනවා. ඔබට එවැනි අඩුපාඩු පේනවද? ඒවා වෙනස් කරන්න මොනවා හරි දේවල් තියෙනවද?

නෑ නෑ.. වරාය කියන්නෙ කාගෙවත් පෞද්ගලික වස්තුවක් නෙමෙයි. ඒක ජාතික වස්තුවක්. ඒකෙ වැඩ ක්‍රියාත්මක වෙන වි‍දියක් තියෙනවා. මම වරායට සම්බන්ධ රජයට හා පෞද්ගලික අංශයටත් කිව්වෙ ඒ අයටත් වරායෙ තියෙන ක්‍රමවේදය අනුව වැඩ කරගෙන යන්න කියලා. මොකද ඒ අය හොඳින් ක්‍රියාත්මක වෙලා ආදායම් ලැබෙනවා කියන්නෙ වාසිය ලැබෙන්නෙ රටට. යම් අඩුපාඩු තියෙනවා නම් අපි ඒවා වෙනස් කරගමු.

දැන් අපි දන්නවා විවිධ කතා තියෙනවා මේ රට හදන්න නම් තරුණයන්ට අවස්ථාව දෙන්න ඕනෙ කියලා. දැන් ඔබත් තරුණ ඇමැතිවරයෙක්. ඇත්තටම ඔබලට මේ රට හදන්න පුළුවන්ද?

දැන් අපිට වගකීමක් තියෙනවා මේ වෙනස ඇති කරන්න. වරාය තුළ අර වගේ වෙනසක් ඇතිවුණේම මම වගේ කෙනෙක් වරාය භාරගත්ත නිසානෙ. ඒ නිසා අනෙකුත් අමාත්‍යංශවලත් විවිධත්වයක් ඇතිවෙයි. ඉදිරියේදි ඔබ තමුන්නාන්සෙලාට ඒ දේවල් දකින්න පුළුවන් වෙයි. බලන්න ඉතිහාසය ගත්තාම වරාය ඇමැති ලලිත් ඇතුළත්මුදලි මහත්තයා පත්වෙනකොට මගේ වයසෙ. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මුදල් ඇමැති වුණෙත් අවුරුදු හතළිහේදි. ඒ නිසා මේ රට වෙනස් කරන්න නම් මේ තරුණ ජවය අත්‍යවශ්‍යයි. 

අපි දැක්කා ප්‍රමිත බණ්ඩාර අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන්න කලින් නම් ගොඩක් මාධ්‍ය ඉදිරියේ පෙනී හිටියා. හැබැයි දැන් ප්‍රමිත පේන්නවත් නැහැ. මොකද දැන් අත්‍යවශ්‍ය දේ කර ගත්ත නිසාද?

නෑ නෑ.. මම ඉන්නවා. මම එහෙම මාධ්‍ය සංදර්ශන වැඩිය පිළිගන්න කෙනෙක් නෙමෙයි. මම හිතනවා අපි කතා කරන්න ඕන සීමාවක් ඇතිව. මාධ්‍යයේ පෙනී ඉන්න ඕනෙත් සීමාවක් ඇතිව. මම ඕනවට වැඩිය කතා කරන්නෙත් නැහැ. ඕනවට වැඩිය පෙනී ඉන්නෙත් නැහැ. මම මයික් එකක් දැක්ක පලියට අනිත් අය වගේ කතා කරන්නෙත් නැහැ. මේ වෙලාව රට ඉල්ලන්නෙ අපේ කතා නෙමෙයි. මේ රට ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙළක්. අන්න ඒක තමයි අපි මේ වෙලාවෙ එකතු කරමින් ඉන්නෙ. 

අපි දැක්කා මුදල් අමාත්‍ය අලි සබ්‍රි කියනවා අද මේ වැටිලා තියෙන තත්ත්වයට යම් තීන්දු තීරණ පරක්කුවෙලා ගැනීම හේතු වුණා කියලා. ඔබත් හිතනවද එහෙම?

මම විවෘතව මේ කියන්නෙ. අපි යම් යම් තීන්දු තීරණ ගන්න පරක්කු වුණා. ආරක්ෂාකාරී විදිහට තමයි අපි තීන්දු තීරණ ගත්තෙ. හැමදෙයක් ගැනම දේශපාලන මුහුණුවරකින් බැලුවා. රටක් වෙනුවෙන් ගන්න තීන්දු ජනප්‍රිය වෙන්නෙ නැහැ. ජනප්‍රිය නොවුණත් අපි ඒ තීන්දු හරි වෙලාවට ගන්න ඕනෙ. අපි සමහර ලෙඩවලට බෙහෙත් ගන්න ඕනෙ වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ තමයි සමහර තීන්දු තීරණ ගන්න ඕනෙ. 

ඔය කිව්වට ඇමැතිවරුන්ට තමන් කැමැති තීන්දු තීරණ ගන්න පුළුවන්ද?

මම නම් මගේ අමාත්‍යාංශයේ මින් ඉදිරියට නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගන්නවා. එහෙම ගත්තාම මේ ප්‍රශ්න මොනවත් නැහැ. 

දැන් මේ වෙනකොට ජනතාවගේ පීඩනය එල්ලවෙලා තියෙන්නෙ කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ මේ ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් ඉල්ලා අස්වෙන්න කියලා. දැන් ඔබලට ඒ පීඩනය දැනෙන්නෙ නැද්ද?

අපිටත් ඒ පීඩනය දැනෙනවා. නොදැනෙනවා නෙමෙයි. සමහර තීන්දු අර කතාවට කියන්නෙ කලකට රහ දේ කලකදි වහ වෙනවාලු කියලා. අන්න ඒ වගේ. මතක තියාගන්න මේ උද්ඝෝෂණවලින් ඉල්ලන හැමදේම අපිට ලබා දෙන්න හැකියාවක් නැහැ. මේ ළඟදි අරගලකරුවෝ බණ්ඩාරනායක මහත්තයගෙ ඇස් දෙක බැන්දා. මතක තියාගන්න බණ්ඩාරනායක මහත්තයා එදා ඒ තීන්දු ගත්තෙ ඒ මොහොතේ ඒ සමාජය ඉල්ලපු දේවල් එක්ක. ඒක අපි අමතක කළ යුතු නැහැ. ඒ නිසා මොනවා කිව්වත් අපි තීන්දු තීරණ ගන්නෙ රට ගැන හිතලා. 

දැන් මේ අරගලකරුවෝ ඉල්ලන්නෙ ජනාධිපති, අගමැති සහ රාජපක්ෂවරු මේ රටේ පරිපාලනයෙන් ඉවත් විය යුතුයි කියලා. ඔබ කොහොමද ඒ මතය විග්‍රහ කරන්නෙ?

අපි ඉස්සෙල්ලාම බලන්න ඕනෙ රටේ මේ වෙලාවෙ තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා. අපි රටේ ප්‍රශ්න අඳුරගන්නෙ නැතුව අපිට බෙහෙත් යෝජනා කරන්නවත් බෙහෙත් දෙන්නවත් තේරුමක් නැහැ. 

ඉතින් ඇත්තටම මොකක්ද මේ ලෙඩේ? ඔබ හඳුනාගෙන ඉන්නවද?

ඔව් දැනට තියෙන එකම ලෙඩේ මේ ඩොලර් අර්බුදය. අපි දැන් හැමෝම කතා කරමින් ඉන්නෙ මේ ඩොලර් ප්‍රශ්නයට විසඳුම මොකක්ද කියලා. එහෙම නැතිව උද්ඝෝෂණ කළා කියලා ඩොලර් එනවා නම් අපි හැමෝම උද්ඝෝෂණ කරමු. එළියට බැහැලා හූ කියනවා නම් අපි හැමෝම හූ කියමු. අපි ඇත්තටම මේ අර්බුදය මීට වඩා වගකීමෙන් තේරුම් ගන්න ඕනෙ. 

ඉතින් ජනතාව මේ අර්බුදය ඇතිවීමේ හේතු සාධකවලට නෙමෙයිද මේ පිළිතුරු හොයන්නෙ?

නෑ අපි දන්නවනෙ මේ අරගල බිමේ විවිධ පාර්ශ්ව ඉන්නවා. විවිධ අරමුණු තියෙන අයත් ඉන්නවා. ජනතාව ඉන්න පීඩනයත් අපි දන්නවා. අපිට තේරෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය ඉක්මනින් සුව කරන තුරු තමයි අපි මහන්සි වෙන්නෙ. 

දැන් මේ රටේ බහුතරයනගේ ඉල්ලීම තමයි අන්තර්වාර පාලනයකට යා යුතුයි කියලා. ජනාධිපතිවරයා පවා ඒ මතයේ ඉන්නවා කියලා අපි දන්නවා. ඔබ හිතන්නෙ මොකක්ද හොඳම දේ?

අන්තර්වාර පාලනයක් සඳහා සියලු දෙනාම එකතු වෙනවා නම් ඒක හොඳ දෙයක්. හැබැයි අපිත් එක්ක කාලයක් ආණ්ඩු කරලා එළියට ගිහිල්ලා ඒ එළියෙ ඉන්න අය එක්ක නම් අපි අන්තර්වාර පාලන කරන්න යන්නෙ ඒක නිෂ්ඵල ක්‍රියාවක්. පහුගිය දවසක අපි නියෝජ්‍ය කතානායක පත් කරන්න සූදානම් වුණා. ඒ වෙලාවෙ ස්වාධීන කණ්ඩායම්වල පිරිසගේ යෝජනාවට අපි එකඟ වුණා. නමුත් සමගි ජන බලවේගය වෙනත් අපේක්ෂකයෙක් දාලා පාර්ලිමේන්තුවෙ සමගිය බිඳින්න කටයුතු කළා. ඇත්තටම ඒ වෙලාවෙ හැමෝටම තිබුණා එකතුවෙලා එකමුතුවෙන් නියෝජ්‍ය කතානායක පත් කරන්න. ඉතින් එහෙම තත්ත්වයක් තියාගෙන කොහොමද මේ අන්තර් පාලන ආණ්ඩුවක් ගැන විශ්වාසය තියන්නෙ. 

ඒ කියන්නෙ අන්තර්වාර පාලනයක් හරියන්නෙ නැහැ?

ඉතින් අන්තර්වාර පාලනයක් හදනවා නම් අපිත් එක්ක ඉඳලා ගිය අයත් එක්ක නම් අපි හදන්නෙ ඒ අයමනෙ මේ ප්‍රශ්නය ඇදෙනකොටත් හිටියෙ. ඒ නිසා සියලු පක්ෂ එකතුවෙලා පිහිටුවනවා මිසක් අපි අතරේ ආයෙ පිහිටුවලා වැඩක් නැහැ. 

එකසිය දහතුනක් පෙන්නුවොත් ආණ්ඩුව දෙන්න ලෑස්තිද?

ඔව් ඉතින් අගමැතිතුමා කියනවනෙ. හැබැයි කවුද ඇවිල්ලා කරන්නෙ? විපක්ෂ නායකතුමාවත් කැමැති නෑනෙ මේක භාරගෙන කරන්න. 

දැන් ඒ ප්‍රශ්නය විසඳගන්න බැරිව ගියොත් ඉදිරිය ඉතාම භයානකයි. කාටවත් පාරට බහින්න බැරි වෙනවා?

මම ආයෙ කියන්නෙ අර නියෝජ්‍ය කතානායකතුමා පත් කරන්න ගිය වෙලාවෙ අපි හැමෝම එකතුවෙලා නියෝජ්‍ය කතානායකතුමා පත් කරලා ජනතාවට ආදර්ශයක් දෙන්න තිබුණා. ඉතින් එහෙමවත් එකතු වෙන්න බැරි පිරිසක් එක්ක අපි කොහොමද එකතුවෙලා වැඩ කරන්නෙ. 

දැන් මේකෙන් වෙන්නෙ ජනතාව 225ම එපා කියන මතය තව තවත් සමාජගත වෙන එක?

ඔව් ඒක සාධාරණයිනෙ. බලන්න අද පාර්ලිමේන්තුවක් හැටියට කවදාවත් එකතුවෙලා වැඩක් කරන්න බැරුව ගියානෙ. හැමදාම බෙදිලා හිටියෙ. එදා තිබුණා ඒ ඉතිහාසය වෙනස් කරන්න නියෝජ්‍ය කතානායක පත් කරලා. ඒත් ඒක වුණේ නැහැ.

ඔබට හිතෙන්නෙ නැද්ද මේ ජනතාවගේ වේදනාව සාධාරණයි කියලා?

මම පිළිගන්නවා. මේ රට මේ තැනට එන්න ඉතිහාසයේ ඉඳන් හේතු කාරණා කිහිපයක් බලපෑවා. අපිට මේ අයි.එම්.එෆ් එකෙන් ණය ගන්න එකත් තාවකාලික අස්වැසිල්ලක් විතරයි. අපි ලැබෙන ආදායමට වඩා තුන් ගුණයක් අපේ වැය කිරීම වැඩියි. රාජ්‍ය නිලධාරීන්ට පඩි දෙන්න, විවිධ ආධාර ලබා දෙන්න, ඒ වගේම ගත්ත ණයවල පොලිය ගෙවන්න, අන්න ඒ දේවල්වලට මාසයකට තුන් ගුණයකින් අපිට වැය කිරීමට සිද්ධ වෙනවා. ඒ නිසා මේක හැමදාම කරන්න බැහැ. ඉක්මනින් මේවාට විසඳුමක් තියෙන්න ඕනෙ. 

මේ අරගලකරුවන්ගේ අරගලය, ඉල්ලීම් ඔබලට දැනෙන්නෙ නෑ වගේ නේද? කකුල් දෙක ළඟට එනකම්ම මේකෙ බරපතළකම තේරෙන්නෙ නෑ වගේ?

නෑ.. අපි දන්නවා එහෙම අරගල කරන අයගේ පීඩනය මොකක්ද කියන එක. අපි දන්නවා මේ ඇතිවෙලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න අපි කළ යුත්තේ කුමක්ද කියන එකත්. හැබැයි අපි කියන්නෙ ප්‍රශ්නෙ හඳුනාගන්න කියලා. 

ඔබ ඔය වටෙන් කියන්නෙ ආණ්ඩුව ඉවත් වෙන්න හරි, අගමැති ජනාධිපති ඉවත් වෙන එක හරි උත්තරය නෙමෙයි කියලා?

දැන් මොකක්ද ඔය ප්‍රශ්නෙ. අපිට තියෙන එකම ප්‍රශ්නය තමයි විදේශ සංචිතවල ප්‍රශ්නය. ඒක ඔඩුදුවලා මේ වෙද්දි සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් ඒකට අපි මොනවා කළත් මූලික ප්‍රශ්නයට විසඳුමක් තියෙන උත්තරයක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා අපි කරන්න ඕනෙ ඩොලර් සංචිතය පුරවන්න වැඩපිළිවෙළක් ඇති කරන එක. අන්න ඒකට අපි සියලු දෙනා සහයෝගයෙන් වැඩ කරමු. මතක තියාගන්න ගිය මාසෙ විශාල විදේශිකයො පිරිසක් මේ රටට එන එක අත්හැරියා. සමහර අය කැම්පේන් කරනවා විදෙස් මුදල් එවන්න එපා කියලා. ඒ නිසා ඒවා කළ යුතු දේවල් නෙමෙයි. 

ඔබලා ඔහොම නහයෙන් ඇඬුවට විපක්ෂ නායකතුමා කියනවනෙ එතුමාට පුළුවන් කියලා මේක කරන්න?

එතුමා හැසිරෙන්නෙ සුපර් මෑන් වගේනෙ. එතුමාට අපි කිව්වා ඇවිල්ලා මේක භාරගන්න කියලා. විහිලුවට කියන දෙයක් නෙමෙයි. එතුමාට අපි දැනුත් ආරාධනා කරනවා කරන්න පුළුවන් නම් මේක කරන්න කියලා. එතුමා කතා කරන්නෙ ගැලරියට විතරයි. 

ඔබ හිතන්නෙ මොකක්ද මේ ප්‍රශ්නයෙන් අවසාන වශයෙන් ගොඩ යන්න තියෙන එකම උත්තරය?

සියලුම පක්ෂ දේශපාලනය කරන එක පැත්තකින් තියලා මේ රට හදන වැඩපිළිවෙළට සහයෝගය දෙන්න ඕනෙ. ඊට පස්සෙ අපිට මේ දේශපාලනය කරන්න පුළුවන්. එහෙම නැතිව කට්ටියක් රට හදනකොට තව කට්ටියක් ජනතාව උසිගන්වනවා නම් තව තවත් ප්‍රශ්නවලට යන්නෙ. ඒ නිසා ජනතාවටත් මම මේ වෙලාවෙ කියනවා ඔබ මේ වෙලාවෙ වගකීම් සහගත ලෙස හැසිරෙන්න කියලා.

 ගයාන් ගාල්ලගේ