2022 මාර්තු 13 වන ඉරිදා

ඡන්දයකට කලින් හරි ආණ්ඩුව ගන්න අපි කැමතියි

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 61

- පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජනබලවේගය) හේෂා විතානගේ

ඔබ පක්ෂයට කොච්චර ආදරේද?

මම මගේ ජීවිතේට වගේම පක්ෂයට ආදරෙයි. මම පූර්ණකාලීනව දේශපාලනය කරනවා. අපිට වෙන දේවල් නෑ. ඒ නිසා අපි කැමැත්තෙන් භක්තියෙන් දේශපාලනය කරන නිසා පක්ෂයට ගොඩක් ආදරෙයි.

තමන්ගේ පක්ෂ කාර්යාලයට බිත්තර ගැහුවා කිව්වම මොකද හිතුණේ?

ඇත්තට මට ලොකු දුකක් ආවා. ඔය ප්‍රහාරයට මූලිකත්වය ගත්ත මධුර විතානගේ කියන මන්ත්‍රීතුමා එක්ක මම සංවාදයක් කළා. එතනදී මම කියාදුන්නා සජිත් ප්‍රේමදාස කියන්නේ කවුද? ඔහු කරපු දේවල් මොනවද? ඔහු මේ පවතින තත්ත්වයට වගකියන්න ඕනැද? නැද්ද? කියලා. ඔහු ඒවා පිළිගත්තා වගේම සමාව ගත්තා ඔහුගෙන් සිදුවුණේ වරදක් කියලා. හැබැයි මම පිළිගන්නවා ආණ්ඩුවේ ගෝත්‍රික දේශපාලනයේ තවත් පුරුකක් තමයි මදුර විතානගේ කියන්නේ. අපි ඒකට පියවර ගන්න තීරණය කළා. හැබැයි ආණ්ඩුව ඒ වැඩෙන් හොඳටම අනා ගත්තා.

දැන් ඔබට වගේම පාක්ෂිකයන්ටත් දුකක් ඇති මේ බිත්තර ප්‍රහාරය ගැන. ඒත් හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා ඇයි ඒ ප්‍රහාරයෙන් පස්සේ තමන්ගේ මූලස්ථානය වෙත නායකයා ගිය නැත්තෙ ඇයි කියලා. ඇයි ඒ දේවල් මාධ්‍යයේ ගියේ නැත්තේ ඇයි කියලා?

නායකතුමා එදා හවස ආවා. ඇවිල්ලා අපේ මූලස්ථානයේ වැඩකරන අය එක්ක කතා කළා. මාධ්‍ය එක්කන් ඇවිත් සංදර්ශන නොදැම්මට අපි දන්නවා එතුමා පක්ෂයට කොච්චර ආදරෙයිද කියලා. මාධ්‍ය එක්ක වැඩේ කරන්න ඕන අපි. මෙතන පොලීසියට වගකීමක් තියෙනවා. අයුතු ජනරාශියක්. මේක විපක්ෂනායක පක්ෂ කාර්යාලය. මේ සියල්ල මැද එතෙන්ට ගහනකල් පොලීසිය බලන් හිටියේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපිට ගහලා තර්ජනය කරලා පක්ෂ නායක ඉස්සරහා උද්ඝෝෂණය කළාට බය නම් නෑ. එදා මාධ්‍ය ආයතනවලට ගහලා මාධ්‍යවේදියෝ මැරුවා වගේ අද විපක්ෂයේ හඬ නිහඬ කරන්න වැඩ කරනවා මේ ආණ්ඩුව.

අපි දන්නවා පක්ෂ මූලස්ථානයට ගැහුවා. හිරුණිකාගේ ගෙදරටත් ගැහුවා. ඒත් විපක්ෂය සද්දයක් නෑ. මොකද ආණ්ඩුවට බයද?

අපි පහුගිය කාලේ හිටියේ ජනතාවගේ ප්‍රශ්න, පීඩනවලට විසඳුම් හොයමින්. විපක්ෂ නායකතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සමහර දේවල් කරලා තියෙන්නේ. විවිධ සම්බන්ධතා හරහා. අපි සාම්ප්‍රදායික විපක්ෂයක් නෙමෙයි. එහෙම යනකොට අපේ ගමන නිවටකමක් හැටියට ආණ්ඩුව දකිනවා නම්, කොන්ද පණ නැති කමක් හැටියට ආණ්ඩුව දකිනවා නම් අපි කැමතියි ආණ්ඩුවට අපේ හයිය පෙන්නන්න. අපි ඒ වෙනුවෙන් දිනයක් දෙනවා ජනතාවට. ඒ මාර්තු 15. මාර්තු 15න් පස්සේ රාජපක්ෂලාගේ ගමන අවසන් වෙනවා. ඔවුන්ගේ දේශපාලනය මේ භූමියෙන් අපි අතුගාලා දානවා. බිත්තරයකින් පක්ෂයක හයිය බිඳින්න පුළුවන් නම් රාජපක්ෂලා තව ගොඩක් කල් ඉඳියි. ඒත් එහෙම වෙන්නේ නෑ. අද 69 ලක්ෂය පවා ඉන්නේ වේදනාවෙන්.

ඔබලගේ පක්ෂ කාර්යාලයට ගහලා. හිරුණිකාගේ ගෙදරට ගහලත් කතාබහක් නෑ. දැන් අපිට කියන්න මේ 15 එන්න කියන ජනතාවටත් අකරතැබ්බියක් වුණොත් ඒ අයට වගකියනවද ඔබලා?

අපිට එහෙම ආරක්ෂාව දෙන්න බැරිනම් මේක කරන්න බෑනේ. මේක මේ අපේ රටේ විපක්ෂ නායකතුමාගේ උද්ඝෝෂණයක්. ඒකට මොකක් හරි ආණ්ඩුවෙන් කරන්න යනවා නම් අපි සූදානම් ඒකටත් මුහුණදෙන්න. තමන්ගේ පක්ෂයේ මිනිස්සු බලාගන්න බැරි ආණ්ඩුවට මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. කරන්න පුළුවන් අර හිරුණිකාගේ ගෙදරට බිත්තර ගැහුවා වගෙ සිල්ලර වැඩ. මේ ආණ්ඩුවට අපි කියන්නේ එහෙම නැතුව ප්‍රශ්නවලට මුහුණ දෙන්න කියලා. එහෙම නැතුව එදා සරත් වීරසේකරලා දාපු ''පාට්'' දාලා නම් නවත්තන්න එන්න එපා.

මොකක්ද මේ 15දා තියෙන රැස්වීමේ අරමුණ?

අපි මේතාක් උද්ඝෝෂණ කරලා ආණ්ඩුවට බලපෑම් කළේ නෑ. අපි කළේ ආණ්ඩුවට සහය දක්වපු එක. ඒක අපේ නිවටකමක් හැටියට ආණ්ඩුව හිතුවේ. අපි 15දා කියන්නේ පුළුවන්නම් හොරකම් දූෂණ නවත්තලා හරියට රට කරන්න. නැත්තන් කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න කියලා. මතක තියාගන්න එදාට ජනගඟක් කොළඹට එනවා. මේක ඇත්තටම විපක්ෂයේ බලය පෙන්වීමට වඩා රාජපක්ෂ විරෝධය පෙන්නන්නයි අපිට ඕන.

ඇත්තටම මේ උත්සාහ කරන්නේ ඉක්මනින් ආණ්ඩුව අතට ගන්නද?

ඇත්තටම මේ ආණ්ඩුව අපිට ගෙදර යවන්න උවමනාවකුත් නෑ. එහෙම යවන්න මහලොකු වෙරක් දරන්න ඕනකමකුත් නෑ. ඒක ඡන්දය දුන්න මිනිස්සු කරනවා. අපිට හරි අපේ නායකතුමාට හරි ද්විත්ව පුරවැසිභාවයක් නෑ. අපි මේකේ ඉපදිලා මේකෙම මැරෙන මිනිස්සු. එහෙම අපි කැමති නෑ මේ රටට අයිතියක් නැති, මේ රට අත්අරින්න ඉන්න මිනිස්සු රටට කරන විපතට. විනාශ කරලා පලා යනකල් අපිට බලාගෙන ඉන්න බෑ.

ඔබලා සුදානම්ද ආණ්ඩුව බාරගන්න?

ඔව් අපි කැමතියි ඡන්දයකින් හරි ඊට කලින් හරි මේ ආණ්ඩුව ගන්න. අපේ නායකතුමාට ජාත්‍යන්තර වශයෙන් ඒ විශ්වාසය, පොරොන්දුව දීලා තියෙනවා. ඒ නිසා අපි සූදානම්. මොකද මේ ආණ්ඩුව ජනමතය හිරකරලා ආණ්ඩු කරන්න යන්නේ. එහෙම නම් අපි ලෑස්තියි පාර්ලිමේන්තුවේ බල තුලනයකින් හරි මේ ආණ්ඩුව ගෙදර යවන්න.

ඔය ජාත්‍යන්තර සහායන් ගැන කිව්වට කරන්න ගියාම සමහර අයට කිසිම කෙනෙක් නෑ. අපි කොහොමද විශ්වාස කරන්නේ?

උදාරණයක් කියන්නම්. මේ රටේ හිටිය විපක්ෂ නායකවරුන්ගෙන් පළවෙනි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තමයි විදෙස් ආධාරවලින් ජනතාවට සහන දුන්න නායකයා. යුරෝපා රටවල තානාපතිවරු සියල්ලම ඇවිල්ලා කතා කරපු එකම විපක්ෂනායක අපේ විපක්ෂනායක. අද මහින්ද රාජපක්ෂ මහත්තයලට ජාත්‍යන්තරයට ගිහින් සහනයක් ගන්න බැරිතැනට හිරවෙල ඉන්නේ. සජිත් ප්‍රේමදාස විතරයි ජාත්‍යන්තරය ඉදිරියට ගිහිල්ලා මේ තත්ත්වය විසඳගන්න පුළුවන් එකම නායකයා. අපිට තෙල් ලබාදෙන රටවල් තුනක් සහන මත තෙල් දෙන්න පොරොන්දු වුණා. කවුද මේ ආණ්ඩුවේ එහෙම අය ඉන්නේ. එහෙම සාකච්ඡාවක්වත් නෑ. ඒ නිසා ජනතාව දැන් තත්ත්වය දන්නවා.

දැන් ඔබලා පහුගිය කාලේ පොහොර දූෂණය, ගෑස් පිපිරීම්, සුදුලූනු වංචා මේ සියල්ල ඔබලා ගෙනාපුවා. ඒත් දැන් ඒවා ගැන සද්දයක් නෑ. දැන් ඒවට මොකද උනේ කියලා හොයලා බලන්නේ නැද්ද?

මම ඒකට එකඟ නෑ. මම ඒ චෝදනාව බැහැර කරනවා. මොකද මේ හැමදෙයක් සම්බන්ධයෙන් පැමිණිලි අපි නීතිය වෙත යොමුකරලා තියෙනවා. හැබැයි ආණ්ඩුව විසින් ඒවා මන්දගාමී කරලා. හොඳම උදාහරණය පාස්කු ප්‍රහාරය අල්ලන්න එනවා කිව්ව අය, මහ බැංකු හොරු අල්ලනවා කිව්ව අය දැන් සද්දයක් නෑ. දැන් ඒ කට්ටිය එක්ක. එහෙම අය තමන්ට විරුද්ධව තියෙන පැමිණිලි විභාග කරයි. ඒ නිසා ජනතාවට කියන්නේ අපේ ආණ්ඩුවේදී මේ දේවල් හොයනවා. ඒ සඳහා සරත් ෆොන්සේකා මහත්තයා අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කරලා තියෙන්නේ. රටේ ජනතාවට අපි වග කියනවා. අද පොලිස් ඇමති ඉන්නේ වෙන ලෝකෙක. කරන්නේ එක එක වැඩ. ඔහුගෙන් සාධාරණයක් වෙන්නේ නෑ. පොලිස්පතිට ඕන වුණත් පොලිස් ඇමති ඉඩ දෙන්නේ නෑ මේක හදන්න.

යහපාලනය ආවෙත් ඕකම කියලා. කෝ නීතිය ක්‍රියාත්මක වුණාද?

එදා ඩීල්කාරයෝ නිසා බැරිවුණා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයගේ තනි ආණ්ඩුවකදී මේ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙනවමයි.

දැන් ඔබලා විපක්ෂය නියෝජනය කරන්නේ. ඒත් මේ වෙද්දී ආණ්ඩුවේ කණ්ඩායමකුත් ඉන්නවා විපක්ෂය නියෝජනය කරන. ආණ්ඩුවට වැඩියෙන්ම දැන් ගහන්නේ ඒ අය. අන්තිමේ ආයේ ඒ අයටම බලය යයිද?

ඔබ හිතනවද විමල් ගම්මන්පිල කියන දෙන්නා මේ රටේ ජනතාව තවත් පිළිගන්නවා කියලා. අදත් මේ අය කරන්නේ ඩීල් එකක්. මහින්ද මහත්තයා හොඳයි කියනවා. බැසිල්, ජනාධිපති නරකයි කියනවා. නාමල් අනාගතේ බලයට ගේන්න වන්දනාවේ යනවා. මේ අයගේ බොරු නිසා තමයි ජනතාව රුවටුනේ. දැන් ඒ අයට රෙද්දක් ඇඳන් කතා කරන්න බෑ. අද මිනිස්සු විඳින සියලුම දුකට වගකින්න ඕන මේ දෙන්නා. අතුරලියේ රතන හාමුදුරුවෝ පවා සිවුරට මුවාවෙලා කරන්නේ හොඳ දෙයක්ද? මොකද මේ අයට ආයේ පාර්ලිමේන්තු එන්න ඕන නිසා.

ඔබ ඔහොම කිව්වට ඔබේ පක්ෂයේ සමහර අය ආරාධානා කළානේ?

අපි කවදාවත් විමල්ට කතා කළේ නෑ. අපි පොදුවේ ආරාධනා කළා සියල්ලට. එහෙම නැතුව මෛත්‍රීපාලට, විමල්ට, ගම්මන්පිලට අපි ආරාධනා කළේ නෑ. ඒ පක්ෂයේ ඉන්නවා හොඳ අය. ඕන නම් ගම් කියන්නම්. ඩලස් අලහප්පෙරුම කියන්නේ ඒ වගේ හොඳ කෙනෙක්.

විපක්ෂ නායකතුමා කිව්වා තමන් කවදාවත් ජාත්‍යන්තරයට ගතු කියන්නේ නෑ කියලා. ඇත්තට එහෙම කියලා ඒත් රන්ජන්ගේ පැමිණිල්ල අරන් ජිනීවා ගියා කට්ටිය. දැන් ඒක පාවාදීමක් වෙන්නේ නැද්ද?

ඔබ දන්නවා මේ ප්‍රශ්න මැද්දේද ආණ්ඩුවේ දූෂණ වංචා සිද්ධ වෙනවා කියලා. එහෙම වෙලා තියෙද්දීත් ඒවා ගැන කතා කරන මිනිස්සු හිර කරනවා. බය කරනවා. එහෙම නම් අපිට මේවා පැමිණිලි කරන්න තැනක් නෑ. ඒ නිසා තමයි අපි පැමිණිල්ල අරන් ජිනීවා ගියේ. මොකද මේවා අපේ පෞද්ගලික ප්‍රශ්න නෙමෙයි. මේ ඒකාධිපති පාලනයට විරුද්ධව අපි විතරක් නෙමෙයි කතෝලික ජනතාවට පවා සාධාරණය හොයන් කාදිනල්තුමා පවා ජිනීවා ගියා. අපි මෙච්චර කල් මහත්මා දේශපාලනය කළා. හැබැයි අපි 15දායින් පස්සේ රාජපක්ෂලට පෙන්නනවා සජිත් ප්‍රේමදාස කියන්නේ නිවටයෙක් නෙමෙයි කියලා.

දැන් අපි දැක්කා ඔබේ හිටපු නායක රනිල් මහත්තයත් රට හදන හැටි කිව්වා පහුගිය ටිකේ. ඒවා ඇත්ත. එතුමාගේ පැත්තට පාක්ෂිකයෝ ඇදෙයිද?

මට එක දෙයයි කියන්න තියෙන්නේ. පරණ වයින් අලුත් බෝතල්වල දැම්මට පරණ වයින්ම තමා. මිනිස්සු දන්නවා මොන රහද කියලා. මට කියන්න තියෙන්නේ එතුමාගේ මේ අවසන් දේශපාලන ගමන යන්නේ. ඒ ගමන ගැන ඉතින් කවුරුත් දන්නවා.

අවසාන වශයෙන් අහන්නේ ආණ්ඩුව දුන්නොත් මේ අවුලෙන් ගොඩගන්න පුළුවන්ද?

ඉස්සෙල්ලම ජාත්‍යන්තරයත් එක්ක සාකච්ඡා කරලා විසඳගන්න ඕන. ඒක අපේ නායකයට පුළුවන්. ඊට පස්සේ හොරකම දූෂණය නැති ආණ්ඩුවක් බිහිකරන්න ඕන. ඒක අපිට පුළුවන්. ඒකට වගකියනවා. අපි මේ රටේ ජනතාව බේරගන්න එක බේරගන්නවාමයි.

 ගයාන් ගාල්ලගේ