2022 මැයි 01 වන ඉරිදා

රාජ්‍යපක්ෂවරු නැති ආණ්ඩුවක් ඕනෑ

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 103

විපක්ෂනායක (සමගි ජනබලවේගයේ නායක) සජිත් ප්‍රේමදාස
♦ මුලින්ම කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමයි
♦ ඔලුගෙඩි මාරුවෙන් පෝලිම් නැතිවෙනවද? අහසෙන් ඩොලර් වැටෙනවද?
♦ අපි ජාත්‍යන්තරීකරණය වෙන්න ඕනෑ
♦ අපට පුළුවන් මේ රට ගොඩගන්න
♦ අන්තර්කාලීන ආණ්ඩුවකින් පුළුවන්ද හොරු අල්ලන්න
♦ විශ්වාසභංගයක් දිනා ගැනීම ඉතා අමාරු වැඩක්
♦ 
මහපොළොවේ මතය පාර්ලිමේන්තුවේ නෑ

මේ වෙලාවේ ජනතාව පාරේ උද්ඝෝෂණය කරනවා. ඒ වගේම ජනතාව පාර්ලිමේන්තුව හරහා ව්‍යවස්ථාමය වෙනසක් බලාපොරොත්තු වෙනවා. එතනදී විපක්ෂනායකවරයා ලෙස ඔබට විශාල කාර්යභාර්යයක් පැවරිලා තියෙනවා. මේ රටේ දැන් කතාවෙන දේ තමයි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කවද්ද ගේන්නේ කියලා? ඇත්තට ඒකට මොකද වෙලා තියෙන්නේ?

අපි නිරන්තරව මහජන අරගලයට සහයෝගය ලබාදෙමින්, ඒ අරගලයට නව අරුතක් එකතු කරමින් පාර්ලිමේන්තුව හරහා ව්‍යවස්ථාව තුළ තිබෙන වෙනත් සියලුම ප්‍රතිපාදන අපි යොදාගන්නවා. විශ්වාසභංගය හැර තවත් ප්‍රතිපාදන ගණනාවක් තියෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන විපක්ෂනායක නම ලොකු වචනයක් තමයි. නමුත් මන්ත්‍රීවරු සංඛ්‍යාව දිහා බලපුවහම අපිට තියෙන්නේ සීමාසහිත සංඛ්‍යාවක්. ඒ වගේම විපක්ෂයේ සෙසු කණ්ඩායම් එක්ක කතා කරන්න අපි කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඒ නිසා ඒ සෑම පාර්ශ්වයක් එක්කම කතා කරමිනුයි අපේ මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. එක දෙයක් කියන්නම්, ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන උපයෝගී කරගෙන මේ ජන අරගලයේ, තරුණයන්ගේ, සිවිල් සමාජයේ අපේක්ෂාව අපි ඉටු කරනවා.

නායකතුමනි, ඍජු පිළිතුරක් දුන්නොත් කවද්ද මේ විශ්වාසභංගය ඉදිරිපත් කරන්නේ?

ඍජුව කිව්වොත් මේක ඉදිරිපත් කරන්න පුළුවන්. සකසන්න පුළුවන්. ඒත් දිනන්නයි ඕන. දිනීම සඳහා අපට සිදුවනවා පාර්ශ්ව ගණනාවක් එක්ක එකඟතාවයට එන්න. සමහරුන්ට හිතෙන්න පුළුවන් හරි ලේසි ක්‍රියාවක් කියලා. ඒක ඉතාම අපහසු ක්‍රියාවක්. නමුත් අපි ඒ කර්තව්‍ය ඉටුකරනවා.

දැනටත් විපක්ෂයේ කණ්ඩායම් එක්ක, ස්වාධීන කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා තියෙනවද?

අනිවාර්යයෙන්ම හැම පාර්ශ්වයක් එක්කම අපි අදහස් හුවමාරු කරගනිමින් ඉන්නේ. අතේ ඇඟිලි එක සමාන නෑ. විවිධ මතිමතාන්තර තියෙනවා. විවිධත්වයත් සමඟයි අපි මේ අභියෝගය ජයගන්න උත්සාහ ගන්නේ.

ජනතාව බලන් ඉන්නවා ආණ්ඩුව රුස්වෙන විදිහ, ඔබතුමාලගේ අදහස්. මේ සතියේ ඉදිරිපත් වෙයිද ලබන සතියේ ඉදිරිපත් වෙයිද කියලා කියන්න බැරිද ජනතාවට?

මහපාරේ ජනතාවගේ අදහස ගෝටා ගෝ හෝම්, රාජපක්ෂ ගෝ හෝම් කියලා. ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම ඉවත් කරන්න අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. යහපත් රාජ්‍ය පාලනය උදෙසා 20 අහෝසි කරලා 19 තිබුණු උසස් ගුණාංගයන් වන, ස්වාධීන කොමිෂන්, ව්‍යවස්ථාදායක සභාව වැනි දේවල් ගෙන ආ යුතුයි. ඒවා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයක් අපේ ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය පාලනය ජනතාව සමඟ සමගාමී වෙන්න කවුන්සිල් ඔෆ් ස්ටේට් (රාජ්‍ය කවුන්සිල) සභාවක් අපි යෝජනා කරලා තියෙනවා. පොදු ජනතාවගේ අභිලාසයන් රැසක් අපි ඇතුළත් කරලා තියෙනවා. අපිට ඒවා වේගයෙන් ඉටු කරගන්න ඕන. ඒත් අපිට ඒවා ඉටුකරගන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ විකෘති සංයෝගයකින්. ඇයි මම එහෙම කියන්නේ? මහපොළවේ මතය නෙමෙයි පාර්ලිමේන්තු නියෝජනත්වය. විකෘති සංයෝගයකින් යන්නේ. ඒක වුණේ ජානාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පස්සේ. ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක්, මහ මැතිවරණයේදී 68 ලක්ෂයක්, ඒ වගේම මහ මැතිවරණයෙන් පස්සේ පිල්මාරු. ඒ වගේ සංයෝගයක් එක්ක තමයි අපි යන්නේ. ඒක දුෂ්කරයි, අසීරුයි, අභියෝගාත්මකයි. හැබැයි ප්‍රබුද්ධ වෙනසක් කරා යන්න මේ විකෘතිය වෙනස් කරන්න ඕන.

ඔබ අකමැති නම් මම දිගින් දිගටම ඒ ප්‍රශ්නය අහන්නේ නෑ. කවදා වෙනකොට පුළුවන්ද මේ විශ්වාසභංගය ඉදිරිපත් කරන්න? ජනතාව දැනගන්න කැමැත්තෙන් ඉන්න දෙයක්?

මෙහෙමයි, මමත් දෙන්නේ නිශ්චිත පිළිතුරු. නමුත් ප්‍රශ්න අසන්නා බලාපොරොත්තු වෙන පිළිතුරු දෙන්න සූදානමක් නෑ. මට බොරු කියන්න උවමනාවක් නෑ. මම හැමතිස්සෙම යථාර්ථය කියන්නේ. හෙට දවසේ වුණත් අපි කට්ටියට දෙන්න පුළුවන්. අපි අත්සන් කරලා ඉන්නේ. මතක තියාගන්න මේක ක්‍රියාදාමයක්. ජයග්‍රහණයක් සඳහා 113ක් එක්ක යන ගමනක්. ඔබතුමා මෙහෙම ඇහුවා නම් විපක්ෂය 113 අතේ තියාගෙන විශ්වාසභංගය ගෙන්නේ නැද්ද කියලා. එහෙනම් අපි විශ්වාසභංග නෙමෙයි අපි එහෙනම් ආණ්ඩුව කරනවා. මේක ගොඩදානවා. එහෙම සංයුතියක් පාර්ලිමේන්තුවේ නෑ. ඒ සංයුතිය බිහිකළේ රටේ ජනතාව. අපි ඒකට ගරු කරන්න ඕන.

එදා ඔබ පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගය ගැන කතා කරද්දී විජිත හේරත් මන්ත්‍රීතුමා කිව්වා ජනාධිපතිවරයට විරුද්ධව දෝෂාභියෝගයකුත් ගේමු කියලා. මේ දෙකම එකට එනවද? එකක් පස්සේ එනවද?

මෙහෙමයි, ව්‍යවස්ථාවේ තියෙන සියලුම ප්‍රතිපාදන අනුව කටයුතු කරනවා. ඊට සහයෝගය ලබාදෙන කණ්ඩායම් එක්ක කතා කරන්න අපි කමිටුවකුත් පත්කරලා තියෙන්නේ.

ඔබ දිගින් දිගටම කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා. ඒ වගේම ඔබ කියනවා රාජපක්ෂවරු නැති අන්තර් පාලන රජයකට නායකත්වය දෙන්න සූදානම් කියලා. හැබැයි ඔබේම පක්ෂයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු නෑ. මේක විසංවාදයක්. මොකක්ද අදහස?

අද අපි ඉස්සරහට යන්නේ වෙනස් දේශපාලන සංස්කෘතියත් එක්ක. එක්සත් ජාතික පක්ෂය වගේ අපි අපේ සාමාජිකයන්ගේ කටවල් බැඳලා නෑ. මේක දියුණු ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක්. ඒ වුණත් පක්ෂයක් හැටියට අපි තීන්දුවක් අරන් තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඒ වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරලා ඉවරයි. ඒක පක්ෂයේ ප්‍රතිපත්තිය. විවිධ පුද්ගලයින්ට විවිධ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. ඒත් අවසන් තීරණය පක්ෂය සතුයි.

අන්තර්වාර පාලන ක්‍රමයක් ගොඩ නැගෙනවා නම් ඒ ආණ්ඩුවේ අගමැති කවුද?

අන්තර්වාර පාලනයක් යටතේ ක්‍රියාත්මක වෙන රජය මේ ජනාධිපති යටතේ ක්‍රියාත්මක වෙන්න බෑනේ. මේ රට ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයෙක්. දැන් බලන්න තරුණ කණ්ඩායම් ගාලුමුවදොර වර්ජනයක නිරතවෙනවා. හොඳට මතක තියාගන්න අපි ඒ අයගේ අභිලාෂයන් පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක කරනවා. ඒ අය කියන්නේ නෑ හොරුත් එක්ක ආණ්ඩු පිහිටුවන්න කියලා. ඒ අය කියන්නේ හොරු අල්ලන්න කියලා. ඒ අය කියන්නේ නෑ හොරුත් එක්ක කැබිනට් ඇමතිකම් කරන්න කියලා. ඒ අය කියන්නේ හොරාකාපු සල්ලි ගේන්න කියලා. මම ඉන්නේ එතන.

අන්තර්වාර පාලනයක් ගොඩනැගුවොත් සජිත් ප්‍රේමදාස දකින්න පුළුවන් වෙයිද?

මොකක්ද අන්තර්වාර පාලනයක් කියන්නේ? මේ රටේ මහජනතාවගේ තීන්දුවක්ද? මේ රටේ ලක්ෂ 220 ගත්ත තීන්දුවද? නෑ. අන්තර්වාර පාලනයක් කියන්නේ මගේ ගේ ඔයා ගන්න, මගේ ඇඳුම ඔයා අඳින්න, අපි සුහදව ඉමු, ගෝල බාලයෝ දා ගමු ඒකද මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ? ඒ නිසා රට ඉල්ලන්නේ නැති දෙයකට සක්විති රජකම දුන්නත් ඒ පාවාදීම මම සිදුකරන්නේ නෑ. එවන් තත්ත්වයකට ආවොත්, කවුරු හරි බහුතර කණ්ඩායමක් බල කළොත් ඒ අයටම කරගන්න කියනවා.

ඔබේ පක්ෂයේ ඉන්න පාඨලී චම්පික රණවක මහතා බීබීසීය සමඟ කළ සංවාදයකදී කිව්වා රාජපක්ෂවරු නැතුව අන්තර්පාලනයක් ආවොත් ඒකට නායකත්වය දෙන්න ඔහු සුදානම් කියලා?

ඒක තමයි මම කිව්වේ රාජපක්ෂවරු නැති, ජනාධිපති සහ සියලුම රාජපක්ෂවරු නැති ආණ්ඩුවක් බිහි වෙන්න ඕන. එහෙම මේ එක එක්කෙනාට ඕන විදිහට ජනතාව එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. පෞද්ගලික මතිමතාන්තර එක්ක මේ රටේ ලක්ෂ 220 ක් එක්ක සෙල්ලම් කරන්න බෑ.

ඔබ කියන්නේ ජනතා මතය විමසලා ඡන්දයකට යා යුතුයි කියලද?

මම මැතිවරණ ගැන කතාකරන්න කැමති නෑ මේ වෙලාවේ. මේක දුෂ්කර වෙලාවක්. ඒනිසා මැතිවරණ තියෙනවද නැද්ද කියන එක ජනතාවගේ තීන්දුව වියයුතුයි. නමුත් මම අහන්න කැමති මේ ඔලුගෙඩි මාරු සෙල්ලමෙන් ගෑස් පෝලිම් නැතිවෙනවද? තෙල් පෝලිම් නැති වෙනවද? තෙල් නැව් වැඩියෙන් එනවද? එකපාර අහසෙන් ඩොලර් කඩාවැටෙනවද? ඒකට අවශ්‍ය වැඩපිළිවෙලක් ඕන. ඒකට විකෘති නොවුණු ජනතාවක් ඕන. අපි හිතමු නිකන් හරි අන්තර්වාර පාලනයක් ක්‍රියාත්මක වුණා කියලා සති දෙකක් යනකොට කණ්ඩායම ඉවත්වුණා මේක කරන්න බෑ කියලා. අන්තිමට ජනතාව කියයි ඔක්කොම ඩීල් දාලා අන්තිමෙ වට්ටලා ගිය කියලා. මම ඒකට සුදානම් නෑ.

ඔබතුමා මේ තත්වයෙන් ගොඩ එන්න යෝජනා කරන්නේ මොකක්ද?

ඇත්ත වශයෙන්ම සිදුවිය යුතු පළවෙනි දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවීම. ඊටපස්සේ විධායක අගමැති කෙනෙක් නොවන සංවරණ සහ තුලන හරහා සාකච්ඡාවට සම්මුතියට එකඟතාවයට යොමුවුණ පාලනයක් අවශ්‍යයි. තමන්ට ඕන විදිහට හැසිරෙන්න බෑ. බල උන්මාදය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව ජනතාව තීන්දු කරගන්න ඕන පාර්ලිමේන්තුවේ සංයුතියත් එක්ක. එතකොට විකෘතියක් නෑ. එතකොට බිහිවන ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ 69 ලක්ෂයයි. ඒ සංයුතියයි එක්ක අපිට පුළුවන්ද දේශපාලන සූදු කෙළින්න.

ඔබ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා නැති මොහොතක අගමැතිට නෙමෙයි කතානායකට බලය පැවරෙන විදිහට සකසලා තියෙනවා?

ඒ වෙනස් කරලා සකස් කරපු සංශෝධනය තුළ අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවායේ ගැබ්වෙලා තියෙන්නේ සංවරණ සහ තුලන. බලය බෙදීයාම අර කුලුනු තුනට. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. ඒ ගෙනෙන පාලනය සංවරණ සහ තුලන ක්‍රමයට ක්‍රියාත්මක වෙමින් යහපත් පාලනයක් ඇති කරන්න. ඒ වැඩසටහනේ තවත් වෙනස්කම් සිද්ධ කරන්න තියෙනවා නම්, ඒ කියන්නේ සංවරණ සහ තුලන අඩු කරන්න නෙමෙයි වැඩිකරන්න තියෙනවා නම් අපි ඒකට සූදානම්.

ඔබතුමාගෙන් මම මෙහෙම ඇහුවොත් විධායක ජනාධිපති ක්‍රමය ඔය කියන තරම් ඉක්මනින් ඉවත් කරන්න පුළුවන්ද?

නෑ ඒක කරන්න පුළුවන්.

ඔබට විශ්වාසයි?

ඔබතුමා අහලා තියෙනවනේ “වෙයාර් දෙයාර් ඉස් අ විල් දෙයාර් ඉස් අ වේ.” මේ 225ට පුළුවන්නම් ඇහුම්කන් දෙන්න. අපිට අධිෂ්ඨානයෙන් වෙනස් කරන්න බැරිද?

එහෙම හිතන්න පුළුවන්ද?

ඔව් ප්‍රායෝගිකව තමයි එක එක්කෙනා දළදා මාලිගාව ඉස්සරහට ගිහින් අත්සන් කරලා කිව්වේ. ඉවත් කරනවා කිය කියා. ඒ නිසා නැති බාධා මතුකරන්න ඕන නෑ.

විපක්ෂනායකතුමනි, ඉදිරියේදී ඔබලට බලය ලැබුණොත් කොහොමද විදේශයන් එක්ක ගනුදෙනු කරන්නේ කියලා?

බොහොම හොඳ ප්‍රශ්නයක්. මෙතෙක් කල් මේ වර්තමාන රජය අනුගමනය කළේ ළිං මැඩි සංකල්පයක්. අපි ජාත්‍යන්තරීකරණය වෙන්න ඕන. විදේශ සම්බන්ධතා ඇති කරගන්න ඕන. රටවල් එක්ක විතරක් නෙමෙයි සංවිධාන ආයතන ඒ වගේ ජාත්‍යන්තර බල කේන්ද්‍ර අනුව රටට වාසිදායක වෙන විදිහට රටට සාපේක්ෂ වාසි ලැබෙන විදිහට කටයුතු කරන්න ඕන. අපි එතන ඉන්නවා. ඒ දේ කරමින් ඉන්නවා. අපි හමුවුණ හැම තානාපති කෙනෙක් එක්කම අපි කියන දේ තමයි අපේ රටට උදව් කරන්න. අපේ රටට පුළුවන් උපරිම දේ ලබාදෙන්න කියලා.

අපි දැකලා තියෙන දේ තමයි වර්තමාන රජය ඉන්දියාවට චීනයට වැඩි නැඹුරුවක් තියෙනවා. ඔබේ ප්‍රතිපත්තිය කොහොමද?

විදේශ ප්‍රතිපත්තිය සමන්විත විය යුත්තේ රටේ ජාතික අවශ්‍යතාවය අනුව. ජාතික අවශ්‍යතාවය හඳුනාගෙනයි අපි ජාත්‍යන්තර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළයුතු වෙන්නේ. මෙතන සිදුවෙලා තියෙන්නේ අපේ රටේ භූ පිහිටීම අපේ සාපේක්ෂ වාසිය කරගන්නවා වෙනුවට අනෙක් රටවලට සාපේක්ෂ වාසිය කෙළිබිමක් කරගන්න එක. මේක අවිද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර ප්‍රතිපත්තියක්.

විපක්ෂයට මෙය බාරගන්න වුණොත් බාරගන්න වෙන්නේ සෞභාග්‍යමත් රටක් නෙමෙයි. ඒ රට ගොඩගන්න විපක්ෂ නායකතුමනි, කොහොමද වැඩපිළිවෙළ?

ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට සුදුසු ජනවරමක් එක්ක කකුලෙන් අදින්නේ නැති අවස්ථාවක් ලැබුණොත් අපිට පුළුවන් මේ රට ගොඩගන්න. විශේෂයෙන් අපිට සිදුවෙනවා බොහොම ප්‍රබුද්ධ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රමයකට යන්න. මේ ආණ්ඩුවේ ක්‍රියාකලාප නිසා ජාත්‍යන්තර කළු පැල්ලමකට ගිහින් තියෙන්නේ. ප්‍රතිව්‍යුහගත ක්‍රමයට අමතරව අපේ ණය කපහැරීමේ වැඩපිළිවෙළකට අපි කටයුතු කරන්න ඕන. මූල්‍ය පාලනය විධිමත් කරලා ලෝකයට පෙන්නන්න ඕන අපේ මූල්‍ය, ණය කළමනාකරණය ඉතා ප්‍රශස්ථ මට්ටමක තියෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ අපේ ශ්‍රේණිය ඉහළ යනවා. අපිට ජාත්‍යන්තර වෙළඳපොළට යන්න පුළුවන්. ඒ හරහා ඩොලර් ගන්න පුළුවන්. එතකොට අපේ සංචිත විකුණන්න ඕන නෑ. විවිධ ක්‍රම තියෙනවා රට මෙහෙයවන්න. ඒ විතරක් නෙමෙයි රටේ ජනතාවට අපි ඇත්ත කියන්න ඕන. මොකක්ද ඇත්ත, රටේ ඉන්න හැමෝටම සිද්ධ වෙනවා බොහොම තිත්ත බෙහෙත් රැසක් බොන්න. අනාගතය මිහිරි නෑ. අනාගතය අමාරුයි. තිත්තයි. අපි තිත්ත ඇත්ත කතා කරන්න ඕන. ජනතාව තේරුම් ගන්නවා නම් දූෂණයෙන් වංචාවෙන් තොර මේ රට පාලනය කරනවා නම් ජනතාව ඒක පිළිගන්නවා. ඒ වගේම රට තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රශස්ථ දූෂණ මර්දන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන. ඔබතුමා කියන්නකෝ ඔය අන්තර්කාලීන ආණ්ඩුවලට ගිහින් හොරු අල්ලන්න පුළුවන්ද? ඒ හොරුන්ගේ සල්ලි ආපහු ගේන්න පුළුවන්ද? මොන විහිළු කතාද? මම සූදානම් නෑ දේශපාලන විහිළු කරන්න. හැබැයි හරි මතයට බලය අරගෙන ඕනෑම වෙලාවක වැඩ පෙන්වන්න ලෑස්තියි.

(බීබීසී අනුග්‍රහයෙනි)