2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

රාජ්‍ය සේවයේ මධුර ජවනිකා

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 130

ඇතැම් කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතරද, එම දෙපිරිසම සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතරද හටගෙන තිබෙන බල අරගල ආණ්ඩුවට මහත් හිසරදයක් බවට පත්ව ඇතැයි මෙවර දේශය ප්‍රධාන පුවතකින් හෙළිකර තිබේ. එපමණක් නොව ඇතැම් අමාත්‍යවරුන් සහ ආයතන ප්‍රධානීන් අතරද සිදුවන මත ගැටුම් හේතුවෙන්ද මේ තත්ත්වය වඩාත් සංකීර්ණ වෙමින් තිබේ. එම තත්ත්වය පසුගිය කාලය පුරාම දැකිය හැකි විය.

රාජ්‍ය ඇමැති නිමල් ලන්සා තම ධුරය පිළිබඳව තීන්දුවක් ගැනීමේ අදහසකින් පසුවන බවද එය ඉහත කී තත්ත්වයේ ප්‍රතිඵලයක් බවද සඳහන් වෙයි. එහි ඇත්ත නැත්ත කුමක්දැයි අපි නොදනිමු. එහෙත් දැන් සිටින නිමල් ලන්සා මේ ආණ්ඩුව බලයට පත්වීමේදී සිටි නිමල් ලන්සාමදැයි විමසුවොත් ලැබෙන පිළිතුර එසේ නොවන බවට කතා දෙකක් නැත. විරසකය පවතින්නේ කා සමඟද යන්න මෙහිදී අදාළ නැත. වැදගත් වන්නේ ආණ්ඩුවේ ගමන් මාර්ගයට මෙවැනි මතභේදකාරී තත්ත්වයන් හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම්ය. ආර්ථිකය ඇතුළු බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දී සිටින ආණ්ඩුවට තමන්ගේ පිරිස අතරේද දිගින් දිගටම මතභේද ඇතිවීම ඔරොත්තු දෙන්නේ නැත. එයට වහාම විසඳුමක් සොයාගැනීමට ආණ්ඩුවේ බලධාරීන්ට හැකියාව තිබිය යුතුය.

දැනට ස්ථාපිත කර තිබෙන රාජ්‍ය අමාත්‍යංශ 40ක් අතුරින් 10ක පමණ මේ තත්ත්වය උද්ගතව තිබෙන බවද දැනගන්නට තිබේ. මේ අර්බුදකාරී තත්ත්වය එළිපිට දකින්නට තිබෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය. නිමල් ලන්සා රාජ්‍ය ඇමැතිවරයා තම රේඛීය අමාත්‍යංශය වන මහාමාර්ග අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද මධ්‍යම අධිවේගයේ නවතම කොටස විවෘත කිරීමේ උළෙලට සහභාගි නොවීය. එසේම පසුගියදා පැවැති කර්මාන්ත අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලට එම අමාත්‍යංශයට අයත් රාජ්‍ය අමාත්‍යංශ තුනේම රාජ්‍ය ඇමැතිවරුන් සහභාගි වී සිටියේ නැත. රාජ්‍ය අමාත්‍යංශවල වගකිවයුතු බලධාරියා කැබිනට් ඇමැතිවරයා බවට ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබෙන පසුබිමක් තුළ මෙසේ සිදුවීම කනගාටුදායක බව කිවයුතුය. එසේම උද්ගතව ඇති මේ තත්ත්වය වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් රාජ්‍ය අමාත්‍යංශවල සිදුවන කාර්යයන් පිළිබඳව කැබිනට් ඇමැතිවරයා දැනුවත් කරන ලෙස සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා දැනුම්දීමට තමා කටයුතු කරන බවද ජනාධිපතිවරයා කියා තිබිණි. එය යහපත් පියවරක් බවද ප්‍රකාශ කළ යුතුය.

එපමණක් නොව අමාත්‍යංශ ගණනාවක ලේකම්වරුද රාජ්‍ය ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩලද ඉල්ලා අස්වූ අවස්ථාද තිබිණි. විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ මේ තත්ත්වය පැහැදිලිව දැකගන්නට හැකි විය. ආයෝජන මණ්ඩලය, විදුලි සංදේශ නියාමන කොමිසම වැනි ආයතනවල අධ්‍යක්ෂවරු ඉල්ලා අස්වූහ. එසේම වර්තමානයේදී සතොස සභාපතිවරයාගේ සහ සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සේවයද ප්‍රශ්න සහගත වී තිබේ. සතොස සභාපතිවරයා අස්කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන අතර සතොස සභාපතිවරයා පවසන්නේ තමන්ට එවැනි නියෝගයක් ලැබී නොමැති බවය. සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය සති කිහිපයක් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටි අතර පසුගියදා යළිත් රාජකාරි කටයුතු ඇරුඹුවාය. එහෙත් විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා සහ එහි ලේකම් ප්‍රකාශ කර ඇත්තේ සේවයට වාර්තා නොකරන ලෙසට ඇයට ලිඛිතව දැනුම් දී තිබෙන බවය. මේ සියල්ල තමන් ඉදිරියේ දිගහැරෙන &මධුර ජවනිකා* යැයි ජනතාව නොසිතුවහොත් පුදුමයක් බව කිවයුතුය.

මේ හැර තවත් රාජ්‍ය අමාත්‍ය ධුර දරණ කිහිප දෙනකුම කැබිනට් අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් සම්බන්ධයෙන් පැහැදීමකින් නොසිටින බවද ඔවුන් විවිධ චෝදනා නගන බවද අසන්නට ලැබේ. මෙය රටට කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බව පෙන්වා දිය යුතුය. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ අමාත්‍යවරුන්, නිලධාරීන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර පවතින ගැටුම් සහ මතභේද සමඟ පැටලීමට නොවේ. දහසක් ප්‍රශ්න මැද ජීවත්වීමට සිදුව තිබෙන ඔවුන්ට මේ නරිනාටක දෙස බලා සිටීමට හැකියාවක් හෝ උවමනාවක් නැත. ඔවුන්ට අවශ්‍ය මේ සියලු අමාත්‍යංශ කාර්යක්ෂමව කටයුතු කරනු දැකීමටය. ඒ හරහා තමන් මුහුණ දී සිටින ගැටලු විසඳා ගැනීමටය. එය ආණ්ඩුවේ සියලු බලධාරීන් විසින් තේරුම් ගත යුතුය. ජනතාව ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරුන් හෝ කැබිනට් අමාත්‍යවරුන් හෝ නිලධාරීන් හෝ විහිලුවට ලක්විය යුතු නැත.

මෙහිදී මුලින්ම කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර පවතින අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුය. මෙවැනි ගැටුම් ඇති වූ මුල් අවස්ථාව මෙය නොව, අතීතයේදී පවා අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර ගැටුම් ඇති වූ අවස්ථා තිබේ. එය සෑම ආණ්ඩුවකටම පොදු සාධකයකි. එහෙත් මේ ගැටුම් මහජනතාව ඉදිරියේ දිගහැරිය යුතු නැත. විශේෂයෙන් ජනතාව දැඩි පීඩනයකින් සිටින විට අමාත්‍යවරුන් අතර ගැටුම් ඔවුන් තුළ ඇති කරන්නේ බලවත් අප්‍රසාදයකි. එය අවසානයේ ආණ්ඩුවටම පාරා වළල්ලක්ද විය හැකිය.