2022 ජනවාරි 22 වන සෙනසුරාදා

විදුලිය අර්බුදයට විසඳුම් ඕනෑ

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 83

මොන රටක මොන ආණ්ඩුවක් තිබුණත් තෙල් සහ විදුලිය අඛණ්ඩව සැපයීම් තිබිය යුතු සේවාවන් දෙකකි. ඊළඟට ප්‍රවාහනයද අත්‍යාවශ්‍යම සේවාවකි. රටේ සෙසු සියලු කටයුතු ක්‍රියාත්මක වී ඉදිරියට යන්නේ තෙල්, විදුලිය සහ ප්‍රවාහනය හේතුවෙනි. මේ සේවා තුන නොවන්න රටේ කාර්යාලයක්, කම්හලක්, රෝහලක් හෝ පාසලක් පවත්වාගෙන යාම පමණක් නොව ගොවිතැන් බතක් හෝ කර ගැනීමට ඉඩක් නැත. කොටින්ම එකී සේවා තුන නොමැති තැනක රටකට පැවැත්මක් තිබිය නොහැක.

මෙතරම් වැදගත් සේවා තුන අතරින් තෙල් සහ විදුලිය අද රටේ බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ. බලශක්ති ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ දින 08කට ප්‍රමාණවත් තෙල්, විදුලි බල මණ්ඩලයට ලබාදී තිබීම නිසා ඉදිරි දින කිහිපය තුළදී රටේ විදුලිය උත්පාදනයට බාධාවක් නොවනු ඇති බවය. ඇමැතිවරයා කතා කරන්නේ තෙල් ලැබුණොත් විදුලිබල මණ්ඩලයට ඒවා ලබාදිය හැකි බව පමණි. දීර්ඝකාලීනව විදුලිය නිපැයුම සඳහා තෙල් ලබාදීමක් පිළිබඳ කිසිවක් පැවැසිය නොහැකි බවද ඒ සමඟ කියයි.

ජල විදුලි බලාගාර නිෂ්පාදනය අඩුවෙමින් පැවතීමද ගල්අඟුරු යොදා ගනිමින් ක්‍රියාත්මක වන නොරොච්චෝලේ දැනට අක්‍රීයව පවතින බලාගාරය හේතුවෙන්ද අවශ්‍ය පමණට විදුලිය නිෂ්පාදනයක් සිදු නොවන බව අපි සියලු දෙනා දැන සිටිමු. මේ නිසා තෙල් ලැබුණත් දෛනික විදුලිය කැපීමකට යා යුතු වන බවට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය සමඟ එකඟ වීම හැර පාරිභෝගිකයාට කළ හැකි වෙනත් යමක් නැත. කලට මෝසම් වැසි ලැබ ජලාශ පිරී යනවිට ජල විදුලි බලාගාර උපරිම නිෂ්පාදනයට පැමිණීමේදී මේ ගැටලුවට විසඳුම් ලැබෙන බව ඇමැතිවරයාගේ විශ්වාසය වී තිබේ. එහෙත් අවශ්‍ය තරම් තෙල් තොග විදුලි බල මණ්ඩලයට නොලැබෙන්නේ නම් ජල විදුලි බලාගාර සහ ගල් අඟුරු බලාගාර තුළින් පමණක් අඛණ්ඩ විදුලිය සැපයුමක් ලැබෙනු ඇතැයි විශ්වාසයකින් සිටීම සුදුසු නැත. නොරොච්චෝලේ ලෙඩ දුන්නොත් එකම පිහිට ඩීසල් බලාගාර වන බැවිනි.

රටේ විදුලිබල නිෂ්පාදනය මේ තරම් ගැටලු මතුවූ වෙනත් කාලයක් නොතිබිණි. දැනට තිබෙන ප්‍රධාන ගැටලුව තෙල් ලබා ගැනීමට ඩොලර් නොලැබීමය. ඩොලර් නැත්නම් තෙල් නැත. තෙල් නැත්නම් විදුලිය නිපැයුමට තෙල් සැපයීමක් නොවේ. විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා දිගටම කියා තිබුණේ කෙසේ හෝ විදුලිය ලබාදීමට කටයුතු කරන බවය. විදුලිය කපා හරින වේලාවල් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් විසින් සකස් කර නිකුත් කළ වගුවද ඉවත් කරගනු ලැබීය. එහෙත් විදුලිය කැපීම දිගටම සිදුවෙයි. අතීසාරයට අමුඩ ගැසීමෙන් පලක් නැති බව දැන්වත් අවබෝධ කර ගැනීම යහපත් වනු ඇත.

වරායේ තිබෙන තෙල් නැව්වලට ගෙවීම සඳහා ඩොලර් නිදහස් කෙරෙනතුරු මේ ගැටලුවට විසඳුමක් නැත. සතියකට දෙකකට තෙල් මිලදී ගැනීමේ ක්‍රමය දිගටම පවත්වාගෙන යා හැකි ක්‍රියාදාමයක් නොවේ. මේ ගැටලුවට තිබිය යුත්තේ එකම විසඳුමකි. ඒ අවශ්‍ය තරම් ඩොලර් මුදාහැරීම පමණි. එහෙත් රට මුහුණ දී සිටින උග්‍ර විදේශ විනිමය ගැටලුව හමුවේ එය සිහිනයක් පමණි. ඒ අනුව අමාත්‍යවරුන් මාධ්‍ය සාකච්ඡාවලට පැමිණ එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමෙන් පලක් නැත. ඒවා රටේ ජනතාව දකිනු ඇත්තේ මාධ්‍ය සංදර්ශන වශයෙන් පමණි.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවට අවවාද ලබා දෙනු ලැබුවේ ඉස්සර කාලයේය. දැන් විදුලිය කැපීමත් සමඟ අරපිරිමැස්ම ඉබේම පහළ වී තිබේ. විදුලිබල ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ තෙල් ලැබුණොත් කැපීමක් නැතිව විදුලිය ලබාදිය හැකි බවය. එහෙත් බලශක්ති ඇමැතිවරයා අනතුරු අඟවන්නේ දැන් සිටම යම් විදුලිය කැපීමක් සිදු නොකළොත් ඉදිරියේදී අඛණ්ඩ විදුලිය කැපීමකට මුහුණදීමට සිදුවනු ඇති බවය. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පවා පෙන්වා දෙන්නේ මාර්තු මාසය අගභාගය වනවිට රට විශාල විදුලිය සැපයීමේ අර්බුදයකට මුහුණදෙනු ඇති බවය. එසේ නම් මේ අර්බුදයට කෙටිකාලීන සහ දීර්ඝකාලීන විසඳුම් තිබිය යුතු බව තේරුම් ගෙන කටයුතු කිරීම අමාත්‍යවරුන්ගේ වගකීමය. කැබිනට් මණ්ඩලය තුළ විසඳාගත යුතු ප්‍රශ්න ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමෙන් ඒ වගකීම ඉටු නොවේ.

විදුලිබලය අඛණ්ඩව සැපයීම සඳහා පියවර නොගතහොත් එහි බලපෑම සියලු ආදායම් උපදවන ක්‍රියාවලියට විශාල අවදානමක් ඇතිකරනු ඇත. රටේ කර්මාන්තශාලා සහ සංචාරක හෝටල් ජෙනරේටර් මගින් ලබාගන්නා විදුලියෙන් දිගටම පවත්වාගෙන යා නොහැක. සියලු කාර්යාල, රෝහල් සහ පාසල් සහ සරසවිද එම තත්ත්වයටම මුහුණදෙනු ඇත. ඒ තත්ත්වය වළක්වා ගැනීමට නම් විදුලිය සැපයුම අඛණ්ඩව සිදුකිරීම ප්‍රමුඛත්වය ලැබෙන සේ අවශ්‍ය පියවර ගැනීම තවදුරටත් පමාකළ යුතු නැත.