2022 මැයි 01 වන ඉරිදා

අර්බුදයට වහාම විසඳුම් ඕනෑ

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 88

ආණ්ඩුවට එරෙහිව රට පුරා විරෝධතා දිගින් දිගටම පැවැත්වෙයි. එයට ප්‍රවේශය ලබා දුන් ගෝල්ෆේස් අරගලය මේ වනවිට දින 20 ඉක්මවා තිබේ. එම අරගලයේ ජවය තවම එලෙසම පවත්වාගෙන යාමට එයට දිනපතා එකතු වන විවිධ ජන කොටස් සහාය ලබා දෙමින් සිටී. 28 වැනිදා මේ විරෝධතාවලම දිගුවක් ලෙස පැවති වැඩවර්ජනයට සහභාගි වූ විශාල පිරිසක් ද පෙළපාළිවලින් පැමිණ ගෝල්ෆේස් අරගලයට එකතු වී තිබිණි. රටේ නගර ගණනාවකම ඊට සමගාමීව පෙළපාළි පැවැත්විණි.

අරගලය සහ විරෝධතා එසේ ක්‍රියාත්මක වෙද්දී දේශපාලන ක්ෂේත්‍රය තුළද විවිධ වෙනස්කම් සිදුවෙමින් තිබේ. එහෙත් ආණ්ඩුවත්, ආණ්ඩුවෙන් කැඩී වෙන් වී ගිය කණ්ඩායමත්, විපක්ෂයත් අතර අර්බුදය විසදා ගැනීම පිළිබඳව එකඟතාවයක් තවම නැත. ආණ්ඩුව ඇතුළේ ඇතිව තිබෙන මතගැටුම් අවසන් වනතුරු ඇතුළේ විසඳුමක් ඇතිකර ගැනීමට අවස්ථාවක් නැත. අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමැති මණ්ඩලය ඉවත් වීමෙන් පසුව අන්තර්වාර පාලනයක් ඇතිකර ගැනීමට ජනාධිපතිවරයා අදහස් කරන බව පසුගියදා ප්‍රකාශ විය. එහෙත් ඒ සමඟ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ තමා ධූරයෙන් ඉවත් නොවන බවත් තමන්ට ඉවත් වන්නැයි ජනාධිපතිවරයා නොකියන බවට විශ්වාසයක් තමා තුළ ඇති බවත්ය. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ මේ ගැටලුව දික්ගැසෙන බව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුව එසේ එක තැන කැරකෙන විට විපක්ෂයද ස්වාධීන කණ්ඩායමද තමන්ගේ ඊළඟ පියවර කුමක් විය යුතුද යන්න තවමත් සාකච්ඡා කරමින් සිටී. ටී.එන්.ඒ. මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම්ය. විශ්වාසභංගය අතේ තබාගෙන සජබ ඊට සහාය දක්වන 113ක් සොයා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබේ. මේ සියල්ල එසේ ඇදෙමින් පවතිද්දී රටේ ජනතාවගේ ප්‍රශ්න දිනෙන් දින උග්‍ර අතට හැරී ඔවුහු අපා දුකට වැටී සිටිති. සබන් කෑල්ලට, ගිනිපෙට්ටියට පවා පෝලිමේ වේලෙති.

මේ රට උග්‍ර අර්බුද දෙකකට මුහුණ දී සිටී. එකක් දේශපාලන අර්බුදයයි. අනෙක ආර්ථික අර්බුදයයි. රටේ ජනතාව වඩාත්ම පීඩාවට පත් වී සිටින්නේ ආර්ථික අර්බුදය හේතුවෙනි. එහෙත් දේශපාලන අර්බුදයට ස්ථිර හෝ අඩුම තරමින් වැඩි දෙනකුට පිළිගත හැකි මට්ටමේ විසඳුමක් ලැබෙන තුරු ආර්ථික අර්බුදය විසඳෙන්නේ නැත. එය යථාර්ථයයි. ජනතාව තමන්ට සහන ලැබෙනු ඇතැයි කොතරම් බලාපොරොත්තු තබාගෙන සිටියත් දේශපාලන නායකයන් අතර කිසියම් හෝ එකඟත්වයක් ඇතිවන තුරු එම සහන ලබා දීමට කිසිම පියවරක් ගැනීමට ඉඩක් නැත. මේ අවබෝධය තිබෙන සියලු දෙනා ආණ්ඩුවත් විපක්ෂයත් දේශපාලන අර්බුදය හැකි ඉක්මනින් විසදා ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිති. එය ඉටුනොවන බව දැනුණොත් තමන් පෙළන මේ පීඩනයත් සමඟ ජනතාවගේ රතු කට්ට පනිනු ඇති බවට සැකයක් නැත

දේශපාලන අර්බුදයට විසඳුමක් ලැබීම පමාවන තරමට රට තවත් අගාධයට ඇදීම වළක්වාගත නොහැක. වැඩි කරදරයකින් තොරව නිදහසේ හරිහම්බ කරගෙන ජීවත් වූ ජනතාව අද තමන් වැටී සිටින අමාරුවට වගකිව යුතු සියලු දේශපාලන නායකයන්ට හතර අතේ බැණ වදිති. ඒවා තමන්ට එරෙහිව සිදු කරන මඩ ප්‍රචාර හැටියට හඳුන්වා දී මේ ප්‍රශ්නවලින් ගැලවීමට කිසිදු දේශපාලන නායකයකුට හැකියාවක් නැත. ඔවුන් තමන්ගේ දේශපාලන ප්‍රශ්න විසදාගෙන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වහාම පියවර ගත යුතුය. එහෙත් සිදු නොවන්නේම එයයි.

ජනතාවගේ ප්‍රශ්න විසදා දීමේ ප්‍රධාන වගකීම ඇත්තේ ආණ්ඩුව අතේය. ඒ සඳහා අවශ්‍ය කරන සහාය ලබා දීම විපක්ෂයේද යුතුකමය. එහෙත් තවමත් සිදුවන්නේ අන්තර්වාර ආණ්ඩුව යන ලණුව අල්ලාගෙන සියලු දෙනා වටේ යාම පමණි. ඇතැම් දේශපාලන ප්‍රශ්නවලට කල් මැරීම හොඳ විසඳුමක් විය හැකි වුවද මේ රටේ දැන් පවතින අර්බුදයට  කල් මැරීම පුපුරන්න ප්‍රමාද වූ කාලබෝම්බයක් අතේ දුරින් තබාගෙන සිටින තරම් අවදානම්ය. මේ අවදානමේ තරම තේරුම් ගැනීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී ඇත්නම් එය රටේම කරුමය මිස වෙන දෙයක් නොවේ.

පවතින තත්ත්වය යටතේ රාජ්‍ය පාලනය ඉතා දුෂ්කර බව ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මේ වනවිට අවබෝධ වී තිබිය යුතුය. ධූරය අත්හරින්න එපා යැයි උපදෙස් ලබා දෙන කිසිවෙක් හෝ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදා දිය යුත්තේ කෙසේද යන්න ගැන කතා නොකරති. ධූරය දරා සිටි පමණින් රටේ ගැටලු විසඳෙන්නේ නැත. එසේම ආණ්ඩුවේ පාලනයේ අවසානයක් දකින තුරු තම සටන අතනොහරින බවට ප්‍රකාශ කරමින් වීදි බැස අරගල කරන ජනතාව ද තමන්ගේ සටන ළඟකදී අත්හරිනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. දේශපාලන අර්බුදය අප්‍රමාදව විසදා ගැනීමට ආණ්ඩුව හැකි හැම වෑයමක්ම දැරිය යුතුය.

අද රටේ ප්‍රශ්න එසේම තිබියදී ඒවාට විසඳුම් ලබා දිය යුතු දේශපාලන නායකයෝ තම තමන්ගේ බලය උරගා බැලීමේ කඹ ඇදිල්ලක නිරතව සිටිති. මේ කඹ ඇදිල්ලේ මැදට රටේ ජනතාව හිරවී කෑමොර දෙති. තවදුරටත් කාලය නාස්ති නොකර දේශපාලන අර්බුදයට සැබෑ විසඳුමක් ලබා දීමට ආණ්ඩුව සහ විපක්ෂය ඇතුළු සියලු දේශපාලන නායකයන් වහාම ක්‍රියාත්මක විය යුතුය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00