2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

අනුර කුමාරලා ආණ්ඩුවට මොන අභියෝගයක්ද?

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 117

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය  පියල් නිශාන්ත ද සිල්වා 

  • බාල බොළඳ වැඩ කරන්න තරම් මෝඩ අය අපේ ආණ්ඩුවේ නෑ
  • යහපාලනය වගේ දේශපාලන දඩයමට අපි ලෑස්ති නෑ
  • තව කන්න දෙකකදී පොහොර ගැටලුව විසඳෙනවා
  • අරුන්දික ගත්තේ ඉතා හොඳ තීන්දුවක්
  • ලංකාව බංකොළොත් කරපු ආර්ථික ඔස්තාර්ලා දැන් බොරුවට කහිනවා
  • රට දියුණු කරද්දී අපිත් කැපවීම් කරන්න ඕනෑ
  • විපක්ෂය හදන්නේ රට නොමග යවන්නයි

 

 

 

 

 

 

බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා කියලා තියෙනවා ආණ්ඩුව මැතිවරණයකට සූදානම් කියලා. ඉදිරි සතියේදී අනුරාධපුරයේ රැලියකුත් පැවැත්වෙනවා. ඇත්තටම ආණ්ඩුව මැතිවරණයකට සූදානම්ද? 

විපක්ෂය හිතාගෙන ඉන්නේ මේ ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක්, ඕනෑම වෙලාවක වට්ටන්න පුළුවන් කියලා. ඒ නිසා විපක්ෂය මේ දිනවල පුරාජේරු දොඩවනවා පුළුවන් නම් මැතිවරණයක් තියලා බලන්න කියලා. ආණ්ඩුවේ අපි වගේම ජනතාවත් ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය සමඟ ඇතිවුණු අභියෝග පිළිබඳ අවබෝධයෙන් ඉන්නේ.  

බිම් මට්ටමේ ශක්තිමත් වෙච්ච හොඳ වැඩපිළිවෙළක් තියෙන පක්ෂයක් තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි සංවිධානාත්මක නායකත්වය යටතේ පක්ෂය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ඕනෑම අවස්ථාවක මැතිවරණයකට ලෑස්තියි. හැබැයි අපි මොන මැතිවරණය පැවැත්වුවත් පවත්වන්නේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සැබෑ අවබෝධයක් සහිතව. විශේෂයෙන්ම කොවිඩ් ව්‍යවසනය සම්බන්ධව පැහැදිලි අවබෝධයක් සහිතව.

මේ වෙද්දි රටේ පොහොර නෑ. ඉන්ධන නෑ. ඩොලර් නෑ. මේ වගේ සැබෑ ප්‍රශ්න අවබෝධ කරගෙනද ආණ්ඩුව මැතිවරණයකට යන්න හදන්නේ?

මේ කියන්න හදන්නේ මැතිවරණයකට සූදානම් වෙනවා කියන එකම නෙවෙයි. විපක්ෂය රටේ ජනතාව නොමග යවන්න උත්සාහ ගන්නවා අපි මැතිවරණයකට බයයි කියලා. නෑ අපි බය නෑ. පැහැදිලි ලෙසම අභියෝග කිහිපයක් තිබෙනවා තමයි. මේ අභියෝග අපේ රටට විතරක් සීමාවුණු අභියෝග නෙවෙයි. ලෝකයේ දියුණුයි කියන රාජ්‍යයන් පවා අද මේ අභියෝගවලට මුහුණ දෙනවා. ඒ නිසා මැතිවරණ කල් දමමින් ඉන්න අපට අවශ්‍යතාවයක් නෑ.

ඒත් කොවිඩ් වසංගතය නිසා ඇතිවුණු ආර්ථික ගැටලු බොහෝ රටවල් වසරක් වගේ කාලයක් ඇතුළත කළමනාකරණය කරගෙන තියෙනවා. අපට එහෙම කරන්න බැරි වුණේ ඇයි?

අපි ආණ්ඩුව භාරගත්තේම ආර්ථික අර්බුදයක් එක්ක. කොවිඩ් වසංගතය ආවෙත් ඒ එක්කම. කොවිඩ් විතරක්ම නෙවෙයි වර්තමාන ගැටලුවලට හේතුව. පසුගිය යහපාලන ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඇතිවුණු ආර්ථික හානිය සුළුපටු නෑ. වර්තමාන තත්ත්වයට ඒ දේවලුත් හේතුවක්. කොහොම වුණත් ඩොලර් සම්බන්ධව තියෙන ගැටලුවට ඉතාමත් කෙටි කාලයක් ඇතුළත අපට විසඳුම් සොයාගන්න පුළුවන් සංචාරක කර්මාන්තය සහ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් වීමත් සමඟම.

එතකොට පොහොර නිසා ඇතිවෙලා තියෙන අර්බුදයට විසඳුමක් නැද්ද?

පොහොර සම්බන්ධව ඇතිවෙලා තියෙන තත්ත්වේ සඳහන් කරද්දි කාබනික පොහොර භාවිත කිරීම සම්බන්ධ අදහස එකවර වුණු එකක් නෙවෙයි. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්මෙන් පැහැදිලිවම කිව්වා. විපක්ෂයට, මේ රටේ ජනතාවට වස කවන්න පුළුවන් වුණාට රටට ආදරේ කරන ජනතාවට ආදරේ කරන නායකයෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට  ඒක කරන්න බෑ. ඒ නිසයි එතුමා අනාගතය ගැන හිතලා මේ වගේ තීරණයක් අරගත්තේ.

දැනට පොහොර සම්බන්ධව තියෙන මේ ගැටලුව තව කන්නයක් දෙකක් යද්දි විසඳේවි. මේ තීරණය සම්බන්ධව ඊට පස්සේ රටේ සියලු දෙනාම සුබවාදීව කතා කරාවි. විපක්ෂය උත්සාහ කරනවා බඩගෝස්තරවාදී විදිහට මේ ගැටලුවලින් දේශපාලන වාසි ලබාගන්න. නමුත් ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ අභියෝග ජය අරගෙන සාර්ථකව ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපිට පුළුවන්කම තියෙනවා.

විපක්ෂය වගේම කෘෂි ක්ෂේත්‍රයේ විවිධ පිරිස් මේ වෙද්දි කියනවා මාර්තු අප්‍රේල් වෙද්දී අස්වැන්න අඩුවෙලා රට තුළ ආහාර හිඟයක්, සාගතයක් ඇතිවෙයි කියලා. ආණ්ඩුව ඊට මුහුණ දෙන්න ලෑස්තිද?

මේ රටේ විපක්ෂය ඉන්නේ තේ කෝප්පෙත් කිඹුල්ලු දකින උදවිය. මේ බොහෝ දේවල් බංකොළොත් වුණු දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ. මේවායේ සත්‍යතාවක් නෑ. පැහැදිලිවම අපි කියලා තියෙනවා අස්වැන්න අඩුවීමේදී ගොවි ජනතාවට වන්දි ලබා දෙනවා. ඒ වගේම ජනතාව බඩගින්නෙ තියන්නේ නෑ. විදෙස් රටවල් සමඟ සාකච්ඡා කරලා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය අපි මෙරටට ගේනවා. ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය ඒකට පසුබට වෙන්නේ නෑ. ඒත් එහෙම අවශතාවක් මතුවෙයි කියලා මම හිතන්නේ නෑ. 

හැබැයි පැහැදිලිවම කියන්න ඕන රටක් දියුණු කරද්දී ඵලදායි තීරණ ගනිද්දී මහජනතාව සහ දේශපාලඥයන් විදිහට අපිත් යම් යම් කැපකිරීම් සිදු කරන්න ඕනෑ. මේ ක්‍රියාත්මක කරන්නේ අපේ රටේ ජනතාවට වස විසෙන් තොර ආහාරවේලක් ලබාදීමේ දැවැන්ත සංග්‍රාමයයි. 

මේ දිනවල ජනතාව වැඩිපුරම පීඩා විඳින්නේ විදුලි අර්බුදය නිසා. උදේට විදුලිබල ඇමැතිතුමා කියනවා විදුලිය කප්පාදු කරන්නේ නැහැ කියලා. රූට රටේ සමහර ප්‍රදේශවල විදුලිය විසන්ධි කරනවා. කවුද මේ විදිහට තීරණ ගන්නේ?

ජනතාවට ප්‍රකාශයක් නිකුත් කිරීමේදී දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් එක මේසයකට ඇවිල්ලා සාකච්ඡා කරලා පැහැදිලිව එම ප්‍රකාශ නිකුත් කිරීම වැදගත්. රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ජනතාවට ලබාදීම සිදුවිය යුතුයි. මේ ඉන්ධන අර්බුදය, ඩොලර් අර්බුදය කොවිඩ් වසංගතය හේතුවෙන් අපේ රටේ ආර්ථිකයට සිදුවුණු හානිය නිසා ඇතිවුණු අර්බුද. ඒ සම්බන්ධව නිවැරදිව ජනතාව දැනුවත් කරනවා නම් ගැටලුවක් නෑ. කොහොම වුණත් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ජනතාව වෙත වගකීමෙන් යුතුව ප්‍රකාශ නිකුත් කළ යුතුයි කියන ස්ථාවරයේ මම පෞද්ගලිකව ඉන්නවා. ඒ වගේමයි සමහර ප්‍රකාශ මාධ්‍ය වාර්තා කරන ආකාරය නිසාත් ජනතාව අතර අනවබෝධයක් ඇතිවෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා "අයවැයෙන් වැඩ ලක්ෂයක්" ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ආරම්භ කළා. ආර්ථික ගැටලු රුසක් අතරේ මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට සල්ලි තියෙනවද?

සමහර උදවිය මේක හරියට තේරුම් ගන්නෙ නෑ. අයවැයෙන් වෙන්කරන යම් මුදලක් තියෙනවා නම් ඒක වෙන්වෙනවා. අදාළ සංවර්ධන කටයුතු අපට කළ හැකි නිසා තමයි ඒකට මුදල් වෙන් කරන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ ඉතා හොඳ කළමනාකාරීත්වයක් තියෙන කෙනෙක්. මේ වගේ වැඩ ලක්ෂයක් නෙවෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුණත් ඉදිරියේ දී රට තුළ ක්‍රියාත්මක කරන්න අපට පුළුවන්. හැබැයි දූෂණය, නාස්තිය දේවල් අවම කර ගන්න ඕනෑ. බැසිල් රාජපක්ෂ කියන්නේ ඒ සියල්ල පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ඉන්න මුදල් අමාත්‍යවරයෙක්. මේ වැඩසටහන පිළිබඳව එතුමා අද ඊයේ නෙවෙයි සැලසුම් සකස් කළේ.පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඉඳන්. විශේෂයෙන්ම  මහජන නියෝජිතයන්ව මේ වැඩසටහන සම්බන්ධව බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා අවස්ථා ගණනාවකදී දැනුවත් කළා. 

ආණ්ඩුවට විපක්ෂයෙන් ලොකු චෝදනාවක් එල්ල වෙනවා රට ඇතුළේ වැඩ කරගන්න අනවශ්‍ය විදිහට සල්ලි අච්චු ගහනවා කියලා?

එදා මේ රට බංකොලොත් කරපු ආර්ථික ඔස්තාර්ලා විදියට පෙනී හිටපු අය තමයි ඔය විදිහේ ප්‍රකාශ කරන්නේ. මුදල් අමාත්‍යංශය ආර්ථිකයේ හැසිරීම පිළිබඳව අවබෝධයෙන් යුතුව තමයි කටයුතු කරන්නේ. අවශ්‍යතාවයට සරිලන විදිහටයි මුදල් අච්චු ගහන්නේ. හිතූ මනාපයට නෙවෙයි.

පසුගිය දවසක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බිත්තර ප්‍රහාරයකට ලක් වුණා. ඒ සම්බන්ධව චෝදනාව එල්ල වුණේ ආණ්ඩුවට. ඇත්තටම ආණ්ඩුව ද අනුර කුමාර දිසානායකට බිත්තර ගැහුවේ? 

මම දන්නෙ නෑ මේ දේවල් අපේ පාර්ශ්වයේ කෙනෙක්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙනවාද, නැත්නම් වෙනත් පාර්ශ්වයක් විසින් ආණ්ඩුව අපහසුතාවයට ලක්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනවාද, නැත්නම් තමන්ම කර ගන්නවාද කියලා. නමුත් මම බොහොම පැහැදිලිව කියනවා මේ වගේ බාල බොළඳ වැඩ කරලා කොහේවත් නැති මිනිස්සුන්ව ජනප්‍රිය කරන්න තරම් අපේ ආණ්ඩුවේ අය මෝඩ නෑ. 

ඒ වුණාට බිත්තර ගහපු අයව අල්ලලා දුන්නම පොලීසියෙන් ඒ අයව නිදහස් කරලයි කියලා ලොකු චෝදනාවක් එල්ල වුණා ආණ්ඩුවට?

මේ සම්බන්ධව නීතිය සාධාරණව කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියලා අපි පැහැදිලිවම කියනවා. මේගොල්ලෝ මේ උත්සාහ කරන්නේ අනුකම්පාව ගන්න. අනුර කුමාර දිසානායකලා වර්තමානයේ අපේ ආණ්ඩුවටවත් ඉදිරියේදී අපේ ජයග්‍රහණවලටවත් අභියෝගයක් නෙවෙයි. කොහොම වුණත් ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුව වැරදිකරුවන්ව ආරක්ෂා කරන්නේ නෑ. අපි කටයුතු කරන්නේ නීතිගරුක ඍජු නායකත්වයක් යටතේ.

ඒත් වැරදිකරුවන් නිදහස් කිරීම සම්බන්ධව වගේම නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධවත් විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා?

පසුගිය කාලවල රට විනාශ කරන දේවල් ඕන තරම් ක්‍රියාත්මක වුණා. ඔය චෝදනා කරන අය කම්මලේ බල්ලො වගේ කිසි දෙයක් ඇහුන නෑහුන ගාණට හිටියා. අපි නම් එහෙම ඉන්නෙ නෑ. වැරදි කරන ඕනෑම කෙනකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි යහපාලන ආණ්ඩුව කළා වගේ දේශපාලන දඩයම් කරන්න අපි ලෑස්ති නෑ. 

ඒ ඒ ආයතනවලට නීතිය ක්‍රියාත්මක කරන්න වගකීම පවරලා තියෙනවා. ඒ ආයතනවල ඉන්න වගකිවයුත්තන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒක ඔවුන්ගේ යුතුකම සහ වගකීම. අපි යහපාලන ආණ්ඩුව කළා වගේ අනවශ්‍ය බලපෑම් සිදු කරන්නේ නෑ. 

අරුන්දික ප්‍රනාන්දු ඇමැතිතුමා ඔබගේ හිතවතෙක්. එතුමාට තනතුර දාල යන්න සිද්ධ වුණේ ඇයි?

මේක අරුන්දික ප්‍රනාන්දු කරපු වරදක් නෙවෙයි. ඒත් ඔහුගේ පුතෙක් හරි ඒ සිදුවීමට සම්බන්ධවෙලා තියෙනවා නම්, මේක අරුන්දික ප්‍රනාන්දු ගත්තු ඉතාමත්ම හොඳ තීන්දුවක්. ජනාධිපතිතුමා මෙහිදී ඉතාමත්ම සාධාරණ විදියට කටයුතු කරලා තියෙනවා. සිද්ධිය සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අරුන්දික ප්‍රනාන්දු මහතා බලයෙන් ඉවත්වීම හොඳයි. 

හැබැයි මීට ඉස්සෙල්ලා යහපාලන ආණ්ඩු කාලයේ මීට වඩා දරුණු දේවල් සිද්ධ වුණා. ඒ අවස්ථාවල ඇමැතිවරු ඉල්ලා අස්වුණේ නෑ. ඇමැතිවරුන්ව ඉවත් කළෙත් නෑ. ඒ නිසා අපේ ආණ්ඩුවේ වෙනස තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක්. අරුන්දික ප්‍රනාන්දු තමන්ගේ ඇමැතිකමෙන් වරදක් කරලා නෑ. තමන්ගේ දරුවා සැකකරුවකු වීම නිසායි ඔහු ඉවත් වුණේ. මේක ඉතා හොඳ  ආදර්ශයක්. රටක දේශපාලනය සුභවාදීව ගොඩනැගෙන්න මේ වගේ ප්‍රගතිශීලී තීන්දු තීරණ වැදගත්.

ඔබ මේ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ වගකීම භාරව ඉන්න රාජ්‍ය අමාත්‍යවරයා. දරුවන් සම්බන්ධව සිදුවන අපරාධ දිගින් දිගටම වාර්තා වෙනවා. ඒවා වළක්වා ගන්න නිසි වැඩපිළිවෙළක් නැද්ද? 

මේ රටේ ළමා හිංසන, අපයෝජන, ළමා ගැබ්ගැනීම් සහ කාන්තා හිංසන දැන් දශක කිහිපයක් තුළ වර්ධනය වෙලා තියෙනවා. අපි මෙම තත්ත්වය වළක්වා ගැනීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. කොහොම වුණත් දීර්ඝකාලීන ගැටලුවකට වසරකින් විසඳුම් ලැබෙන්නේ නෑ. ඒත් පසුගිය වසරේ සුභවාදී තත්ත්වයක් අපි නිරීක්ෂණය කළා.

 චමිඳු නිසල් ද සිල්වා