2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ජනපතිගේ අලුත් සිග්නල් එක

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 238

ගෝඨාභය මහත්තයා වෙනස් වෙලාද? පාර්ලිමේන්තුව කල් තියලා රාජාසන කතාවක් කරන්න සැලසුම් කළේ ඒ වෙනස ගැන රටට කියන්නද?

පැයකට ආසන්න කාලයක් අරගෙන රාජාසන කතාවෙන් ජනාධිපතිවරයා රටට කිව්ව අදහස් ටික ගොනු කරලා ගත්තාම කෙනකුට එහෙම හිතෙන එක පුදුමයක් නොවේ. &මම රටේ ජනාධිපති වුණේ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන්* කියලා ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන වෙලාවේ අනුරාධපුරේ රුවන්වැලි සෑය ආසන්නයේදී කිව්ව ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලයේ තුන්වැනි අවුරුද්ද ආරම්භයේදීම වගේ කියන්නේ ජාතිවාදී උසිගැන්වීම්වලට ජනතාව පොළොඹවන්න එපා කියලාය. ඒ වගේම රට නගන වැඩට උතුරු - නැගෙනහිර දේශපාලකයන්ටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවකුත් කළේය. මේ කතාවෙන් පසුව රටට පැමිණි බ්‍රිතාන්‍යයේ ආසියානු කලාපය භාර අමාත්‍යවරයකු ද වන තාරික් අහමඩ් සාමිවරයාට කියා තිබුණේ බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවය. ඒ වගේම රටක් වශයෙන් කටයුතු කිරීමේදී එක ජන කොටසක් ලෙස ජීවත්වීමට හැකි තත්ත්වයක් උදාකිරීම රජයේ අරමුණ බව ප්‍රකාශ කර ඇතැයි ද කියා තිබිණි.

මේ අදහස්වලින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා තමන් මුලින් දැරෑ දැඩි මතධාරී ස්ථාවරයෙන් ඈත්වීමට කැමැත්තෙන් සිටින බවය. ඒ වගේම තනිකරම රටේ සම්පත්වලින්ම ගොඩනැගෙන ආර්ථිකයක් කෙරෙහි බලාපොරොත්තු තබාගෙන පටන්ගත් තමන්ගේ ආණ්ඩුව දැන් විදේශ ආයෝජන කෙරෙහි වඩාත් බලාපොරොත්තු රඳවා කටයුතු කිරීමට සූදානම් බවද පෙන්වා දී තිබේ. ඒ එක්කම රට ඉදිරි වසර තුනේදී ආසියානු කලාපයේ වේගවත් සංවර්ධනයක් සහිත රාජ්‍යය බවට පත් කිරීම සඳහා ආණ්ඩුව හදන සැලසුම්වලට පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් සහාය දක්වන්නැයි විපක්ෂයෙන් පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලීමක් කර තිබුණි.

විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එහෙම සහායක් ඉල්ලා සිටීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද එවැනි සහායක් ඉල්ලා සිටීමෙන් පෙනෙන්නේ තමන්ගේ තීන්දු තීරණවලට සහාය නොදක්වන පිරිසක් ආණ්ඩුව ඇතුළේ ඉන්නා බව ජනාධිපතිවරයා තේරුම් ගෙන සිටින බවය. නැගෙනහිර ජැටියට සම්බන්ධ ආයෝජනයත් යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පවරාදීමත් යන අවස්ථා දෙකේදීම මේ ආණ්ඩුව ඇතුළේ විරෝධය ජනාධිපතිවරයාට දැනෙන්නට ඇත. තමන්ගේ අභිමතය පරිදි රටට ගෙන ඒමට සැලසුම් කරන ආයෝජනවලට තමන්ගේම මැති ඇමැතින් විරුද්ධ වීම ජනාධිපතිවරයාට තදින්ම දැනී ඇති බව පැහැදිලිය. ඔහු පූර්ණකාලීන දේශපාලනඥයකු වශයෙන් කටයුතු නොකිරීමේ අවාසිය ද මෙහිදී බලපා තිබෙන බවත් අවබෝධ කර ගැනීම දුෂ්කර නැත.

පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකට උසිගැන්වීම නතර කළ යුතු බවටත් විදේශ ආයෝජන සම්බන්ධයෙන් දේශපාලන වාසි තකා වැරදි මත ඇතිකිරීම ඉතා වැරදි ක්‍රියාවක් බවටත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පෙන්වා දෙන්නේ තමන් ඒ කරුණු සම්බන්ධයෙන් මුලින් දැරෑ ස්ථාවරයෙන් ඈත්වීමට කැමැත්තෙන් සිටින බවය. ඒ එක්කම ඉහළ ප්‍රමිතියකින් යුත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රට තුළ ආරම්භ කිරීමට අවසර දිය යුතුය යන මතය තහවුරු කිරීමට පුළුල් සංවාදයකට යොමුවෙන්නැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇරියුමක් ද කළේය.

මේ කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම රජයේ අරමුණක් බවය. එයට පාර්ලිමේන්තුවේ සහාය අවශ්‍ය බවය. මේ බලාපොරොත්තු වෙන සහාය ජනාධිපතිවරයාට ලැබෙයිද? විපක්ෂයෙන් කොහොම වෙතත් ආණ්ඩු පක්ෂය ඇතුළේ ඉන්න දැඩි මතධාරීන්ගේ සහාය ලබාගන්න ජනාධිපතිවරයාට පුළුවන් වෙයිද?

ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයෙන් ජය ගැනීමේ වේදිකාවේ හිටපු ප්‍රබලම කථිකයන් වැඩියෙන්ම හඬ නැගුවේ අද ජනාධිපතිවරයා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මේ වැඩවලට එරෙහිවය. ඔවුන්ට අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල යනු අධ්‍යාපනය විකිණීමකි. රාජ්‍ය විශ්වවිද්‍යාල පාවාදීමකි. විදේශ ආයෝජන යනු රටේ සම්පත් විකිණීමකි. රට කෑලිවලට කැඩීමකි. ජාත්‍යන්තර සම්මුතීන්ට නීතිවලට නිරතුරුවම ගරු කරන බවත් මානව හිමිකම් කඩකිරීමට තම රජය කිසිම ආකාරයකින් ආධාර හෝ අනුබල නුදුන් බවත් ජනාධිපතිවරයා තමන්ගේ කතාවේදී සඳහන් කළත් ආණ්ඩුවේ ඉන්න දැඩි මතධාරී මැති ඇමැතින්ට නම් ජාත්‍යන්තරය යනු වහ කදුරුය. ඔවුන් හැමදාමත් රටට පෙන්වා දුන්නේ ජාත්‍යන්තරය යනු තම රට ගිලගැනීමට ඉන්නා අධමයන් බවය. ජාත්‍යන්තර නීතිරීතිවලින් අපේ රට ඇදබැඳ ගැනීමට ඉඩක් නොදෙන බවය. මානව හිමිකම් යනු අපේ රටේ රණවිරුවන් දංගෙඩියට කැඳවාගෙන යාමට යොදාගන්නා උප්පරවැට්ටියක් බවය.
ජනාධිපතිවරණ වේදිකාවේදී මේවා හොඳට හිට් වූ සටන්පාඨ විය. ඒවා රටේ ජනතාවටත් හොඳට අල්ලලා ගියේය. ඒ කාලේ වරායේ හැම ගනුදෙනුවක්ම පෙන්වා තිබුණේ විකිණීමක් හැටියටය. විදෙස් ආයෝජන ඡන්ද වේදිකාවේ විහිළුවට ලක් කෙරුණේය. මේ රටේ හොඳ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කරගත හැකිව තිබූ සයිටම් ආයතනය සියලු සරසවි ශිෂ්‍යයන් මහ පාරට බැස්සූ සටන් පාඨයක් බවට පත් කළේ ද මේ දේශපාලනඥයන්මය. ඉතින් දැන් ජනාධිපතිවරයා ඔවුන්ගෙන් මෙලෙස එදා එපා කී ප්‍රතිපත්තිවලට අද සහාය ඉල්ලනකොට ඒ සහාය ලැබෙයිද?

ලැබෙනවාට වඩා පේන්නේ නොලැබෙන බවය. එහෙම සහායක් ලැබෙනවා නම් විමල්ලා යුගදනවි ගිවිසුමට එරෙහිව කෑගසන්නේවත් ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව උසාවි යන්නේවත් නැත. විදේශීය ආයෝජන වෙනුවට දේශීය ආයෝජන වඩා වැදගත් යැයි දිගටම කියන්න යන්නේත් නැත. තමන්ගේ අවශ්‍යතාවලට අදහස්වලට අනුව ඉදිරි වසර තුන ගෙන යාමට නම් මේ පිරිස හරිහැටි කළමනාකරණය කරගත යුතුය. ඉදිරි වැඩපිළිවෙළ ජනාධිපතිවරයාට සාර්ථක කරගත හැකිවනු ඇත්තේ මේ කළමනාකරණය හරිහැටි සිදුවුණොත් පමණි.

හැබැයි අමාරු වැඩක් වගේ පෙනුණත් ටිකක් දුරකට හෝ මේ ආණ්ඩුව ඇතුළේ විරෝධය කළමනාකරණය කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි වී තිබෙන බවද පෙනෙන්නට තිබේ. ත්‍රි^මලේ තෙල් ටැංකිවලට ඉන්දියාවේ ආයෝජන සම්බන්ධ කිරීම ජාතික අපරාධයක් වශයෙන් එදා දකිමින් සිටි උදය ගම්මන්පිල ඇමැතිවරයා අද ප්‍රකාශ කරන්නේ තෙල් ටැංකි ටික ඉන්දියාව සමඟ හවුලේ සංවර්ධනය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් බවය. ඉන්දියාවට දී තිබූ ටැංකි ටික යළි ශ්‍රී ලංකාවට ලබාගැනීමට ගිවිසුමක් ගැසූ බවය. එදා තිබූ විරෝධය අද නැත.

ත්‍රි^මලේ තෙල් ටැංකි පිහිටා ඇති ස්ථානය ඉන්දියාවට උපාය මාර්ගික වශයෙන් වැදගත් වීම නිසා එහි පාලනය තමන් සතුව තබාගැනීමට ඉන්දියාව තුළ තිබෙන අවශ්‍යතාව පිළිබඳ අවබෝධයක් මේ රටේ දේශපාලනඥයන්ටද තිබිය යුතුය. විපක්ෂයේ සිටියදී සහ ආණ්ඩුවේ සිටියදී වශයෙන් එම අවබෝධය වෙනස් විය නොහැක. නමුත් මේ රටේ ක්‍රියාත්මක අවස්ථාවාදී දේශපාලනයේ හැටි එහෙමය.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පැහැදිලිවම පෙන්නුම් කර ඇත්තේ ඔහුට වෙනස්වීමට අවශ්‍ය බවය. රට ඉදිරියට ගෙන යාමට නම් රටේ දේශපාලන චින්තනය ද වෙනස් විය යුතු බව ජනාධිපතිවරයාගේ අදහස බව පැහැදිලිය. අවස්ථාවාදී දේශපාලකයන් මගින් රටට කර තිබෙන විනාශයේ තරම මේ වන විට රට මුහුණ දී තිබෙන තත්ත්වය හොඳින්ම පෙන්වා දෙයි. මේ රටට ජනාධිපතිවරයාම කියන විදියට ආයෝජන ගැන කතා කිරීමේදී විදේශීය හෝ දේශීය හෝ වශයෙන් වෙන් කිරීමට වඩා බැලිය යුත්තේ රටට වඩාත් හිතකර ආයෝජන කුමක්ද කියාය. 

මේ චින්තනයම ආණ්ඩුව භාරගත් අවස්ථාවේම ජනාධිපතිවරයා රටට කියා තිබුණා නම් එසේම තමන්ගේ මැති ඇමැතින් ඒ ආකාරයට කළමනාකරණය කර ගැනීමට පියවර ගත්තා නම් අපේ රට කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකව මේ තරමට වැටෙන්නේ නැත. එහෙම වුණා නම් ජනාධිපතිවරයාට මේ පාර රාජාසන කතාවේදී කියන්න වෙන්නේ මීට වඩා වෙනස් කතාවකි. ඒක එදා සිදුකළ ඉදිරි බලාපොරොත්තු ගැන කළ කතාවට වඩා කළ වැඩවල සාර්ථක බව කියන ආඩම්බර කතාවක් වන බව නම් සහතිකය.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00