2022 ජනවාරි 15 වන සෙනසුරාදා

වරාය උගන්වන පාඩම

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 105

කොළඹ වරායේ නැගෙනහිර පර්යත්නය මේ ආණ්ඩුවේ මුල් කාලයේදී මහ හිසරදයක් විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූ ගමන් ඉන්දියාව සමඟ හවුලේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට වැඩපිළිවෙළක් හැදුවේය. ඒ ව්‍යාපෘතියේදී රටට හැමදාමත් සිටි දීර්ඝකාලීන ආර්ථික මිතුරකු සහ හවුල්කරුවකු වූ ජපානය අමනාප කර ගැනීම අවාසියක් වුණත් ඉන්දියාවේ ආයෝජනය කෙරෙහි ජනාධිපතිවරයා දැඩි විශ්වාසයක් තබාගෙන සිටියේය.

එහෙත් ඒ ව්‍යාපෘතිය ආරම්භයේදීම කඩා වැටුණි. වරාය සේවකයන් රටේ සෙසු වෘත්තීය සමිතිද එක් කරගනිමින් දියත් කළ ප්‍රබල විරෝධයට විමල්, උදය, වාසුලාද එක්වීම නිසා ආණ්ඩුවට ඒ ව්‍යාපෘතිය අතහැර දැමීමට සිදුවිය. එය ජනාධිපතිවරයා අපහසුතාවයකට ඇද දැමූ අතර ඉන්දියාවද අමනාප වන ලකුණු පහළ විය. රටට ලැබීමට නියමිත වූ විශාල ආයෝජනයක් අහිමි වූ බව ජනාධිපතිවරයාගේ අදහස වූ අතර තමන් රටේ සම්පත් විකිණීමෙන් ගලවාගත් බව වරායේ වෘත්තීය සමිති සහ විමල්ලාගේ අදහස විය. රටට ඔවුන් පැවසුවේ තමන් ජනතාව වෙනුවෙන් නැගෙනහිර ජැටිය රැකගත් බවය.

අන්තිමට ඉන්දියාවේ හොඳ හිත රුක ගැනීමට කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාවේ වර්තමානයේ ඉහළම ධනවතා වශයෙන් සැලකෙන ඒ වගේම නරේන්ද්‍ර මෝදිගේ ළඟම හිතවතකු වන අදානිට පවරා දීමට ආණ්ඩුව පියවර ගත්තේය. එදා ඒ තීරණය හෝ නොගන්නට මේ වෙලාවේ ආර්ථික අඝාධයේ කරවටක් ගිලී සිටින ශ්‍රී ලංකාවට යාන්තම් හුස්ම ගන්නට ආධාරයක් වශයෙන් ඩොලර් බිලියන 1.9ක ඉන්දීය ආධාරයද නොලැබී යාමට ඉඩ තිබුණි.

මේ අලකලංචිවලින් පසුව පසුගිය බදාදා (12) නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අදියර ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ඒ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහෙම කිව්වේය

රටේ සුබවාදී අදහස් අත් නොහැරිය යුතු නැහැ. ගෙවී ගිය කාලය කර ගසාගෙන යාම විපක්ෂයටත් විවේචකයන්ටත් බාරදී අප අනාගතය බාර ගනිමු. ඉදිරි වසර තුන පිළිබඳව අපේක්ෂා තබාගන්න.

ඉන්දියාවත් එක්ක හවුලේ දැවැන්ත ආයෝජනයක් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි කරගත් ලංකාව දැන් මේ වරාය දෙවැනි අදියර පටන් ගත්තේ වරාය අධිකාරියේ ඩොලර් මිලියන 200ක් වැය කරමින් බව සඳහන්ය. මුළු වියදම ඩොලර් මිලියන 510ක් වන නිසා ඉතිරිය සපයා ගන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් බව කියයි. එහෙම නම් ඒ ඉතිරි මුදල ලැබෙන්නේ ණයක් වශයෙනි. එසේ ලබාදෙන ණය මුදල්වලට පොලියක් (ජාත්‍යන්තර මට්ටමට අනුකූලව) අයකරන බව රහසක් නොවේ. 

මෙතරම් ආර්ථික අගාධයකට වැටී සිටින රට මේ මුදල් වැය කරන්නේ කොහොමද කියන එක ලොකුම ගැටලුවය. රටට අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධද තෙල්ද වරායේ නිදහස් කර ගැනීමට ඩොලර් නැතිව සිටින රටක් ඩොලර් මිලියන 510ක ව්‍යාපෘතියක් පටන් ගැනීමත් විශ්මයජනකය. රටට අනාගතයේ කිසිදු බරක් නැති ඍජු ආයෝජනයක් වශයෙන් දියුණු කිරීමට තිබූ නැගෙනහිර ජැටිය රට තවත් ණය උගුලේ පටලවන ව්‍යාපෘතියක් බවට පත් කිරීමේ වගකීම ගන්න කිසිවකු අද නැත. රටට ඔරොත්තු නොදෙන, එනම් ලැබෙන ඩොලර් ආදායමට වඩා අති විශාල වියදමක් දරා පසුගිය දශක දෙක තුළ සිදුකරන ලද ඉදිකිරීම් ශ්‍රී ලංකාව මේ වනවිට ගොඩ යා ගත නොහැකි තරමට ණය උගුලකට හිරකර තිබෙන බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. මේ ඉදිකිරීම්වලට ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ ආධාර නොව ඉහළ පොලියක් සහිත ණය බව දැන දැනත් ඒවා ලබාගැනීමට උනන්දුව දැක්වූ සියලුදෙනා අද රට පත්ව තිබෙන ආර්ථික තත්ත්වයට වගකිව යුතුය. රටේ සංචිතයේ ඉතුරුව තිබෙන අන්තිම ඩොලරය දක්වාම ගෙව්වත් රට මුහුණ දී සිටින ණය කන්දරාවෙන් ගොඩ ඒමට හැකියාවක් නැත.

අග්‍රාමාත්‍යවරයා තම කතාවේදී සුබවාදී බලාපොරොත්තු අත් හරින්න එපා යැයි කීම හොඳ කතාවකි. එහෙම වුණත් මේ රටේ මෙතෙක් කාලයකට සිදු නොවුණ විදියට ආහාර, ඖෂධ සහ තෙල් මිල ගණන් දැරිය නොහැකි තරමට ඉහළ යාමත් ඒවා ලබා ගැනීම සඳහා පෝලිම්වල රස්තියාදුවීමට සිදුවීමත් පෙන්වා දෙන්නේ රටට අවශ්‍ය වන්නේ බරපතළ ප්‍රතිපත්තිමය වෙනසක් බවය. රටට ලැබෙන ආයෝජන අතහැර ණයට සල්ලි ගෙන රටේ ඉතිරි ඩොලර් ටිකත් වියදම් කරගෙන සිදුකරන ව්‍යාපෘතිවලින් සිදුවන්නේ රටේ ණය බර තවත් වැඩිවීම පමණි. හැබැයි මැතිවරණ වේදිකාවල පට්ට ගැසිය හැකි සටන් පාඨ නම් ඒකෙන් නිර්මාණය වෙයි. අපි රටේ සම්පත් විකුණන්නෙ නෑ... විකුණුවත් ආපහු ගන්නවා ඒ වගේ එක් සටන් පාඨයකි. නිදහසින් පස්සේ බලයට ආපු ආණ්ඩු බොහොමයක් එල්ලුණේ මේ සටන් පාඨයේය. එයින් සිද්ධ වුණේ රටට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ලබාදෙන ඍජු විදේශ ආයෝජන වෙනුවට අධික පොලියට විදේශ ණය ගන්නා රටක් බවට ශ්‍රී ලංකාව පත්වීමය. අද රට වැටී තිබෙන ආර්ථික අඝාධයේ සැබෑ කතාව එයයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට වැදුණේ දරුණු පහරක් බව හැබෑවකි. ශ්‍රී ලංකාව වඩාත්ම ආර්ථික වශයෙන් රැඳී සිටි විදේශ රැකියාවලින් සහ සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබුණු ඩොලර් බිලියන 7කට ආසන්න වාර්ෂික ආදායම බිංදුවට බැස්සේය. එය ආර්ථිකයට විනාශකාරී විය. එහෙත් මේ විනාශය ආසියාවේ බොහොමයක් රටවලට බලපෑවේය. ඒ රටවල්ද ආර්ථික වශයෙන් වැටුණු අතර ජනතාවටද පීඩාවට පත්වීමට සිදුවිය. නමුත් විදේශ ආයෝජන මත රැඳුණු ආර්ථිකය හේතුවෙන් ඒ රටවල්වලට සංචිතය දියවෙන ප්‍රශ්න ඩොලර් හිඳෙන ප්‍රශ්න ඇතිවුණේ නැත. ඔවුන්ගේ ආයෝජකයන් තමන්ගේ ව්‍යාපාර දිගටම පවත්වාගෙන යාම ඒ රටවල ආණ්ඩුවලට ලොකු ශක්තියක් විය. කොවිඩ් නිසා ආර්ථිකය විනාශ වූ බව ඒ රටවල නායකයන් කියන්න ගියේත් නැත. කොවිඩ් නිසා විනාශ වූ ආර්ථිකය ගෝලීය ප්‍රශ්නයකට සීමා වූ බව දැන් ලෝකයේ සෙසු රටවල් ආර්ථික වශයෙන් හිස ඔසවාගෙන ආකාරයෙන් හඳුනාගත හැක. අසල්වැසි ඉන්දියාව සහ බංග්ලාදේශයත්, මාලදිවයිනත් මීට ආසන්නම උදාහරණය.

ආයෝජන යනු රටේ සම්පත් විකිණීමක් නොවන බව ජනතාවට පහදාදීමට කිසිම රජයක් ක්‍රියා නොකරන්නේ එයින් තමන්ට ලැබෙන දේශපාලන අවාසිය හේතුවෙනි. එදා සිටම හැම විදේශ ආයෝජනයක්ම රට විකිණීමක් හැටියට පෙන්වීමේ ප්‍රතිඵල අද හෝල්සේල් එකේ රටට ලැබෙමින් තිබේ. මේ තත්ත්වයෙන් මිදීමට මේ රජයට උවමනාවක් නොමැති බව පෙන්වන හොඳම උදාහරණයක් වන්නේ නැගෙනහිර ජැටියට සිදුවූ දේය. ආයෝජනයක් වෙනුවට අතින් කාලා හරක් බැලීමක් බවට පත්කරගත් එම ව්‍යාපෘතිය මෙරට විදෙස් ආයෝජනවලට අත්වෙන කනගාටුදායක ඉරණම පෙන්නුම් කරන කටු අත්තකි.

වත්මන් රජය බාර ගනිද්දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආයෝජන සම්බන්ධයෙන් හොඳ දැක්මක් තිබිණි. ඔහු බය නැතුව කොළඹ වරායේ නැගෙනහිර ජැටියට අතගැසුවේ ඒ නිසාය. චීනයට වඩාත් නැඹුරු වූ නායකයකු වශයෙන් පිළිගැනුණත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී ඉන්දියාව හවුල්කරුවකු කර ගැනීමට පවා ඉදිරිපත් විය. එහෙම කළත් ඔහුට තමන්ගේ අරමුණ ජයගැනීමට බාධා ඇතිවිය. රටට ලැබෙන ඍජු විදෙස් ආයෝජනවල වටිනාකම ගෝඨාභය ජනාධිපතිවරයා හොඳටම දැන සිටියත් ඔහුට ඒ හා සමගාමීව යන දේශපාලන දර්ශනයක් නොතිබීම අවාසියක් විය. හැම අවස්ථාවදීම හමුදාව සහ හිටපු හමුදා නිලධාරීන් කෙරෙහි පමණක් විශ්වාසය තැබීමත් සෑම තීන්දුවක්ම පාහේ කැබිනට්ටුව සමඟ සාකච්ඡාවකින් තොරව ගැනීමක් නිසා තමන් ගත් තීරණ ගණනාවක් ආපසු හැරවීමට ජනාධිපතිවරයාට සිදුවිය. එසේ ආපසු හරවා ගත් තීන්දු අතර රටේ අනාගතය වඩාත් යහපත් අතට හැරීමට හේතු විය හැකි තීන්දුද තිබිණි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ආයෝජනයට ගත් තීන්දුව ඒ අතරින් කැපී පෙනුණේය. එදා ගෝඨාභය මහතා ගත් එම තීන්දුවට ආණ්ඩුවේ සෙසු සියලුදෙනාගේ සහාය ලැබුණේ නම් අද මේ වනවිට රට මේ තරම් ආර්ථික අඝාධයකට වැටෙන්නේ නැත. ඒ ආරම්භය ගත්තා නම් රටට මේ වනවිට විදේශ අයෝජන ගණනාවක් පැමිණීමට හොඳටම ඉඩ තිබිණි. එහෙම වුණා නම් කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථිකය විනාශ වුණා කියා ලෝකය හමුවේ කියන්න සිදුවෙන්නේත් නැත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැගෙනහිර පර්යන්තය ඉදිකිරීමේ උළෙල ආරම්භ කරමින් කළ කතාවේ මෙසේද සඳහන් විය.

අපට මේ රට ගැන විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ආණ්ඩුවට වැදගත් වෙන්නේ ඉදිරි වසර තුනයි. ඒ වසර තුන තීරණාත්මකයි. අතීතය නොවෙයි, අනාගතයයි අපි බාරගන්න ඕනෑ. ගෙවුණු අතීතය ආණ්ඩුවට ආපහු ගන්න බෑ. ඒක ආපහු අදින්න පුළුවන් වැඩ කළොත් විතරයි.

මේ කතාව හරියටම හරිය. හැබැයි තීරණාත්මක ඉදිරි වසර තුන යන්නේත් අපට ආයෝජන අවශ්‍ය නෑ. අපේ වැඩ අපිටම කරගන්න පුළුවන් කියා මතය ඉදිරියට ගන්නා අයට තැන දීමෙන් නම් අනාගතය බාර ගැනීම ගැන ඇති අදහස අත්හැර ගැනීම වඩාත් හොඳය.

 ශශීන්ද්‍ර