2022 මාර්තු 06 වන ඉරිදා

ඩොලර් සහ විදුලිය

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 78

රටේ පවතින ඉන්ධන හිඟය තවත් බරපතළ වෙමින් ඉදිරියට ඇදෙමින් තිබේ. එහි එක් ඍජු ප්‍රතිඵලයක් වශයෙන් පැය 7 ½ක විදුලි කප්පාදුවකට රටම ගොදුරු වී තිබිණි. 05 වැනිදායින් පසුව (සෙනසුරාදා) මේ තත්ත්වය වෙනස් වනු ඇති බවට රජයෙන් ප්‍රකාශයට පත් වී ඇතත් එය එසේම ක්‍රියාත්මක වනු ඇති බවට සහතිකයක් නැත.

ඉන්ධන හිඟය මුළු රටම අකර්මණ්‍ය කරමින් තිබේ. රට දැන් ඇත්තේ කොයි වෙලේ නවතීදැයි නොදන්නා තරම් අමාරුවෙන් ඉදිරියට ඇදෙන වාහනයක තත්ත්වයෙනි. ඩීසල් වාහන වැඩි සංඛ්‍යාවක් තිබෙන්නේ ඉන්ධන පෝලිම්වලය. ඇතැම් බර වාහන රියදුරන් රාත්‍රී කාලයේ නින්දට යන්නේත් එම වාහන තුළමය. මෙය අසන දකින අයගේත් සිත් කම්පා කරවන දර්ශනයකි.

තෙල් ඕන තරම් තියෙනවා, ඩොලර් ප්‍රශ්නයක් නෑ වැනි ලොරි ටෝක් දැන් ඇසෙන්නේ නැත. ඩීසල් සහ පෙට්රල් ඇති නැව් කොළඹට වරායට එන සංඛ්‍යාව දැන් රටේ ජනතාවට කටපාඩම්ය. එහෙත් බොහොමයක් නගරවල වාහන පමණක් නොව බූලිද පෝලිමේය. ඒ අතරේ පොලීසිය සමඟද ගැටුම් හටගන්නා තත්ත්වයක්ද තිබිණි. තෙල් නැතිකමින් පැය ගණන් පෝලිමේ සිටින ජනතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලීසිය වඩාත් උපක්‍රමශීලීව හැසිරිය යුතු බවද මෙහිදී සඳහන් කළ යුතුය. කුපිත වී සිටින ජනතාව තවදුරටත් කෝප ගැන්වීමෙන් වැළකී සිටීම අවශ්‍ය බව පෙන්වා දිය යුතුය.

ඉන්ධන හිඟය නිසා බරපතළ කඩා වැටීමකට ලක්ව සිටින්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයයි. විශේෂයෙන් පෞද්ගලික බස් සේවා බරපතළ අවදානමකට මුහුණ දී සිටී. එම සංගම් සභාපතිවරුන් ප්‍රකාශ කරන්නේ මේ වනවිට බස් සේවාවලින් 70෴ක් පමණ අක්‍රීයව පවතින බවය. තව දින කිහිපයක් මේ තත්ත්වය පැවතුණහොත් බස් සේවා සම්පූර්ණයෙන් නතරවීමට ඉඩ තිබෙන බවටද ඔවුහු අනතුරු අඟවති. මේ පිළිබඳව රජයේ බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතුය. ප්‍රවාහනය නැවතීම යනු මුළු රටම නැවතීමය. එයට විදුලිය කැපිල්ලද එකතුවීම රටේ ජනතාවගේ ඉවසීමේ සීමාව මැන බලන හොඳ මිනුම් දණ්ඩකි. එහෙත් මේ අවස්ථාවේදී එය මැන බලනවාට වඩා වැදගත් වන්නේ ගැටලුවට විසඳුමක් සොයා ගැනීමය.

මේ ගැටලුව කොතරම් බරපතළ මට්ටමකට වැටී තිබෙනවාදැයි කිවහොත් කොවිඩ් වසංගතයේ බලපෑම්ද අද වනවිට ජන මනසින් ඈත්වෙමින් තිබේ. එය තවත් භයානක ප්‍රවණතාවකට අත වැනීමකි. අලි මදිවට හරක් යැයි කිව්වාක් මෙන් ඔමික්‍රොන් තත්ත්වයට අමතරව තවත් වෛරස් උණක්ද ඩෙංගු රෝගයද ප්‍රබල ලෙසට පැතිර යමින් තිබෙන බවටද වාර්තා වී තිබේ. මේ සියල්ල ඩීසල් හිඟයෙන් ඇතිවන ප්‍රශ්නවලටද ඈඳීම වැළැක්විය නොහැක.

එසේම කුඩා ව්‍යාපාර, ස්වයංරුකියා, කුලී වැඩ මේ සියල්ලටම ඩීසල් හිඟයත් විදුලි කප්පාදුවත් විශාල බලපෑමක් ඇතිකර තිබේ. බේකරි ව්‍යාපාරයටද මේ නිසා කනකොකා හඬා තිබේ. චූන් පාන් වාහනවලට පෙට්රල් තිබුණත් විකුණන්නට බඩු හිඟ වී තිබේ. මේ වැනි ජනතාව පෙළන ගැටලු තිබියදීත් පාරේ වාහන අඩුද?, කන්න නැතිව මිනිස්සු මැරෙනවද? වැනි ප්‍රශ්න අසන ඇමැතිවරුන් සිටීම ගැටලුව තවදුරටත් සංකීර්ණ කරන බවද සඳහන් කළ යුතුය. පෝලිම්වල රස්තියාදු වන ජනතාවට එවැනි කතා ඇඟේ ලේ තවදුරටත් රත් කිරීමක් පමණි.

විදුලිය කප්පාදුව මේ සති අන්තයෙන් පසුව නැතිවන බවට ආණ්ඩුවෙන් ප්‍රකාශ වී තිබේ. මීට දින කිහිපයකට ඉහතදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ප්‍රකාශ කර තිබුණේ 05 වැනිදායින් පසුව ඩීසල් සහ විදුලිය ගැටලු විසඳෙනු ඇති බවය. ඉන් පසුව ජනාධිපතිවරයා සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති රැස්වීමකින් පසුව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබුණේද 05 වැනිදායින් පසු විදුලිය කැපීමක් සිදුනොවන බවය. විදුලිය අඛණ්ඩව ලබාදීමට ගත යුතු සෑම පියවරක්ම ගන්නැයි ජනාධිපතිවරයා එම නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවද සඳහන්ය.

එය කෙසේ වුවද ඩීසල් සහ විදුලි කප්පාදුව එක රුයින් විසඳිය හැකි ගැටලුවක් නොවන බව යථාර්ථයයි. එය රජයේ පාලනයෙන් ඉවතට ඇදී ගොස් තිබෙන හෙයින් මුලින්ම කළ යුතු වන්නේ ඩීසල් ගෙන්වා බෙදාහැරීමේ පාලනය අතට ගැනීමය. විදුලිය කැපීම ඒ සමඟ ඉබේම නතර වනු ඇත. එසේ නොමැතිව මේ ගැටලුව විශ්මයජනක ලෙස විසඳිය නොහැක. 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00