2022 මාර්තු 13 වන ඉරිදා

ජනපති-උදය සුහද කතාබහක

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 47

 

  • ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට නොපැමිණි මන්ත්‍රීවරු
  • සජබ කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්
  • කෝ මේ බැසිල්: කිරිඇල්ල අසයි
  • විමල් පි‌ළේ තීන්දුව අඟහරුවාදා
  • හොරු එක්ක අපි නම් එකතු වෙන්නෙ නෑ: ජවිපෙ කියයි
  • ඉවත් කළ ඇමතීන් ගැන  මෛත්‍රීපාලගේ මතය
  • හිරුණිකාගේ අමුතු විරොධය
  • රනිල්ගේ කතාවට දෙස්-විදෙස් අවධානය

පක්ෂ ගැටුම්, විවේචන, දෝෂාරෝපණ නොනිමි සතියක් ගෙවී ගියේය. ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් තිබුණි. දේශපාලන යාන්ත්‍රණයේ ප්‍රමුඛ අවධානය ඒ වෙත යොමුවිය. ඉකුත් සතියේ සිදුවූ දේශපාලන පුපුරා යාමේ හානි අවම කරගැනීමට නායකත්වය උත්සාහ දරන්නට විය. ආණ්ඩුවෙන් එළියට වැටුණු පිරිස නව සටන් පෙරමුණක් නිර්මාණ කර ගැනීමේ නිරත වෙමින් සිටියහ. මේ සියල්ල අතරේ ඉන්ධන ගෑස් විදුලිය ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධව ජනතාව සෝ සුසුම් හෙළන්නට වූහ.

උදය ගම්මන්පිල සහ  විමල් වීරවංශ ආණ්ඩුවේ අමාත්‍යධුර වලින් ඉවත් කිරීමත් සමඟ එකිනෙක හා සම්බන්ධ වූ දේශපාලන ජවනිකා රැසක් වේදිකා ගත විය. විමල් සහ උදය ඉවත් කිරීමෙන් අනතුරුව පක්ෂ එකොළහේ නායකයන් කොළඹ හතේ ටිරාන් අලස් මහතාට අයත් කාර්යාලයේදී එක්වූහ. ඔවුන් සාකච්ඡා කළේ මේ මොහොතේ සිදුකළ යුත්තේ කුමක්ද යන්නයි. මේ අතර ආණ්ඩුවේ විවිධ ස්ථානවලින් විමල්ට සහ උදයට පැමිණ හමුවන ලෙසට ආරාධනා ලැබුණි. මෙලෙස ආරාධනා කරන පිරිස් අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන විය. එහෙත් විමල්-උදය ඇතුළු පිරිස කිසිවකු හමු නොවීමට තීරණය කොට තිබුණි.

මේ සියල්ල අතරේ සෙනසුරාදා දිනයේ අනුරාධපුරයෙහි පැවති පින්කමකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උදය ගම්මන්පිල මහතා මුහුණට මුහුණ හමුවිය. මෙම හමුවේදී ජනපති සහ උදය ඉතාම සුහදශීලීව කතාබහ කළ බව රැස්ව සිටි පිරිසට දැකගත හැකි විය. ඔවුන් දෙදෙනා නිශ්චිතවම කතාබහ කළේ කුමක්ද යන්න පිළිබඳව වාර්තා නොවුණේය. එහෙත් ජනපති සහ උදය ඉතා සුහදශීලී ලීලාවෙන් අතින් අල්ලාගෙන කරට අත දමාගෙන කතා කළ බවක් දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණි. මෙම අවස්ථාවට ජනාධිපති ආර්යාව අයෝමා රාජපක්ෂ මහත්මියද සම්බන්ධ වී සිට ඇති අතර ගම්මන්පිල සමඟ පැවැති සුහදශීලී සාකච්ඡාවට ඇයද සම්බන්ධ වී ඇතැයි කියැවේ. අභ්‍යන්තර දේශපාලන ගැටලු කෙසේ වෙතත් ඔවුනොවුන් අතර පෞද්ගලික සුහදතාව තවදුරටත් පවතින බවට මේ අනුව පැහැදිලි විය.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උදය, විමල්, වාසු සාකච්ඡාවක් සඳහා කැඳවා ගැනීමට වුවමනා වී තිබුණි. සිය දේශපාලනයේ සමකාලීන මිත්‍රයා වූ වාසුදේව නානායක්කාරහට නිරන්තර දුරකථන ඇමතුම් ලබා ගනිමින් ඔහුව සම්බන්ධ කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා උත්සුක විය. ඇතැම් අවස්ථාවලදී වාසුදේව නානායක්කාර මහතා අග්‍රාමාත්‍යවරයා හා දුරකථනයෙන් සම්බන්ධ වූ නමුත් අග්‍රාමාත්‍යවරයාව මුණගැසීම සම්බන්ධව කරුණට එතරම් උනන්දු නොවුණේය.

මීට සති කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කර තිබූ යෝජනා 15 සම්බන්ධ සාකච්ඡාවට අවස්ථාව පසුගිය අඟහරුවාදා ලැබුණි. උද්ගතව පැවති ව්‍යාකූල දේශපාලන තත්ත්වය තුළ මෙම සාකච්ඡාව සියලු පාර්ශ්ව තුළ වූයේ කුකුසකි. ශ්‍රීලනිප විසින් ලබාදුන් යෝජනා පිළිබඳව සහ රට තුළ වර්තමානයේ උද්ගතව පවතින ආර්ථික අර්බුදය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. උදය සහ විමල් ඉවත් කිරීම පිළිබඳ සිය නොසතුට ප්‍රකාශ කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පවසා තිබුණි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඉවත් කිරීමට හේතු වූ කරුණු පිළිබඳ ශ්‍රීලනිප නායකත්වයට කරුණු පැහැදිලි කළේය. ඒ අනුව ආණ්ඩුව ආරක්ෂා කර කරගැනීමේ අවශ්‍යතාවය මෙන්ම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයද ජනපති පැහැදිලි කරන්නට විය. ඊට අමතරව  වර්තමාන ආර්ථික කරුණුද ඇතුළත්ව ජනපති මිනිත්තු 45ක පමණ පැහැදිලි කිරීමක් සිදුකොට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. සර්ව පාක්ෂික සමුළුව පිළිබඳ යෝජනාවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

දේශපාලන ආරංචි මාර්ග අනුව සර්වපාක්ෂික සමුළුව සම්බන්ධව ජනපති දැරුවේ මෙවන් වූ ස්ථාවරයකි. ''සර්ව පාක්ෂික සමුළුවකින් මේකට විසඳුම් හොයාගන්න පුළුවන් නම් හොඳයි. දැන් තියෙන ආර්ථික අර්බුදය මගේ ආණ්ඩුවේ ප්‍රශ්නයක්වත් ඔබතුමාගේ ආණ්ඩුවේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. හැමදාම ලංකාවේ ණය ප්‍රශ්නය තිබුණා. ඒ නිසා හැම ආණ්ඩුවකට මේ ගැන වගකීමක් තියෙනවා. ඒ නිසා සර්වපාක්ෂික සමුළුවක් හරහා විසඳුම් හොයන්න පුළුවන් නම් හොඳයි.''

මේ අනුව සර්වපාක්ෂික සමුළුව සංවිධානය කිරීමේ වගකීම ජනපති භාරගත්තේය. එයට දිනද නියම විය. මාර්තු විසි තුන්වැනිදා ජනාධිපති මන්දිරයේදී සර්වපාක්ෂික සමුළුව සංවිධානය කිරීමට යෝජනා විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂ 35ක නායකයන්හට මෙම සමුළුවට ආරාධනා කිරීමට තීරණය විය. උදය ගම්මන්පිලට සහ විමල් වීරවංශට පවා ආරාධනා කිරීමට මෙහිදී යෝජනා වී තිබුණි.

මෙම හමුවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිස කොළඹ හතේ ටිරාන් අලස් මහතාට අයත් කාර්යාලයට පැමිණියෝය. ඔවුන් මෙහිදී පක්ෂ එකොළහේ කණ්ඩායම මුණගැසුණි. ජනපති හමුවූ අවස්ථාවේ සිදුවූ දෑ සියල්ල ශ්‍රීලනිප නියෝජිතයෝ ඔවුන් සමඟ පැවසූහ. කෙසේ වෙතත් සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවනවාද නොවනවාද යන්න පිළිබඳ තීරණය එළඹෙන අඟහරුවාදා පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව ලබාදීමට විමල් සහ උදය තීරණය කළෝය.

ආණ්ඩුවේ වර්තමාන අර්බුදය ඔඩු දුවන අතරේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මාර්තු 4 වැනි සිකුරාදා සිටියේ කොළඹින් පිටය. ඒ අනුව හදිස්සියේම කොළඹට පැමිණි ඔහු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විපක්ෂනායක කාර්යාලයට කැඳවූයේය. ආණ්ඩුවේ වර්තමාන අර්බුදය හමුවේ සමගි ජන බලවේගයේ දේශපාලන භූමිකාව පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සාකච්ඡා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සාකච්ඡාව සම්බන්ධව ආරංචි ඉකුත් සතිය පුරා දේශපාලන කරළියේ පැතිර ගියේය.

ඉන් එක් ආරංචියක් අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විවේචනය කරමින් අනවශ්‍ය ප්‍රහාර එල්ල නොකරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දන්වා ඇතැයි කියැවේ. මෙම ප්‍රකාශයත් සමඟ ජාතිවාදය වැපිරෑ විමල් – උදය වැනි අය සමඟ එකට වැඩ කිරීම තමන් අකැමැති බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් පවසා ඇතැයි කියැවේ. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැහැදිලි කර ඇත්තේ උදය විමල් දේශපාලන පසමිතුරන් ලෙස නොසලකා කටයුතු කිරීම සුදුසුමුත් ඔවුන් සමඟ එක්වී වැඩකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ අතර සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් එම කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමක්ද ඉකුත් සතියේ වාර්තා විය. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතාව පවත්වා තිබිණි. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ජනතාව වෙනුවෙන් කළේ මොනවාදැයි විමසමින් සිදුවූ විරෝධතා අතර බිත්තර ප්‍රහාර එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව සජබ මහලේකම්වරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි.

ජීවන වියදම ඉහළ යාම ඇතුළු කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් ජනාධිපතිවරයාගේ නිවස අසලට ගොස් සිදුකළ විරෝධතාවට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක පළකරන බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා තිබුණි.

මෙවන් ගැටලු අර්බුද මැද මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් අඟහරුවාදා දිනයේදී පැවැත්වුණි. මෙහිදී ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍යවරයා මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම විමල්-උදය ඉවත් කිරීම සම්බන්ධවද සාකච්ඡාව වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් එහිදී පවසා ඇතැයි ආණ්ඩුවේ පසුපෙළින් දැනගන්නට ලැබේ. එසේ නමුත් වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු වාසුදේව ඇමැතිවරයාද ඉබේම ඉවත් වනු ඇතැයි යන අදහසින් බව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇතැයි කියැවේ. ආරංචි මාර්ග අනුව ඔහු දක්වා ඇත්තේ මෙවන් අදහසකි.

''දේශපාලනය සහ ආණ්ඩු කිරීමේදී යම් යම් තීන්දු ගැනීමට සිදුවෙනවා. එම ඇමැතිවරුන් සමග සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඉවත් කළේ නැත්තේ ඇයිදැයි අහනවා. අපි හිතුවේ තුන්වැනියා ඉබේම ඉවත් වෙයි කියලා. ඔවුන් ඉවත් වූවා කියලා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නැහැ.''

හවුල් ආණ්ඩු, ජාතික ආණ්ඩු සම්බන්ධවද ආණ්ඩුවේ අර්බුදය සමඟ විවිධ තැන්වල කතාබහට ලක්විය. ඒ අනුව ජාතික ජනබලවේගය පාර්ශ්වයෙන්ද විශේෂ අදහස් දැක්වීමක් සිදුවිය. කිසිදු පක්ෂයක් සමඟ හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බව ඔවුන් පවසා තිබුණි. පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේය.

''හොරකම් දූෂණ වංචාවලට සම්බන්ධවෙලා නැති අය එක්ක නම් අපි එකතු වෙන්න ලෑස්තියි. මේ තියෙන පක්ෂත් එක්ක නම් අපි එකතු වෙන්නේ නෑ. අද උදෙත් එනකොට කෙනෙක් මගෙන් කෝල් කරලා අහනවා ''ඇත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක, මෛත්‍රී එක්ක ආණ්ඩුවක් හදන්න සාකච්ඡාවක් යනවා කියලා කියන්නේ? කියලා.'' මම කිව්වා අපි නම් එහෙම එකක් දන්නෙත් නෑ, එහෙම තීරණයකුත් නෑ කියලා. වීරවංශලා ගම්මන්පිලලාත් එක්ක මොකක් හරි කරන්න යනවද කියලත් අහනවා. මෛත්‍රී එක්ක පුළුවන්ද? බැරිද? කියලත් අහනවා. මේ ලෝකෙ මොකා එක්ක පුළුවන් වුණත් මෛත්‍රී එක්ක නම් බෑ.''

මේ අතර ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළු භූමියට කඩා වැදී බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බව කියන සැකකරුවන් දෙදෙනකු මේ මස 21 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට පසුගිය සතියේදී අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළේය. ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පසුගිය ජනවාරි 30 වැනිදා සිදුවූ බිත්තර ගැසීම සම්බන්ධ මෙම සිදුවීම එම කාල සීමා තුළ දේශපාලන කරළියේ කතාබහට ලක් විය.

අභ්‍යන්තර දේශපාලන අර්බුද රැසක් මැද ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවද ඉකුත් සතියේ පැවැත්වුණි. උදය විමල් වාසු මෙම රැස්වීමට සහභාගී නොවූහ. එහෙත් පක්ෂ එකොළහේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකුම මෙම රැස්වීමට සහභාගී වී තිබුණි. ඒ අනුව වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය නියෝජනය කරන ගයාෂාන් නවනන්ද, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න යන අයගේ සහභාගීත්වය කැපී පෙනුණි.

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ අතුරලියේ රතන හිමියන් ඇතුළු පක්ෂ 11 කණ්ඩායමේ මන්ත්‍රීවරු බොහෝ දෙනකු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මන්ත්‍රී කණ්ඩායම් හමුව මගහැර ඇති බව වර්තා විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක්ද එම රැස්වීමට සහභාගී වූ බවට වාර්තා පළවිය. එහෙත් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් පැමිණ සිටියේ කිහිප දෙනෙකි.

මෙම හමුව මගහැරීම පිළිබඳ මාධ්‍ය විමසීමකදී වාසුදේව නානායක්කාර මහතා පවසා තිබුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වෙනුවට සිය කණ්ඩායම වෙනම රුස්වී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණ ගන්නා බවකි. මේ අතර අමාත්‍ය ධූරයේ කටයුතුවලින් ඉවත් වූ වාසුදේව නානායක්කාර මහතා කැබිනට්ටුව මෙන්ම අමාත්‍යංශයට පැමිණීමද වර්ජනය කරන්නට විය.

එහෙත් ජනතාවට දැඩි ලෙස බලපෑම් සහගත අමාත්‍යවරයා විසින් අත්සන් තැබිය යුතු කැබිනට් පත්‍රිකා ඔහු අත්සන් තබන බව කියැවුණි. එම කැබිනට් පත්‍රිකා වාසුදේව නානායක්කාර මහතාගේ නිවෙසට පැමිණ අත්සන් ගත යුතුව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් වාසුදේව නානායක්කාර මහතා පවසා තිබුණේ අභ්‍යන්තර දේශපාලන අර්බුදවලින් ජනතාව පීඩාවට පත්වීම වළකා ගැනීමේ අරමුණින් කටයුතු කරන බවකි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යූක්‍රේන ගැටුම පිළිබඳ දේශපාලන විචාර ඉදිරිපත් කිරීමත් සමඟ දේශපාලන කරළියේ විශේෂ අවධානයක් දිනාගැනීමට සමත්විය. පුටින් විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම සිදු නොවිය යුතු දෙයක් බවත් නමුත් උපක්‍රමයක් ලෙස පුටින් කළ දේ නිවැරදි බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයක් ඉන්දුනීසියානු මාධ්‍යයේ විශේෂ අවධානය යොමුවීමද ඉකුත් සතියේ සුවිශේෂී සිදුවීමක් විය.
රුසියාව සහ යුක්‍රේනය අතර පවතින භූ දේශපාලන ගැටුමට ප්‍රතිචාරයක් වශයෙන්, ආසියානු සමුළුවකට ඉන්දුනීසියාව නායකත්වය ගත යුතු බව රනිල් වික්‍රමසිංහ නිර්දේශ කිරීම  නිසා ඔහු වෙත ඉන්දුනීසියානු මාධ්‍ය අවධානය ලැබීමට යොමුවිය. බන්දුං ආසියා-අප්‍රිකා සමුළුවේ ආරම්භකයා ලෙස ඉන්දුනීසියාවට  ඇති ඓතිහාසික පසුබිමත් දැනට G20 කණ්ඩායමේ සභාපතිත්වය දැරීමත් හේතුකොට වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාව සම්බන්ධව මෙම නිර්දේශය ඉදිරිපත් කොට තිබේ. කෙසේ වෙතත් ඉන්දුනීසියානු පුවත් සහ වෙබ් මාධ්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට ඉහළ වටිනාකමක් ලබා දී ඇත.

මේ අතර රට යළි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබුණි. සියලුම දේශපාලන පක්ෂ එක්වී ඉදිරි වසර 20ක් 25ක් වෙනුවෙන් වූ පොදු ජාතික වැඩපිළිවෙළක් සම්මත කර ගනිමින්, ඉන් අනතුරුව මහ මැතිවරණයකට යායුතු බව සඳහන් කර සිටියේය. ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් එජාප තරුණ ක්‍රියාකාරීන් පිරිසක් විමසූ අවස්ථාවේදී මෙම අදහස් දැක්වීම සිදුකර ඇතැයි කියැවේ.

ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ජයන්ත සමරවීර මහතා හෙබවූ අමාත්‍ය ධූරය මෙලෙස රත්වත්තේ මහතා හිමිවිය. සමරවීර මහතා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ලොහාන් රත්වත්තේ මහතා හට මෙම අමාත්‍යංශය භාරදීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කොට තිබුණි. ඔහු පෙර බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යාංශය හෙබවූ අතර බන්ධනාගාරයක සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඔහුට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

පසුගිය සතියේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡාවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දින වෙන්කළ බවටද තොරතුරු වාර්තා විය. ඒ අනුව අදාළ සාකච්ඡාව මාර්තු තෙවැනි සතියේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මීට පෙරදී දෙමළ ජාතික සංවිධානය විසින් විරෝධතාවයක් සිදුකොට තිබුණි. එසේම අවස්ථා කිහිපයකදී දෙමළ සන්ධානය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් විවිධ හේතු නිසා එම සාකච්ඡාව නොපැවැත්විණි. දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි උතුරු නැගෙනහිර පවතින දේශපාලන ගැටලු පිළිබඳව සේම රට මුහුණ දී සිටින අර්බුද සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇත.

පසුගිය සතියේ දේශපාලන කරළියේ පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත සම්බන්ධ යම් කතිකාවක් නිර්මාණය විය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත සමාජය තුළ සිදුකරන පුළුල් සංවාදයකින් හා යෝජනා සලකා බැලීමකින් තොරව සම්මත කරගැනීමෙන් වළකින ලෙස හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඉල්ලා සිටියේය. ඔහු මෙම ඉල්ලීම සිදුකර යැවූ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

එහෙත් මාර්තු 9 වැනිදා එම පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, ක්‍රීඩා තරුණ කටයුතු හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම පනත් කෙටුම්පත සඳහා විපක්ෂයේ විරෝධය සටහන් කර ගන්නා ලෙසය. නාමල් රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ පනත නොකියවා එය ප්‍රථමයෙන් ඉදිරිපත් වූ වසර පිළිබඳවද නොදැන විපක්ෂය මීට විරෝධය පළ කරන බවකි.

මේ අතර ලංකා IOC සමාගම මාර්තු 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා දැමීමට කටයුතු කර තිබුණි. ඒ අනුව සියලු වර්ගවල ඩීසල් ලීටරයක් සියයට 54කින් එනම් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් සියයට 12කින් එනම් රුපියල් 50කින් ඉහළ දමා ඇත. මේ සමඟ සති අන්තය වනවිට සියලුදෙනාගේ අවධානය ඉන්ධන මිල වැඩිවීම පිළිබඳ යොමුවිය. ඒ අනුව ක්‍රමයෙන් දේශපාලන කරුණු යට යමින් ආර්ථික කරුණු ජනතාවට තදින් දැනෙමින් ඇති බව පෙනී ගියේය.


 චමිදු නිසල්