2022 මැයි 08 වන ඉරිදා

අවලස්සන ගේම් එක

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 131

ලංකාව මේ දවස්වල දේශපාලන සහ ආර්ථික යුද්ධයක පැටලී සිටියි. දේශපාලන යුද්ධයේ සයිරන් නළා හඬ රටේ හැම පෙදෙසකින්ම වගේ ඇසෙමින් තිබියදී ආර්ථික යුද්ධයේ සයිරන් එක රටටම ඇහෙන්න පාර්ලිමේන්තුවේදී හඬ නැගුවේ මුදල් ඇමැති අලි සබ්‍රිය. ඇඟ හිරිවැටෙන එම සයිරන් එකේ සැබෑ අනතුරු ඇඟවීම රටටම දැනුණත් පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ - විපක්ෂ මැති ඇමැතින්ට නම් ඒ වගක් දැනුණු බවක් පෙනෙන්නේ නැත. එසේ දැනුණා නම් ඔවුන් මෙහෙම හැසිරෙන්නේ නැත.

මේ මොන සයිරන් නළා ගැහැව්වත් ආණ්ඩුවටත් විපක්ෂයටත් ඒකෙන් වැඩක් නැත. බෙල්ල මුලටම හිරවී ඇති ආර්ථික ගෙඩිය යුෂ මිරිකී හපයක් බවට පත්ව තිබුණත් ඒ හපය සමඟ හෝ එක්වී කොහොම හරි ආණ්ඩුවක් හදාගන්නත් ඒ හදන ආණ්ඩුවේ ඇමැතිකම් අරගෙන ඉතිරි කාලය තුළදීත් හරි හම්බ කර ගන්නත් දත කන පිරිසක් පාර්ලිමේන්තුව ඇතුළේ සිටියදී අන්තර්වාර ආණ්ඩුවක් ගැන කතා කිරීමෙන් ඇති වැඩේ කුමක්දැයි ප්‍රශ්න කරන තැනට අද ජනතාව පත්ව සිටිති. හිටපු නියෝජ්‍ය කතානායකවරයාම යළිත් පත්කර ගැනීමේ පාර්ලිමන්ට් ජෝක් එක පෙන්නුවේ ආර්ථිකය හපයක් බවට පත්වුණත් බලය ලැබෙනවා නම් ඕනම ඩීල් එකකට ආණ්ඩුවත් ස්වාධීන වූ පිරිසත් උඩින්ම කැමැති බවය. ජනතාව මොන තරම් පාරට බැස්සත් ඒවා ඔවුන්ට අදාළ නැත.

අන්තර්වාර පාලනය සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පත් වී එය ජාතික එකඟතා ආණ්ඩුවක් බවට පත්වෙන්නේ මේ උවමනාව හේතුවෙනි. අවලස්සන අමෙරිකානුවා මේ මුළු රටේම ආර්ථිකය විනාශ කළ බවත් ඔහු අමෙරිකාව මගින් ලබා දුන් වට්ටෝරුව අනුව ලංකාවේ ආර්ථිකය බින්දුවට බැස්සවූ බවටත් චෝදනා කළේ මේ රටේ විපක්ෂය නොවේ. ආණ්ඩුවෙන් ගැලවී ස්වාධීන වූ බව කියාගත් විමල්, උදය, වාසු තිදෙනාය. ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහිවූ පක්ෂ එකොළහේ නායකයන් ද ගියේ එම පාරේමය. රාජපක්ෂවරුන් සමඟ යළි කවදාවත් දේශපාලනය නොකරන බවට කෑමොර දුන්නේ මාධ්‍ය සාකච්ඡා තබා ලොවටම ඇහෙන්න කිව්වේ විපක්ෂය නොව විමල් වීරවංශය. අග්‍රාමාත්‍ය ධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් විය යුතු බවත් අලුත් අගමැතිවරයකු යටතේ හදන අන්තර්වාර ආණ්ඩුවකින් රටේ ගැටලු විසඳීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දෙන බවත් කිව්වේ විපක්ෂය නොව ආණ්ඩුවෙන් කැඩී ගිය ස්වාධීන කණ්ඩායමය. මහින්ද වෙනුවට ඩලස් අගමැතිකමට ඇන්දුවේත් විපක්ෂය නොව විමල්ලාය.

මේ පීඩනයත් එක්කම මහින්ද අගමැති ධූරයෙන් ඉවත් වීමට සූදානම් බවට යන කතාවට තටු ලැබුණේය. එය මාධ්‍යවල සිරස්තල මැව්වේය. එහෙම සිරස්තල මැවී පැය 24ක් යන්නත් කලින් මහින්ද කිව්වේ තමන් අගමැති ධූරයෙන් ඉවත් නොවන බවය. තම පක්ෂය වන පොදුජන පෙරමුණේ පළාත් පාලන, පළාත් සභා නියෝජිතයන් ඇතුළු බිම් මට්ටමේ සාමාජිකයන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවිය යුතු බවට කරන ඉල්ලීම් හමුවේ තමා ධූරයෙන් ඉවත් නොවන බවත් ස්මාර්ට් ෆෝන් තබාගත් පන්දාහක් පමණ පිරිසක් කිව්වාට තමන් ධූරයෙන් ඉවත් නොවන බවත් මහින්ද කිව්වේය. විමල්ලා ඒ වෙලාවේ කතා කරන්න ගියේ නැත.

ආණ්ඩුව ඊළඟට අන්තර්වාර ආණ්ඩු හදන සාකච්ඡා සඳහා පක්ෂ එකොළහේ නායකයන්ට සහ විපක්ෂයට දොර ඇරියේය. මුලින් බැහැයි කියූ විමල්ලාගේ කණ්ඩායම මේ සාකච්ඡාවලට යන බවට ඉඟි පළ විය. ඒ සමඟ ශ්‍රීලනිපයද අන්තර්වාර ආණ්ඩුවක් හදන්න සූදානම් කියා සාකච්ඡාවලට යාමට තීන්දු කළේය. විමල්ලා මුල සිටම කිව්වේ ජනාධිපති ධූරයේ ගෝඨාභය තබාගනිමින් හදන අන්තර්වාර පාලනයකට තමන්ගේ කැමැත්ත ලැබෙන බවය. රාජපක්ෂලා සමඟ ආණ්ඩු හැදීමට මුලින් කැමැත්ත ප්‍රකාශ කළ ශ්‍රීලනිපය තමන්ගේ සාමාජිකයන් දෙදෙනකුට වරදාන ලබා දී ආණ්ඩුවට ගැනීම පිළිබඳව තදින්ම කිපුණේය. ඔවුන් ඉවත් කරන තුරු කිසිම සාකච්ඡාවකට නොයන බවද ශ්‍රීලනිපය කිව්වේය. අගමැති ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට තමන් සහාය පළ කරන බවට තීන්දු කරන බවද ප්‍රකාශ විය. හැබැයි මේ සියල්ල සිදුවන අතර සජබ සහ ජවිපෙ ප්‍රකාශ කළේ රාජපක්ෂලා සිටින තුරු තමන් අන්තර්වාර පාලනයක් ගැන කිසිම සාකච්ඡාවකට නොයන බවය. ඒ ස්ථාවරයෙන් ඔවුන් බැහැර වුණේම නැත. විශ්වාසභංගය ගෙන එන බවද දිගටම සජබ ප්‍රකාශ කළේය.

ඒ සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදා රට වැටී ඇති අස්ථාවරභාවයෙන් ගොඩගන්නැයි මහා සංඝරත්නයෙන් ආණ්ඩුවටත් සෙසු දේශපාලන නායකයන්ටත් කෙරුණු ඉල්ලීම අනුව ආණ්ඩුව ප්‍රකාශ කළේ තමන් සාකච්ඡාවලට සූදානම් බවය. අගමැති ඉවත් වනතුරු තමන් සාකච්ඡාවකට නොයන බව කියමින් සිටි විමල්ලා හදිසියේම වෙනස් විය. ඒ සමඟ ඊළඟ සතියේ බදාදා අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කොට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවට පළවූ ප්‍රවෘත්තියකට මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් ලැබුණේය. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයාට අවස්ථාවක් ඇති බවද ප්‍රකාශයට පත් විය.

මහින්ද අගමැති ධූරයෙන් යනතුරු සාකච්ඡාවකට නොයන බව කියූ එසේම රාජපක්ෂවරුන් සමඟ යළිත් දේශපාලනය නොකරන බව කියූ විමල්ලාට හදිසියේම &අවලස්සන අමෙරිකානුවා* ලස්සන වී පෙනුණේය. ගෝඨාභය ජනාධිපතිවරයා සමඟ බැසිල් ද සිටි සාකච්ඡාවේදී විමල්ලා කිව්වේ මොනවාදැයි එළියට ආවේ නැත. හැබැයි අන්තර්වාර ආණ්ඩුවක් හදන්න කියා ජනාධිපති සමඟ බැසිල් එක්ක සාකච්ඡාවට ගිය විමල්ලා එළියට ඇවිත් කිව්වේ අලුත් අගමැති කෙනකු යටතේ තමන් ජාතික එකඟතා ආණ්ඩුවක් හදන්න තීරණය කළ බවය. එම ආණ්ඩුවට එකතු වන්නැයි සියලු දෙනාටම ආරාධනා කරන බවද විමල් කිව්වේය.

තමන්ගෙන් ගලවාගත් දෙදෙනාගේ තනතුරු අහෝසි කරන තුරු ආණ්ඩුව සමඟ කිසිම සාකච්ඡාවකට නොයන තද ස්ථාවරයක සිටි ශ්‍රීලනිපය ද හදිසියේම බටර් මෙන් දිය විය. ජනාධිපති සමඟ ශ්‍රීලනිපය ද සාකච්ඡාවකට ගියේය. සර්ව පාක්ෂික ආණ්ඩුවකට තමන් අකැමැති නොවන බව එහිදී ප්‍රකාශ වී තිබිණි. අලුත් අගමැතිවරයකු යටතේ එම ආණ්ඩුව හදන බව ජනාධිපතිවරයා පොරොන්දු වූ බව සාකච්ඡා අවසන් වී එළියට පැමිණි ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිව්වේය.
මෛත්‍රීපාල එහෙම කියා පැයක් ගතවෙන්නටත් පෙර ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළේ ජනාධිපතිවරයා කිසිවකුට එවැනි පොරොන්දුවක් ලබා නොදුන් බවය. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා කිසිදු තීන්දුවක් ගෙන නැතැයි ද එම නිවේදනයේ සඳහන් විය. ශ්‍රීලනිපය සමඟ පැවැති සාකච්ඡාවේදී තමන් අග්‍රාමාත්‍යවරයාට ඉවත් වන්නැයි කිසිසේත් නොකියන බව ජනාධිපතිවරයා පවසා තිබිණි. අග්‍රාමාත්‍යවරයා ඉවත් නොකරන බවත් එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන කෙනකු අගමැති ධුරයට පත් කිරීමට හැකි බවත් ජනාධිපතිවරයා කියා තිබිණි.

අවසානයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවටත් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර ඔහු ඉල්ලා අස්වනු ඇති බවටත් පළ වූ ප්‍රවෘත්තිය ද හදිසියේම වාෂ්ප විය. අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කළේ නැත. ඔහු ඉල්ලා අස්වූයේ ද නැත. ඒ වෙනුවට සිදු වුණේ නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්දයක් පැවැත්වීමය. ඒ ඡන්දයෙන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව ඇතුළේ තුනෙන් දෙකට දෙකක් අඩු බහුතර බලයක් තිබෙන බව යළිත් තහවුරු විය.

රාජපක්ෂලා සිටින තුරු ආණ්ඩුව සමඟ ආණ්ඩු හදන සාකච්ඡාවලට නොයන ස්ථාවරයෙන් වෙනස් නොවූ සජබ සහ ජවිපෙ පාර්ලිමේන්තුව ඇතුළේ තමන්ට ඇත්තේ ඡන්ද 65ක් පමණක් බව තේරුම් ගත්තත් ආණ්ඩුවෙන් කැඩී ස්වාධීන වූ බව දිගටම කියමින් සිටි විමල්ලා ඇතුළු කණ්ඩායමේ රෙදි ගැලවීමට විපක්ෂයට හැකි විය. සජබ මුල සිටම විමල්ලාගේ වෙනස් වීම ගැන සැක පහළ කළේය. විශ්වාසභංගය වහාම ගෙන එන්නැයි ද එය ජය ගැනීමට අවශ්‍ය ඡන්ද 120ක් තමන් සතුව ඇතැයි ද උදය ගම්මන්පිල කිව්වත් සජිත් විශ්වාසභංගය ගේන්න ඉක්මන් වුණේ නැත. සජිත්ලා විශ්වාසභංගය බාර දුන්නේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඡන්ද විමසීමක් සිදුවන බවට තහවුරු වීමත් සමඟය. විශ්වාසභංගයට පෙර විමල්ලා ඇතුළු පක්ෂ එකොළහේ සැබෑ උවමනාව තේරුම් ගැනීමට නියෝජ්‍ය කතානායක ඡන්දය හොඳ &ටෙස්ට්* එකක් බව සජබ දැන සිටියේය.

දැන් සියල්ල පැහැදිලිය. සර්ව පාක්ෂික හෝ අන්තර්වාර හෝ කතා නැතුව දැන් හදන්න යන ජාතික එකඟතා ආණ්ඩුව කියන්නේත් හිටපු ආණ්ඩුව මිස වෙන එකක් නොවන බව රටට හෙළිදරව් විය. විශ්වාසභංගයෙන් මේ පවතින ආණ්ඩුව නොපරදින බවට රටට පණිවුඩයක් දීමට ආණ්ඩුව නියෝජ්‍ය කතානායක ඡන්දය යොදාගන්නා විට තිබුණු ආණ්ඩුවත් හදන්න යන ආණ්ඩුවත් දෙකක් නොව එකක්ම බවට රටට පණිවුඩයක් දීමට සජබටත් ජවිපෙටත් හැකි විය.
විශ්වාසභංගයට ඡන්ද විමසීමක් සිදුවුණත් ලැබෙන්නේ මේ ප්‍රතිඵලයමය. එහෙම සහතිකයක් නැත්නම් මහින්ද කවදාවත් ධූරයෙන් අස් නොවී ඉන්නේත් නැත. එහෙම වන තැනට දේශපාලන ගේමක් ගැහැව්වේ බැසිල් මිස වෙනත් කෙනකු නොවන බව සිතා ගැනීමටත් අමාරු නැත.

තමන් කෙටි කලකදී එදා හැදූ ආණ්ඩුව මේ තරම් ඉක්මනට විපක්ෂයේ අතට යාමට බැසිල් ඉඩ දෙනු ඇතැයි කවදාවත් හිතන්න බැරිය. එහෙම නොවන තැනට මේ පාර්ලිමේන්තුව ඇතුළේ ගේම් ගහන විදිය හරියටම දන්නෙත් බැසිල් පමණය. ඇමැති පදවිය නැතිවුණත් බැසිල්ට කළ හැකි දේ ඔහු කරන බවට මෙය එක උදාහරණයක් පමණයි.

තමන්ට අවලස්සන අමෙරිකානුවා යැයි කියා අපහාස කළ විමල්ලා එක්කත් ආණ්ඩු හදන්න සූදානම් වන බැසිල් මේ ආණ්ඩුව ලෙහෙසියෙන් අතාරිනු ඇතැයි විපක්ෂය හිතනවා නම් එය විශාල වැරදීමකි.

- ශශීන්ද්‍ර 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00