2022 අප්‍රේල් 03 වන ඉරිදා

පෙළගැස්මක සංඥාව

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 120

ලංකාව අද මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ගැන පසුගිය දිනවල ලොව ප්‍රධාන පෙළේ ප්‍රකාශන තුනක විග්‍රහයන් තුනක් පළ වී තිබිණි. ඉන් එකක් දැන් ලංකාවේ ආර්ථික ගැලවුම්කරු බවට පත්ව සිටින අසල්වැසි ඉන්දියාවේ අවුට්ලුක් වාර ප්‍රකාශනයේ විදෙස් සබඳතා පිළිබඳ කර්තෘ ප්‍රවීණ ලේඛක සීමා ගුහා විසින් ලියැවිණි. අනෙක් ලිපිය මීට ටික කලකට පෙර, එනම් වත්මන් රජය බලයට පැමිණි මුල් කාලයේ රජයේ සමීප රාජ්‍යයක් වූ චීනයේ ද සවුත් චයිනා මෝර්නිං පෝස්ට් පුවත්පතේ පළ වූ ලිපියකි. ඒ සමඟ ලොව වඩාත් කතාබහට ලක්වන ජනප්‍රියම පුවත්පතක් වන නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ විග්‍රහයක්ද විය.

මුලින්ම ඉන්දියානු විග්‍රහයේ වඩාත්ම අදාළ කොටස සඳහන් කිරීම වැදගත්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී හදිසියේම ප්‍රකාශයට පත් කළ රසායනික පොහොර තහනම රටේ ආර්ථිකයට බරපතළම හානිය සිදු කළේය. ශ්‍රී ලංකාව සම්පූර්ණ කාබනික වගාව සහිත ලෝකයේ පළමු රට බවට පත්කිරීම අරමුණු කරගෙන එම තීන්දුව ගනු ලැබීය. රටේ ජනතාවගෙන් ආසන්නව 70%කගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මයයි. ප්‍රවේශම් සහගත සැලැස්මකින් තොරව එක රුයින් සිදු කළ එම වෙනස ආපසු කැරකිණි. අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයටද පොහොර තහනම ඉතා නරකට බලපෑවේය. තේ කර්මාන්තය ආසන්නව මිලියනයක ජනතාවකට රැකියා සපයයි.

මේ ලිපියට අවුට්ලුක් සඟරාව නාට්‍යමය සිරස්තලයක් යොදා තිබිණි. එහි අර්ථය වූයේ ශ්‍රී ලංකාවේ දියවෙන ආර්ථිකය රාජපක්ෂ පවුල් පාලනයේ අවසානය විය හැකියි යන්නය.

සවුත් චයිනා මෝර්නිං පෝස්ට් පුවත්පත මෙසේ සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ දැන් පවතින ආර්ථිකයේ දරැණු අවපාතය මතක ඇති කාලයක සිදුවූ භයානකම ආර්ථික ඇදවැටීම පෙන්නුම් කරයි. පසුගිය වසරේ ගනු ලැබූ කාබනික කෘෂිකර්මයට යොමුවීමේ ඉක්මන් තීන්දුව ඛේදවාචකයක් බවට පත්වීමෙන් එය සිදුවිය. ගොවීන් නිසි ලෙස සූදානම් කිරීමකින් තොරව සියලු රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් දැඩි ආහාර හිඟයක් ඇතිවී ඒවායේ මිල ගණන්ද ඉහළ ගියේය. පසුගිය දෙසැම්බරයේදී එම ප්‍රතිපත්තිය යම් පමණකින් ආපසු හැරවුවත් ඒ වනවිට හානිය සිදු වී හමාරය.

කෘෂිකර්මය බරපතළ පීඩනයකට හසුවෙලා. දැන් ඔවුන්ට රසායනික පොහොර ගෙන්වීම අවශ්‍ය වුවත් යුක්රේන් යුද්ධයත් සමඟ හදිසියේ පොහොර මිලදී ගැනීමට නැහැ. වෙනත් රටවල් පොහොර ලබාගැනීමට දීර්ඝකාලීන ගිවිසුම්වලට බැඳී සිටිනවා. යැයි විශ්‍රාමික ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන නීලාම් ඩියෝ ප්‍රකාශ කරයි.

මේ ලිපියට යොදා තිබූ සිරස්තලයෙන් කියැවුණේ කලබල වී දඟලන ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සල්ලි ඉල්ලයි: එහෙත් චීනයේ සාක්කු ඊට වඩා ගැඹුරැයි: විචාරකයෝ කියති. යනුවෙනි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන්නේ මෙහෙමය.

ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණියේම විශාල ලෙස බදු අඩු කිරීමක් සමඟිනි. ඒ වසංගතයට මුහුණදීමට ආසන්නයේදීය. දැන් ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ සංචිත ඍණ වූ තත්ත්වයට මුහුණ දී සිටී.. රටේ දැඩි ලෙස හිඟ වී ඇත්තේ තෙල් සහ ඖෂධ පමණක් නොවේ. ආහාර ඇතුළු වඩාත්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පවා හිඟය. කාබනික කෘෂිකර්මයක් වෙනුවෙන් ඉතා දුර්වල ලෙස සැකසූ සැලැස්මක් මත රසායනික පොහොර ආනයනය නැවැත්වීමෙන් ගොවීන්ට පොහොර නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආහාරය වන සහල් පවා හිඟ වී තිබේ. එහි සිරස්තලය යොදා තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පතුලටම වැටෙයි: ජනාධිපතිට දැඩි පීඩනයක් යනුවෙනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව කෙටිම කාලයකදී නරකම වාර්තාවකට හිමිකම් කියන බව එක් ප්‍රබල දේශපාලන විචාරකයෙක් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ඉහත විග්‍රහයන් තුනම උපුටා දක්වමිනි. ඒ ගැන විවිධ අර්ථකථන රට තුළ තිබිය හැකි වුවද පැය 13ක් දක්වා කාලයකට දිග ඇදුණු විදුලි කප්පාදුවත් සමඟ රටේ ජනතාවගේ ඉවසීමේ සියලු සීමාවන් ඉක්ම ගිය බවක් පෙනෙන්නට තිබේ. පෝලිම්වල රස්තියාදු වුවද ගෑස් ලබාගත නොහැකි, වාහනයට ඩීසල් නැතිව ආදායම් අහිමි වූ, ආහාර, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අහස උසට නැග තිබෙන තත්ත්වයක් තුළ නිවෙස් ඇතුළේ බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටි රටේ ජනතාව විදුලි කප්පාදුව දිගින් දිගටම ඇදී යාමත් සමඟ අරගල කරන්නට පටන් ගැනීම ගැන පුදුම විය යුතු නැත. එය ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට, රජයට දැඩිව දැනෙනු ඇති බවද නිසැකය. එයට මුහුණදීම සඳහා රජය දක්වන ප්‍රතිචාර රටේ ජනතාවගේ පිළිගැනීමට ලක් නොවන්නේ නම් ඇතිවිය හැක්කේ බරපතළ තත්ත්වයකි. 

මිරිහානේදී පසුගිය බ්‍රහස්පතින්දා (31) රාත්‍රී කාලයේ ජනපතිගේ පෞද්ගලික නිවෙස ඉදිරිපිට ඇතිවූ උණුසුම් අරගලකාරී තත්ත්වය එයට පූර්විකාවක් බව පැහැදිලි විය. එය ඉරිදා (03) අදෘශ්‍යමාන ලෙස සංවිධානය වෙන පාරට බැසීමේ විරෝධතා ව්‍යාපාරයට කිසියම් තල්ලුවක් දීම සඳහා සිදුකෙරුණක්ද නැතහොත් හදිසියේ ඇතිවූ පෙළඹවීමක් හේතුවෙන් සිදුවූවාද යන්න පැහැදිලි නැත. එහෙත් මේ දිනවල රට පුරා තැනින් තැන සිදුවන නිහඬ සහ හඬ නගන විරෝධතාවලින් පෙන්වා දෙන්නේ ජනතාව තම පීඩනය මුදාහැරීමට ක්‍රියා කරමින් සිටින බවය.

රට ඇතුළේ මෙතරම් බරපතළ අර්බුදකාරී තත්ත්වයක් පවතිද්දී වීණා වයමින් සිටීමට රජයට හැකියාවක් තිබිය නොහැක. වඩාත්ම ජනතාවට බලපාන ප්‍රශ්න මුලින්ම හඳුනාගෙන එයින් එකකට දෙකකට හෝ විසඳුමක් ලබා දීමට රජය පියවර ගත යුතුය. හෙට වෙන දේ මමත් දන්නෙ නෑ... දැන් යන්නෙත් බයෙන් වැනි ප්‍රකාශ නිකුත් කිරීමට ඇමැතිවරුන්ට සිදුවන තත්ත්වයක් තුළ රජය ඉතා විමසිලිමත්ව සිටීම අවශ්‍යය. එසේම ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීව බැලීමටද රජයට හැකියාව තිබිය යුතුය. පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පසුගියදා කිව්වාක් මෙන් ගැහුවොත් ගහනවා... ගහන්න ආවත් ගහනවා. වැනි ජනතාව තවදුරටත් කුපිත කරවන ප්‍රකාශ තත්ත්වය සමනය කිරීමට නොව එය වඩාත් සංකීර්ණ තත්ත්වයකට යොමු කිරීමට හේතු විය හැකි බවද සැලකිල්ලට ගත යුතුය.

රටේ ජනතාව අතුරින් මෙවැනි රුල්ලක් ඇතිවිය හැකි බවට මං සලකුණු පසුගිය සති කිහිපය තුළදීම පෙනෙන්නට තිබිණි. සජබ සහ ජවිපෙ ප්‍රමුඛ ජන බලවේගය සංවිධානය කළ රුලිවලට විශාල ජනකායක් සහභාගි වීමෙන් එය පැහැදිලි විය. එවැනි තත්ත්වයකට අඩිතාලම වැටුණේද ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගයකිනි.

රටේ පෝලිම් බිහි වී කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ආහාර හිඟ වී ගැටලු මතුවෙමින් තිබියදී ආණ්ඩුව ඒවාට විසඳුම් ලබාදීමට තමන් තුළ ඇති කැපවීම පෙන්වීම වෙනුවට අනුරාධපුරයේදී ජන රැලියක් පැවැත්වීමට තීන්දු කළේය. තීන්දු කළා පමණක් නොව එය රජයේ මිනුම් දඬුවල හැටියට හොඳින්ම සාර්ථක වූ රැලියක්ද විය. සල්ගාදු ක්‍රීඩාංගණය පිරෙන්න සෙනඟ පැමිණ තිබිණි. රැලියේ කතාද සැරටම කෙරුණේය.

ආණ්ඩුවේ මේ රුස්වීම විපක්ෂයට බුෆේ කෑම මේසයකට කළ ආරාධනයක් බඳු විය. මුලින්ම වැඩේට අතගැසුවේ සජබය. එය කොළඹදී සංවිධානය කෙරැණේ විශාල ජනකායකගේ සහභාගීත්වයෙනි. ඒ වනවිට දකුණේත් රුලි සංවිධානය කරමින් සිටි ජවිපෙ ප්‍රධාන ජන බලවේගය පොළොන්නරැවේ මහා රුලියක් සංවිධානය කර ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළේය. ඒ රැස්වීමේදී සජබට ෂොට් එකක් දීමටත් ජවිපෙ ක්‍රියා කළේ සැලසුම් සහගතව බව පෙනෙන්නට තිබිණි. ඔවුන්ගේ ප්‍රධාන තේමාව රාජපක්ෂ පාලනය අවසන් කළ යුතු බවට වන අතර සජබට ගැහැව්වේ රාජපක්ෂ පාලනයේ වැරදි ගැන සජබ ගොලු වී සිටින බව කියමිනි.

මේ අතරවාරයේදී විමල් - උදය ආණ්ඩුවෙන් ඉවත් කිරීමත් සමඟ ආණ්ඩුව ඇතුළේ දෙදරීම් එළියට ආවේය. එළියට පැමිණි මේ දෙන්නා පක්ෂ 11ත් අල්ලාගෙන නිකම් සිටියේ නැත. ආණ්ඩුවට පහරදීම ඇරඹුවේය. හැබැයි ඔවුන්ගේ විරෝධය බැසිල් රාජපක්ෂ ඉවත් කිරීමේ තැනට ලඝුවීම කැපී පෙනුණේය. ශ්‍රීලනිපය දෙබිඩි පිළිවෙතක රුඳී සිටිමින් ආණ්ඩුවේත් ඉන්න ගමන් විපක්ෂයේත් භූමිකාවකුත් ඉටු කිරීමට සැරසෙමින් සර්ව පාක්ෂික සමුළුවකට රජය කැමැති කරවා ගැනීම නිසා ශ්‍රීලනිපය තුළ දේශපාලන වශයෙන් ආණ්ඩුවට එරෙහිව පැමිණි බලවේග තරමක් දුරට අඩාල විය. එසේම ශ්‍රීලනිපයේ සටන බොහෝ දුරට තනතුරු පිළිබඳ ගැටලුවලට සහ තම පක්ෂයේ සාමාජිකයන්ගේ දුක් ගැනවිලිවලට සීමා වී තිබිණි. මේ නිසා රට ඇතුළේ පොදුවේ ගොඩනැගෙමින් තිබූ ජනතාවගේ විරෝධතා සහ උද්ඝෝෂණවලට ශ්‍රීලනිපයට කළ හැකි බලපෑමද සීමාසහිත බවක් පෙනෙන්නට තිබේ. ආණ්ඩුවට එරෙහිව නිර්දේශපාලනික විරෝධතාවකට මුල පිරැණේ මේ පසුබිමේය.

මේ විරෝධතාව සමාජ මාධ්‍ය හරහා නිර්මාණය වී ක්‍රියාත්මක වුවද ඒ පිටුපස විපක්ෂයෙන් මෙහෙයවන පුද්ගලයන්ද සිටිය හැකි බව පැහැදිලිය. රටේ පවතින ගැටලු දේශපාලනික ජන අරගලයක් කරා මෙහෙයවමින් සිටින ජවිපෙ මේ සම්බන්ධයෙන් ජනතාවට අනතුරැ ඇඟවීමක් කරන්නේ වගකිවයුත්තකු හෝ සංවිධානය කරන්නකු නොමැති අසංවිධානාත්මක විරෝධතාවලට එක්වන පිරිස් අවධානයෙන් හා පරෙස්සම් සහගතව සිටිය යුතු බවට අවවාදයක් ලබා දෙමිනි. ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ ගැන තබා ඇති සටහනේ සංවිධානාත්මක ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති නමුත් වගකීමක් නොමැති, අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බවද සඳහන්ය.

ජවිපෙ එසේ කියන විට සජබ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේ පක්ෂ පාට නොසලකා ඉරිදා සවස 03ට පාරට බසින්න කියා ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවය. ඉන්ධන, විදුලිය, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ සහ කිරිපිටි නැතිව ජනතාවට ජීවත් විය නොහැකි බැවින් රට වනසන, ජන පීඩක ආණ්ඩුවට එරෙහිව සියලු දෙනා කොන්දේසි විරහිතව පෙළගැසිය යුතු බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

එහෙත් යූ.ඇන්.පිය ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ පීඩාකාරී වැඩපිළිවෙළට එරෙහිව මතුවන ජනතා නැගිටීම්වලට දේශපාලනඥයන් සම්බන්ධ නොවිය යුතු බවය. යූ.එන්.පී. නියෝජ්‍ය නායක රැවන් විජයවර්ධන මහතාගෙන් 03 වැනිදා පාරට බැසීමේ විරෝධතාවට දේශපාලනඥයන්ගේ මැදිහත්වීම් සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා තිබුණේ විදුලිය පැය 13ක් කප්පාදු කිරීම, ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් හේතුවෙන් ජනතාව මේ වනවිට දැඩි අසරණ තත්ත්වයට පත් වී සිටීම හේතුවෙන් ජනතාවගෙන් නැගෙන විරෝධය දේශපාලන මැදිහත්වීමකින් තොරව ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඉඩ දිය යුතු බවය.

කෙසේ වුවද විමල්ලා ප්‍රකාශ කරන්නේ මෙවැනි විරෝධතාවලට තමන් සම්බන්ධ නොවන බවය. නිර්නාමිකව සිදුවන විරෝධතා තමන් අනුමත නොකරන බවය.

සංවිධානාත්මක පිරිස් හිටියත් නැතත් රට පුරා විරෝධතා සංවිධානය වෙන්නේ ජනතාවට ඇත්ත වශයෙන්ම බලපාන බරපතළ ගැටලු හේතුවෙන් බව පැහැදිලිය. ඔවුන් දැන් සිටින තත්ත්වය අනුව අවශ්‍ය වන්නේ කිසියම් පෙළඹවීමක් පමණි. එය නිර්නාමිකව හෝ විපක්ෂයේ දේශපාලනඥයෙන් හෝ පමණක් නොව ආණ්ඩුවේ දේශපාලනයෙන් වුවද සිදු විය හැකිය. එවැනි පෙළඹවීම් හරහා ගැටලුව වඩාත් බරපතළ බවට පත්වීමට ඉඩ නොතැබීම ආණ්ඩුවේ වගකීමකි.

රටේ ආර්ථික ගැටලුවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව සැබෑවකි. එහෙත් වසර දෙකහමාරක් තුළදී රාජපක්ෂ පාලනය මේ තරම් දැඩි පීඩනයකට හසු වුණේ දේශපාලන වශයෙන් ගත් වැරදි තීන්දු කිහිපයක් හේතුවෙනි. එයින් එකක් රසායනික පොහොර තහනමය.

රසායනික පොහොර තහනම හේතුවෙන් මුලින්ම ගොවීන් පාරට බසින විට ආණ්ඩුව හරි තීන්දුව ගත්තේ නැත. ඉන්දියාව, චීනය පමණක් නොව අමෙරිකාවද ඒ තීන්දුව රටේ බරපතළ ආර්ථික කඩා වැටීමේ ආරම්භය වශයෙන් දකින්නේ හේතු සාධක සහිතව බවට මේ තීරුවේ මුලින්ම සඳහන් කෙටි විග්‍රහ හොඳ උදාහරණය. හැබැයි අවාසනාව වන්නේ මේ ගැටලු හේතුවෙන් අද රට පත්ව තිබෙන අමාරැ තත්ත්වයෙන් ගොඩගැනීමට සජබ, ජවිපෙ සහ විමල්ලා සතුව තිබෙන වට්ටෝරැව කුමක්ද යන්න ජනතාවට පැහැදිලි නොවීමය.

- ශශීන්ද්‍ර