2022 මැයි 08 වන ඉරිදා

ජනතාවට වග කියන්නේ මෙහෙමද?

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 29

පාර්ලිමේන්තුව ඇතුළේ අරගලයකි. මේ අරගලය තම තමන්ගේ ධුර රුකගැනීම, බලය බෙදාගැනීම සහ ආරක්ෂා කර ගැනීම, බහුතරය පෙන්වීම, තුනෙන් දෙක රුකගැනීම සඳහාය. ඒ සඳහා රටේ මහජනතාවගේ බදු මුදලින් එක දිනකට රුපියල් මිලියන ගණන් වැය කරමින් පාර්ලිමේන්තුව ක්‍රියාත්මකව තබයි. එම බදු මුදලින්ම නඩත්තු වන, ඩීසල්, පෙට්රල් ගහගන්නා නිකම්ම ලැබුණු බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්., වී-8 වැනි අති සුඛෝපභෝගී වාහනවලින් පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමැතිලා කති. බොති. කෑ ගසති. ඡන්ද පාවිච්චි කරති. දවසට නියමිත දීමනාද අඩුවක් නැතිව ලබා ගනිති.

පාර්ලිමේන්තුවෙන් එළියේද අරගලයකි. ගාලු මුවදොරින් ඇරඹී රටපුරාම ක්‍රියාත්මක ඒ අරගලය තුළ බලය ගැන විවාදයක් නැත. බහුතරය, තුනෙන් දෙක අදාළම නැත. තමන්ගේම වියදමින් හෝ ආධාර කරන අයගෙන් කමින් බොමින් ඇතැම් විට කුසගින්නේ සිටිමින් කිලෝමීටර් ගණන් පයින් ඇවිදිමින් පොලීසිය සමඟ බැරියර් යුද්ධයක නියැලෙමින් කරන එම අරගලය රටට දේශපාලනමය සහ ආර්ථිකමය වශයෙන් මහා වෙනසක් ඉල්ලා සිදු කරන්නකි. ඔවුන්ට පාර්ලිමේන්තුවේ මෙන් වායුසමනය කළ සභාගර්භ නැත. ගාලු මුවදොර සිසාරා එන මහා සුළඟ හැරුණු විට මහවැසි, ඉවසිය නොහැකි අව්ව, රස්නය, සීතල නොඅඩුව ඇත.

පාර්ලිමේන්තුව තුළත් එයින් බැහැරවත් සිදුවන මේ අරගලවලට අමතරව රටේ සාමාන්‍ය මහජනතාව බරපතළ ජීවන අරගලයකට මුහුණ දී සිටිති. නිමක් නැති පෝලිම්, දරාගත නොහැකි ජීවන වියදම, රුකියා සහ ආදායම් අහිමිවීම, කෑම බීම හිඟකම මහජනතාව පෙළමින් ඔවුන් එකී ජීවන අරගලය දෙසට තල්ලුකර දමා ඇත. ගාලු මුවදොර ඇතුළු රටේ හැමතැන අද ක්‍රියාත්මකව පවතින අරගලය සාමාන්‍ය මහජනතාවගේ අරගලයේ සැබෑ ස්වරූපයයි.

එහෙත් කරුමයක මහත... ජනතාවගේ සැබෑ අරගලය ගැන කතාකළ යුතු පාර්ලිමේන්තුව අද සිදුකරන්නේ ජනතාවගේ ගැටලු පිළිබඳ කතා කිරීම පසෙක දමා තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කිරීමය. ඒ වෙනුවෙන් තමන් දිනකට විනාශ කර දමන මුදල කොතරම්දැයි මේ මැති ඇමැතින්ට වගක්වත් නොමැති බව පසුගිය දින කිහිපය තුළදීම පැහැදිලි විය. මේ ආකාරයට ජනතා ප්‍රශ්නවලට විසඳම් ලබා නොදී සිටියහොත් ජනතාව එකතු වී කවදා හෝ පාර්ලිමේන්තුව නිෂ්ක්‍රීය කරනු ඇති බවට සමගි ජනබලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මේ තත්ත්වය ගැන අවබෝධයක් ඇති නිසා විය යුතුය.

පසුගිය දවස්වල පාර්ලිමේන්තුව පැවැත්වුණේ පාරවල් වහගෙන, ආරක්ෂක වළලු දාගෙන පොලීසිය සහ හමුදාවේද ආරක්ෂාව ඇතිවය. ඒ මදිවාට හැමදාම වගේ පාර්ලිමේන්තුව අසළද උද්ඝෝෂණය. රටට අලුත් වෙනසක් ඉල්ලා හඬ නගන එම උද්ඝෝෂණකරුවන් අතර විශ්වවිද්‍යාල තරුණ සිසුන් පමණක් නොව ඈත ගම්වල ගොවිජනතාවද වෙති. ඒ කවුරුන් සිටියත් පාර්ලිමේන්තුව ඇතුළේ ජනතාවගේ ගැටලු ගැන කිසි කතාවක් නැත. ඒ වෙනුවට නියෝජ්‍ය කතානායකවරයා ඉල්ලා අස්වීමෙන් පසු එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාම යළිත් එම තනතුරටම පත්කර ගැනීම සඳහා ඡන්ද පැවැත්වීම වැනි &ජෝක්* වැඩ සිදුවෙයි.  නියෝජ්‍ය කතානායක ධුරය මේ අවස්ථාවේදී රටේ පවතින ඉතාම බරපතළ සංකීර්ණ ගැටලුවලට සම්බන්ධ වන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. පැහැදිලි එකම දෙය රටේ ජනතාව ගින්දරට වැටී සිටියදී පාර්ලිමේන්තුව ඇතුළේ මැති ඇමැතින් උඩ පිනුම්, යටි පිනුම් ගසමින් ෆුල් ආතල් එකේ සිටින බවය. කල් මරණ බවය. මේ බොහොමයක් දෙනකුට අඩුම තරමින් තමන්ගේ ආසනයටවත් යා ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබීම ගැන පුදුම නොවිය යුතුය.

පාර්ලිමේන්තුවට මැති ඇමැතින් පත්කර එවන්නේ රටේ මහ ජනතාව වුවත් අද ඔවුන්ගේ හඬට පාර්ලිමේන්තුව සංවේදී නැත. බැලූ බැල්මට පාර්ලිමේන්තුවේ කටයුතු කෙරෙන්නේ එළියේ කිසිවක් සිදු නොවන ගානටය. මේ ආකාරයට පාර්ලිමේන්තුවේ මැති ඇමැතින් දේශපාලන වශයෙන් නිර්වින්දන තත්ත්වයට පත් වී සිටී නම්, ඔවුන්ට ජනතාව නගන හඬට සංවේදී විය නොහැකි නම් එය පාර්ලිමේන්තුව පිළිබඳ තිබිය යුතු ජනතාවගේ විශ්වාසය බිඳ හෙලීමකි. එම විශ්වාසය නැතිවීම රටේ අනාගතය පිළිබඳව මවන්නේ මහා අඳුරු චිත්‍රයකි.

රටේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය නොහැකි පාර්ලිමේන්තුවකින් රටට පළක් නැත. අඩුම තරමින් රටේ ප්‍රශ්න පිළිබඳ හරවත් විවාදයක් හෝ පැවැත්වීමට ආණ්ඩුවටත් විපක්ෂයටත් අවශ්‍යතාවක් නැතිනම් පාර්ලිමේන්තුව රුස්වන්නේ මොන කෙංගෙඩියකටදැයි ජනතාව ප්‍රශ්න කරනු ඇත. ඒ ප්‍රශ්න කිරීම ගෙවල්වල සිට කරන තාක් ප්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් ඒ ප්‍රශ්නය ඇසීමට රටේ ජනතාවද පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළොත් කුමක් සිදුවනු ඇතිදැයි සිතා ගැනීමත් අපහසුය.