2022 මාර්තු 20 වන ඉරිදා

විපක්ෂය කරන වැඩවලට ජනතාව හිනාවෙනවා: මටත් දුකයි

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 130

- කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක

I මේ නැව ගිලෙන්නෙ නැහැ. ගිලෙන්න මුහුදකුත් නැහැ
I අපිටත් තෙල් නැහැ අපිත් දුක් විඳිනවා
I සමෘද්ධි වැඩසටහන හැදුවෙ මමයි
I ජේ.වී.පී. කාරයෙකුට හරි යූ.එන්.පී. කාරයෙකුට හරි මයික් එක අල්ලනවා. ඊට පස්සෙ ගහනවා
I අපි යහපාලනේ ඉඳලා ආණ්ඩුවට ආවෙ පරක්කු වෙලා
I යහපාලනය හම්බන්තොට වරාය විකුණා සල්ලිත් කාබාසිනියා කළා
I එදා මොන සෙනඟක්ද? සෙනඟ ගෙනාවෙ මහින්ද මහත්තයලා ගෝල්ෆේස් එකටයි

I මෛත්‍රී ජනාධිපතිට බාධා කළේ අගමැති රනිල්
I ඇමැතිවුණ දවසේ හුස්මගන්න බැරිතරම් මල්මාලා දැම්මා

I කොවිඩ් දෙවැනි වටය හැදුවෙ විපක්ෂය

 

ආණ්ඩුවට ඉතාම අභියෝගාත්මක මොහොතක තමයි ඔබ අමාත්‍යවරයකු හැටියට දිවුරුම් දුන්නේ. මේ අලුත් ඇමතිකම දැනෙන්නේ කොහොමද?

විශේෂයක් නෑ. ඔය හැත්තෑවේ දශකයේ පටන්ගත්ත කර්මාන්තශාලා පෑගිලා, වල්වැදිලා, විනාශ වෙලා දැන් තියෙන්නේ. ඒ කර්මාන්තශාලා ශක්තිමත් ආයෝජකයෝ සමඟින් නැවත ගොඩනගන්න අපි කටයුතු කරමින් යනවා.

ඔබට කලින් හිටියේ ඔය අමාත්‍යංශයේ විමල් වීරවංශ. දැන් ඔබට පේන හැටියට ඔහු වැඩක් කරලද? නැද්ද?

එතුමාගේ කාලය තුළ මම ඔය කලින් කිව්ව කාරණයට අතගහලා සාර්ථකව ඉදිරියට ගිහින් තියෙනවා. හොඳම උදාහරණය තමයි පාඩුවෙලා විනාශවෙලා කඩාවැටිලා මැෂින් පවා ගලවගෙන ගිහින් තිබ්බ ඇඹිලිපිටිය කඩදාසි කම්හල මම ඇවිත් දවස් දෙකෙන් විවෘත කළා. එතුමා වැඩකරලා තිබ්බේ. ඉතින් ඒ ආයෝජකයත් බිලියන දෙක තුනක් වියදම් කරලා ඒ කර්මාන්තශාලව ගොඩනගන්න විශාල කැපවීමක් කරලා තිබ්බා.

ඔබට ඇති අත්දැකීම් අනුව හිතෙන්නේ නැද්ද මේ අමාත්‍යංශය ලැබුණේ ඔබට වඩා මේ වෙලාවේ ආණ්ඩුව රැකගන්න හොඳ චරිතයක් හැටියට ඔබව දකින නිසා කියලා?

නෑ... නෑ... එහෙම නෑ. අපි පොදුජන පක්ෂයට එකතු වුණේ ඉතාම පරක්කු වෙලානේ. මොකද මම යහපාලන ආණ්ඩුවේ ඇමැති කෙනෙක්. මෛත්‍රීපාල ජනාධිපතිතුමා මට එන්න කියලා මගේ අමාත්‍යංශය බාරදුන්නා. නමුත් 2010දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට එන්න කිව්වේ මගේ අමාත්‍යංශය දෙන්න. ඒත් දුන්නේ නෑ.

මොකක්ද මගේ අමාත්‍යංශය?

මම හදපු මගේ ව්‍යාපෘතියක් වෙච්ච සමෘද්ධි අමාත්‍යංශය. ඒත් ඒ ආමාත්‍යංශය මහින්ද මහත්තයා දුන්නේ නෑ. ඒත් මෛත්‍රී දුන්නා. එදා මෛත්‍රීට වැඩ කරන්න ඕන වුණත් ඒ සියල්ලට බාධා කළේ හිටපු අගමැති. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කළාට පස්සේ තමයි අපි ආවේ.

හිතෙන්නේ නැද්ද කට්ටිය කලබල වෙලා ආණ්ඩුවට එරෙහිව කැරලි ගහන මොහොතක තනතුරු ගත්ත එක ලෙඩක් දාගත්තා වගේ? කට්ටිය කියන්නේ ගිලෙන නැවක නැග්ගා කියලා?

නෑ.. නෑ.. ගිලෙන නැවකුත් නෑ. ගිලෙන පාටකුත් නෑ. එහෙම ගිලෙන්න මුහුදක් හෝ ‍රළක් තියෙනවා. පේන්නෙත් නෑ. මිනිස්සුන්ට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්බන්ධ‍යෙන් තිබ්බ විශ්වාසය නැති කරගන්න කිසිම හේතුවක් නෑ. මේ සියලු ප්‍රශ්න ගෝඨාභය රාජපක්ෂ ඇතිකරපුවා නෙමෙයි.

කවුද මේවා ඇති කළේ එහෙනම්?

රටේ ඩොලර් ප්‍රශ්නය, ආර්ථික ප්‍රශ්නය, තෙල් ප්‍රශ්න සියල්ලම යහපාලනය විසින් ඇති කරපුවා. දැන් තියෙන ප්‍රශ්නය ගත්තොත් මේක මේ ඩොලර් මිලියන 4000ක ප්‍රශ්නයක්. ඩොලර් මිලියන 1400ක් ගිනි පොලියට විවෘත වෙළඳපොළට නිකුත් කරලා බොන්ඩ් ගත්තේ කවුද? යහපාලන රජය. හරි හම්බන්තොට වරාය විකුණලා ඒකෙන් ගත්ත ඩොලර් මිලියන 1400 සංචිතයට එකතු නොකර කාබාසිනියා කළේ කවුද? සියල්ල යහපාලන ආණ්ඩුව කළේ. ඒවා තමයි මේ රජය විඳින්නේ. යුද්ධයෙන් පස්සේ මේ රට සංවර්ධනය වුණා. දකුණු ආසියාවේ දියුණුම රට බවට පත් වෙමින් හිටියෙ. හැම දර්ශයකින්ම උඩට ගියා මේ රට. ඒත් යහපාලන ආණ්ඩුවට බාරදුන්නම මොකද වුණේ? 4.6 යි, 3.6 යි, 3.3 යි, 2.4ට රටේ ආර්ථික වර්ධනය කඩා වැටුණා. ඒකට ගෝඨාභය රාජපක්ෂද වගකියන්න ඕන. ඊටපස්සේ කෝවිඩ් වසංගතය ආවා. ඒකට ජනාධිපති වගකියන්න ඕනද. පළවෙනි රුල්ලෙදී මේ රට ලස්සනට ජනාධිපති පාලනය කළේ. චීනය අපිට වඩා එක ලකුණයි අරන් තිබ්බෙ. ඒත් දෙවැනි වටේදී මොකද කළේ. විපක්ෂය දෙවැනි වටය හැදුවේ මිනිස්සු පාරට ගෙනැල්ලා.

මේ රට කඩාවැටීමේ මූලික අඩිතාලම දැම්මේ යහපාලන රජය කියලා ඔබ කියනවා?

නෑ නෑ මූලික නෙමෙයි සම්පූර්ණ අඩිතාලම දැම්මේ යහපාලන ආණ්ඩුව.

හරි සම්පූර්ණම කියමු. දැන් ඒ ආණ්ඩුවේ ඔබත් කැබිනට් ඇමැති ඔබත් මේ වෙච්ච අපරාධයට වග කියන්න එපැයි?

අපි වගකියන්න ඕන නේන්නම්. හැබැයි එක දෙයක් 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි මේ අවුල පටන් ගත්තේ. ඒකට අපි මෛත්‍රීපාල මහත්තයා වගකියන්න ඕනත් නෑ. ඒක කළේ අගමැති රනිල් වික්‍රමසිංහයි. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂයි. ඒ දෙන්නා තමා මූලික වුණේ. ඒකාධිපති ස්වරෑපය නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා කියලා. ඒත් යටි අරමුණ වුණේ මහින්දට තරඟ කරන්න නොදුන්න එක. ගෝඨාට, බැසිල්ට තරග කරන්න බැරිවෙන්න. නාමල්ට ළඟදී තරග කරන්න බැරි වෙන්න. ප්‍රධානම අරමුණ වුණේ ජනාධිපති විලියම් ගොපල්ලව කරලා අගමැති ජේ.ආර්. ජයවර්ධන කරන්න. ඒ හදපු ව්‍යවස්ථාවේ ප්‍රධාන වගන්ති 9ක් ශ්‍රේෂ්ඨාධිකරණය එළියට දැම්මා. එදා යන්තම් හරි ජනාධිපති කෙනෙක් බේරගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය. අන්තිමේ ඒකෙන් වුණේ අර පාස්කු ප්‍රහාරය වගේ දෙයක් වුණ එක. රට අවුල් වීම ඇතුළේ.

දැන් මේ ආණ්ඩුව ආවේ යහපාලනයෙන් වට්ටපු රට අපි ගොඩගන්නවා. අපිට පුළුවන්. මේවා ලේසි වැඩ කියලා. එහෙම ඇවිල්ලා ඉස්සෙල්ලා ආණ්ඩුවට බැනලා හරිද?

ජනාධිපති බලය ගත්ත ගමන් කොවිඩ් වසංගතය ආවා. ඔයාලා ඒක නවත්තලා දුන්නද? ඒක කාටත් නවත්තන්න බෑ මුළු ලෝකෙම වෙලා ගත්තා. මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටුණා. ඒත් අපේ රටේ ආර්ථිකය කඩා වැටුණේ 3.5 කින්. ඒකත් මේ රට වහන්න වුණ නිසා. අපි කී දවසක් වැහුවද. පාසල් විතරක් අපි දින 177 ක් වහලා. සංචාරක කර්මාන්තය පවා කඩා වැටුණා. මේවා ගෝඨාභයට නවත්තන්න පුළුවන්ද? සජිත් රනිල් හිටියත් බෑ.

ඔය මොනවා කිව්වත් ජනතාව තමයි දුක්විඳින්නේ. තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම්වල ඉන්නේ. කවද්ද මේවා ඉවර වෙන්නේ?

ඔය පත්තරකායෙක්, කැමරාවක් අල්ලලා ජේවිපී කාරයෙක්ට හරි යූඇන්පී කාරයෙක්ට හරි මයික් එක අල්ලනවා. ඊට පස්සෙ ගහනවා. එහෙම ප්‍රශ්න නෑ රටේ .අපි දන්නවා මේ රට බහුතරයක් ජනතාව තේරුම් අරන් ඉන්නේ මේ ප්‍රශ්නය. ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා. ජනතාවට අපි තේරුම් කරමින් ඉන්නවා. ඕනම කෙනෙක්ට පැය 10-15 තෙල් පෝලිම් වල ඉන්නකොට තරහා යනවා.

දැන් මේ පෝලිම්වල ඉන්න ජනතාවගේ දුකට කවුද වගකියන්නේ?

කවුරුත් වගකියන්න ඕන නෑ. මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. පුළුවන් විදිහට අපි ඒක විසඳමින් ඉන්නේ.

දැන් ඔබ හිතන්නේ ජේවීපීකාරයෝ, යූඇන්පීකාරයෝ විතරද ආණ්ඩුවට බනින්නේ කියලා?

නෑ.. නෑ... අපේ අයත් කෑ ගහනවා ඇති. හැබැයි ඇත්ත කාරණය ලෝකෙම ප්‍රශ්නයක්නේ. මුළු ලෝකෙම උස්සලා ගහපු අවස්ථාවක්.

දැන් ඔබ කිව්වා මේ අවුලට ඔබලා වගකියන්න ඕන නෑ ලෝක අර්බුදයක් කියලා. දැන් බාල ගෑස් ගෙන්නලා ගෙයක් ගානේ ගෑස් පිපිරුවේ ලෝක අර්බුදය නිසාද? කාටද දඬුවම් දුන්නේ ඒකට? ඒ නිසා නෙමෙයිද ගෑස් හිඟය පටන් ගත්තේ?

මේ මේ ඔය එක සිද්ධියක් අල්ලගෙන අහන්න එපා. මෙන්න මේ කූඹියට වගකියන්නේ කවුද වගේ ප්‍රශ්නයක් ඕක. ගෑස්වල ප්‍රශ්නය ඇති වුණේ ඩොලර් ප්‍රශ්නයත් එක්ක. ලෝක වෙළඳ පොළේ ගෑස් මිල ඉහළ යාමත් එක්ක. 130෴ක් මිල වැඩිවුණාම ලාෆ් ගෑස් වගේ සමාගම් ගෙන්නන එක නැවැත්තුවා. ලිට්‍රෝ එක බැලුවේ කබල් ගෑස් කෑන්වලට හරි ගෑස් පුරවලා මේ ප්‍රශ්නය විසඳගන්න. එතැනයි වැරදුණේ. එහෙම දේවල් වෙනවා.

මේ ප්‍රශ්න ඉවර කරන්න පුළුවන් කවද්ද?

අපේ රජයට මේ ප්‍රශ්න තව මාස තුන හතරක් වෙද්දී විසඳගන්න පුළුවන්.

ඔබට ගමට යන්න පුළුවන්ද මිනිස්සුන්ට පේන්න?

අපෝ පුළුවන්. අපේ ගමේ මිනිස්සු මේ ඇමැතිකම දුන්නම මල්මාලා දාලා පිළිගත්තේ මාව. කවුරුවත් බැන්නේ නෑ. මාව කරේ තියන් අරන් ගියේ. හුස්ම ගන්න බැරිතරම් මල්මාලා දැම්මා.

මොන ප්‍රශ්නය තිබ්බත් ගමේ මිනිස්සු ඔබත් එක්කද?

මගේ ගමේ මිනිස්සු විතරක් නෙමෙයි. රටේ මිනිස්සු දන්නවා ප්‍රශ්නය. මට නම් මිනිස්සුන්ගෙන් කිසි ප්‍රශ්නයක් නෑ.

ඇමැතිතුමාටනේ ප්‍රශ්න නැත්තේ ජනතාවට ප්‍රශ්න තියෙනවා ඕනෑවටත් වඩා? ජීවන බර වැඩියි කන්න බොන්න විදිහක් නෑ.

කාටත් ජීවන බර වැඩියි. මැතිනිගේ කාලේ ලෝකේ ආහාර අර්බුදය එනකොට හාල් පොලුදාලා, හාල් ගෙනිච්චොත් අල්ලන එක පවා කළා. ඒත් ඒ කාලේ තමයි මේ රටේ සියලු කර්මාන්ත ශාලා විවෘත කළේ. මැතිනියගේ කාලේ ඒවා පටන් ගත්තේ.

ඔබ පිළිගන්නවද රට බංකොලොත් කියලා?

නෑ රට බංකොලොත් වෙලා නෑ. මේ වගේම ප්‍රශ්නයක් 2009 දීත් ආවා. ඒත් මිනිස්සු කතා කළේ නෑ. ආණ්ඩුවේ ඉන්න අය විවේචනය කළේ නෑ. අදට විතරයි හෙටට විතරයි තෙල්, විදුලිය තියෙන්නේ කියලා කවුරුත් කිව්වේ නෑ.

අන්න ඒක තමයි ඇමැතිතුමා අපි අහන්නේ. ආණ්ඩුවේ හිටිය ඇමැතිවරු තුන්දෙනෙක් ආණ්ඩුවේ අර්බුදය ගැන කියනවා. බැසිල් රාජපක්ෂ මේකට හේතුව කියලා කියනවා. මොකක්ද ඇත්ත?

ආණ්ඩුවල ඔහොම ප්‍රශ්න තියෙනවා. ඕවා සාමාන්‍යයි. මැතිණියගේ කාලේ කොච්චර පාඩු වුනාද?

ඇමැතිතුමා මේ ජනතාව විඳින ප්‍රශ්නවලින් එක ප්‍රශ්නයක් හරි විඳලා තියෙනවද මේ වෙද්දී?

මේ ප්‍රශ්න හදිසියේ ආපු ප්‍රශ්න නෙමෙයි. මේවා ක්‍රමයෙන් වුණ දේවල්. මේවා මේ ලෝක අර්බුද.

මම කියන්නේ මේ ජනතාව විඳින දුක ඔබලා විඳින්නේ නෑ?

නෑ...නෑ...නෑ.. අපිටත් තෙල් නෑ. අපේ වාහනවලට තෙල් නෑ. අපිත් හරියට දුක් විඳිනවා.

එදා සජබේ උද්ඝෝෂණය දැක්කම බය හිතුනේ නැද්ද ජනතා විරෝධය ප්‍රබලයි කියලා?

නෑ ඔය කොළඹට බස්වලින් ආපු මිනිස්සුනේ. 18,000ක් වගේ සෙනඟ හිටියේ. අපි ගණන් හදලා බැලුවා. ඒත් ඒවා ලොකු ප්‍රශ්නයක් නෑ. ඓතිහාසික සෙනඟ ගෙනාවේ මහින්ද මහත්තයා ගෝල් ෆේස් එකට. ඊටපස්සේ ජේවීපී එක.

විපක්ෂය අභියෝගයක් නේද ආණ්ඩුවට?

අපෝ නෑ. විපක්ෂය ගැන අපිට දුකයි. මේක උගතුන්ගෙන් පිරි රටක්. මේ අයගේ හැසිරීම් දකිද්දී මිනිස්සු හිනාවෙනවා.

දැන් ඉතින් විපක්ෂයට වඩා තර්ජනය තියෙන්නේ පක්ෂ 11 නේද?

ඔය පක්ෂ 11ට තැනක් හම්බුණේ පොදුජන පෙරමුණ නිසා නේද? කැත විදිහට බනින බැසිල් රාජපක්ෂ නේද ඉඩ දුන්නේ. ඔය 11න් 07කට මන්ත්‍රීකම් දුන්නේ බැසිල් රාජපක්ෂ.

ඒ කියන්නේ බයක් නෑ?

බය වෙන්න නෙමෙයි වැඩක් නෑ.

අන්තිම වශයෙන් අහන්නේ. බැසිල් රාජපක්ෂද මේ ආණ්ඩුවේ අවුලට හේතුව?

මම හිතන්නේ නෑ. බැසිල් නෙමෙයි තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඊට පස්සේ බැසිල් රාජපක්ෂ.

ඔබලාගෙන් උපදෙස් ගන්නේ නෑ?

අනේ ගන්නවා. මම මන්ත්‍රී කාලෙත් සමහර ප්‍රශ්නවලට කතා කරලා ඒක හොඳද කියලා අහලා තියෙනවා.

 ගයාන් ගාල්ලගේ