2022 ජනවාරි 08 වන සෙනසුරාදා

තාම දික්කසාදෙකට ගිහින්නෑ

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 105

 

බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල 

  • කැබිනට්ටුවට යුගදනවි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වුණේ නෑ
  • ඉන්දියාවට ගිය තෙල් ටැංකි 99න් 85ක්ම මම අපේ පැත්තට ගත්තා
  • විනය ක්‍රියාමාර්ග ගැන නොදන්නේ දේශපාලන කිරිසප්පයෝ
  • ආණ්ඩුව විවේචනය කළාට සුසිල් ඇමැතිතුමා අයින් කළා නම් තවත් ඇමැතිවරු අයින් කරන්න ඕනෑ
  • කොච්චර අමාරු වුණත් අපි තෙල් ගේනවා
  • මව්බිම ජනතාව රකින සටනෙදි සතුරාගේ පාට අපට අදාළ නෑ

ආණ්ඩුවේ කට්ටියගේ හැසිරීම් සහ ප්‍රකාශ එක්ක පේනවා ඇතුළේ තත්ත්වය නරකයි වගේ. ඇත්තටම ඇමැතිතුමා ආණ්ඩුවේ තත්ත්වය පේනවට වඩා දරුණුද?

ආණ්ඩුව තුළ ගැටුම් තියෙනවා. ඒක ඇත්තක්. ලෝකේ තියෙන පුංචිම සංවිධානය තමයි පවුල. එතනත් සාමාජිකයෝ දෙන්නයි. ඉතිං එතනත් ගැටුම් ඇති වෙනවනේ. විවිධ අදහස් තියෙන පක්ෂ 17ක් එක්ක සන්ධානයක් පිහිටෙව්වම එතන ගැටුම් ඇතිවීම පුදුමයක් නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නේ අපේ පක්ෂ විතරක් නෙමෙයි විපක්ෂයේ ඉන්න පක්ෂ පවා එකතු කරගෙන මේ ජාතික ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕන. පෞද්ගලික ගැටුම් පසෙක තියලා මේ ජාතික අර්බුදයට අපි එක්ව මුහුණ දෙන්න ඕන. සමස්ත ජාතියම එකතුවීම තියා ආණ්ඩුවවත් ඒ අභියෝගයට මුහුණදීමට සූදානමක් නෑ කියලා මට පේන්නේ.

කතාවට කියනවා පවුලක වුණත් ගෙයි ගින්දර පිටට එපා පිට ගින්දර ගෙට එපා කියලා. දැන්නම් ආණ්ඩුවේ ගෙයි ගින්දර පිට යන තැනට පත්වෙලා නේද?

සාමාන්‍යයෙන් පවුලක නෝනයි මහත්තයයි රණ්ඩු වුණාම ඒ ප්‍රශ්න ගෙදර විසඳාගන්න පුළුවන් වුණොත් ගෙයි ගින්දර පිට යන්නේ නෑ. ඒත් විසඳාගන්න බැරි වුණොත් දික්කසාදය සඳහා උසාවි යනවා. එතකොට රට ඉදිරියේම ඒ ප්‍රශ්නය කතා කරන්න සිද්ද වෙනවා. ආණ්ඩුවේ ඇතුළෙත් එහෙමයි. ඇතුලේ ප්‍රශ්නයක් කතා කරගන්න බැරි වුණොත් තමයි ඒ ප්‍රශ්නය එළියට යන්නේ. අපට වුණෙත් ඒකම තමයි. උදාහරණයක් හැටියට කුළුඳුල් කැබිනට් පත්‍රිකාවක් හැටියට ඉදිරිපත් වුණ 20 වැනි සංශෝධනය ගැන ඇතුලේ කතා වුණේ නෑ. ඒ වගේම යුගදනවි ගිවිසුම ගැන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වුණේවත් නෑ. ඒ නිසා මේ පිළිබඳව අපට එළියේ කතා කරන්න සිදුවුණා.

දැන්නම් ප්‍රශ්න ඔඩුදුවලා වැඩියි වගේ. දික්කසාදයට ළඟද ආණ්ඩුව එක්ක?

තවම දික්කසාදයකට ගිහින් නෑ. ඇතුළේ කතාකරන්න බැරි නිසා එළියේ කතා කිරීම විතරයි සිද්ධවෙලා තියෙන්නේ. මොකද තවම දික්කසාද නඩුවක් කවුරුත් දාලා නෑ.

දික්කසාද කෙසේ වෙතත් පවුලේ සාමාජිකයෝ එකා දෙන්නා එළවන තැනට පත්වෙලා නේද?

ඔයා අහන්නේ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාගේ සිද්ධියද?

ඔව් ඔව් නැතුව?

ඇමැතිවරු පත් කිරීම ඉවත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතුමාට.

ආණ්ඩුවේ වැරදි කතා කළාම ඉවත් කරන්න ඕනද?

ආණ්ඩුවේ වැරදි කතා කළාට නම්, ආණ්ඩුවේ ප්‍රශ්න කතා කළාට නම් සුසිල් ඇමැතිතුමා ඉවත් කළේ, ඒ සමඟ ඇමැතිවරු විශාල පිරිසක් ඉවත් කරන්න ඕන. සුසිල් ඇමැතිතුමා ඉවත් කළේ ඇයිද කියලා හරියටම දන්නේ ජනාධිපතිතුමා විතරයි. ජනාධිපතිතුමා එවැනි තීරණයක් ගත්තේ ඇයිද කියන්න නම් අපිට අනුන්ගේ සිත් කියවීමේ හැකියාව හෙවත් පරචිත්ත විජානන ඥානය තියෙන්න ඕන. මට නම් තවම ඒ ඥානය පහළ වෙලා නෑ.

සුසිල් ඇමැතිතුමා එක්ක තවත් ඇමැතිවරු අයින් වෙන්න ඕන කියන්නේ ඔබලත් එහෙනම් අයින් වෙන්න ඕන නේද?

ආණ්ඩුව ව්වේචනය කිරීමේ චෝදනාව නම් සුසිල් ඇමැතිතුමාට එල්ල වෙන්නේ එහෙම ප්‍රසිද්ධියේ විවේචනය කරපු ඇමැතිවරු ගණනාවක් ඉන්නවා. එහෙනම් ඒ අයත් අයින් කරන්න ඕන නේද?

ඒ කියන්නේ ඔබලා ඒ ගොඩට අයිති වෙන්නේ නැද්ද?

අපේ විවේචන අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ආකාර දෙකකට. අපිට ආණ්ඩුවට ඉදිරිපත් කළ හැකි කර්කෂ විවේචන ආණ්ඩුව ඇතුළෙම අපි කරලා තියෙනවා. ඒත් ආණ්ඩුව ඇතුළේ විවේචනය කරන්න බැරි කාරණා විතරයි පිටදි කිව්වෙ.

ඒත් ඔබලාගෙම පක්ෂයේ සමහර පසුපෙළ මන්ත්‍රීවරු කියනවා එහෙම ආණ්ඩුවේ ඉඳලා විවේචනය කරන අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න, සුසිල් ඇමැතිතුමා වගේ තියෙන අමාත්‍යංශ අයින් කරන්න කියලා?

ඒ දේශපාලන කිරිසප්පයන් නොදැන සිටියට, වෙනත් පක්ෂ සාමාජිකයන්ට, වෙනත් පක්ෂ නායකයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලයක් ශ්‍රී ලකා පොදුජන පක්ෂයට නෑ.

ඒ පක්ෂ විනයනේ. ඔවුන් කියන්නේ අමාත්‍යධුර වලින් පන්නන්න ඕන කියලා. එහෙම විවේචනය කළාම ඇමැතිධූර වලින් අයින් කරන එක ගැන ඔබේ අදහස මොකක්ද?

ඒක ඉතිං කියන අයගෙන් තමයි ඒක අහන්න ඕන. අපි එහෙම එකක් කරලා නෑනේ.

ඔබලා ඉවත් කරන්න බැරිද?

අපි කොතැනවත් කියලා නෑ අපිව ඉවත්කරන්න බෑ කියලා. ජනාධිපතිතුමා කැමැති ඕනෑම වෙලාවක අපිව ඉවත් කරන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයකුත් නෑ.

ඔබ, විමල් සහ වාසු තුන්දෙනා යුගදනවි නඩුවට දිවුරුම් ප්‍රකාශ දුන්නා. දැන් මේක විවිධ අය විවිධ විවේචන ඉදිරිපත් කරනවා. ඇත්තටම මේක මේ කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්ව වගකීම කඩ කිරීමක් නේද?

මොනවා කිව්වත් අපි කරපු දේ හරි. කාටවත් විවේචනය කරන්න බෑ ඒක. 1992දී ගාමිණි දිසානායකට එරෙහි කලීල් නඩු තීන්දුවේදී මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමා හොඳ ප්‍රකාශයක් කරල තියෙනවා. ඇමැතිවරුන්ට කැබිනට්ටුව තුළ තම අදහස් දැක්වීමේ අයිතිය තිබිය යුතුයි. ඇමැතිවරුන්ට කැබිනට් මණ්ඩලයෙන් පිට අදහස් කළ හැක්කේ, විවේචනය කළ හැක්කේ කැබිනට්ටුව අදහස් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැත්තන් පමණි. අපි යුගදනවි ගිවිසුම ගැන එළියදී ප්‍රකාශ නිකුත් කළේ අපිට කැබිනට් මණ්ඩලයේදී අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වීම නිසා. එහෙනම් අද අපි පාවිච්චි කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා ඇමැතිවරුන්ට ලබාදුන් ශුද්ධ වූ අයිතිය නිසා.

ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී කිව්වලු ආණ්ඩුව විවේචනය කර කර ඇතුළේ ඉන්න බෑ. එහෙම අයට ආණ්ඩුවෙන් එළියට යන්න පුළුවන් කියලා. ඔබලා කරන්නෙත් ඒකනේ?

මම නැවත නැවත කියන්නේ එක දෙයයි. අපි භාවිත කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා පිළිගත් අයිතියක්.

එක තැනකදී කිව්වා, ඔබලා මේ වගකියන්නේ 69 ලක්ෂයේ ජනවරමට කියලා. දැන් ඔබලා විතරද වග කියන්නේ, ආණ්ඩුවේ වෙන අය වගකියන්නේ නැද්ද?

2020 ජුලි මාසයේ 14 වැනිදා මැතිවරණ අපේක්ෂකයන් හැටියට මමත් විමල් වීරවංශ ඇමැතිතුමත් ජනතාවට ලිඛිත පොරොන්දුවක් දුන්නා. අපි එතැනදී කිව්වේ අපේ ආණ්ඩුව ජනවරමට විරුද්ධව කටයුතු කරනවා නම් ආණ්ඩුව හරි මගට ගන්න ආණ්ඩුවේ ඉඳලා විපක්ෂය ලෙස කටයුතු කරනවා කියලා. අපි ඉටුකරමින් ඉන්නේ එදා ජනතාවට දුන්න පොරොන්දුව. අනෙක් අයට ජනවරම ගැන කැක්කුමක් නැද්ද කියලා අපෙන් අහලා වැඩක් නෑ. ඒක ඒ අයගෙන් අහන්න ඕන.

ජනාධිපතිත් ඔබලාගේ, ආණ්ඩුවත් ඔබලාගේ, ඔය ප්‍රශ්න කෙළින්ම ජනාධිපති එක්ක කතා කරගන්න පුළුවන්නේ?

උදාහරණයක් හැටියට අපි සෝලිස් ශාලාවේ යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒ ගිවිසුමේ අවදානම ගැන කිව්වේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ජනාධිපතිගෙන් වෙලාවක් ඉල්ලලා. ඒ වෙලාව දෙන්න බෑ කියලා ජනාධිපතිවරයා ලිඛිතව දන්වා එවපු නිසා.

දැන් ඔබලාට ඉන්නේ හතුරෝ විපක්ෂයේ නෙමෙයි පක්ෂයෙන්මයි. කොයිවෙලේ මොනවා වෙයිද දන්නේ නෑ?

අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ. අපි ඉන්නේ මව්බිමේ පැත්තේ. මව්බිම ජනතාව රකින සටනේදී අපිට සතුරාගේ පාට අදාළ නෑ. ජනතාවට මව්බිමට විරුද්ධව කටයුතු කරනවා නම් ඔහු මොන පාට ඇඳගෙන හිටියත් ඔහු අපේ හතුරෙක්.

දැන් ඔබලා වගේම තමයි ශ්‍රීලනිපයත් විවේචනය කරනවා ආණ්ඩුව. ඔය කට්ටියම තැන් තැන්වල හම්බෙනවා. ඒ කට්ටියම තමයි විවේචනය කරන්නෙත්. මේ ලෑස්ති වෙන්නේ අලුත් සන්ධානයකටද?

ඇත්තටම එවැනි සන්ධානයක් නෑ. දැනට පක්ෂනායක රුස්වීම නැති නිසා අපි පක්ෂ 11ක් සති දෙකකට වතාවක් එකතු වෙලා රටේ ප්‍රශ්න සහ ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරනවා.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික රජයට පවර ගත්තා කියලා ඔබ කියනවා. ඊටපස්සේ ආයේ කියනවා ඉන්දියාව සමඟ ගිවිසුමකට යනවා කියලත්. ඇත්තටම මොකක්ද තෙල් ටැංකි ටිකට කළේ?

1987 ජූලි 29 වැනිදා එජාප ආණ්ඩුව විසින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාව එක්ක පමණක් හවුලේ සංවර්ධනය කරන්න ගිවිසුම් ගතවුණා. 2001 දී ආයේ එජාප ආණ්ඩුව තෙල් ටැංකි 99 ම වසර 35කට ඉන්දියාවට බදු දුන්නා. 2017 දී ඒ තෙල් ටැංකි 99ම වසර 99කට බදු දෙන්න එකඟ වුණා. මේ ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තු සභාගත කළා. මම ඇමැතිකම ගන්නවාත් එක්කම ජනාධිපතිතුමා ඇමැතිවරයාගේ වගකීමක් හැටියට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය මට බාර දුන්නා. ඊටපස්සේ මම මාස 16 කතා කරලා ශ්‍රී ලංකාවට අතිශය වාසිවන ආකාරයේ ගිවිසුමකට එකඟ වුණා. ඒ අනුව ටැංකි 99ක් බුක්ති වින්ද ඉන්දියාවට ටැංකි 14ක් වෙන්වුණා. ඒ වගේම තෙල් ටැංකි 24ක් තෙල් සංස්ථාවට හිමිවෙනවා. මෙතුවක් කල් අපි අලුතෙන් ටැංකි හද හද තෙල් ගබඩා කරන්න සිද්ධවුණා. ඒත් ඒක දැන් නිමයි. ඉතුරු ටැංකි 61 තෙල් සංස්ථාවට බලය වැඩියෙන් හිමිවන  ඉන්දියන් ලංකා තෙල් සමාගමත් එක්ක එකතුවෙන් රාජ්‍ය ආයතනයක් පිහිටුවලා සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ වැඩිම අධ්‍යක්ෂ මණ්ඩලයක් හිමිවෙන්නේ අපිට. සභාපතිත්වය හිමිවෙන්නේ අපිට. විගණකාධිපති යටතේ විගණනය වන, කෝප් කමිටුව හමුවට ගෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

ඇයි මේ ආයේ තෙල් ටැංකි ප්‍රශ්නයට ඉන්දියාවම ගාව ගන්නේ, වෙන රටවල් නැද්ද?

ඉතිං මම මොනවා කරන්නද? ඉන්දියාව ගාව ගත්තේ එජාපය. අවස්ථා තුනකදීම එක් කරගත්තේ එජාපය. මම කළේ සූක්ෂමව තෙල් ටැංකි ටික ඉන්දියාවෙන් මුදාගැනීමේ සටනක්. මම ඉන්දියාවට වෙන්වෙලා තිබ්බ ටැංකි 99න්ම 85ක් අපේ පැත්තට ගන්න හැකිවෙලා තියෙනවා.

ඔබ තමයි මේ රටේ වඩා වැදගත්ම අමාත්‍ය ධුරය දරන්නේ. තෙල් නැත්තන් රටක් දුවන්න බෑ. මේ යන විදිහට තෙල් හිඟයක් අත ළඟ කියලා විපක්ෂය කියනවා. ඔබ මොකද කියන්නේ ඒ ගැන?

ඕක පරණ ප්‍රකාශයක්. විපක්ෂයේ අය කිව්වේ ඇති වෙනවා නෙමෙයි ඔන්න තෙල් හිඟයක් ඇති වුණා කියලා. ලෝකයේ ධනවත් රටවල්වල පවා සැපයුම් ක්‍රියාදාමය ඇනහිටලා තෙල් හිඟයක් ඇති වුණා. මේ අයට සාධාරණ සැකයක් ආවා අපේ රටෙත් තෙල් හිඟයක් ඇතිවෙයි කියලා. අපේ රටේ තෙලුත් නෑ. තෙල් ගන්න සල්ලිත් නෑ. ගෙනාවත් ගබඩා කරගන්න තැනුත් නෑ. ඒ නිසා මේ අනුමාන කළා තෙල් හිඟයක් එයි කියලා. ඒත් අපි සූක්ෂමව කටයුතු කළා තවත් මේ රටේ තෙල් හිඟයක් ඇති නොවෙන්න.

මේ තත්ත්වය එක්ක අමාරු නැද්ද තෙල් ගේන්න?

ඔව්. මාසයකට තෙල් ගේන්න ඩොලර් මිලියන 350 ක වියදමක් යනවා. අපි අසීරුවෙන් ඒ තත්ත්වය තුළත් තෙල් ගේනවා. හැබැයි ඒ අභියෝගය ඉෂ්ට කරගන්න බැරි වුණොත් මම ඒක හංගන්නේ නැතුව ජනතාවට කියනවා. ඒ නිසා මට කියන්නේ විපක්ෂයේ බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා.

බැරි වුණොත්?

මම කිව්වනේ මම ආසාර්ථක වුණොත් ජනතාවට කියනවා. දැනට මම සාර්ථකයි.

 ගයාන් ගාල්ලගේ

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00