2022 මාර්තු 27 වන ඉරිදා

බලයයි මොළයයි

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 137

සර්ව පාක්ෂික සමුළුවලට ලංකාවේ දේශපාලනය තුළ ඉතිහාසයක් තිබේ. යුද්ධය පැවැති කාලයේත් ඉන් පසුවත් අවස්ථා ගණනාවකදී සර්ව පාක්ෂික සමුළු පැවැත්විණි. හැබැයි මෙවර පැවැත්වුණු සමුළුවේ විශේෂත්වයක් තිබිණි. වෙනදා සර්ව පාක්ෂික සමුළුවලට මුලපිරුවේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයයි. මෙවර සමුළුව කැඳවුණේ ආණ්ඩු පක්ෂයේ පාර්ශ්වකරුවකු වන ශ්‍රීලනිපයේ ඉල්ලීමටය. ඊටත් වඩා වෙනසක් තිබේ.

ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන විට රට පුරාම ආණ්ඩුවට විරෝධය පළ කරමින් මහජන උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබීමය. සමුළුවට 23 වැනිදා දින නියම වනවිට විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සජබ 15 වැනිදා කොළඹට ජනතාව කැඳවා ආණ්ඩුවට විරෝධය පළ කිරීමටත් ආණ්ඩුව ගෙදර යා යුතු බවට පණිවුඩයක් දීමටත් තීරණය කර තිබිණි.

සජබ කොළඹ සිදු කළ විරෝධය ආණ්ඩුවට දැනුණු බවට සැකයක් නැත. එහිදී වඩාත් කැපීපෙනුණේ රට පුරා ඩීසල් හිඟයක් පවතිද්දීත් බස් රථ ධාවනය අඩාලව තිබියදීත් එතරම් ජනතාවක් රුස් කිරීමට සජබ සමත් වීමය. එසේම වෙනදා පැවැත්වෙන ආණ්ඩු විරෝධී පෙළපාළි සහ උද්ඝෝෂණ මෙන් නොව පෙළපාළි යන අතරතුරදී මඟ දෙපස රැස්ව සිටි විශාල ජනතාවකගෙන් එම විරෝධයට සහාය පළ වීමය. මේ කාරණා පිළිබඳ ආණ්ඩුව ඇතුළේ කතාබහක් සිදු නොවුණා නම් පුදුමය. බුද්ධි අංශ මෙහෙයවීම පිළිබඳව මේ ආණ්ඩුවට තිබෙන හැකියාව අනුව රටේ පවතින නියම තත්ත්වය ගැන තොරතුරු ලැබී තිබිය යුතුය.

කෙසේ වුවද සමුළුව පැවැති පසුගිය බදාදා (23) ජවිපෙ ප්‍රමුඛ ජන බලවේගය මගින්ද නුගේගොඩදී රැලියක් සංවිධානය විය. එය සිදුකෙරුණේ හදිසියෙන් මෙන් පෙනෙන්නට තිබිණි. එහෙත් ඊට කලින් දිස්ත්‍රික්ක කිහිපයක පැවැති ජවිපෙ රුලිවල සාර්ථකත්වය මත ඔවුන් නුගේගොඩ රුලියක් පැවැත්වීමට තීන්දු කරන්නට ඇති බව පැහැදිලිය. එය එක් අතකින් ජවිපෙ ප්‍රමුඛ ජන බලවේගය පිළිබඳ රට තුළ පවතින සැබෑ තත්ත්වය මැන බැලීමේ ඇසිඩ් ටෙස්ට් එකක්ද විය. අනෙක නුගේගොඩ යනු මහින්ද පරාජය වීමෙන් පසුව යළි ඔහුගේ ප්‍රතිරෑපය ජනගත කිරීමට මුල් වූ ස්ථානයද විය. ඒ අනුවද ජවිපෙට එම රුලිය සාර්ථක කර ගැනීම ගැන සැඟවුණු අභියෝගයක්ද තිබිණි. මේ රුලිය පැවැති දවසේ උදය වරුවේ සර්ව පාක්ෂික සමුළුවේ මුල්ම හමුවද සිදුවිය.

ජවිපෙ සිදු කළ නුගේගොඩ ටෙස්ට් එක සාර්ථක විය. එදින රුලියට සහභාගි වූ ජනකාය ජවිපෙ ප්‍රමුඛ සන්ධානයකට මෑත කාලයේ පැමිණි වැඩිම පිරිසක් බව පෙනෙන්නට තිබිණි. ඔවුන් මහ මැතිවරණයට තරග කරද්දීත් ඔවුන්ගේ අවසන් රුලියට පවා මේ තරම් ජනතාවක් රුස් වුණේ නැත. එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ආණ්ඩුවට දුන් පණිවුඩය මෙසේ විය.

පෝලිම්වල ජනතාව මැරී වැටෙන තැනට රට පත් කළ ජන ඝාතක ආණ්ඩුව ජනතාව විසින්ම ගෙදර යවන දවස වැඩි ඈතක නොවේ. අද ජනාධිපති මන්දිරයේ ලොකු සාකච්ඡාවක්. රට ගොඩගන්න යෝජනා අදහස් සාකච්ඡා කරන්න සර්ව පාක්ෂික සමුළුවක්ලු. ඒකට ඇවිත් ඉන්නවා දූෂණ සම්බන්ධයෙන් නඩු හත අටක් තිබෙන කෙනෙක්. ජනතාවගේ මුදල් කාබාසිනියා කරපු, මහ බැංකුව හොරා කාපු වංචනිකයන්ට අනුග්‍රහය දක්වපු තවත් කෙනෙක්, ඊළඟට තව බඩුවක් ඉන්නවා මේ ජනාධිපතිට කලින් හිටපු ලොක්කෙක්. මේ ගොල්ලො ඒ කාලේ හිටං කිව්වා. හුටං කිව්වා. පඹයා කිව්වා. අන්න එයත් දැන් එතන. මේ දෙගොල්ලොම රට කාලා දැන් රට හදන හැටි කතා කරනවා. අපටත් එන්න කිව්වා. අපි එතනට ගියත් මෙතන හිටියත් කියන්නේ එක දෙයයි. ගෝඨාභය දැන් හොඳටම ඇති ඔයා ගෙදර යන්න කියලයි. මම එහෙම ශිෂ්ට විදියට මෙතනදි කිව්වට රටේ ජනතාව පෝලිම්වල ඉඳන් කියන්නේ ඔහොම නොවෙයි.

ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුව තියා අවසන් වෙලා නුගේගොඩ ජවිපෙ රුලිය බැලුවා නම් බුද්ධි තොරතුරු හරියට ග්‍රහණය කර ගත්තා නම් මේ වෙලාවේ වඩා වැදගත් වන්නේ සමුළුවද ජනතාව මුහුණදෙන පීඩනය සැහැල්ලු කිරීමට ඉක්මන් වැඩපිළිවෙළක් හදන එකද කියන එකද ගැන තීන්දුවක් ගන්නා බව නිසැකය. එහෙම වුණත් මේ රටේ ආණ්ඩු කවදාවත් ජනතාවගේ රැල්ල හැරෙන පැත්ත ගැන සැබෑ අවබෝධයකින් දේශපාලන තීන්දු නොගන්නා බව ඉතිහාසය පෙන්වා දෙයි. එවැනි අවබෝධයක් තිබුණා නම් ආණ්ඩුව කවදාවත් කාලය කා දමන ඇස් බැන්දුමක් පමණක් විය හැකි බව කියන සර්ව පාක්ෂික සමුළුවක් මේ වෙලාවේ පවත්වන්න යන්නේ නැත.

විපක්ෂයේ ප්‍රධානම පක්ෂ දෙකම නැතිව සිදුකෙරෙන සර්ව පාක්ෂික සමුළුව ශ්‍රීලනිපයේ ගැලවුම්කරුවකු වීමත් එජාපයට හොඳ ප්‍රචාරක වාසියක් ලබාගැනීමත් හැර සැබෑ ගැටලුවලට විසඳුමක් නොවන බව එහි පළමු රුස්වීමෙන්ම පෙනී ගියේය. හැබැයි එහි ආණ්ඩුවට එක් ප්ලස් පොයින්ට් එකක් තිබිණි. උතුරේ ප්‍රධාන දෙමළ පක්ෂ නායකයන් වන සම්පන්දන් සහ සුමන්තිරන් කැඳවා ගැනීමට රජයට හැකි වීමය.

මීට කලින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ ජාතික ගැටලුව විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවුවත් එය අතරමගදී ඇන හිටියේ සම්පන්දන්ලා එය වර්ජනය කිරීම හේතුවෙනි. ඒ වෙලාවේ සම්පන්දන් ඇහුවේ සමුළුවේ න්‍යාය පත්‍රය කුමක්ද සහ එය අවසන් වන කාලසීමාව කුමක්ද යන ප්‍රශ්න දෙකය. ඒ දෙකටම මහින්ද උත්තර දෙන්න ගියේ නැත. සම්පන්දන්ලා සමුළුවට ආවේත් නැත.

හැබැයි මේ පාර සමුළු න්‍යාය පත්‍රය හෝ ඉවරවෙන කාලසීමාව හෝ ගැන ප්‍රශ්නයක් සම්පන්දන්ලාට තිබුණේ නැත. එහෙම වුණේ රනිල් සහ මෛත්‍රීපාලගේ බලපෑම් හේතුවෙන් දැයි කියන්නත් බැරිය. ඒ කොහොම වුණත් සර්ව පාක්ෂික සමුළුව අවසන් වුණේ පැහැදිලි තීරණ ගැනීමකින් තොරවය. එහිදී ඉදිරිපත් වුණු යෝජනා වෙනුවෙන් කමිටුවක් පත් කිරීමටත් අයවැය වෙනස් කර නව පරිපූරක ඇස්තමේන්තුවක් වශයෙන් කෙටිකාලීන අයවැයක් ගෙන ඒමටත් තීරණය වූ බවත් සර්ව පාක්ෂික කමිටුව ඉදිරියට ගෙන යන බවත් ප්‍රකාශ විය.

කමිටුවක් පත්කිරීම මේ රටේ දේශපාලනය තුළ ඕනෑම වැඩක් කල් දැමීමේ කෝකටත් තෛලය බව නොදන්නා කෙනකු නැත. කමිටුවක් පත් කිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුව කාලය ගත කිරීමට යොදාගන්නා උපක්‍රමයක් හැටියට භාවිත කිරීමට ඉඩ ඇති බවය. එය ශ්‍රීලනිප නායක මෛත්‍රීපාලටත් එජාප නායක රනිල්ටත් දේශපාලන වශයෙන් කිසියම් අවස්ථාවක් ලබාගැනීම සඳහා උපකාරී විය හැකි වුවත් රටේ තිබෙන බරපතළ ජීවන වියදම සහ පෝලිම් අසහනය මැද කොතරම් දුරකට යා හැකිද යන්න බලා සිටිය යුතුය

ඒ සමඟ තවත් තාක්ෂණික ගැටලුවක් මතු විය. නව පරිපූරක ඇස්තමේන්තුවක් සහිත නව අයවැය පිළිබඳ යෝජනාව පිළිගත්තත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කිව්වේ එයට ඇමැති මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බවය. එය එසේ නම් සර්ව පාක්ෂික සමුළුව යනු නිකම් කතා සාප්පුවක් පමණක් වන බවට එයින් ඉඟියක් ලබා දී තිබේ. සමුළුවෙන් ගන්නා තීරණ අමාත්‍ය මණ්ඩලයේ අනුමත විය යුතු නම් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමේ අරමුණ ගැන සැක පහළවීම සාධාරණය. රට මේ තරම් බරපතළ ආර්ථික අර්බුදයක් කරා ගියේ මේ අමාත්‍ය මණ්ඩලයේම අනුමැතිය යටතේ ගත් තීන්දු තීරණ අනුව නම්, තවමත් තිබෙන්නේ එම ඇමැති මණ්ඩලයම නම් සර්ව පාක්ෂික සමුළු යෝජනාද ඒ හරහා යා යුතු නම් මෙය කිහිප දෙනකුගේ දේශපාලන අනාගතය හදාගැනීමේ උවමනාවට පමණක් ලඝු වීම වැළැක්විය නොහැක.

ඉදිරි කාලයේදී රටේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකේ විරෝධතා සහ සර්ව පාක්ෂික සමුළුවේ අරමුණු අතර ගැටුම් ඇතිවීම බලාපොරොත්තු විය යුතුය. ජනාධිපතිවරයා සමුළුවට එන්නැයි කොතරම් ආරාධනා කළත් මෙතරම් විශාල ජන බලයක් පෙන්වා ජනාධිපති ලේකම් කාර්යාලය පවා වට කළ නුගේගොඩ හන්දිය එකම හිස් ගොඩක් බවට පත් කළ සජබ සහ ජවිපෙ සමුළුවට නොඑන බව පැහැදිලිය. සියලු පත්ෂ එකතු කර ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ජනාධිපති ගෝඨාභය මහතාගේ අපේක්ෂාව පල දැරීම ගැන විශ්වාසයක් තැබීම අමාරුය. සජබ සහ ජවිපෙ මෙහෙයවන ජනතා විරෝධය තව කොතරම් කාලයක් දරාගෙන සිටීමට ආණ්ඩුවට හැකිවනු ඇතිදැයි යන්න මත සියල්ල තීරණය වනු ඇත.

- ශශීන්ද්‍ර