2022 අප්‍රේල් 24 වන ඉරිදා

පේරාදෙණිය - රතුපස්වල සහ රඹුක්කන

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 82

රට පුරාම ඇවිලෙන විරෝධතා රැල්ලෙන් පීඩාවට පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රුල්ලෙන් බේරෙන්න අලුත් කැබිනට් එකක් පත් කළේය. රටේ සම්ප්‍රදායික දේශපාලනය ඇතුළේ වැඩකරුවකු නොවූ ගෝඨාභය තමන්ගේ වසර දෙකහමාරක පාලන කාලය තුළදී ගත් සමහර තීන්දුවලින් පෙන්නුවේ තමන් දේශපාලනයට ආධුනිකයකු බවය. එහෙම නොවී හොඳ වැඩකරුවකු වුණා නම් ගෝඨාභය කවදාවත් තමන් නියෝජනය කරන වාමාංශික දේශපාලන ප්‍රවාහයේ ජීවනාලිය බඳු ගොවි පරපුරම කෝප ගැන්වූ රසායනික පොහොර තහනම් කරන තීන්දුවක් ගන්නේ නැත.

ඒ තීරණයෙන් වසරකට පසුව ජනාධිපතිවරයා කියන්නේ තමන්ට වැරැද්දක් වුණු බවය. හැබැයි එහෙම කියනකොට ඔහුගේ ජනාධිපති ධූරයටත් ආණ්ඩුවටත් වෙන්න ඕන හරිය වෙලා ඉවරය. එදා ගෝඨා එනතුරු බලා සිටි රටේ සියලු ජනකොටස් අද කියන්නේ ගෝඨා ගෝ හෝම් කියාය.

මේ සද්දෙ කොයි තරම් බලවත් වුණාදැයි කිව්වොත් ගෝඨාභය පමණක් නොව ආණ්ඩුවත් එයින් කැළඹුණේය. විශාල ජනවරමකින් බලයට පත්වූ තමන්ට බලය ගිලිහී යනු ඇති බවට රාජපක්ෂවරුන් තුළ බයක් ඇති නොවුණා නම් පුදුමය.
ඒ බය නැතිකර ගන්න ආණ්ඩුව විවිධ තුරුම්පු පාවිච්චි කළේය. හැබැයි ඒ එක තුරුම්පුවක්වත් වැඩ කරන බවක් පෙනෙන්නේ නැත. අන්තිමට රටේම බලවත් විරෝධයට ලක්වූ දූෂිත බවට චෝදනා එල්ල වූ අමාත්‍ය මණ්ඩලය වෙනස් කළේය. හිටපු බල කණු නිකම්ම මන්ත්‍රී පට්ටම් බවට පත්කර තරුණ කණ්ඩායමකින් සමන්විත කැබිනට්ටුවක් දා ගත්තේය. හැබැයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට විරෝධතාකරුවන් ගෙන යන හඬට ජනාධිපතිවරයා කන් දුන්නේ නැත. මේ නිසා අලුත් කැබිනට් එක ගැන රට තුළ විශ්වාසයක් ගොඩනංවා ගැනීම පහසු නොවනු ඇත.

මේ අලුත් කැබිනට් එක පත්කෙරුණේ පසුගිය 18 වැනිදාය. ඒ කැබිනට් එක පත් කරනකොට අගමැතිගේ උපදෙස් ලබාගත්තා දැයි පැහැදිලි නැත. අලුත් ඇමැතිවරු දිව්රුම් දුන් අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා සහභාගි නොවීමෙන් පෙනී ගියේ ගෝඨාභයගේ අලුත් ඇමැති මණ්ඩලයට මහින්දගේ අනුමැතියක් නැති බවය. තවමත් අලුත් ඇමැති මණ්ඩලය ගැන අගමැති පැහැදීමකින් කතා කළේද නැත.

මේ ඇමැති මණ්ඩලයට පරණ කිහිප දෙනෙක්ද ඇතුළු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි. එයින් එක් අයෙක් වුණේ ප්‍රසන්න රණතුංගය. බැසිල්ට වඩාත් සමීප අයකු වශයෙන් සැලකෙන ප්‍රසන්නට තිබුණු සංචාරක අමාත්‍යාංශයට අමතරව පොලීසියද බාර විය. පාර්ලිමේන්තුවේ මහා සද්දෙ දාගෙන වැඩ කළ ජොන්ස්ටන් සතුව තිබූ සභා නායක පදවියද ඔහුගෙන් ගලවා ප්‍රසන්නට දී තිබුණි. ජනාධිපති වෙනුවෙන් දිගින් දිගටම පාර්ලිමේන්තුව ඇතුළේදීත් පිටතදීත් කොන්දේසි විරහිතව පෙනී සිටි ජොන්ස්ටන්ට ඇමැතිකම පමණක් නොව සභා නායක පදවියද අහිමිවීම මහින්දට දැනුණේ කොහොමදැයි හිතන්නත් අමාරුය.

ඒ කොහොම වුණත් මේ අලුත් කැබිනට් එක දිව්රුම් දුන් දාට පසු දිනම රඹුක්කන ගිනි ගත්තේය. එහි එක් ප්‍රතිඵලයක් වුණේ පොලිස් වෙඩි පහරකින් ජීවිතයක් අහිමි වීමය. පොලීසිය බාර ප්‍රසන්න ඇමැතිවරයා එය හැඳින්වූයේ තෙල් බවුසරයක් ගිනි තැබීම වැළැක්වීම සඳහා පොලීසිය අවම බලය යෙදවූ බවය. එසේ නොවන්න විශාල විනාශයක් සිදුවිය හැකිව තිබූ බවත් පොලීසිය වෙඩි තැබුවේ කලබලය පාලනය කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ වීමෙන් පසුව බවත් ඔහු සඳහන් කර තිබිණි. මෙහිදී බොහෝ දෙනකුට රතුපස්වල සිද්ධිය මතක් වුණු බව කිව යුතු නැත.

මහින්දගේ ජනාධිපති ධූරයේ දෙවැනි කාලසීමාවේදී රතුපස්වල සිදුවූ වෙඩි තැබීම ඒ ආණ්ඩුවේ කඩා වැටීමේ එක් ආරම්භයක් විය. ඒ සිද්ධිය වනවිට බස්නාහිර මහ ඇමැති වූ ප්‍රසන්න රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේශපාලනඥයෙක් වී සිටියේය. රාජපක්ෂ පාලනයට කළු පැල්ලමක් එක් කළ රතුපස්වල සිද්ධියේදීද නම කියැවුණු ප්‍රසන්න ගෝඨාභය යටතේ පොලීසිය භාරව අමාත්‍ය පදවිය බාරගත් දිනට පසු දිනම පොලිස් වෙඩි තැබීමකින් ඝාතනයක් සිදුවීම අහම්බයකින් සිදුවූවක්ද නැතහොත් සිතාමතා විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුමක් නිර්මාණය කර අරගලයට හවුල් වී සිටින තරුණ තරුණියන්ගේ ආවේගය පොලීසියට එරෙහිව යොදවා ගැනීමේ කූඨ උපායක කොටසක්ද යන්න විවාදිතය. පොලීසියේ සහායට හමුදාව කැඳවා ගැනීමේ එක් උපාය මාර්ගයක් හැටියටද මේ සිද්ධිය උපයෝගී කර ගැනීමේ හැකියාවක් තිබෙන බවද පෙනෙන්නට තිබේ.

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ගම්වාසීන් සාමකාමී ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක් මෙහෙයවූයේ ඔවුන්ගේ ඉවසීමේ සීමා ඉක්ම ගිය අවස්ථාවේදීය. මේ උද්ඝෝෂණය පසුපස ජවිපෙ සිටින බවට චෝදනාවක් තිබුණත් ජනතාවගේ ඉල්ලීම සාධාරණ විය. එවකට ගම්පහ දේශපාලන බලවතුන් වූ ප්‍රසන්න රණතුංග ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයන්ට මේ උද්ඝෝෂණය ඇල්ලුවේ නැත. ඔවුන් ඒ වෙලාවේ ගත්තේ තමන්ට ඡන්දය දුන් මහජනතාවගේ පැත්ත නොව ජනතාවගේ විරෝධයට ලක්වූ කොම්පැනියේ පැත්තය. මේ නිසා එම උද්ඝෝෂණය බලය යොදා හෝ යටපත් කිරීම ඔවුන්ගේ දේශපාලන තීන්දුවක් විය.

මාස ගණනාවක් තිස්සේ පැවති බැලුම්මහර සහ වැලිවේරිය අවට ගම්වාසීන්ගේ උද්ඝෝෂණය රතුපස්වලදී තරමක් ආවේගශීලී වීමත් සමඟ එය මර්දනයට පොටක් පෑදුණේය. පොලීසිය වෙනුවට හමුදාව කැඳවනු ලැබීය. 2013 අගෝස්තු 01 වැනිදා රතුපස්වල වෙඩි තැබීම සිදුවූ අතර ජීවිත ගණනාවක් අහිමි විය. මෙරට ආරක්ෂක හමුදා නිරායුධ මහජනතාවට සිදු කළ වෙඩි තැබීමක් ලෙස එය ඉතිහාස ගත විය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. 

රතුපස්වල වෙඩි තැබීමෙන් වසරක් ඉක්ම යද්දී ආණ්ඩුව ඇතුළේ තිබූ අර්බුද උග්‍ර තත්ත්වයට පත් විය. තවත් මාස කිහිපයකදී පැවති ජනාධිපතිවරණයෙන් ආණ්ඩුව පරාජය විය. එය බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙක් පරාජය වූ පළමු අවස්ථාවද විය.
මීට පෙරද 1976 වසරේදී එවැනිම සිද්ධියක් විය. විධායක ක්‍රමය නොතිබූ ඒ අවස්ථාවේදී රාජ්‍ය නායිකාව වූයේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකයි. පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ නවක සිසුවකු වූ පද්මසිරි වීරසූරිය 1976 නොවැම්බර් 12 වැනිදා පොලිස් වෙඩි පහරකින් මියගියේ සරසවියේ ශිෂ්‍යයන්ගේ ආණ්ඩු විරෝධී අරගලයකදීය. ඒ වෙලාවේ සරසවි සිසුන් උද්ඝෝෂණය කළේ එවකට ආණ්ඩුවට එරෙහිව පැවැති දුම්රිය සේවක වැඩවර්ජනය සහ මහා වැඩවර්ජනයකට සහාය දක්වමිනි. රටේ &වැඩ කරන ජනතාව* සහ සරසවි සිසුන්ගේ ඒකාබද්ධ අරගලය කඩාකප්පල් කිරීමට සිරිමාවෝගේ රජය සැලසුම් කළේය. වීරසූරිය ශිෂ්‍යාගේ ඝාතනය එහි එක් හැරවුම් ලක්ෂයක් බවට පත් විය. එයින් වසරක් ඉක්ම යාමටත් පෙර පැවති මහ මැතිවරණයේදී සිරිමාවෝගේ තුනෙන් දෙකක් තිබූ ආණ්ඩුව ආසන 08ක් දක්වා පල්ලම් බසිමින් අන්ත පරාජයක් ලැබුවේය. ශ්‍රීලනිපයට ආපසු බලයට ඒමට වසර 17ක් බලා සිටීමට සිදුවිය.

නිරායුධ ජනතාවට වෙඩි තැබීමේ පල විපාක දේශපාලන වශයෙන් ලැබෙන්නේ පොලියත් එක්ක බවට මේ අවස්ථා දෙකම හොඳ උදාහරණය. නමුත් දේශපාලන නායකයන් කවදාවත් මේ පාඩම් ඉගෙන ගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මේ දේවල්ම රිපීට් කරමින් රටේ පාලනය ගෙන යාමට උත්සාහ දැරීමය. 1976 දී සහ 2013 දී වූ ඝාතන සිදුවීම් ජනගත වූයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාය. 2013 දී තාක්ෂණය හොඳින් දියුණු වී තිබුණත් රතුපස්වල සිද්ධිය සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර යාමට තරම් සමාජ මාධ්‍ය පුළුල් වී නොතිබිණි. එහෙම වුණත් දැන් ඒ තත්ත්වය වෙනස්ය. රඹුක්කනදී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සාක්ෂි සියල්ලක්ම රෑපරාමු සහ දෙබස්ද සමඟ වීඩියෝ ගත වී තිබේ. මේ හේතුවෙන් පොලීසිය මගින් ඉදිරිපත් කරන ලද &බී* වාර්තාව ටිපෙක්ස් කිරීමේ සිද්ධියක්ද අධිකරණයේදී හෙළි විය. එසේම පොලීසිය සමඟ පැමිණි කිහිප දෙනකු ත්‍රීවිලරයකට ගිනි තැබූ බවටද බවුසරයට ගිනි තැබීමට උත්සාහ කළ බවටද සාමකාමීව විරෝධතාව සිදු කරමින් සිටි ජනතාව අතරට පැන පොලීසියට ගල්මුල් එල්ල කළ බවටද තොරතුරු සාක්ෂි විභාගයේදී අනාවරණය විය. ඒවායේ සත්‍ය අසත්‍ය බව ඉදිරියේදී තහවුරු වනු ඇත. එහෙත් තාක්ෂණය ඉතා දියුණු මේ කාලයේ සාක්ෂි විකෘති කිරීම් හෝ වෙනස් කිරීම් හෝ සිදු කිරීම දුෂ්කරය. මේ නිසා රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ සියලු තොරතුරු සනාථ කර ගැනීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. එමගින් ආණ්ඩුවට ඇතිව තිබෙන කළු පැල්ලම තවදුරටත් පුළුල් වනු ඇතිද නැතහොත් දිය වී යනු ඇතිද යන්න බලා සිටිය යුතුය.
රඹුක්කන ගැටුම සහ ගෝල්ෆේස් විරෝධතා දෙක එක හා සමාන නුවූවද ඒ දෙකම හටගත්තේ ආණ්ඩුවේ වැරුද්ද හේතුවෙනි. ගෝල්ෆේස් අරගලය සාමකාමී, උගත්, බුද්ධිමත් තරුණ පිරිසක්ද කලාකරුවන් සහ රටේම පිළිගත් ආයතන සහ වෘත්තීයවේදීන්ගේද සහාය ඇතිව ක්‍රියාත්මක වන අතර රඹුක්කන වෙඩි තැබීමට හේතු වූ තෙල් බෙදාහැරීමේ සහ තෙල් පෝලිම් ගැටුම් හටගත්තේ එම පෝලිම්වලට එකතු වී දින ගණන් පැය ගණන් රස්තියාදු වී ලේ කෝප වී සිටින ජනතාවගේ රතු කට්ට පැනීමෙනි. රටේ ස්ථාන කිහිපයකදී හැර සෙසු ස්ථානවල පවතින එවැනි විරෝධතා සාමකාමී විය. මේ දෙක පටලවාගෙන සියලු විරෝධතා එක මිටට ගෙන මර්දනයකට යන්නේ නම් එය ආණ්ඩුවට බරපතළ වැරදීමක් වනු ඇත. එසේම ගෝල්ෆේස් අරගලය හරහා රටේම තරුණ සහ උගත් බුද්ධිමත් ජනතාව ඉල්ලා සිටින සැබෑ දේශපාලන වෙනස, කැබිනට්ටුවේ මුහුණ මාරුකර හෝ පරණ පුරුදු ක්‍රමයට තනතුරු, වරදාන සහ මුදල් දී බිලී බාගන්නා ක්‍රමයට හෝ සිදුකරගත හැකි යැයි ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එයද විශාල වැරදීමක් විය හැකි බවද පෙනෙන්නට තිබේ.

අද මේ විරෝධතාකරුවන් හඬ නගන්නේ රාජපක්ෂ පාලනය අවසන් කළ යුතු බවටය. එය කෙසේ සිදුවන්නේ දැයි යන්න ඔවුන්ට අදාළ නැත. කොතරම් ඉල්ලීම් ආවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව ඇතුළේ බලය වෙනස් කිරීමට සූදානම් බවක් පෙනෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු 20 වැනි සංශෝධනය ඉවත් කර යළි 19 ව්‍යවස්ථාව සංශෝධන සහිතව ගෙන ඒමට සූදානම් වෙයි. ජනාධිපතිගේ බලතල කපා දැමීම එයින් අරමුණු කර ඇති බව පැහැදිලිය. ඒ අතර ඔහු පවසන්නේ මැතිසබයේ කවර පක්ෂයක් හෝ බහුතර බලය තමන්ට ඇති බව පෙන්වුවහොත් ඕනෑම මොහොතක තනතුර අතහරින්නට සූදානම් බවය. මෙහි කදිම ජවනිකා ලබන සතියේදී කාටත් බලාගත හැකිවනු ඇතැයි පැවසේ.

මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය තුළ පැවති දරදඬු බව වඩාත් දරුණු බවට හරවමින් 18 වැනි සංශෝධනය ඉදිරිපත් කර සම්මත කර ගත්තේද මහින්ද ජනාධිපති වී සිටියදීය. එමගින් මෙතෙක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් වූ වඩාත්ම ඉදිරිගාමී සංශෝධනයක් වශයෙන් සැලකුණු 17 ව්‍යවස්ථාව අහෝසි වී ගියේය.

ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා තම දෙවැනි ධූර කාලය අවසන් වීමෙන් පසුව දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා නම් අද ගෝඨාභය රාජපක්ෂ මහතා මේ විරෝධතාවලට හසුවී නින්දා අපහාසවලට ලක්වන්නේ නැත. යුද ජයග්‍රහණය හේතුවෙන් රටේ වෙනත් කිසිදු රාජ්‍ය නායකයකුට හිමි නොවූ ඉහළම ගෞරවයක්, ආදරයක් සහ ජනප්‍රිය බවක් හිමිකරගත් මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලටම ගෙදර යන්නැයි ඉල්ලා ජනතාව පාරට බසින්නේද නැත.

- ශශීන්ද්‍ර