2022 අප්‍රේල් 03 වන ඉරිදා

ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම ජනතාවට තිත්ත වෙලා

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 90

- පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

♦ මම කළින් කිව්ව පංච මහා අර්බුදයයි මේ ඇවිත් තිබෙන්නෙ
♦ ජනතාවට අන්තවාදී ලේබල් ඇලවීම වරදක්
♦ මේ අර්බුදය බලශක්ති ඇමැතිට විසඳන්න බැහැ: මුදල් ඇමැති විසඳන්න ඕනෑ
♦ තෙල් හිඟය ඇති කළේ මමලු: එතකොට බෙහෙත් හිඟය ඇති කළේ කවුද?
♦ ජනතා විරෝධය කණ්ඩායමක් මංකොල්ල කන්න යනවා
♦ කළහකාරී වුණොත් අරගලය මර්දනයට යයි
♦ නායකයෙක් නැති අරගලය හරිම භයානකයි

අපි වෙනදාට සාකච්ඡාවක් පටන් ගන්නේ තරමක් නිවුණු තැනකින්. ඒත් අද අපිට බෑ මේ වෙද්දී රටම තැන් තැන්වල රත්වෙලා. ඇත්තටම ඔබත් පක්ෂයක වගේම, ආණ්ඩුවේ හිටපු ඇමති කෙනෙක්. මේ ඔක්කොම අමතක කරලා පුරවැසියෙක් හැටියට මොකක්ද මේ වෙන්නේ රටට කියන්නකෝ?

මම ජනවාරි මාසේ කිව්වා මාර්තු මාසයේ අන්තිම වෙද්දී මේ රටේ පංච මහා අර්බුදයක් වෙනවා. ඒක දැන්ම කිව්වොත් ලොකු කැළඹීමක් වෙනවා කියලා. ඒක රූපවාහිණියේ දැක්ක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇහුවා මොකක්ද වෙන්නේ කියලා. එතුමාට පහදලා දුන්නා මම. අන්න ඒ කිව්ව පංචමහා අර්බුද වලින් පස්වන අර්බුදය තමයි ජනතාව පාරට බැහැලා දේශපාලකයන් ඉලක්ක කරගෙන විරෝධය පානවා කියලා. අන්න ඒක තමයි අද අවාසනාවට වෙන්නේ. අද දැවැන්ත ජනතා විරෝධයක් තියෙනවා. ඒකට පැහැදිලි නායකත්වයක් නෑ. ඒකට පැහැදිලි නායකත්වයක් දෙන්න විපක්ෂයටවත් බෑ.

ඔබ කියන්නේ ඒකද මේ කලහකාරී තත්ත්වයට හේතුව?

ඔව්. මේ අවුලෙන් ගොඩ එන්න නිසි වැඩපිළිවෙළක් කිසිම පක්ෂයකින් ඉදිරිපත් කරලා නෑ. ඒ නිසා මිනිස්සු ඉන්නේ කඩාවැටීමක. ඒ අපේක්ෂාභංගත්වය නිසා තමයි මේ දේවල්වලට හේතුව. මේක ඉතාම බරපතල තත්ත්වයක්.

මොකක්ද බරපතලකම? 

මේ අර්බුදය හරහා ජාත්‍යන්තරයට රට හැසිරිවීමේ හැකියාවක් එනවා. දෙක ආණ්ඩුවට පුළුවන් හදිසි නීතිය ක්‍රියාත්මක කරලා ප්‍රජාතන්ත්‍රවාදයත් අරගලකරුවනුත් මර්දනය කරන්න. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව මේකට අපි පිළිතුරු හොයමු. එහෙම නැතුව කලහකාරී ලෙස ගියොත් අර්බුදයෙන් අර්බුදයට මේ රට යන්නේ.

ඔබ කිව්වා විපක්ෂය මේකට නෑ කියලා. ඒකට හේතුව තමයි ජනතාව සියලු දේශපාලනඥයන් එපා කිව්ව නිසා. මේක මෙවැනි තනි ජන අරගලයකට යන්න මේ රටේ දේශපාලන සංස්කෘතිය බලපෑවා නේද?

ඒකට හේතුව විපක්ෂයේ අයට ජනතාවගේ තියෙන අකමැත්ත. ආණ්ඩුව විතරක් නෙමෙයි විපක්ෂය පවා අද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ .ඒක නරක ප්‍රවණතාවයක්. ඉතාම භයානකයි.

දේශපාලකයෝ නැතුව උද්ඝෝෂණ කරන්න බැරිද?

හේතුව දේශපාලන නායකත්වයෙන් යම් උද්ඝෝෂණයක් කළොත් පිරිස කලහකාරී කළොත් ඒ අය හසුරුවන්න නායකයෙක් ඉන්නවා. මේ වගේ අවස්ථාවල නායකයෝ නෑ. ඒ අයට ඇහුම්කන් දෙන්න නායකත්වයක් නෑ. ඒක බරපතලයි. 

මේක අන්තවාදී කල්ලියක් විසින් කළේ කියලා ජනාධිපති මාධ්‍ය අංශය කියලා තිබ්බා. ඔබ හිතන්නේ මේ අරගලය පස්සේ අන්තවාදී කල්ලි ඉන්නව කියලද? 

මිනිස්සු පීඩාවෙන් ඉන්නේ. පැය 13ක් කරන්ට් එක නැතුව ගෙදර ඉන්න මිනිහෙක්ව කවුරු හරි කෙනෙක්ට පොළඹව ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ වගේ අවස්ථාවක එවැනි කල්ලි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි මට කියන්න තියෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශය ඒක දන්නවා නම් රටට හෙළිකරලා ඒ කණ්ඩායම් අත්අඩංගුවට අරගන්න. එහෙම නැතුව ජනතාවට අන්තවාදී ලේබල් අලවන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ.

මේ ආව උද්ඝෝෂකයෝ බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාට විරෝධය පෑවේ. ඔබලගේ විරෝධය තියෙන්නේ බැසිල් රාජපක්ෂට. ඇත්තටම විරෝධය තියෙන්න ඕන පුද්ගලයන්ටද? මේ දේශපාලන ක්‍රමයටද?

අපේ ගැඹුරු දේශපාලනය අනුව අපි විවේචනය කරන්නේ බැසිල් රාජපක්ෂව. හැබැයි ජනතාව වැරුදි නෑ.මොකද ජනතාවට සංකේතාත්මකව පේන්නේ ජනාධිපති නිසා ඒ විරෝධය එල්ල වෙන්නේ ජනාධිපතිතුමාට.ඒ ජනතාව කරන්න ඕන තමන්ගේ තරහා පිට කරගන්න එක නෙමෙයි, මේ අර්බුදයට විසඳුමක් හොයන එක. අපේ පක්ෂ 11 ඊට විසඳුමක් දුන්නා. අනෙක් පක්ෂවලට එහෙම විසඳුමක් නෑ.

අනෙක් පක්ෂත් ඉදිරිපත් කරලා තියෙනවනේ?

උදාහරණයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්තිගෙන් මේ ඩොලර් අර්බුදය විසඳන්න මොකද කරන්නේ කියලා ඇහුවම ඒ අය කිව්වේ එයාලගේ සාමාජිකයෝ හරහා ඩොලර් 500 ගානේ ගෙන්න ගන්නවා කියලා. ඒක ඔවුන්ගේ නොදැනුවත්කම. ඩොලර් මිලියනයකින් ප්‍රශ්න විසඳන්න බෑ. රටේ පැය 2කටත් ඩොලර් මිලියනයකට වඩා වැඩියෙන් යනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැනුම තියෙන අය පත්කරගන්න ඕන. එහෙම නැත්තන් වෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගන්න.

ඔබ හිතන්නේ මේ උද්ඝෝෂණ පස්සේ දේශපාලන පෙළඹවීමක් තියෙනවා කියලද?

කිසිසේත් දේශපාලන පෙළඹවීමක් අවශ්‍ය නෑ. මම කිව්ව මේක කොටි ත්‍රස්තවාදයට වඩා ප්‍රබලයි. මම කියන්නේ කවුරුත් පොළඹවන්න ඕන නෑ ජනතාව. ජනතාව කැමැත්තෙන් ඒක කරනවා. ඒත් ඒ ජනතාවගේ විරෝධය කණ්ඩායමක් විසින් මංකොල්ල කන්න යනවා. ඒක වැරදියි.

ඒත් ආණ්ඩුවේ ඇමැතිවරු මේවා දේශපාලනීකරණය කරලා සැබෑ ප්‍රශ්නය මග අරිනවා. ඒ ඇයි?

ඇත්තෙන්ම මේ අර්බුදයේ තියෙන දුක තමයි මේ අර්බුදයේ දිග පළල නොදැනුවත්කම. ඒ විතරක් නෙමෙයි ඒ අර්බුදය නිසා ජනතාව විඳවන පීඩාව ගැනවත් ඔවුන්ට කැක්කුමක් නෑ. මොකද ඒ අයට පෙට්‍රල් නැතුව වාහන නැවතිලා නැතුව ඇති, නැත්තන් පැය 24ම කරන්ට් එක ලැබෙනවා ඇති. ආණ්ඩුව ප්‍රශ්නයට පිළිතුරු විතරක් නෙමෙයි ප්‍රශ්නය මොකක්ද කියලාවත් තවම දන්නේ නෑ.

දැන් මේ ජන අරගලය රුල්ලක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එක එක දේවල් වෙන්න පුළුවන් කියලා ගොඩක් අය කියනවා ඇත්තටම මොකද වෙන්න පුළුවන්?

අනතුරු දෙකක් තියෙනවා. ඕනෑම ජාත්‍යන්තර ඔත්තු සේවයකට පුළුවන් සමාජ මාධ්‍ය හරහා පාලකයෙක් පත්කරලා ඔහුට ජනතා කැමැත්ත ඇති කරලා රෑකඩ පාලනයක් ගෙනියන එක. කිසිම දේශපාලන නායකත්වයක් නැති අය රටේ පාලනයකට යන්න පුළුවන්. ඒ නිසා හදවතින් නැතුව බුද්ධියෙන් හිතන්න ඕන. මොකද නැති ප්‍රශ්න හැදෙන්න පුළුවන්.

ඇත්තටම ජනතාව පාරට බහින එක සාධාරණ නැද්ද?

අනිවාර්යෙන් සාධාරණයි.

මොකක්ද ඒකට කරන්න පුළුවන් පිළියම?

අපි කියන්නේ මේ ආණ්ඩුව විසුරුවන්න කියලා. ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි ජනතාව කැමති ආණ්ඩුවක් පත් කරගන්න ජනතාවට ඉඩදියුතුයි කියලා. එහෙම නැතුව පහරදීලා, උද්ඝෝෂණය කරලා කරන්න බෑ.

උද්ඝෝෂණයකින් ‍යම් බලපෑමක් කරන්න පුළුවන්නේ?

ආණ්ඩුව කැමැති මෙහෙම වෙනවට. එතකොට එයාලට අවශ්‍ය මර්දනය කරන්න පුළුවන්. 88/89 සහ 83 මේ ඒකට හොඳම උදාහරණ තරුණ ජීවිත,දේපල සියල්ල විනාශ වුණේ.

ඔබලාට මේ ජනතා අරගලයට නායකත්වයක් දෙන්න බැරිද?

නෑ... ජනතා උද්ඝෝෂණ වලින් දිනලා නෑ කිසිදෙයක්. පාරට බැහැලා ප්‍රශ්න විසඳන්නත් බෑ. කවදාවත් විසඳලත් නෑ. අපි මේ වෙද්දි ආණ්ඩුවේ 2/3 බලය අහිමි කරලා තියෙන්නේ. අපි තව මාස දෙකකින් අලුත් ආණ්ඩුවක් හැදීමේ ක්‍රියාවට බලපෑම් කරමින් ඉන්නේ. ඒ වෙනුවෙන් තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා සමඟ සකච්ඡා කරලා ආණ්ඩුව පෙරලන හැටි කතා කරන්න.

ගොඩක් අය අහනවා මේ අය යවලා කවුද ගේන්නේ කියලා? කවුද ගේන්නේ?

ජනතාවට ඊළඟ මහ මැතිවරණයේදී තමන් කැමති හොඳම විකල්පය තෝරා ගැනීමේ ඉඩකඩ තියෙනවා. 2020 දී ජනතාව තෝරගත්තා ඒ විකල්පය. ඒත් ඒ ජනතා පැතුම ඉෂ්‍ට කළේ නෑ.

ආණ්ඩුවෙන් කියන විදිහට නම්  තෙල් අර්බුදයේ පියා ඔබ වගෙයි? 

ඒක පට්ටපල් බොරුවක්. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න කරපු ප්‍රකාශයක්. අපේ රටේ තෙල්, ගෑස්, බෙහෙත් හිඟයක් නෑ. තියෙන්නේ එකම හිඟය ඩොලර් හිඟයක්. ඩොලර් හිඟය ඇති කළේ මුදල් ඇමතිවරයා විසින් සූක්ෂමව හිතාමතා. ඒක අපි කිව්වා. දැන් කියන්න ඉන්ධන හිඟය ඇති කළේ මම නම් ගෑස් හිඟය ඇති කළේ කවුද? ඖෂධ හිඟය ඇති කළේ කවුද?

ඒත් ආණ්ඩුව ඇතුළෙන් කියන්නේ මේ අර්බුදය ඇතිකළේ ආණ්ඩුවේ ඇතුළේ ඉඳලා ඔබලා කියලා?

මමවත් විමල් ඇමතිතුමාවත් මුදල් ඇමතිවරයා හැටියට හිටියේ නෑ. නැව් ඇවිල්ලා මග නවත්තන් ඉන්නකොට ඒක ගෙවන්න බැරිනම් ඒකට අපි වගකියන්න ඕන නෑ. ඒත් අපි කිව්ව දේවල් වසර එකාමාරකට කලින් කළා නම් මේ අර්බුය නෑ.

ඔබ විදුලිබල ඇමති හැටියට කිව්වා මාර්තු මාසේ වෙද්දී පැය පහක්වත් කපන්න වෙයි කියලා. ඒත් මේ වෙද්දී පැය 13ක් රටේ ලයිට් කපනවා.මේ අර්බුදය කවදා ඉවරවෙයිද?

මම ඕක කිව්වේ ජනවාරි මාසයේ 10 වෙනිදා. මේක බරපතලයි. හේතුව එක පැත්තකින් ඩීසල් හිඟය. අනෙක් පැත්තෙන් ජලාශවල ජල හිඟය, අප්‍රේල් මාසෙන් ගල් අඟුරු හිඟයකුත් එන්න පුළුවන්. ඒ නිසා මාස හයකටවත් ගල් අඟුරු ගන්න ඕන. අප්‍රේල් ඉඳලා මැයි මැද වෙනකල් වැස්සේ නැත්තන් මේ අර්බුදය මෙහෙම හරි ඊට වඩා වැඩි වෙන්න ඉඩ වැඩියි.

මේ ජන විරෝධයට පෙර ආණ්ඩුවෙන් ඉවත් කරපු එක ආශිර්වාදයක් කියලා දැන් හිතෙනවා ඇති නේද?

ආණ්ඩුවට ආශීර්වාදයක් වුණාද නැද්ද දන්නේ නෑ. මේ අර්බුදය බලශක්ති ඇමතිට විසඳන්න බෑ. මුදල් ඇමති විසඳන්න ඕන ප්‍රශ්නයක්. මේ රට මේ තත්ත්වයට ඇද දැමීම ගැන මුදල් ඇමති ජාතියට උත්තර දිය යුතුයි. 

නෑ මම අහන්නේ බේරුණා නේද කලින්ම?

නෑ අපි මුල ඉඳලම ජනතාවට ඇත්ත කිව්වා. ආණ්ඩුව තුළ පවා අරගල කළා අපි.අපි ජනතාව සමඟ හැමදාම හිටිය නිසා ඇමතිකමේ හිටියත් නැතත් ජනතාව අතරට යන්න පුලුවන්.

දැන් ඔබලා ආණ්ඩුවට හරිමග කියලා ප්‍රතිපත්තියක් දුන්නා. ඒ පක්ෂ 11 වැඩක් හැටියට. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවම ඔබලා කියන වැරදි මග යන ආණ්ඩුව එක්ක .දැන් මොකක්ද මේ එක එක තැන්වල ඉඳලා පෙනී ඉන්න වැඩේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම වැට උඩ ඉන්නේ නැතුව ආණ්ඩුව එක්ක ඉන්නවද? නැත්තම් ආණ්ඩුවෙන් වෙන් වෙනදව කියලා ඉක්මනින් තීරණයක් ගතයුතුයි.ඒ දෙකම කරන්න ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි.

 ගයාන් ගාල්ලගේ