2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

ගෑස් පිපිරුවෙත් කොවිඩ් නිසාද?

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 92

දකුණු ආසියාවේ විදේශ සංවිතය ලෙල්ලට බැස්සේ අපේ රටේ විතරයි
පම්පෝරි ගහන අය ගොවිබිමට ගියාම ඇත්ත දැනගන්න පුළුවන්
බොරුකාරයෝ වංචනිකයෝ දූෂිතයෝ අපේ පක්ෂයේ නෑ
මේ රටේ ලොකුම ජන පදනම තිබෙන විපක්ෂය සජබයි
එජාපයට අප ආදරෙයි: තාම පරක්කු නෑ හැදෙනවා නම්
පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකරන්න බලය තියෙන්නේ ආණ්ඩුවටයි
ජනපතිතුමට ගොවිකම ගැන උපදෙස් දෙන්නෙ දොස්තරලා

 

පසුගිය සතියේ ආණ්ඩු පක්ෂය විශාල රුලියක් අනුරාධපුරයේදී පැවැත්තුවා. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂය කිව්වේ විපක්ෂය විසින් සිදුකරන මඩ සහ අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව කරන පිළිතුරු දීමක ආරම්භයක් කියලා. දැන් වැඩේ ටිකක් අභියෝගාත්මකයි කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්තටම 2019 රුස්වීමයි ගිය සතියේ රුස්වීම‍යි දැක්කම අහසට පොළව වගේ. මේ පාර ආපු මිනිස්සුන්ගේ කිසිම උද්‍යෝගී බවක් නෑ. හරියට බලහත්කාරයෙන් ගෙනල්ලා ගාල් කරලා වගේ. ඒ වගේම 2019 එතුමාගේ ෆේස්බුක් ලයිව් එකේ ප්‍රතිචාරත් මේ රැස්වීමේ ලයිව් එකේ ප්‍රතිචාරත් දැක්කම ජනාධිපතිතුමාට හිතාගන්න පුළුවන් කොහොමද ජනතා කැමැත්ත කියලා. මොකද ජනතාව ඉන්නේ ඉතාම පීඩනයකින්. එහෙම පීඩනයකින් ඉන්න ජනතාව එතෙන්ට ගෙනැල්ලා ජනාධිපති මොකක්ද කිව්වේ. හැමෝටම බැන්න එක විතරයි. මෙතනින් පස්සේ මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක්, අලුත් ප්‍රතිපත්තියක් කිව්වද? නෑ. කොහොමහරි කරනවා විතරයි කිව්වේ. ඒ කොහොමද කරන්නේ කියලා කිව්වේ නෑ.

ඒ රැස්වීමෙදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු කිව්වා විපක්ෂය පාරට බැස්සා පහුගිය කාලේ දැන් අපිත් පාරට එනවා පුළුවන් නම් හැප්පිලා බලමු කියලා. දැන් ඉස්සරහට හොඳ හොඳ අභියෝග නේද එන්නේ?

මම එතුමාට කියනවා පාරට බැහැලා අභියෝග කරන්න දෙයක් නෑ. අපි ඡන්දයක් තියලා පුළුවන් නම් අභියෝග කරමු. මේ ආණ්ඩුවට මිනිස්සු 10,000 ක් වුණත් ගේන්න පුළුවන්. මොකද බලය තියෙන නිසා බලහත්කාරයෙන් හරි. ඒ නිසා අපිට පාරේ අභියෝග ඕන නෑ. දැනට පළාත් සභා ඡන්දය කල්පැනලා. පළාත් පාලන ඡන්දය කල්පැනලා. ඒ දෙකෙන් එකක් තියන්නකෝ ඉස්සෙල්ලා. ඊටපස්සේ බලමු. මොකද පාරට වඩා ලේසියි ජනතාවගේ සැබෑ ජනමතය ඡන්ද පෙට්ටිය ඇතුළේ බලන්න.

අගමැතිතුමා මෙතනදී කිව්වා අවුරුදු දෙකක් ඔට්ටු උනේ ජනතාව ලෝක වසංගතය හමුවේ මරණයෙන් මුදාගන්න කියලා. ඒ නිසා ඉදිරි වසර තුන වෙනස් ආකාරයකින් යන්නේ කියලා. ඇත්තටම පිළිගන්න වෙනවා නේද අවුරුදු දෙකක් අමාරුවෙන් මේ රට ඉස්සරහට ගියේ කියලා?

ඕවා හොඳයි කොණ්ඩ බැඳපු චීන්නුන්ට කියන්න. මේ දකුණු ආසියාව ගත්තම මේ ආර්ථික අවපාතය අගාධය තියෙන්නේ අපිට විතරයි. කිසිම දකුණු ආසියාතික රටක විදෙස් සංචිත අඩුවෙලා නෑ. අපේ තමයි මෙහෙම ලෙල්ලට බැහැලා තියෙන්නේ. 79%ක් අඩුවෙලා තියෙන්නේ. ඒ සියල්ල මැද්දේ කොවිඩ් වසංගත මර්දනයේ කුසලානය ගත්තා කියලා සංඛ්‍යාලේඛන ඉදි‍රිපත් කරනවා. ඒවා පට්ටපල් බොරු. අපිට වඩා මාලදිවයින ඉදිරියෙන් ඉන්නවා. මේ සියලු අවුල් තියාගෙන කොවිඩ් බොරු සංඛ්‍යා ලේඛනත් ඉදිරිපත් කරනවා. හැබැයි ආණ්ඩුව එක කුසලානයක් නම් ගත්තා ඒ දකුණු ආසියාවේ බංකොලොත්ම රට හැටියට. ඒ ඇරෙන්න වෙන දෙයක් නෑ මෙහෙම බංකොලොත් වෙන්න. හේතුව මේ ආණ්ඩුවට කිසිම ආර්ථික සැලැස්මක් නෑ.

ඒත් ඔවුන් කියනවනේ සැලැස්මක් ක්‍රියාත්මක කරපු නිසයි මෙහෙම බේරුණේ කියලා?

කොහොමද? මිනිස්සුන්ට කන්න බොන්න නැතුවද? මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔබ කිව්වනේ ආණ්ඩුව කිව්වා කියලා අවුරුදු දෙකක් රට අවුල් වුණේ මේ වසංගතයත් එක්ක කියලා. දැන් මට කියන්න මේ රටේ ගෑස් පිපිරුවේ කොවිඩ් නිසාද? පොහොර අර්බුදයක් ඇතිකළේ කොවිඩ් නිසාද? ගෑස් පෝලිම් හැදුවේ, ආහාර හිඟයක් ඇති කළේ කොවිඩ් නිසාද. නෑනේ. ඒ සියල්ල ආණ්ඩුවේ සැලසුමක් නැති වැඩ නිසා. ඒවා කොවිඩ් පිටින් දාන්න එපා.

එදා ජනාධිපතිවරයා චෝදනා කළා විපක්ෂය ගොවියෝ කුලප්පු කරලා නැති ප්‍රශ්න ඇති කරනවා කියලා. ඔබ තමයි සමගි ජනබලවේගයේ ගොවි සංවිධාන බාර මන්ත්‍රිවරයා. මේ චෝදනාව ඇත්තද?

ඔය පම්පෝරි ගහන කාටත් ගොවිබිමට ගියහම ඇත්ත මොකක්ද කියලා දැනගන්න පුළුවන්. ඔය රැස්වීමට පවා ආපු මිනිස්සු ඉල්ලුවේ පොහොර. වැඩකරන අපේ විරුවා සිංදුව කියද්දී නිශ්ශබ්දව හිටිය මිනිස්සු පොහොර ගැන කියද්දී පොහොර ඉල්ල්ලලා කෑ ගැහුවා. ඕකයි ඇත්ත තත්ත්වය. මම කියන්නේ නිදහසෙන් පස්සේ ගොවියට දරුණු ප්‍රහාරය එල්ලවුණේ මේ අවුරුදු දෙකේදී. ඒක මම අමුතුවෙන් කියන්න ඕන නෑ. ගොවියා දන්නවා. ගොවියට සහ කෘෂිකර්මයට වුණ හානිය නිසා තමයි අපේ රටේ ආර්ථිකයට මෙහෙම දෙයක් වුණේ.

ආණ්ඩුවේ චෝදනාව තියෙන්නේ මේ රටේ නැති ප්‍රශ්න ඇති කරන්නේ විපක්ෂය කියලා? ඇයි එහෙම කරන්නේ?

ඒක බොරුවක්. අපි හැමදේටම සම්බන්ධ වෙන්නේ නෑ. විශේෂයෙන් පහුගිය දවස්වල ආරම්භ වුණ සෞඛ්‍ය සේවා වෘත්තීය අරගලයට අපි සම්බන්ධ නෑ පක්ෂයක් හැටියට. ඒවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග. අනික ඔය වෘත්තිය සමිති බහුතරයක් මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියාකරපු සංවිධාන. ඒ නිසා ඒවා පට්ටලපල් බොරු චෝදනා. අපිට අවශ්‍ය නෑ නැති ප්‍රශ්න හදන්න. අනික මේ ප්‍රශ්න සියල්ලම මේ භූමියේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න අනුව තමයි ජනතාව පාරට එන්නේ.

මේ වෙද්දී සජිත් ප්‍රේමදාසත් ජනතාව අතරේ. අනුර කුමාර දිසානායකත් ජනතාව අතරේ. දැන් ආණ්ඩුවත් ඉස්සරහට ජනතාව අතරේ. මේ සියල්ල මැද සජබයට තියෙන ජයග්‍රහණය මොන වගේ තැනකද තියෙන්නේ?

කාට කාටත් එක එක හීන අරමුණු තිබ්බට මේ රටේ ලොකුම ජනපදනමක් තියෙන විපක්ෂය වෙන්නේ සමගි ජනබලවේගය. මැතිවරණයක් එනකල් එක එක අය ඉන්නේ එක එක තක්සේරුවේ. ඇත්තටම මැතිවරණයකදී දැනගන්න පුළුවන් කාටද ජයග්‍රහණය කරන්න පුළුවන් සහ ජයග්‍රහණය කරන්නේ කවුද කියලා බලන්න. මොකද අද මොන තක්සේරුවේ හිටියත් බලවේගය වෙන්නේ අපි තමයි. එදාට අනෙක් පක්ෂවලට තීන්දුවක් ගන්න වෙයි.

මොන දේ කිව්වත් ඔය ජනතාව අතරට යන විපක්ෂයේ අයට ජනතාව වෙනුවෙන් දෙන්න පුළුවන් එකම දේ පොරොන්දුව විතරයි. මේ පොරොන්දු දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ මිනිස්සුන්ට. එහෙම වෙච්ච මොහොතක ඔය කරන දේ පලක් තියෙනවද?

ඔව්. පොරොන්දු දේශපාලනයට තැනක් නෑ. තියෙන්නේ ප්‍රතිපත්තිමය දේශපාලන පොරොන්දුවක් ජනතාවට. එතනිනුත් සමගි ජනබලවේගය ඉදිරියෙන් ඉන්නේ. මොකද ප්‍රතිපත්තියත් පොරොන්දුවක් නොවී ජනතාවට අපේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් යන්නේ. විශේෂ‍යෙන් මැතිවරණයකුත් නැති වෙලාවක සමගි ගොවි ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා ජනතාවට ලොකු පණිවිඩයක් දුන්නා අපි. විශේෂයෙන් ආණ්ඩුවක් අරගෙන අපි කොහොමද කරන්නේ කියන විශ්වාසය ජනතාවට අපි දීලා තියෙන්නේ.

ඔය ප්‍රතිපත්ති ජනතාවට ඉෂ්ඨ කරන්න පුළුවන් කියලා කාටද ස්ථිර කරන්න පුළුවන්?

ඇත්තටම මේ ගොවි අර්බුදය නිර්මාණය වුණේ ජනාධිපතිවරයට කවුරු හරි දුන්න වැරදි උපදේශයකින් හරි හිතලුවක් කරන්න ගිහින් හරි. මොකද ජනාධිපතිවරයට ගොවිකම ගැන උපදෙස් දුන්නේ දොස්තරවරු. කොහොම වුණත් අපේ ප්‍රතිපත්ති හිතලු නෙමෙයි. නිසි අධ්‍යනයකින්. ඒ ක්ෂේත්‍රවල ඉන්න ප්‍රවීණයන්ගේ මෙහෙයවීමෙන් ගොඩනගපු ප්‍රතිපත්ති. ඒවා ගොවියට අහිතකර ප්‍රතිපත්ති නෙමෙයි.

ආණ්ඩුව කියන දෙයක් තමයි අද විපක්ෂය කෑ ගැහුවට, එයාලා කරපු බැංකු හොරකම්, පාස්කු ප්‍රහාර එහෙම අමතක වෙලා කියලා?

ඔය බැංකු හොරකම් අපිට අදාළ නෑ. ඔය ප්‍රශ්න නිසා තමයි අපි එජාපයෙන් එළියට බැහැලා ආවේ. මේ පක්ෂයේ බැංකු හොරු නෑ. ඒ වගේම පාස්කු ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ අයත් සමගි ජනබලවේගයේ නෑ. ඒ නිසා ඒ චෝදනා අපිට දාන්න බෑ.

දැන් පාස්කු ප්‍රහාරය දේශපාලන විනෝදයක් වෙලා. වින්දිතයන්ට සාධාරණයට වඩා පක්ෂ දේශපාලනයේ එක මාතෘකාවක් වෙලා. ඇයි මේ දෙගොල්ලන්ටම මේක විනෝදයක් වෙලා තියෙන්නේ. මේකට යුක්තියක් අවශ්‍ය නැද්ද?

අපිට උත්තර හොයන්න බෑ. බලය තියෙන්නේ ආණ්ඩුවට. ඒ නිසා අපිත් සටන් කරන්නේ ඒ යුක්තිය වෙනුවෙන්. අපි දන්නවා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මේ වෙද්දී අවසන් මට්ටමේ තියෙන්නේ. ඒත් ජනාධිපති කොමිෂන් වාර්තාවේ සමහර වෙළුම් රටට ඉදිරිපත් කරන්නේ නැතුව හංගලා තියෙන්නේ. ඒකත් එක්ක මේ ආණ්ඩුව ගැන අපිට සැකයක් තියෙනවා ඇයි මේවා හංගන්නේ කියලා. ඒ අය මේ සැකය තවදුරටත් සහතික කරමින් යනවා. ඒ සැකයෙන් මිදෙන්න නම් මේ වෙනකොට එම ප්‍රහාරයේ තොරතුරු එළියට දාන්න ඕන. දැන් පේනවනේ පල්ලියේ බෝම්බ සිද්ධියෙන් මොකද වුණේ කියලා. කාදිනල් හිමියන්ම කියනවා පරීක්ෂණ සැකයි කියලා. ඉතිං අපිද වැරදි මත සමාජ ගත කරන්නේ. අනික සමාජයේ තියෙන සැකයන් වැරදිද?

ඔබලගේ පක්ෂය පැත්තට හැරුණොත් මැතිවරණයෙන් පස්සෙ අලුත් සන්ධානයක් හදනවා කිව්වා. ඔන්න හැදුව මෙන්න හැදුවා කිව්වා. ඒත් තවම නෑ. මොකද ඒ?

සන්ධානයක් හදන්න තරම් දේශපාලන වටපිටාවක් ගොඩනැගිලා නෑනේ. සන්ධානයක් බිහිවෙන්න ඕන මැතිවරණයක් ආසන්නයේදී. ඒක ඉතිහාසයේ ඉඳලා වුණේ එහෙමයි. අනාගතයේ වෙන්නෙත් එහෙමයි. කලබල වෙන්න එපා.

ඊට කලින් චම්පික රණවක වෙන ගමනක් යයි කියලා හිතෙන්නේ නැද්ද?

කාට කාටත් බලාපොරොත්තු තියෙනවා. බලාපොරොත්තු ඉෂ්‍ට කරගන්න පුළුවන් තත්ත්වයකද ඉන්නේ කියලා බලන්න වෙන්නේ මැතිවරණයත් එක්ක. එතකොට කාට කාටත් පුළුවන් තමන්ගේ තත්ත්වය මැනගන්න. එතකල් එක එක ගමන් යන්න පුළුවන්.

සජබයයි චම්පිකයි අතර තියෙන ගැටුම මොකක්ද?

එහෙම බරපතල ගැටුමක් නෑ. අපි එකට වැඩකරනවා. එක එක අයගේ න්‍යාය පත්‍රයන් තියෙන්න පුළුවන්. ඒත් ඒක බරපතල ගැටලුවක් නෙමෙයි.

එජාපය ගැන දැන් ඇහැක් ඇරලා බලන්නේ නෑනේ?

මොනවා වුණත් ඒ අපේ පක්ෂය. අපි පක්ෂයට ආදරෙයි. ඒත් කීපදෙනෙක්ගේ වැඩ නිසයි අපිට වෙනම ගමනක් යන්න වුණේ. මම හිතන්නේ එජාපයට තවම පරක්කු නෑ නිවැරදි මාවතට එන්න. එහෙම නොවුණොත් තියෙන තැනෙනුත් පහළට යන්නේ.

අවසාන වශයෙන් අහන්නේ හැමෝම තරගයේ ඉන්නේ. හැමෝම බලය ගන්න කැමැත්තේ ඉන්නේ. ඇත්තටම ඒ තුළ ඉඳලා ඔබලා ජනතාවගේ අසරණකම එක්ක සෙල්ලම් දානවා නේද?

නෑ. කිසිසේත් නෑ. අපි හැමදාම ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තියක වැඩකරපු අය. ජනතාවට අපහසුතාවයක් දුන්නේ නෑ. අපි අපේ ආණ්ඩුව කාලේ මොන දේ වුණත් ආර්ථික සැලසුමකට වැඩකළා. ජාත්‍යන්තරය පවා පැසසුමට ලක්කළා. ඒත් යම් යම් වැරුදි කීපයක් නිසා ජනතාව අපෙන් ඈත්වුණා. ඒ ඈත්වුණේ ඒ ආණ්ඩුවේ කීපදෙනෙක්ගේ වැඩ නිසා. අපි කියන්නේ හොර බොරු වංචා දූෂණ නැති එකම කණ්ඩායම ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා ජනතාව රවට්ටන්නේ නැති ආණ්ඩුවක් හදනවා නම් හදන්න පුළුවන් අපිට විතරයි. අනික් අය ඔක්කොම ෆේල්.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00