2022 ජනවාරි 15 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 168

ණය ගෙවීම පැහැර හැරීම කබ්රාල් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව ණය නොගෙවිය යුතු ස්ථාවරය දරණ විද්වතුන්ට දැඩිව ප්‍රහාරයක් එල්ල කරන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුව දුෂ්කරතා මැද වුවද ණය ආපසු ගෙවීම සඳහා සංචිත වර්ධනය කර ගැනීමේ මාවතට පිවිසී ඇතැයි සඳහන් කරයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රටට ගෙන්වා ගැනීමටත් රුපියලේ අගය ස්ථාවරව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා සිදු කළ යුතු ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කිරීමටත් මහ බැංකුව කටයුතු කරමින් සිටින බවද කබ්රාල් මහතා කියයි.

ඇතැම් ව්‍යාපාරික නායකයන්ට සහ &අන්තර්ජාල ආර්ථික විශේෂඥයන්*ට අවශ්‍ය පරිදි ණය නොගෙවා සිටීම විනාශකාරී වනු ඇතැයි ද එය අරාජික තත්ත්වයකට යාමක් වනු ඇතැයි ද කබ්රාල් මහතා සඳහන් කරයි. ලබන 18 වැනිදා කල් පිරෙන ජාත්‍යන්තර බැඳුම්කරය ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 500 සපයා ගැනීමට රජය දැනටමත් කටයුතු කර තිබියදී ඔවුන්ගේ අරමුණ ප්‍රශ්නකාරී බවද ඒ මහතා කියයි.

පසුගිය දෙවසර තුළදී කල් පිරුණු ඩොලර් බිලියන 02ක ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ගෙවා අවසන් කළ බවද සඳහන් කළ කබ්රාල් මහතා ණය නොගෙවීමක් කිසි විටෙකත් සිදු නොවනු ඇති බව දැඩිව කියා සිටියේය. විදේශ විනිමය සහ සංචිත අර්බුදය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය නොකිරීම සහ හිඟය ඇති බවට කරන ප්‍රකාශ බැහැර කරන කබ්රාල් මහතා එය වෙනත් හේතූන් මත සිදුවූ බවද ප්‍රකාශ කරයි. 2020 සිටම ශ්‍රී ලංකාව බංකොළොත් වන බවට පළ වූ මත වැරදි බව රට දැන් පෙන්වා ඇතැයි ද එවැනි වැරදි අනාවැකි පළ කළ පුද්ගලයන්ගේ වගවීම ප්‍රශ්න නොකිරීම අවාසනාවක් යැයි ද පැවසූ කබ්රාල් මහතා තමන් සියල්ල කළමනාකරණය කරගත් ආකාරයටම 2022 ද කළමනාකරණය කර ගන්නා බවද ප්‍රකාශ කළේය. අපි දැන් හොඳින් තත්ත්වය පාලනය කර ගනිමින් සිටිනවා. ක්‍රම ක්‍රමයෙන් ඩොලර් බිලියන 1.5 සිට ඩොලර් බිලියන 3 දක්වා සංචිතය වර්ධනය කරගෙන තිබෙනවා. එය තවදුරටත් වැඩි වෙනවා. එයට සමහරුන් කැමැති නෑ. ඔවුන් ශ්‍රී ලංකාව ණය නොගෙවිය යුතු බවට සිහින දකිනවා.යැයි ද ඔහු කියයි.

- ඩේලි එෆ්.ටී. 

ආණ්ඩුව සහ තුනෙන් දෙක

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී තරග කිරීම සඳහා පොදු සන්ධානයක් පිහිටුවීමේ අදහසක් ගැන සංඥා නිකුත් කරමින් සිටින ශ්‍රීලනිපය ඉවත් වුවහොත් ආණ්ඩුවට තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය අහිමිවීමට ඉඩ තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජ්‍යෙෂ්ඨයන් තමන්ගේ තරුණ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත්තේ ශ්‍රීලනිපයට අගරු වන සේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් වළකින ලෙසටත් ශ්‍රීලනිපයට රජයෙන් ඉවත් වීමට අවශ්‍ය නම් ඔවුන්ට එසේ ඉවත් වීමට ඉඩ දෙන ලෙසටත්ය. දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ රජය සහ ශ්‍රීලනිපය අතර සබඳතා අමිහිරි මට්ටමකට වැටී තිබෙන බවත් අනාගත මැතිවරණ සඳහා පොදු සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් ශ්‍රීලනිපය රජයෙන් ඉවත් වීම දැන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවත්ය.

ශ්‍රීලනිපය මූලික කරගෙන පොදු සන්ධානය පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බිහිවීමට වැඩි ඉඩක් පවතින බවද සඳහන්ය. මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවද තම පක්ෂය රජයෙන් ඉවත් වීමට දැන් සූදානම් බවට ඔහු ඉඟි පළ කර ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේ වුවද රජයේ ආරංචි මාර්ගයකින් පැවසුණේ සුළු පක්ෂ ගණනාවක් සමඟ පොහොට්ටුව ද සාකච්ඡා ආරම්භ කර ඇති බවය. එම පක්ෂ රජයට එකතු වීමට කැමැත්ත පළ කර තිබෙන බවද කියයි. එහෙත් තවත් ආරංචි මාර්ගයකින් ප්‍රකාශ වූයේ එවැනි සහායක් රජයට ලැබෙනු ඇත්තේ රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය පදවියක් ප්‍රදානය කිරීමෙන් පසුව පමණක් බවය.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරේ සංචාරය නිමකර කොළඹට පැමිණි පසුව පොදු දේශපාලන සන්ධානයක් බිහිකිරීම සඳහා වන සාකච්ඡාවලට ශ්‍රීලනිපය ද සම්බන්ධ කර ගැනීමට ඉඩ ඇති බවද සඳහන් වෙයි. කෙසේ වුවද තවම එම සාකච්ඡා සමාප්ත වී නැත.

දේශපාලන කරළියේ පොදු සන්ධාන බිහිවීමේදී සිදුවිය හැකි වෙනස්කම් සහ මාරුවීම් හේතුවෙන් ඉදිරි මාස කිහිපය රට දේශපාලන වශයෙන් තීරණාත්මක වනු ඇතැයි ද ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද තම කඳවුර ශක්තිමත් කර ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුට කැබිනට් අමාත්‍ය පදවි ලබාදීමක් සිදුවනු ඇති බවට ද ආරංචි පැතිරෙයි.

- ඩේලි මිරර්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00