2022 ජනවාරි 08 වන සෙනසුරාදා

විද්දේ සුසිල්ට: වැදුණේ?

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 296

මෙතෙක් ආ ගමන් මගේදී මුහුණදීමට සිදුවූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යාමටත් මා මෙරට ජනපති ලෙස තෝරා පත්කර ගත් ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරදීමටත් මා සූදානම්. ඒ සඳහා ගතයුතු දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සූදානම්. මට අපහාස කරන කිසිවකුත් මගේ ජීවිත කාලය තුළදී මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර නැති අයයි. ඒ නින්දා අපහාස උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තිය මට තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහෙම කිව්වේ පහුගිය 02 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රි කල්යාණී සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියන් අතින් ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය සඳහා වන සන්නස් පත්‍රය ප්‍රදානය කෙරැණු අවස්ථාවේදී පැවැති උත්සවයේදීයි. මේ කතාවේදී ජනාධිපතිවරයා දේශපාලන තත්ත්වය ගැන අදහස් දැක්වූවා වගේම තමන්ගේ බෞද්ධ උරැමය සහ හමුදා සේවයේ යෙදීමෙන් ලැබූ විනයත් ගැනත් කතා කළේය. මේ ගෞරව සම්මානය තමන්ට පුද කරන්නේ තමා හමුදා නිලධාරියකු වශයෙනුත් ආරක්ෂක ලේකම් ලෙසත් රට වෙනුවෙන් කළ සේවාවද අගය කරමින් බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි. ඒ හැම තමන් හමුදා සේවයේ යෙදෙමින් සිදුකල රාජකාරි පිළිබඳව සිහිපත් කරදීමක්ද එම කතාවෙන් සිදුවිය.

ජනාධිපතිවරයා මේ අවුරුද්දේ රාජකාරි ඇරුඹුවේ කතරගම කිරි වෙහෙරේ, සිතුල්පව්ව රජමහා විහාරයේ පුද පූජාවලට සහභාගි වෙමින්. ජනවාරි 02 වැනිදා පැවැති ඉහත සඳහන් අවස්ථාව එම පින්කම්වල ප්‍රධානම අංගයක් විය.
එහිදී මේ ප්‍රකාශය සිදුකළ ජනාධිපතිවරයා ඉන් දින දෙකකට පසුව එම කතාවට අනුවම වැඩ ඇල්ලුවේය. තමන් දැඩි තීන්දු තීරණ ගැනීමට සූදානම් බවට කළ ප්‍රකාශය 04 වැනිදාම ක්‍රියාත්මක කළේය. තීරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවූයේ 04 වැනිදා වුණත් ඒ ගැන තීන්දුව ගෙන තිබුණේ ඊට කලින් දවසේ (03) පැවැති කැබිනට් රුස්වීමේදී විය යුතුය. එහිදී ඇමැතිවරැන් කිහිප දෙනකුම සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමැතිවරයා දෙල්කඳ පොළේදී ආණ්ඩුවේ කටයුතු දැඩි ලෙස විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශය ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තිබිණි. ඇමැතිවරැන් පිරිසක් සුසිල්ව දැඩිව විවේචනය කරද්දී කැබිනට්ටුවේ සාමූහික වගකීම කඩකළ බවට ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්වූ විමල්, උදය සහ වාසු ඇමැතිවරැන් තුන්දෙනාම නිහඬව සිටීම කැපී පෙනුණේය. ඒ වෙලාවේදී කිසිවක් ප්‍රකාශ නොකළත් සුසිල්ගේ කතාව ගැන ජනාධිපතිවරයා තද ස්ථාවරයක සිටි බව පැහැදිලි වී තිබිණි.

ඊට පහුවැනිදා ජනාධිපතිවරයා සුසිල්ගේ රාජ්‍ය ඇමැති පට්ටම ගැලෙව්වේය. ඇමැති පදවිවලින් ඉවත් කිරීම මේ රටේ සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. ඒ වුණත් තමන් කළ ප්‍රකාශයක් ගැන කරැණු දැක්වීමටවත් අවස්ථාවක් නොදී කිසිම හේතුවක් නොදක්වා ඇමැතිවරයකු ඉවත් කරන්නේ කලාතුරකිනි. වටින් ගොඩින් අහන්න ලැබුණේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඇමැතිවරැන් හා කැබිනට් තීන්දු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ඔහු ඉවත් කිරීමට හේතු වූ බවය. හැබැයි මේ තීන්දුව ගැන ජනාධිපතිවරයා කැබිනට් රුස්වීමේදී කිසිවක් ප්‍රකාශ කර නොතිබීමද මෙහිදී කැපී පෙනුණි. එය තමන් විසින් ගත් දැඩි තීන්දුවක් බවට වන මතය රටට දීමට ජනාධිපතිවරයා තුළ තිබූ අභිලාෂය පැහැදිලි කිරීමක් විය හැකිය.

මේ සිද්ධිය ආණ්ඩුව ඇතුළේ පැහෙමින් තිබූ විරෝධයක් ප්‍රසිද්ධියේ එළියට පැමිණි අවස්ථාවක් විය. හරියටම ඊට සතියකට කලින් විමල්, උදය සහ වාසු රජය තුළ සිටිමින් කැබිනට් වගකීම කඩ කිරීම නිසා ඔවුන් ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට ජනාධිපති ප්‍රකාශ කළත් ඔවුන් ගැන කිසිම තීන්දුවක් ගත්තේ නැත. ඊටපසුව සුසිල් කළ ප්‍රකාශයක් මත ඔහු ඉවත් කිරීම ඒ තුන්දෙනාට පල නොකියා පළා බෙදීමක් විය හැකි බවත් සුසිල් ඉවත් කිරීමෙන් වැඩියෙන්ම රිදෙන්නේ ඒ තුන්දෙනාට බවත් පැහැදිලිය. ජනාධිපතිවරයා ගත් මේ තීන්දුව ඔහුගේ පාර්ශ්වයෙන් නිවැරදි විය හැකි වුණත් අපේ රටේ පක්ෂ දේශපාලනය තුළ එහෙම දැඩි තීන්දු ක්‍රියාත්මක කිරීමට යාම දේශපාලන වශයෙන් හරාකිරි කර ගැනීමක්ද විය හැකිය. චන්ද්‍රිකාගේ කාලේ හදිසියේම හකීම්ලා ඉවත් කිරීම නිසා ඒ ආණ්ඩුවේ කඩා වැටීම ආරම්භ වූ බව ආසන්න උදාහරණයකි.

හැබැයි දැන් තත්ත්වය ඊට වඩා වෙනස්ය. ජනාධිපතිවරයාට තුනෙන් දෙකක බලයක් ඇති පාර්ලිමේන්තුවක් තිබේ. චන්ද්‍රිකාට එහෙම පාර්ලිමේන්තු බලයක් තිබුණේ නැත. ජනාධිපතිවරයා ගත් තීන්දුව හරි බවට පාර්ලිමේන්තුවේ පිරිසක් ඍජුවම පෙනී සිටිති. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් කියා තිබුණේ මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න තිබුණේ මීට පෙර බවත් සුසිල් යැවීම හරි තීන්දුවක් බවත්ය. හැබැයි විමල්ලා කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් යුගදනවි ගිවිසුමට විරැද්ධව එළියේ විවේචනය කරද්දී හෝ තමන් නියෝජනය කරන කැබිනට්ටුව ගත් තීරණයකට එරෙහිව උසාවියට ගිය අවස්ථාවේදී ජොන්ස්ටන් මුකුත්ම කිව්වේ නැත. ඔවුන් පන්නා දැමිය යුතු බවට යෝජනා කළේත් නැත.

අස් කිරීමෙන් පස්සේ සුසිල් නිහඬව නොසිටීම ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇති කරන්න ඇත. ඒ වුණත් ඒ ප්‍රතිචාරවලට වැඩි ආයුෂ නැති බව ආණ්ඩුවේ මතය විය හැකිය. සුසිල් තමන් ඉවත් කිරීමෙන් පස්සේ මාධ්‍යයට කියා තිබුණේ මෙහෙමය.
මාව ඉවත් කරන්න හේතුව නම් දන්නෙ නෑ. ඉවත් කරපු බව දැනගත්තෙ මාධ්‍යයෙන්. මම එදා පොළේදී කිව්වනේ භාණ්ඩ මිල වැඩියි කියලා. මම කිව්වනේ කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම ෆේල් කියලා. ගත්ත ප්‍රතිපත්ති තීන්දු ෆේල් කියලා පේනවනේ. ඇමැති මණ්ඩලෙත් ඊයේ ඔය ගැන කතාවෙන්න ඇති. අධ්‍යාපන සුදුසුකම් අතින් සනීපාරක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අයට වගකීම් බාරදීලා තියෙනවනේ. ඒ අයට තේරෙන්නෙ නෑනෙ අධ්‍යාපනයේ වැදගත්කම. මෙහෙම තීන්දුවක් ජනාධිපතිවරයා නොගත්තා නම් තමයි ප්‍රශ්නේ. මේ තීන්දුව මගේ දේශපාලන අනාගතයට ආශීර්වාදයක්.

මෙහෙම කියපු සුසිල් ත්‍රීවීලර් එකට නගින්න කලින් මෙහෙමත් කිව්වේය. අපි දේශපාලනයේ අතපල්ලෙන් වැටිලා නෑනේ. රටේ ජනතාවට අවුරැදු පහකට වතාවක් අවස්ථාවක් ලැබෙනවනේ. එතකොට අපි බලමුකො තීන්දුව මොකක්ද කියලා.

සුසිල් ගෙදර ගිහිනුත් නිකම් සිටියේ නැත. ඒ වෙනකොට මාධ්‍යයට හොඳ හිට් එකක් වී සිටි සුසිල් ඒකෙන් දිගට හරහට ආණ්ඩුවේ කිහිප දෙනකුට නම් නොකියා බැට දුන්නේය. සමහරවිට මේ නිසා ඔහුගේ මන්ත්‍රී ධුරයටත් ගැටලු ඇතිවීමටද පුළුවන. ඔහු පිළිබඳ පොහොට්ටුව විනය තීන්දුවක් ගන්න කැසකවන්නේ ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමටය. එහෙත් ලංකාවේ නම් විනය හේතුවක් මත පක්ෂයෙන් නෙරපා හරින මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රීකම අහෝසි වන්නේ නැත. තමන් ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණි අයකු බවත් පක්ෂයේ ලේකම් තනතුර දැරැවත් තමා මහජනතාවගේ ඡන්දයෙන් දේශපාලනය කරන කෙනෙකු බවත් ඔහු පුන පුනා කිව්වේ තමන්ට එරෙහිව පොහොට්ටුවෙන් කරන ප්‍රකාශවලට පිළිතුරක් හැටියටය. මේ නිසා සුසිල් ඉවත් කිරීමට යාම මේ ගැටලුව දුරදිග ගෙන යාමක් බවත් ප්‍රශ්න ගොඩක පැටලී සිටින ආණ්ඩුවට එය තවත් හිසරදයක් විය හැකි බවත් පැහැදිලිය.

මතුවිය හැකි මේ හිසරදය ගැන ප්‍රබලම ඉඟියක් පහළ වුණේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙනි. දැන් සති කිහිපයක පටන් ආණ්ඩුවට එරෙහිව විවිධ අන්දමින් ප්‍රහාර එල්ල කරන ශ්‍රීලනිපයේ මාතලේ දිස්ත්‍රික් සමුළුව පැවැත්වුණේ හරියටම සුසිල් ඉවත්කළ දවසේමය. මෛත්‍රීපාල හිටපු ජනපතිවරයා තමන් සූදානම් කරගෙන ආ කතාව වෙනස්කර කියා තිබුණේ මෙහෙමය.

සුසිල්ව අස් කෙරැවේ පොළේ ගිහින් කිව්ව කතාවට. ලන්සා ඇමැතිතුමා ගම්පහදී ඔයිටත් දරැණු ප්‍රකාශයක් කළා. එයා හයේ පාරවල් දෙකක් ගැහැව්වා දැන් දවස් තුනකට ඉස්සෙල්ලා. හැබැයි ලන්සාට නෑ චාජ් ෂීට් එකක් ඉල්ලා අස්වීමක්. මම දන්නවා හේතුව. මොකද ලන්සා ඔක්කොම දන්න මිනිහෙක්. 

ඒ වගේ තමන් නායකත්වය දරපු යහපාලන ආණ්ඩුවේ ලොකුම හවුල්කරැවා වූ යූ.එන්.පී.යටද ඒ එක්කම ලොකු ෂොට් එකක් දෙන්නත් හිටපු ජනාධිපතිවරයා ක්‍රියාකළේ මෙහෙමය.

මගේ යහපාලන ආණ්ඩුව විනාශ කරන්න පොහොට්ටුවේ එදා නායකයෝ, එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඔක්කොම එදා එකට එකතු වුණා. මේක තමයි ඇත්ත කතාව. දෙගොල්ලෝ එකතු වෙලා තමයි මට ගැහැව්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරැ කැබිනට් එකේ හිටියා 12 දෙනෙක්. මෙතැනින් දෙතුන් දෙනකුට වඩා මට හිටියේ නෑ. මගේ පක්ෂේ වුණත් හිටියේ රනිල් එක්ක. මගේ ඇමැතිවරැ අස්සේ රිංගුවා. ඔක්කොම හොරැ එකට එකතු වුණා. හොරැ හරි ප්‍රබලයි. දූෂණය වංචාව නැති කරන්න ගිය එකා තනි වෙනවා. ඔහුට ගහනවා. ඌ එළවනවා. ඌට පහර දෙනවා. දූෂණයෙන්, වංචාවෙන් තොර ආණ්ඩුවක් මේ රටට ඉතාමත් අවශ්‍යයි.

ඒ වගේම සිරිසේන මහතා කිව්වේ 20 වැනි සංශෝධනය අවලංගු කර අනිවාර්යයෙන් මේ රට හදන්න 19 වැනි සංශෝධන අවශ්‍ය වෙනස්කම් සිදුකර ගෙන ආ යුතු බවය. එජාප සභාපතිවරයා 19 ගෙනැත් තමන්ගේ රෙදි ගැලවූ බව කිව්වත් රටේ ජනතාව එජාපයේ සභාපතිගෙයි නායකයාගෙයි ඔක්කොගෙම රෙදි ගැලවූ බවත් හිටපු ජනපති කිව්වේය.

මේ ඔක්කොම ඇතුළේ කතා සිදුවෙන්නේ ආණ්ඩුව එළියේත් බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටියදීය. රට හැමතැනම පෝලිම්ය. බඩු මිල අහස උසට නගිමින් තිබේ. ඒ මදිවාට එළවළු, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක්ද මතු වි තිබේ. ඉදිරියේදී බෙහෙත් පවා ඩොලර් නැතිවීම හරහා හිඟවීමට ඉඩ ඇති බව කියන්නේ සෞඛ්‍ය ඇමැතිවරයාය. තවත් බොහොමයක් ඇමැතිවරැ ඉන්නේ නිහඬවය. සමහර ඇමැතිවරැන් ඉන්නවාද කියා සොයාගන්නත් බැරි තරමටම නිහඬය.

විමල්, උදය, වාසු ජනපතිගේ චෝදනාවට ලක් වීමෙන් පසුව ඒ අය කිව්වේ තමන් ආණ්ඩුවෙන් නොයන බවය. ඒ වගේම උදය කියා ඇත්තේ සුසිල් ඉවත් කළේ ආණ්ඩුව විවේචනය කළ නිසා නම් තවත් ඇමැතිවරැන් ඉවත් කළ යුතු බවය.ඇමැතිවරැන්ගේ කටවල් විමල්ලාට ඇඟිල්ල දික්වීමෙන් පසුව ටිකක් නිහඬ වූ අතර සුසිල් ඉවත් කිරීමත් සමඟ තවදුරටත් නිහඬ විය.

මේ නිහඩ බව ප්‍රබල දේශපාලන කුණාටුවකට පෙර නිමිත්තක් දැයි කියන්න දන්නේ නැත. ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගනිමින් මුලින්ම සුසිල්ට විදින්න ඇත්තේ මේ පෙරනිමිති ගැන බලාගන්නදැයි කියන්නත් අමාරැය. හැබැයි හාවාට කළ විදිල්ල හාවාට වැදුණාද පඳුරට වැදුණාද කියා දැනගන්න නම් එතරම් කාලයක් නොයනු ඇත.

- ශශීන්ද්‍ර