2022 ජනවාරි 08 වන සෙනසුරාදා

සහන මල්ලෙන් ඔබ්බට

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 92

මේ වනවිට 2022 වසරේ දින 09ක් ගෙවී ගොසිනි. පසුගිය වසරෙන් මේ වසරට අපේ රට පා තැබුවේ දහසක් ප්‍රශ්න මධ්‍යයේය. ඇතැමුන් කිරිබතක් පිස ගන්නටත් වින්දේ දැඩි දුකකි. සමහරුන්ට එය කෙසේවත් කරගත නොහැකි විය. සහල් කිලෝවේ සිට සියලු ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබේ. උයා ගැනීමට ගෑස් නැත. වැඩි දෙනෙකුට සිදුව තිබුණේ ගෑස්, භූමිතෙල්, කිරි පිටි, පෝලිම්වල කාලය ගෙවීමටය. 

ශ්‍රී ලංකාවාසීන්ට අලුත් අවුරුද්ද උදාවූයේ කිරි පිටි කිලෝවක පැකට් එක රුපියල් 150කින්ද ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 60කින් ඉහළ යන බවට ලැබුණු ප්‍රවෘත්තියේ උණුසුම මැකී යාමටත් කලිනි. ජීවන වියදම ජනතාව පෙළන බරපතළ ප්‍රශ්නයක් බවට පෙරළී තිබෙන බවට එය එක් උදාහරණයක් පමණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් රටේ ජනතාව වෙනුවෙන් මේ වසර තුළදී රුපියල් බිලියන 229ක් වටිනා දැවැන්ත සහන මල්ලක් ප්‍රකාශයට පත් කළේ ජනතාව පෙළන එම බරපතළ ප්‍රශ්නයට විසඳුමක් වශයෙනි. රජයේ සේවකයන්ට රුපියල් 5,000ක් මාසික දීමනාවක් සමඟ විශ්‍රාමිකයන්ටද සමෘද්ධිලාභීන්ටද, ගෙවතු වගා කරන පුද්ගලයන්ට සහ ගොවීන්ටද ලැබෙන මුදල් ආධාර වශයෙන් සහන මල්ල ක්‍රියාත්මක වීමට නියමිත බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශකයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

මෙරට රාජ්‍ය අංශයේ සේවය කරන ලක්ෂ 15ක් පමණ වන ජනතාවට මෙයින් ඍජුවම සහනයක් සැලසෙනු ඇත. සෙසු පිරිසටද එසේමය. පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන් සම්බන්ධයෙන්ද එම සහන ක්‍රියාත්මක කරන ලෙස රජය ඉල්ලීමක් කළේය. දැඩි ජීවන බරකින් පීඩා විඳින ලක්ෂ සංඛ්‍යාත පවුල්වලට මේ සහන මල්ල ඔවුන්ගේ බර මඳක් හෝ අඩුකර ගැනීමට හේතුවනු ඇත. විශේෂයෙන් සෑම භාණ්ඩයක් සඳහාම විශාල මිලක් ගෙවමින් සිටින ජනතාවට මුදලින් ආධාරයක් අනපේක්ෂිත ලෙස ලැබීම විශාල සහනයකි. පස් මහ බැලුම් බලා ජනතාවට අවශ්‍යම අවස්ථාවක තමන් මේ සහන මල්ල ලබාදීමට තීරණය කළ බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්න ඇත්තේ ජනතාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් විය යුතුය.

මෙවැනි සහන මල්ලක් ලබාදීම ජනතාවගේ සතුටට හේතු විය හැකි වුවද රටේ ආදායම වැඩිකර ගැනීමකින් තොරව මෙවැනි දැවැන්ත මුදල් සම්භාරයක් කෙසේ වැය කරන්නේද යන ප්‍රශ්නයද මෙහිදී පැන නගී. ආදායම වැඩිකර ගන්නා ක්‍රම ගණනාවක්ද මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් වුවද එම ක්‍රම මගින් උපයා ගැනීමට අපේක්ෂිත අතිරේක ආදායම නොලැබී ගියහොත් එය පාලනය කරගත නොහැකි අසීරුකම් ඇතිවීමටද හේතු විය හැකිය. විශේෂයෙන් රාජ්‍ය ආයතනවල වියදම් පාලනය කිරීමෙන් රුපියල් බිලියන 53ක් ඉතිරිකර ගත හැකි වූ බවට කළ සඳහන යථාර්ථයක් විය යුතුය.

එය කෙසේ වුවද රජය තමන් මුහුණ දී සිටින දැඩි ආර්ථික දුෂ්කරතා මැද වුවද මෙවැනි සහනයක් ජනතාවට ලබාදීම අපි වැදගත් කොට සලකමු. විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් සිටින මවුපියන්ට මේ සහන මල්ල ආශීර්වාදයකි. සෑම වියදමක්ම ඉහළ ගොස් තිබියදී එය තරමක් දුරකට දරා ගැනීමට මේ දීමනාව යොදාගත හැකිවනු ඇත. විශ්‍රාමිකයන්ට සහ සමෘද්ධිලාභීන්ටද එසේමය. ආහාර පමණක් නොව ඖෂධ පවා මිල ගණන් දවසින් දවස ඉහළ යාම මේ පිරිස්වලට දරා ගැනීම ඉතා අපහසු බව නොරහසකි.

එහෙත් මේ සහන මල්ල යනු සියලු ප්‍රශ්නවලට පිළිතුර නොවන බව රටේ සියලුදෙනා විසින්ම තේරුම් ගත යුතුය. මෙය පිපාසයට දිය බිඳක් පමණි. දිය බිඳක් තොල ගෑ පමණින් පිපාසය සංසිඳෙන්නේ නැත. ලැබෙන්නේ තරමක කාලයක් අල්ලාගෙන සිටීමට තරම් ගැම්මක් පමණි. සහන මල්ල ලැබීම අවසන් වනවිට ජනතාව මුහුණ දෙන පීඩාවලින් ගොඩ පැමිණ නොසිටියොත් සහනය බලවත් අසහනයක් බවට පෙරළීම නවතා ගැනීම අසීරු වනු ඇත. මේ නිසා තම තමන්ගේ වගකීම් හරිහැටි ඉටුකරමින් රට ගොඩගැනීමට සියලුදෙනා කැපවීමෙන් කටයුතු කිරීම අවශ්‍යය. රජයේ සේවකයන්ගේ කැපවීම පිළිබඳව රටේ ජනතාව තුළ ඇත්තේ එතරම් විශ්වාසනීය හැඟීමක් නොවන බව ඔවුන් තේරුම් ගත යුතුය. රජයේ ආයතනයකින් වැඩක් කර ගැනීමට ගොස් රස්තියාදු වීමට සිදුවූ අයකුගෙන් කරුණු විමසුවොත් මේ ගැන හොඳින්ම දැනගැනීමට හැකිවනු ඇත. රජයේ සේවකයන්ට මේ ලැබෙන සහනය වරප්‍රසාදයක් නොව වඩාත් කාර්යක්ෂම සේවයට ලබාදෙන දිරි දීමනාවක් වශයෙන් සලකා කටයුතු කිරීම වැදගත් වනු ඇත.

පවතින තත්ත්වයන් යටතේ ජනතාව පෙලන පීඩාවලින් ඔවුන් ගලවා ගැනීමට මෙවැනි පියවරක් හෝ ගැනීම යහපත් බව කියන අතරම සහන මල්ල යනු ප්‍රශ්නවලට ඇති එකම විසඳුම නොවන බව යළිත් අවධාරණය කරනු කැමැත්තෙමු. ගෑස් හිඟය, කිරිපිටි හිඟය, ක්ෂණිකව විදුලිය කපාහැරීම වැනි සමාජය පීඩාවට පත්කරන අර්බුද තවමත් එසේම පවතී. රාජ්‍ය ආයතනවල පුටු මාරු කළ පමණින් මේ ප්‍රශ්න විසඳෙනු ඇතැයි සිතීම මිථ්‍යාවකි. අවශ්‍ය වන්නේ නිසි කාර්යසාධනයට තුඩු දෙන සැලසුම්ය. ඒ සඳහා අවශ්‍ය පියවර නොගතහොත් යෝජිත සහන මල්ලේ සහනය ඉක්මවා අසහනය පැතිරෙනු ඇත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00